බිළාරකෝසිය සිටාණන්ගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු ආසා බණ කියවන්නයි. තව සමහරු දන්සැල් දෙන්න ආසයි. මේවා අපට කරන්ට සිතෙන්නේ පෙර ආත්මේ පුරුද්දක් නිසාවත් දෝ හෝ යි දැනගන්ට ක්‍රමයක් නෑ. නමුත් බුද්ධ කාලේ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩසිටිය නිසා සැඟවී ගිය අතීතයට අයත් බොහෝ දේ දැනගන්ට ලැබුනා.

මෙයත් එබඳු කථාවක්. සැවැත් නුවර එක්තරා තරුණයෙක් බණ ඇසීමට නිතර නිතර දෙව්රමට ගියා. අන්තිමේදී පැවිදි වෙන්ටත් ආසා හිතුනා. මාපියන්ගෙන් අවසර ගෙන පැවිදි වුනා. පැවිදි වූ දවසේ ඉඳලා මේ භික්ෂුව ඉතාම යහපත්. තමන්ට ලැබෙන ඕනෑම දෙයක් දන් දෙන්ට සූදානමින් මයි සිටියේ. පිඬුසිඟා වැඩියත් පාත්‍රයට ලැබෙන දෙයක් කවරදාකවත් කාටවත් නොදී වළඳන්නේ නෑ. කොටින් ම වළඳින්ට පැන් ටිකක් ලැබුනත් තමන් වළඳින්ට කලින් කාට හරි පූජා කරනවා. නිතර නිතර සිතුවේ තමන්ට ලැබෙන යමක් තව කෙනෙකුට දෙන්ට මයි.

දවසක් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා දානය පිණිස සිත් අලවා සිටින මේ භික්ෂුව ගැන ප්‍රශංසා කරමින් සිටියා. ඒ අවස්ථාවේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළා. “පින්වත් මහණෙනි, මා පැමිණෙන්ට කලින් ඔබ කථාබස් කරමින් සිටිය කරුණ කුමක්ද?” “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප අතර අලුතින් පැවිදි වූ භික්ෂු නමක් ඉන්නවා. දන් දෙන්ට ම යි ආසා. තමන්ට මොනවා හරි ලැබුනොත් එය පරිහරණය කරන්ට කලින් පළමු කොටස පූජා කරනවා මයි”

එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව කැඳවාගෙන එන්ට කියා වදාළා. භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුව කැඳවාගෙන ආවා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් මෙසේ වදාළා. “හැබෑද පින්වත් භික්ෂුව, ඔබ හැම තිස්සේ ම දන් දීම ගැන ම සිත සිතා දානයට ම ආසා කර කර ඉන්නවා කියන්නේ?” “එහෙමයි භාග්‍යවතුන් වහන්ස” එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුව පෙන්වා අනිත් භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළා.

“පින්වත් මහණෙනි, මේ භික්ෂුව පෙර ආත්මේ දානය ගැන කිසිම පැහැදීමකින් සිටිය කෙනෙක් නොවෙයි. තණ අග තැවරුන තෙල් බිඳුවක් තරමේ දෙයක්වත් දානයකට දුන්නු කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මං මොහුව දමනය කළා. මොහු තුළ තිබූ අධික ලෝභකම නමැති නරක ගුණය නැති කළා. දානයට පෙළඹෙව්වා. ඊටපස්සේ මොහුගේ සිත දන් දෙන්ට ම නැඹුරු වෙලා ගියා. භවාන්තර ගණනාවක් තිස්සේ මේ අත් නොහැර ඇවිත් තියෙන්නේ මං ඇති කරවපු දන් දීමේ පුරුද්දයි”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ අතීත කථාව කියා දෙන්ට කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ අතීතයේ සැඟවී තිබූ මේ බිළාරකෝසිය සිටුවරයා ගැන ජාතක කථාව වදාළා.

“පින්වත් මහණෙනි, ඈත අතීතයේ බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රජකම් කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ සිටු පවුලක පුත් කුමරෙකු ලෙස උපන්නා. මහ සිටුවරයා ගේ අභාවයෙන් පස්සේ සිටු පුත්‍රයාටයි සිටු තනතුර ලැබුනේ. ඉතින් ඒ බෝසත් සිටුවරයා මෙහෙම හිතුවා. ‘හප්පේ…. මේ සිටු මැදුරේ ගබඩාවේ මේ තරම් වස්තු සම්භාරයක් තියෙන බව මං දැනගෙන සිටියේ නෑ. නමුත් මෙතරම් වස්තුවක් උපදවාපු කවුරුවත් පෙනෙන්ට නෑ නොවැ. ඒ හැමෝම මේවා මෙහේ දාලා පරලොව ගොහින්. එහෙනම් මං කරන්ට තියෙන්නේ මේවා විය පැහැදම් කරලා දානෙ දෙන එකයි’ මෙහෙම සිතලා මහා දන්සැලක් කෙරෙව්වා. නිතර දන් දුන්නා. තමන් පවත්වාගෙන ආ මේ දන්වැට සිඳින්ට එපාය කියලා තම පුත්‍රයාටත් ඉගැන්නුවා. මිය පරලොව ගිහින් තව්තිසාවේ සක්දෙව් රජව උපන්නා.

බෝසත් සිටුවරයාගේ පුත්‍රයාත් සිය පියාගේ අවවාදය අනුව දන් දීම දිගටම පැවැත්තුවා. මරණින් මතු චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. ඔහුගේ පුත්‍රයාත් සිය පියාගේ අවවාද අනුව දන් දීම පුරුදු කළා. මරණින් මතු සූරිය දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. ඔහුගේ පුත්‍රයාත් සිය පියා සේ ම දානය පුරුදු කොට මාතලී දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. ඔහුගේ පුත්‍රයාත් දන් දීම පුරුදු කොට පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයා වෙලා උපන්නා. ඔය විදිහට පිය පුතු පරපුරේ පස් දෙනෙක් ම දෙවියන් අතර උපන්නා. නමුත් සය වැනියාට දානය ගැන පැහැදීමක් තිබුනේ නෑ. දරදඬු ගතිගුණ වලින් යුක්තයි. මිනිසුන් කෙරෙහි ස්නේහයක් තිබුනේ නෑ. මසුරුයි. කාටවත් කිසිම දෙයක් දෙන්ට කැමති නෑ. ඔහු දන්සැල කඩලා බිඳලා ගිනි තිබ්බා. ඉල්ලාගෙන එන අයට ගහලා පැන්නුවා. කොටින් ම තණ අග තැවරුන තෙල් බිඳක්වත් අනුන්ට දෙන්ට කැමති වුනේ නෑ.ඔහු තමයි බිලාරකෝසිය කියන්නෙ.

දවසක් සක් දෙවිඳු තමන්ට දෙව්සැප ලැබෙන්ට හේතු වූ පෙර පින් මහිමය ගැන සිහි කරමින් සිටියා. තමන් පිහිටවපු දන්වැට කොහොමද පවතින්නේ කියා බැලුවා. තමාගෙන් පසු තව සතර පරපුරක් දෙවියන් අතර ඉන්න බව දැක්කා. නමුත් සයවැන්නා ඒ දන්වැට නසා අධික මසුරුකමින් කල් ගෙවන බවත් දැක්කා. ඒ පුත්‍රයාව දමනය කොට දානයෙහි යොදවන්ට ඕනෑ කියලා කල්පනා කළා.

ඉතින් සක්දෙවිඳු දෙව්ලොව සිටිය චන්ද, සූරිය, මාතලී, පඤ්චසිඛ යන දිව්‍ය පුත්‍රයන් කැඳෙව්වා. “මිත්‍රවරුනි, අන්න මනුලොව අප පැවැත්වූ දන්වැට නවත්තලා. දන්සැල ගිනි තියලා. ඉල්ලාගෙන එන අයට ගහලා එලවන බිළාරකෝසිය කියන මහා මසුරෙක් සිටු තනතුරට පත්වෙලා ඉන්නවා. එන්න. යමු. ගිහින් ඔහුව දමනය කරමු”

එදා ඒ බිළාරකෝසිය මසුරු සිටුවරයා රාජ උපස්ථානයට ගිහින් ඇවිත් සත්වෙනි දොරටුවේ සිට ඇතුලු වීදිය දෙස බලාගෙන සක්මන් කරමින් සිටියා. ඒ වෙලාවේ සක්දෙවිඳු තමන් පළමුව ගියාට පසු අනිත් අයටත් වෙන වෙනම එන්ට කිව්වා. බ්‍රාහ්මණයෙකුගේ වෙස් අරගෙන සිටුවරයා ළඟට ගියා. “භවත් බිළාරකෝසිය සිටුවරය, මට අනුභව කරන්ට භෝජන දුන මැනව” “ඈ…. එම්බා බ්‍රාහ්මණය, තොපට අනුභව කරන්ට තරම් දේවල් මෙහේ නෑ. වෙන තැනකට ගියොත් හොඳා” “භවත් සිටුවරය, බ්‍රාහ්මණයන් විසින් ඉල්ලා සිටින මොකවත් ලැබෙන්නේ නැද්ද?” “මේ…. බමුණ, මං සැරයක් කිව්වා නේද? මගේ ගෙදර උයපුවා හෝ උයන්ට හෝ බත් නැත! හ්ම්…. දැන් හැරිලා යනවා” “එහෙනම් බිළාරකෝසිය සිටුවරය, අපි තොපට එක් ශ්ලෝකයක් කියන්නම්. හොඳින් අහගෙන ඉන්ට ඕනෑ” “එම්බා බමුණ, තොපගේ ශ්ලෝක වලින් මට වැඩක් නෑ. කරුණාකර යන්න. මෙතන ඉන්ට එපා” එතකොට සක්දෙවිඳු ඔහුගේ කීම නෑසුනා වගේ සිට මේ ගාථාව කිව්වා.

ශාන්ත මුනිවරු ලොවේ – පිඬුසිඟා ලැබූ බොජුන්
තනියම වළඳනු නොරිසිව – දෙන්ට කැමති වෙති අනුන්ට
එනමුදු ඇයි තොප මෙසේ – උයා පිහා ගත් දෙයින්
දෙන්ට කැමති නැත්තේ – එය නම් හොඳ නැත්තේ
යමක් අනුන් ලබනවාට – අකමැති වන මසුරුකමත්
තමන්ගෙ සැප ගැන පමණක් – හටගන්නා ප්‍රමාදයත්
නිසා තොපට දන් දෙන්නට – ඇතිවන්නේ නොමැත සිතක්
එනමුදු පින් කැමති කෙනා – ආසාමයි දන් දෙන්නට

එතකොට සිටුවරයා මෙහෙම කිව්වා. “එහෙනම් බමුණ, ගෙට ඇවිත් වාඩි වුනොත් හොඳා. මොනවහරි පොඞ්ඩක් දෙන්ට බැරියැ” සක්දෙවිඳු ගෙට ගොහින් වාඩිවුනා. ටික වෙලාවකින් චන්ද දිව්‍ය පුත්‍රයා ආහාර වේලක් ඉල්ලාගෙන ආවා. “බ්‍රාහ්මණය, තොපට මෙහි ආහාර නෑ. කැමති තැනක යන්ට පුළුවනි” “හප්පේ…. මහා සිටුවරය, එහෙම කියන එක හරි නෑ නොවැ. දැන් එතකොට එක බ්‍රාහ්මණයෙක් තොපගේ නිවස ඇතුළට ගොහින් වාඩිවුනේ. බ්‍රාහ්මණයන්ගේ වචනයට ඇහුම්කම් දෙන එක නේද හොඳ? මාත් ඇතුළට යන්ට ම ඕනෑ” “හා හා බ්‍රාහ්මණය…. වහාම යන්ට මෙතනින්” කියලා කියද්දි චන්ද දිව්‍ය පුත්‍රයා එහෙනම් මේ සොලෝකෙත් අහගන්ට කියලා මේ ගාථාව කිව්වා.

අනුන්ට දුන්නොත් මා හට නැතිවෙයි කියලා
මසුරා කිසිවක් ම නොදෙයි බියට පත්වෙලා
පිපාසයට බඩගින්නට ඔහු බියවන්නේ
එලොව මෙලොව දෙකේ ඔහුට දුකම ලැබෙන්නේ
එනිසා නැතිකොට ලෝභය – දිය යුතු වන්නේ
මිය පරලොව ගිය විට – පින පිහිටට එන්නේ

එතකොට බිළාරකෝසිය සිටුවරයා ඒ බ්‍රාහ්මණයාට මෙහෙම කිව්වා. “එහෙනම් මොනා කරන්ටද? හ්ම්… ඇතුලට ගොහින් වාඩි වෙනවා. මොනවාහරි ටිකාක් ලැබෙන්නේ නැතෑ” තව ටික වෙලාවකින් සූරිය දිව්‍ය පුත්‍රයා බ්‍රාහ්මණයෙකුගේ වේශයෙන් ඇවිත් ආහාර ඉල්ලා සිටියා. ඔහුටත් ලැබුනේ කලින් පිළිතුරමයි. එතකොට ඔහු මේ ගාථා දෙක කිව්වා.

මැඩගෙන මසුරුකම – සිතුවද යමක් දෙන්නට
ඔහු හට එබඳු දෙය – අසීරුය සැබැවින්ම කෙරුමට
අසත්පුරුෂයාගේ ගමන – සත්පුරුෂයාගෙන් දුරමය
එබැවින් සත්පුරුෂයා – හා අසත්පුරුෂයා
මෙයින් පරලොව ගිය විට – දෙතැනකය උපදින්නේ
අසත්පුරුෂයෝ යත්ය නිරයට – සුගතියේ වෙති සත්පුරුෂයෝ

එතකොට ඔහුටත් ඇතුළට ගොහින් වාඩිවෙන්ට කියලා කිව්වා. තව ටික වෙලාවකින් මාතලී දිව්‍ය පුත්‍රයා බ්‍රාහ්මණ වේශයෙන් ඇවිත් ආහාර ඉල්ලා කලින් පිළිතුරම ලැබිලා මේ ගාථාව කිව්වා.

ටිකක් තියෙන විටත් ඇතැම් නුවණැත්තෝ මෙලොවේ
අත්නොහරිති දානය නම් එය සැපයකි දෙලොවේ
බොහො වස්තුව තිබෙන නමුත් ලොවේ සිටින බාලයන්ට
පහළ නොවෙයි කිසි විටෙකත් සිතක් දනක් පැනක් දෙන්ට
සැදැහැවතා දෙන ඩිංගත් – මහත්ඵලකි ලැබදෙන්නේ
උජාරුවට කළ වියදම් – නැත ඵලයක් උපදන්නේ

“හා… එහෙමද. එහෙනම් ඔහෙත් ඇතුළට ගොහින් වාඩිවෙනවා. මොකවත් දෙන්ට බැරියැ” කියා බිළාරකෝසිය සිටුවරයා ඔහුවත් ගේ ඇතුළට ගත්තා. තව ටික වෙලාවකින් පඤ්චසිඛත් ආවා. කලින් වගේම ආහාර ඉල්ලද්දි හැරිලා යන්ට කියන විට මේ ගාථාව කිව්වා.

සලකමින් අඹුදරු හට – උපයන නමුත් ටික ටික
දානයට යොමුවුන සිත – ලැබෙයි සැප නම් නොමැත කිසි සැක
අනුන් හට දුක් දීගෙන – සතුන් මරමින් යාග කරමින
අගය කෙරුවත් ලොකුවට – එයින් සිදුවන සෙතක් නම් නැත

එතකොට ඔහුටත් ගේ ඇතුලට යන්ට ලැබුනා. බිළාරකෝසිය සිටුතුමා දාසියට කථා කළා. “කෙල්ලේ…. මේ බමුණන්ට වී නැළිය ගානේ ගෙනත් දීපං” දාසිය වී ගෙනැවිත් මෙහෙම කිව්වා. “බ්‍රාහ්මණවරුනි, මේ වී ටික අරගෙන කොහේටහරි ගොහින් බතක් පිසවාගෙන අනුභව කළ මැනව” “අනේ… අපි වී පිළිගන්නේ නෑ නොවැ” “බිළාරකෝසිය සිටුතුමනි, මේ බමුණන් වී පිළිගන්නේ නැතිලු” “එහෙනම් හාල් දීපං” එතකොට දාසිය හාල් ගෙනැවිත් දෙන්ට සූදානම් වුනා. “අපි හාලුත් අමුවෙන් පිළිගන්නේ නෑ නොවැ” “සිටුතුමනි, මේ බමුණන් හාල් අමුවෙන් පිළිගන්නේ නැතිලු” “එහෙමනම් ගවයින්ට තම්බාපු බත් තියෙනවා නොවැ. කෝප්පයකට දාගෙන ඇවිත් ඒවා බෙදාපන්” එතකොට දාසිය ගවයන්ට තම්බාපු බත් කෝප්පයකට දාගෙන ඇවිත් බ්‍රාහ්මණයන්ගේ භික්ෂා භාජන වලට බෙදුවා. බ්‍රාහ්මණවරු පස්දෙනා ඒ බත් කට ගානේ මුඛයට ගත්තා විතරයි. ඔවුන්ගේ ඇස් උඩ ගියා. සිහි නැතුව පෙරලිලා වැටුනා. මැරුණා වගේ වුනා. දාසිය හොඳටෝ ම භය වුනා. “අනේ… සිටුතුමනි, හරි වැඬේ නොවැ වුනේ….. හරකුන්ට තම්බාපු බත් ගිලගන්ට බැරුව බ්‍රාහ්මණවරු මැරුනා”

එතකොට බිළාරකෝසිය සිටුවරයා මෙහෙම හිතුවා. ‘මගේ මේ ලෝභකොම හින්දා සුකුමාල බ්‍රාහ්මණවරුන්ට ගවයන්ට තම්බාපු බත් දුන්නා. ඒවා ගිලින්ට බැරි වූ නිසයි මුන්දැලා මලේ. හප්පේ…. මහා වස ලැජ්ජාවක් නොවැ’ “ඒයි කෙල්ලේ…. මෙහෙ වර. හනිකට ඔය බත් අහකට ඇන්න පල. අපිට හදාපු නානාප්‍රකාර ප්‍රණීත වෑඤ්ජන් සමග ඇල්හාලේ බත් ගෙනැවිත් මෙතනින් තියාපං” එතකොට දාසිය ඒ විදිහට කළා.

සිටුවරයා පාරේ ගිය මිනිස්සුන්ව කැඳෙව්වා. “හනේ… මිනිසුනේ මේ බලන්න. මං මේ ප්‍රණීත ආහාරපාන හදලා මේ බමුණන්ට පූජා කොළා. කෝ…. ලෝභකමත් එක්ක බැහැ නොවැ. එකපාරට ම මහා ලොකු බත් ගුළි ගිලින්ට ගොහින් ඕං කොරගත්තු හරිය…. දැක්කා නොවැ. මේකට මගේ වරදක් නෑ” එතකොට ම බමුණෝ පස්දෙනාම නැගිට්ටා. කටේ පුරවාගෙන සිටිය බත් පිඬ බිම දැම්මා. “පින්වත්නි, මේ බලන්ට. මේ තියෙන්නේ අපිට දීපුවා. මේවා ගවයන්ට තම්බාපු බත්. මේවා කටට අරගෙනයි අපි මැරුණා වගේ උන්නේ. ඒකට මුන්දෑ භය වුනා. ඊටපස්සේ රට්ටුන්ව රවට්ටන්ටයි මේ ප්‍රණීත භෝජන ගෙනැවිත් බොරුවට පෙන්වන්නේ”

එතකොට මහජනයා කිපුනා. එක්පැහැර හඬින් කෑ ගසා මෙහෙම කිව්වා. “පින්වත් බ්‍රාහ්මණවරුනි, අපි තමුන්නාන්සේලාගේ කථාව පිළිගන්නවා. ඉස්සර මෙහේ දන්සැල් තිබුනා. ඒවා ගිනි තිබ්බේ ඔය පුද්ගලයා තමයි. දැන් මේ සුකුමාල බ්‍රාහ්මණවරුන්ට ගවබත් කවලා මේකා පිරිසිදු වෙන්ට එනවා. තෝ හිතාන ඉන්නේ පරලොව යද්දි ඔය තියෙන වස්තුව බෙල්ලේ බැඳගෙන යන්ටද? එතකොට බෝසත් සක්දෙවිඳු ජනතාව සන්සිඳෙව්වා. “පින්වත්නි, ඔබලා දන්නවාද මේ වස්තුව කාගෙද කියලා?” “අනේ අපි දන්නෙ නෑ”

“මේ නගරයේ ඉස්සර සිටුවරයෙක් සිටියා. ඔහු තමයි ඉස්සෙල්ලා ම මහා දානශාලාවක් හදල දන්සැල් දෙන්ට පටන් ගත්තේ. ඔහු සක්දෙවිඳු වෙලා උපන්නා. ඔහුගේ පුත්‍රයා ඒ විදිහට දන් දුන්නා. ඔහු චන්ද දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. ඔහුගේ පුත්‍රයා දානය පුරුදු කරලා සූරිය දිව්‍ය පුත්‍රයා වුනා. ඔහුගේ පුත්‍රයා ඒ දන්වැට ම පවත්වා මාතලී දිව්‍ය පුත්‍රයා වුනා. ඔහුගේ පුත්‍රයා ඒ දන්වැට නිසා ම පඤ්චසිඛ දිව්‍ය පුත්‍රයා වුනා. නමුත් ඔහුගේ පුත්‍රයා වන මොහු මහ මසුරෙක් වුනා. අධික ලෝභය නමැති පවිටු ධර්මයේ පිහිටියා. දන්සැල් වැනසුවා. පින් කරගත්තු අය දෙවියන් අතර ඉපදී සිටින හැටි ඕං බලාගන්ට” කියලා මුළු ප්‍රදේශය ම එළිය කරමින් ඒ සියලු දෙනා දිව්‍ය වේශයෙන් පෙනී සිටියා. මහාජනයා සාධුකාර දුන්නා.

බිළාරකෝසිය සිටුතුමාට සිහිය උපන්නා. ලෝභකම දුරුවුනා. සක් දෙවිඳුට වන්දනා කරගෙන මෙහෙම කිව්වා. “අනේ දෙවිඳාණෙනි, මං මෙතැන් පටන් අපගේ පැරණි වංශයට අයිති උතුම් චාරිත්‍රය ඉෂ්ට කරනවා. දන්වැට පවත්වනවා. අද පටන් මං පැන් පොදක්වත් අනුන්ට නොදී පරිහරණය කරන්නේ නෑ කියා පොරොන්දු වෙනවා” කියලා දිවුරා කියා සිටියා. ඊටපස්සේ ඒ සිටුවරයා දන්වැට පුරුදු කරලා තව්තිසාවේ උපන්නා.

පින්වත් මහණෙනි, ඒ කාලේ මසුරු සිටුවරයා වෙලා හිටියේ දැන් දන්දීමට ම සිත පිහිටුවාගෙන ඉන්න මේ භික්ෂුවයි. චන්ද දිව්‍ය පුත්‍රයා වුනේ සාරිපුත්ත. සූරිය දිව්‍ය පුත්‍රයා වුනේ මොග්ගල්ලාන. මාතලී දිව්‍ය පුත්‍රයා වුනේ කස්සප. පඤ්චසිඛ වුනේ ආනන්ද. සක්දෙවිඳු වෙලා සිටියේ මමයි” කියා මෙම ජාතකය වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, යහපත් දෙයක් සිතින් අධිෂ්ඨාන කොට පුරුදු කිරීම මොනතරම් යහපතක් උදාකරනවාද!

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

 

මෙවැනි ලස්සන ජාතක කථා කියවන්න කැමති නම් පිවිසෙන්න >>>