පගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 2561 ක් සම්පූර්ණ වුණු ව්‍යවහාර වර්ෂ 2017 මැයි මස 10 වන දිනට යෙදුණු පින්බර වෙසක් පුන් පොහෝ දින උතුම් සම්බුදු තෙමඟුල සිහි කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදුකෙරිණි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, දඹදිව බුද්ධභූමි වන්දනා, කිරි ආහාර පූජා, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා ආදියෙන් සමන්විත සීල භාවනා වැඩසටහන පුන් පොහෝදා හිමිදිරි උදෑසන 6 සිට පසුවදා උදෑසන 6 දක්වා පැවැත්වුණි. මෙම සීලභාවනා වැඩසටහනට සහභාගී වූ උපාසක උපාසිකාවන් ගණන අටදහසකි. ඊට සමගාමීව දිවයිනේ නොයෙක් ප්‍රදේශයන්හි පිහිටි පුස්තකාල 12 කට සදහම් ග්‍රන්ථ පරිත්‍යාගයන් ද සිදුකෙරිණි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය ගැන විස්තර වන මහා පරිනිබ්බාණ සූත්‍රය ඇසුරෙන් රාත්‍රී ධර්ම දේශනාව සිදුකරන ලද්දේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. එමෙන්ම පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වැඳ පුදා ගැනීමට ද දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණියේය. ඒ සැමට දැකබලා වන්දනා කරගැනීම පිණිස සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේ සමනොළ කන්දේ අනුරුවක් සහ ඒ මත ඉතා අලංකාර ලෙස සරසන ලද මණ්ඩපයක ශ්‍රීපාද පද්මයේ අනුරුවක් ද තැන්පත් කොට තිබුණි. සිසිල් පැන් දන්සල්, බත් දන්සැල්, කිරිකෝපි දන්සැල්වලින් වන්දනාවේ පැමිණෙන සියලු දෙනාගේ සාපිපාසා නිවන ලදී.

මෙසේ නොයෙක් අයුරින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා! ඔබ අප සැමට මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ සියලු පින් හේතු වාසනා වේවා!