“රහතන් වහන්සේලා කිසිවකටත් නොඇලෙති…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාලා මහා කස්සප මහරහතන් වහන්සේ ගැන කලින් ධම්මපද කථාවලදී අහලා ඇති නේද? මහා කස්සප මහරහතන් වහන්සේටත් ඉතාම ලස්සන රූප සෝභාවක් තිබුණා. සමහරු රැවටුණා බුදුරජාණන් වහන්සේවත්ද කියලා. එතරම්ම ලස්සනයි. මහා කස්සප මහරහතන් වහන්සේට දෙවිවරු හරි ආදරෙයි. දායක පිරිසත් හරිම ආදරෙයි.

එක වස්සාන සමයක බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වස් වැසුවා. වස් කාලයෙන් පස්සේ බුදුන් ප්‍රමුඛ මහ සඟරුවන චාරිකාවේ වඩින්න සූදානම් වුණා. චාරිකාවේ වඩිනු කැමති භික්ෂූන් වහන්සේලා පාත්‍ර පිළියෙල කිරීම, සිවුරු පඬු ගැසීම වැනි දේවල්වල යෙදුණේ චාරිකාවේදී පහසුව පිණිසයි.

ඉතින් භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ පාසිවුරු පිළියෙල කරද්දී මහා කස්සප මහරහතන් වහන්සේත් තමන් වහන්සේගේ පාංශුකූල චීවරයට පඬු ගැසීම් ආදිය කළා. එතකොට භික්ෂූන් වහන්සේලා මෙහෙම කතා වුණා.

“අන්න බලන්න ඇවැත්නි, අර…. අර… මහා කස්සපයන් වහන්සේත් සිවුරු සෝදනවා. ඒ අසවල් දේකටද? මේ නගරයේ වාසය කරන දහ අට කෝටියක් මිනිසුන්ගෙන් යමෙක් උන්වහන්සේගේ නෑදෑයන් නොවෙත්ද ඒ අය දායකයෝ. යමෙක් දායකයන් නොවෙත්ද ඒ අය නෑදෑයෝ…. අසවල් දෙයක් නම් අඩුපාඩුද? උන්දැලා සිව්පසයෙන් පුදන්න සූදානමින්ම නෙව ඉන්නේ… ඒ නිසා මහා කස්සපයන් වහන්සේ ඔය සිවුරු සෝදන්නේ අපට පේන්න විතරයි! උන්වහන්සේ කොහෙද රජගහ නුවර දාලා වඩින්නේ… අනික වඩින්න ඕනම නම් සිවුරු හෝදන දිය ඇළෙන් එහාට නම් වඩින එකක් නෑ.”

 

භික්ෂූන් වහන්සේලා අතර මෙවැනි කතා බහ පැතිරෙද්දී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට කල්පනා කරමින් හිටියා.

‘මේ නගරයේ කෝටි ගණනක් සැදැහැවතුන් ඉන්නවා. ඔවුන් මංගල – අවමංගල හැම කටයුත්තේදීම භික්ෂූන් වහන්සේ නමක් මුල් කරගන්නවා. ඉතින් එහෙම එකේ සියලුම භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වැඩියොත් ඒක හරි නෑ…. මේ සියලු දේටම පිරිමැහෙන්න රජගහ නුවර නවතා යන්න සුදුසු භික්ෂුව කවුද….? මහා කස්සප තමයි හොඳ. මහා කස්සපයන්ට සැදැහැවතුන් හරි ආදරෙයි නෙව.’

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මහා කස්සපයන් කැඳවා මෙසේ වදාළා.

“පින්වත් කස්සප, මේ රජගහ නුවර මිනිසුන් ඉතාමත්ම සැදැහැවත්. භික්ෂු සංඝයා දැකීම පවා මංගල කාරණයක් හැටියටයි සළකන්නේ. හිමිදිරි උදෑසන භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනවා දැකීමත් මංගල කාරණයක් හැටියටයි සළකන්නේ. එනිසා මේ ඇත්තන්ගේ සැදැහැ සිත රැකෙන අයුරින් කටයුතු කළ හැකි සුදුසු භික්ෂුවක් නැවතුණොත් හොඳයි කියලයි මා කියන්නේ. එනිසා කස්සප නවතින්න… අනිත් සඟ පිරිස චාරිකාවේ වඩින්න.”

“එසේය, ස්වාමීනී” කියලා මහා කස්සපයන් වහන්සේ වේළුවනාරාමයේ නැවතුණා. චාරිකාවට පිටත් වෙන්න සූදානම් වෙන භික්ෂූන් වහන්සේලා අතර කසුකුසුවක් හටගත්තා.

“අපි කිව්වෙ…. දැක්ක නේද…? මං නං දැනගෙන හිටියා ඕක…. මහා කස්සපයන් වහන්සේ අසවල් දේකට නම් සිවුරු හෝදන්නද? උන්වහන්සේට මොනවායින් අඩුද? අපි වේලාසනින්ම ඔය කාරණය දැනගෙන හිටියා. සිවුරු හේදුවා කියලා අපි රැවටෙයි එහෙනම්…”

මෙකරුණ බුදුරජාණන් වහන්සේට සැළවුණා.

“හා…! හා…! පින්වත් මහණෙනි, මාගේ පුත්‍ර වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා…! කිසි දවසක දායක ගෙවල්වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස්සපයන්ගේ සිත ඇලුණෙ නෑ…. මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි!

පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්. හැමදාම වෙනස්. මහා කස්සප හැමදාම අලුත් සිතින්මයි පිඬු සිඟා වඩින්නේ. අලුතින්ම ආගන්තුක නමක් පිඬු සිඟා වඩිනවා වගෙයි. ඊයෙ කතා බහ කළ දායකයින්ට අද ඇලෙන්නෙ නෑ. අද කතා බහ කළ දායකයින්ට හෙට ඇලෙන්නෙ නෑ. හැමදාම කස්සපයන් අලුත්! පුන්සඳක් වගෙයි…

ඒ වගේම පින්වත් මහණෙනි, මහා කස්සපයන් මානස විලේ ඉන්න සුදු හංස රාජයෙක් වගේ. නිදහස් සිතින් කිසි බලාපොරොත්තුවක් නැතුව ආයෙමත් එන අදහසක් නැතුව තමයි සුදු හංස රාජයා විල අත්හැර පියාඹා යන්නේ. මහා කස්සපත් එහෙම තමයි. එක තැනකින් තව තැනකට යන්නේ හංසයෙක් යනවා වගේ.”

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මිහිරි ස්වරයෙන් මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ මතුවෙන මෙම ගාථාව වදාළා.

උය්‍යුඤ්ජන්ති සතීමන්තෝ – න නිකේතේ රමන්ති තේ
හංසා’ව පල්ලලං හිත්වා – ඕකමෝකං ජහන්ති තේ

සිහි නුවණින් යුතු රහතුන් හැමවිට – ඇලී වසන්නේ දහමටමයි
කුටියට දායකයින්ගේ සිව්පසට – රහතුන් නොඇලී සිටිනවමයි
විලේ සිටින හංසයාද එලෙසට – විල අත්හරිමින් යනවාමයි
එලෙසින් රහතුන් ලොව ඇති කෙලෙසුන් – සියල්ල අත්හැර යනවාමයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, සාමාන්‍ය උදවිය හැමදේටම අහුවෙන්නේ ඇම ගිලින මාළුවන් වගේ. කෙනෙක් හිනාවුනත් රැවටෙනවා. කතා කළත්
රැවටෙනවා. සැළකුවත් රැවටෙනවා. ඊට පස්සේ ඒ ඒ තැනට ඇලෙනවා. ඊට පස්සේ ඇල්ම අත්හැරගන්න බැරිව විඳවනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කිය කියා එයටම ඇලුම් කරනවා.

නමුත් රහතන් වහන්සේලා කොයිතරම් වෙනස්ද? උන්වහන්සේලාගේ සිත නෙළුම් කොළයට වැටුණු දිය බිංදුවක් වගේ. නෙළුම් කොළය ඇල කරද්දී ඒ දිය බිඳුව රූරා බිම වැටෙනවා. රැඳෙන්නෙ නෑ. රහතන් වහන්සේගේ සිතත් ඒ වගේ තමයි. කිසි අරමුණක රැඳෙන්නෙ නෑ. අරමුණත් ඒ සිතේ රැඳෙන්නෙ නෑ. නිදහස්! හැබෑවටම නිදහස්! අපි ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ’ කියමින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන්දනා කරද්දී ඒකාන්තයෙන්ම මහා කස්සප මහරහතන් වහන්සේටත් ඒ වැඳුම ලැබෙනවා. එවැනි උතුමන් සිහිකරමින් වන්දනා කරන්නට ලැබීම අප ලද වාසනාවක් නොවේද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ