දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා.ආයාචිතභත්ත කියන්නේ ඒකටයි.ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා. ඒ මැරූ සතුන්ගේ මස් උයා දානෙ දෙනවා. බුද්ධකාලෙත් දඹදිව ඔය සිරිත තිබුනා.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයේ වාසය කළේ. ඇතැම් වෙළඳ පිරිස් වෙළඳාම් පිණිස ඈත පළාතකට යන්න සූදානම් වෙද්දි ගමනට කලින් දෙවියන් උදෙසා බාරයක් වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඒ ඒ දේවාලයට ගොහින් එළුවන් බැටළුවන් මරනවා. තමන් ගේ වෙළඳාම් කරගෙන කරදරයක් නැතුව ආපසු එන්න ලැබුනොත් ආයෙමත් මෙවැනි බිලි පූජාවක් කරනවා කියලා දෙවියන්ට පොරොන්දු වෙනවා. ඊට පස්සෙ වෙළඳාමට පිටත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැතිව වෙළහෙළඳාමත් සරුවට කරගෙන ආපසු එන්ට ලැබුනොත් හිතන්නේ දේවානුභාවයෙන් හැමදෙයක් ම හොඳින් සිදුවුන බවයි. ඒ නිසා බාරය ඔප්පු කිරීම පිණිස බිලිපූජාව ඉෂ්ට කරනවා.
මෙය දැනගත් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළා.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ වෙළෙඳුන් තමන්ගේ වෙළඳාම් සරුවෙන්න කියලත් ආරක්ෂාව ලබාදෙන්න කියලත් සතුන් මරා බිලිපූජා කරනවා. මෙවැනි දෙයින් මේ මිනිසුන්ට යහපතක් සැලසේවිද?”
“මහණෙනි, ඔවැනි දේ ඉස්සරත් සිද්ධ වුනා. ඉතාමත් ඈත අතීතේ එක්තරා ගමක හිටිය නිවැසියෙක් ගම ඉදිරියේ පිහිටි සුවිශාල නුගරුක ළඟට ගියා. ඒ නුග රුකට අරක්ගත් දෙවියන්ට සත්ව බිල්ලෙන් දානයක් දෙන්න පොරොන්දු වුනා. කරදරයක් නැතිව ආපහු ඇවිත් ඒ සත්තු බිලි දීල බාරෙන් නිදහස් වෙන්නම් කියලත් පොරොන්දු වුනා. එතකොට ඒ නුග රුකේ හිටපු රුක්දෙවියා අතුපතර තුලින් අර මිනිසා ඉදිරියේ පෙනී සිට මේ ගාථාව පැවසුවා.
“ඉදින් ඔබ නිදහස් වෙන්නේ නම්
පරලොවින් නිදහස් වෙයන්!
නිදහස් වෙන්නම් කියමින් ඔබ
බැඳෙන්නේ අකුසලයට යි!
නැණැතියෝ නිදහස් නොවෙති මෙසේ
ඔය නිදහස නම් බාලයාගේ බන්ධනයක් ම යි”
රුක්දෙවියා ගේ අදහස එතැන සිටිය හැමෝට ම හොඳින් වැටහුනා. ඒ හැමෝ ම සතුන් මරා බිලිපූජා කොට බාරවලින් නිදහස් වීමේ භයානකකම තේරුම් ගත්තා. ඒ සිරිත් නැවැත්තුවා. දැහැමි ගුණධර්ම පුරුදු කරගත්තා. ඔවුන් මරණින් මතු පරලොව ඇතිවන අපාය භයින් නිදහස් වෙලා දෙවියන් අතර උපන්නා. මහණෙනි, එදා ඒ නුග වෘක්ෂයේ රුක්දෙවියා වෙලා සිටියේ මම යි.”කියලා මේ ආයාචිතභත්ත ජාතකය වදාලා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ