9.1. චිත්තානුපස්සනාව
අභ්‍යන්තර ජීවිතය ගැන…
ඉතින් අපි ඒකට ඒ වෙනුවෙන් කායානුපස්සනා භාවනාව ඉගෙන ගත්තා. වේදනානුපස්සනා භාවනාව ඉගෙන ගත්තා. අපේ අභ්‍යන්තර ජීවිතයේ තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි සිත. සිත ගැන සිහියෙන් විමසීම, සිහිය පිහිටුවාගැනීම ගැන චිත්තානුපස්සනා භාවනාවයි දැන් ඔබ ඉගෙන ගන්නේ. මේ චිත්තානුපස්සනා භාවනාව සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙදි බුදුරජාණන් වහන්සේ වදාළේ තුන්වන කොටස හැටියට. පළවෙනි එක කායානුපස්සනා භාවනාව. දෙවෙනි එක වේදනානුපස්සනා භාවනාව. තුන්වෙනි එක චිත්තානුපස්සනා භාවනාව. දමනය කරගත්තොත් මේ සිත…. සිත කියල කියන්නෙ පින්වතුනි, හේතු නිසා හට ගන්න දෙයක්. හේතු නැතිවීමෙන් නැතිවෙලා යන දෙයක්. ඒ වගේ ම හිත කියන එක නොමඟට හැරෙව්වාම නොමගට යන දෙයක්. සුමඟට හැරෙව්වාම සුමඟට යන දෙයක්. හරවන හරවන විදිහට හැදෙන දෙයක්. මේ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ සිත දමනය කරගත යුතු දෙයක්. උන්වහන්සේ හැම තිස්සෙම වදාළා (චිත්තං දන්තං සුඛා වහං) දමනය වෙච්ච සිතෙන් සැප ලැබෙනවා කියල. මේක පැහැදිලිව උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ සිත දමනය කරගෙන හිටපු නිසා. එහෙම නම් අපට තේරෙනවා සතෙක් දමනය කරගත යුත්තේ යම් ආකාරයකින්ද, දමනය කරගත්තු සතා යම් ආකාරයකට ප්‍රයෝජනවත් වෙනවද, මෙන්න මේ වගේ තමයි මනා කොට දමනය කරගත්තු හිතත්. ඉතින් සිත දමනය කිරීමට උපකාර වන, සිත පිළිබඳ සිහිය පිහිටුවීමට උපකාර වන භාවනාව චිත්තානුපස්සනා භාවනාව. මේ චිත්තානුපස්සනා භාවනාවෙදි බුදුරජාණන් වහන්සේ වදාළා ආකාර 16 කින් සිත දිහා බලන්න කියල. සිත ගැන දැනගන්න ක්‍රම 16 ක්…. ඒ තමයි සරාගී සිත දිහා බලන්න කියනවා, මේ දැන් තියෙන්නේ සරාගී සිතක්. එතකොට හිතක් සරාගී වෙන්නෙ හේතු සහිතව මිසක් හේතු රහිතව නෙවෙයි. අන්න එතකොට එයාට ජීවිතයට ගැඹුරු අවබෝධයක් ලබාගන්න හේතු වෙනව සරාගී සිත හඳුනා ගැනීම මේ කාරණා නිසා කියල. මොකද සිහිය පිහිටුවාගෙන ඉන්න නිසා එයා ඒක දැනගන්නවා. හිතක් වීතරාගී වෙන්නෙත් (වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති) හේතු සහිතවයි. එතකොට හිතක් කිළුටු වෙන්නෙත් හේතු සහිතවයි. හිතක් පිරිසිදු වෙන්නෙත් හේතු සහිතවයි. ඉතින් මේ වීතරාගී සිත වීතරාගී සිතක් කියල හොඳට සිහියෙන් දැනගන්නවා. ඊළඟට හිත ද්වේෂ සහිත නම්, මේ තියෙන්නේ ද්වේෂ සහිත සිතක් කියල හොඳ සිහියෙන් දැනගන්නවා. ඒ වගේම මේ මේ කරුණු නිසයි මේ සිත ද්වේෂ සහිත වුණේ කියලත් හොඳ සිහියෙන් දැනගන්නවා. හිත වීතදෝෂී වුණා නම්, ඒ කියන්නෙ හිත ද්වේෂයෙන් තොර වුණා නම්, මේ හිත ද්වේෂයෙන් තොර වුනේ මේ මේ කරුනු නිසා කියල දැනගන්නවා. දැන් මේ සිත ද්වේෂයෙන් තොරයි කියල දැනගන්නවා. ඒ වගේම හිත මෝහ සහිතව නම්, මෝහ සහිතව කියල කියන්නේ සැකසංකා, මුලාවට පත්වීම, සිතේ තියෙන වංචාවලට ප්‍රයෝගවලට හසුවීම මේ ඔක්කොම අයිති වෙන්නෙ මෝහයට. මේ හිතේ මෝහයක් ඇතිවුණා නම්, ඒක දැනගන්නවා දැන් මේ තියෙන්නෙ මෝහ සහිත සිතක් කියල. මේ සිතේ මෝහය නැතිවුණා නම්, ඒ කියන්නේ සිත පිළිබඳව අවබෝධයකට පත්වුණා නම්, එයා දැනගන්නවා මේ සිත මෝහ රහිත සිතක් කියල. ඊළඟට මේ සිත හැකිලූණා නම්, හැකිලූණා කියල කියන්නෙ හිතේ මොකවත් කරගන්න බෑ, ප්‍රබෝධමත් ගතියක් නෑ, හිතේ ස්වභාවය අඳුනගන්න බැරිව යනවා ඒකට කියන්නෙ හැකිලූණ හිත කියල. හිත හැකිලී තියෙනවා නම්, ඒ හැකිලී තියෙන බවත් නුවණින් දැනගන්නවා. ඒ වගේම සිත සමාධිගත වෙනවා නම්, සිත සමාධිගත වෙනවා කියලත් දැනගන්නවා. හිත සමාධිගත නැත්නම්, මේ හිතේ සමාධියක් නෑ කියල ඒකත් දැනගන්නවා. ඒ වගේම සිත ධ්‍යාන තත්වයට පත්වෙලා නම්, සමාධියක් දියුණු කරල, ඒකත් දැනගන්නවා. සමාධියක් දියුණු කරල ධ්‍යාන තත්වයට පත්වෙලා නැත්නම්, ඒකත් දැනගන්නවා. ඒ වගේම මේ සිත නිකෙලෙස් භාවයට පත්වෙලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙලා නම් ඒකත් දැනගන්නවා කෙලෙසුන්ගෙන් මිදුණා කියල. කෙලෙසුන්ගෙන් මිදුනෙ නැත්නම් ඒකත් දැනගන්නවා. වරදවා ගන්න එපා…. එතකොට බලන්න පින්වතුනි, රාග සිතේ ඉඳල නිකෙලෙස් පාරිශුද්ධ සිත දක්වාම කෙනෙකුගේ සිතක වෙනස්කම ඒ විදිහටම දකින්නට සිහිය දියුණු කරන ආකාරයයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේකෙදි කෙනෙක් කරන්නෙ රාගයක් ඇතිවුණාට පස්සේ රාගයක්…. රාගයක්….. කියල සිහිකිරීම නෙවෙයි. තරහක් ඇතිවුණාම තරහක්…. තරහක්….. කියල සිහිකිරීම නෙවෙයි. ඒ වගේ සිහිකරන්න කියල කිසිම බුද්ධ දේශනාවක නෑ. හේතුවක් නිසා හටගත්තු ඵලයක්… බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ, එයා සිහිකරන්නේ කොහොමද? මේක කුමක් නිසාද ඇතිවන්නේ කියල. හේතු නිසා හටගන්න ඵලයක් විදිහට සිහිය පිහිටුවා ගැනීමයි. දැන් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා ජීවිතය දිහා බලන්නේ ආවාට ගියාට නෙවෙයි. නිකම්ම හැඟීමකට වහල් වෙලා, ජීවිතය පිළිබඳව අවබෝධයක් නැතිව, ජීවිතය පිළිබඳ තේරුම් ගැනීමක් නැතිව අපිත් මේ භාවනා කරනවා කියල ඔහේ යන භාවනාවක් ගැන නෙවෙයි මේ කියන්නෙ. මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නෙ හොඳට සිහිය පිහිටුවාගෙන සිත ගැන නුවණින් විමසා බැලීමක් ගැන. මේ විදිහට සිත ගැන විමසා බලන කොට තමා තුළ තියෙන මේ හිතේ ස්වභාවය හොඳට අවබෝධ කරගන්නවා. ඒ වගේම මේ කෙනා තේරුම් ගන්නවා අනෙක් කෙනෙක් තුළත් මේ ස්වභාවයමයි සිතේ තියෙන්නෙ කියල තේරුම් ගන්නවා. ඒ වගේම තේරුම් ගන්නව (සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මිං විහරති) මේ හිත කියන්නෙ හේතූන් නිසා හටගන්නා ස්වභාවයෙන් යුක්ත දෙයක්ය කියල දැනගන්නවා. කුමක්ද පින්වතුනි මේ හිතක් හටගන්න හේතුවන කාරණාව? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා හිත නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් කියල. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයේ සතිපට්ඨාන සමුදය කියල සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකෙදි පැහැදිලිව බුදුරජාණන් වහන්සේ වදාළා (නාමරූප සමුදයා චිත්ත සමුදයෝ) නාමරූප හටගැනීමෙන් සිතක් හටගන්නවා කියල. නාමරූප කියන වචනය පටලව ගන්නට එපා. නාමරූප කියන එක බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල ඉතා පැහැදිලිව දේශනා කරල තියෙනවා. නාම කියන වචනයට කරුණු පහක්. ඒ තමයි වේදනා, සඤ්ඤා, චේතනා, ඵස්ස, මනසිකාර. රූප කියන එක තෝරල තියෙන්නේ සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේත්. එතකොට සතර මහා භූතත්, සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේත් යම් තැනක තියෙනවාද, ඒ වගේම විඳීමක්, හඳුනාගැනීමක්, චේතනාවක්, ස්පර්ශයක්, මනසිකාරයක් යම් තැනක තියෙනවාද එතන සිත කියන දේ හැදෙනවා. එහෙම නම් ඔබෙත් මගෙත් මේ සිත නාම රූප ප්‍රත්‍යයෙන් හටගතත්තු සිතක්. මේ සිතේ තමයි අර ලක්ෂණ ඔක්කොම ඇතිවෙන්නෙ. සරාගී බව, වීතරාගී බව, ද්වේෂ සහිත බව, වීතදෝෂී බව, මෝහ සහිත බව, වීතමෝහී බව, හැකිළුනු බව, විසිරුණු බව, එකඟවුණ බව, එකඟ නොවුණු බව, ධ්‍යාන තත්වයට පත්වෙච්ච බව, ධ්‍යාන තත්වයට පත් නොවුණු බව, හිත තැන්පත් බව, සිත සමාහිත බව, සිත අසමාහිත බව, සිත කෙලෙස් සහිත බව, සිත නිකෙලෙස් බව මේ ඔක්කොම ඇතිවෙන්නෙ අර නාමරූප ප්‍රත්‍යයෙන් හටගත්තු සිතක. අන්න බලන්න එතකොට අපට කොයිතරම් අවබෝධයක් ලබාගන්න පුළුවන්ද කියල. ආත්මය කියල එකක් ඕනම නම්… ඒ නිසා පින්වතුනි, සිත දමනය කරගත් අය තමයි මේ ලෝකය ජයගත්තෙ. මේ කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වුණේ සිත අවබෝධ කරගත්තු අය. මේ සිත පිළිබඳව මම, මාගේ, මාගේ ආත්මය කියන අදහසින් නිදහස් වෙච්ච අය. බුුදුරජාණන් වහන්සේ වදාළා කෙනෙකුට මම කියල, මගේ කියල, මගේ ආත්මය කියල එකක් ගන්න ඕනෙම නම්, එයාට කය දිහා බලන්න කියනවා. මොකද කය අවුරුද්දක් තියෙනව පේනවා. කය අවුරුදු දහයක් තියෙනව පේනවා. කය අවුරුදු විස්සක් තියෙනව පේනවා. කය අවුරුදු අසූවක් අනූවක් තියෙනව පේනවා. ඊට පස්සේ මැරිල යනවා. එහෙමනම් මේ කය සුලූ කාලයක් හරි පවතිනව පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළා මේ සිත එහෙම නෙවෙයි. වනාන්තරයක අත්තෙන් අත්තට පනින, එක් අත්තක් අල්ලගෙන අනෙක් අත්තට පනින වඳුරෙක් වගේ කියල. එබඳු සිත, අරමුණෙන් අරමුණට පැන පැන පවතින සිත දිහා මම කියල බලන්න එපා කියනවා. මගේ කියල බලන්න එපා කියනවා. මගේ ආත්මය කියල බලන්න එපා කියනවා. සිත තේරුම් ගන්න…. එහෙම නම් මේ වගේ කොයිතරම් පුළුල් අවබෝධයක් තමන් තුළින් ගන්න පුළුවන්කම තියෙද්දිද, අපේ මේ අවස්ථාව, මේ කාලය, මේ වාසනාවන්ත අවස්ථාව, මේ දුර්ලභ අවස්ථාව අපට අහිමි වෙන්නෙ, කොයිතරම් අවස්ථාවක් ලැබිල තියෙද්දිද? ඒ නිසා මේ උතුම් අවස්ථාව මගහැර ගන්නට එපා පින්වතුනි. කවුරු මොනවා කිව්වත් ඔබ අපායේ ගියොත් ඔබ විඳින්නට ඕනෙ. ඔබ කර්ම රැස් කළොත් ඔබ ඒ කර්ම ගෙනියන්නට ඕනෙ. ඒ නිසා එක එක්කෙනාගේ දේ නෙවෙයි වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් වදාළ දේ. ඒ නිසා ශ්‍රද්ධාව පිහිටුවා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන. ශ්‍රද්ධාව පිහිටුවා ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන. ඒ ධර්මය අනුගමනය කරල නිවන් දැකපු උතුමන් ගැන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ සිතටත් මේ සතිපට්ඨාන ධර්මය පුරුදු කරන්න. ඔබට පුළුවන් ඔබේ සිත දිහා හොඳ සිහියෙන් බලල ජීවිතාවබෝධය ඇති කරගන්නට. අන්න ඒ ජීවිතාවබෝධයට උපකාර වෙනවා මේ චිත්තානුපස්සනා භාවනාව. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
ඒ වගේම හිත විසිරී තියෙනවා නම්, හිත විසිරී තියෙන බවත්, (අභ්‍යන්තරයට හැකිලෙනවා, බාහිරට විසිරෙනවා) දැනගන්නවා මේකයි හිතේ ස්වභාවය කියල. මේ දෙකම හොඳට සිහියෙන් දැනගන්නවා.
සිත හැදෙන්නෙ නාමරූප නිසයි…
නාමරූප තුළ මුලා වෙන්න එපා…
ඉතාමත් වටින ලිපියක්. ඔබ වහන්සේට ගොඩක් පින්. චිත්තානුපස්සනාවේ හේතු ඵල සෙවීමක් කරන්න ඕනේ කියල මම කලින් දැනගෙන හිටියේ නෑ. මේ ලිපි පෙළ පළ කරන්න සුළුවෙන් හෝ දායක වූ අයටත් ගොඩක් පින්!