භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් යුගයක ආශ්වාදය යාන්තමින් හෝ විඳගන්නට තරම් අපි ද වාසනාවන්ත වෙමු. උන්වහන්සේ විසින් ලෝකයා මෙතෙක් නොඇසූ විරූ අද්භූත තොරතුරු සිය ශ්‍රාවක ජනයා වෙත හෙළිදරව් කරන ලද්දේය.

සක්විති රජවරුන් පිළිබඳව, ලෝක ධාතු පිළිබඳව, පෘථිවියේ ආරම්භය හා විනාශය පිළිබඳව, මනුෂ්‍ය වර්ගයාගේ සම්භවය පිළිබඳව මෙන්ම ‘පච්චේකබුද්ධ’ හෙවත් පසේබුදුවරුන් පිළිබඳව ද අනේක තොරතුරු හෙළිදරව් කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා නොදෙන්නට මේවා දැනගත හැකි වෙනත් පැහැදිලි කරුණු බාහිරින් සපයා ගත නොහැකිය. එතරම් ම පැරණි තොරතුරු එයට ඇතුළත්ය.

මෙම ග්‍රන්ථයෙන් දැනගන්නට ලැබෙන්නේ පසේබුදුරජාණන් වහන්සේලා පිළිබඳවය. සුත්ත නිපාතයට අයත් ‘ඛග්ගවිසාණ’ සූත්‍රය’ මඟින් ලත් ඒ පසේබුදුවරුන්ගේ උදාන නිසාය අප ඒ තොරතුරු දන්නේ. ‘ඛග්ගවිසාණ’ යන්නෙහි තේරුම කඟවේණ අඟය.

‘කඟවේණා’ හිමාල වන අඩවියේ විසූ අශ්වයෙකු වැනි සතෙකි. ඔහුගේ නළලින් අඟක් උඩට මතු වී ඇත. කඟවේණාගේ අඟ යනු එයයි. එය තනි අඟකි. වෙනත් කිසිවක් හා සම්බන්ධ නොවූ අඟකි. පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතය ද එබඳුය. අත්‍යන්ත හුදෙකලාවේ වාසය කිරීම උන්වහන්සේලාගේ ස්වභාවයයි.

උන්වහන්සේලාට ශ්‍රාවක ජනයා නැත. උන්වහන්සේලා ධර්ම දේශනා නොකරති. ශ්‍රාවක ජනයා පිරිවරා චාරිකාවේ නොවඩිති. චතුරාර්ය සත්‍යය උන්වහන්සේලා ඉස්මතු නොකරති. හිමාලයේ ගන්ධමාන පර්වතයෙහි ‘මඤ්ජූසක’ වෘක්ෂය සෙවණේ විමුක්ති සුව විඳිමින් බවුන් වඩන උන්වහන්සේලා ගමට වඩින්නේ පිණ්ඩපාතය සඳහා පමණි.

ඒ පසේබුදුවරයන් වහන්සේලාගේ අත්දැකීම් පිළිබඳව අතිශයින්ම අප්‍රකට තොරතුරු අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගත් නිසාවෙන් දැන් අල්පමාත්‍රිකව හෝ අප එය දනිමු. සුත්ත නිපාත අටුවාවෙන් ගත් තොරතුරු අනුව අපි එය රසවත් අයුරින් ඉදිරිපත් කළෙමු.

මේ යුගයේ පසේබුදුවරු පහළ නොවෙත්. පසේබුදුවරු පහළවන්නේ සම්මා සම්බුදු යුගයකට ආසන්නයේ දී පමණි. යළිත් පසේබුදු යුගයක් ලොව උදාවන්නේ මෛත්‍රී බුදුරජුන් පහළ වීමට ආසන්නයේ දී පමණි. එතෙක් සිදුවන්නේ ඒ ඒ පාරමී ධර්මයන්ගේ සම්පූර්ණත්වය ඇතිවීමයි.

මේ පසේබුදු පෙළහර මවිසින් සකසන ලදුව පින්වත් නයනා නිල්මිණි දියණියගේ කැපවීම හේතුවෙන් ‘අසිරිමත් පසේබුදු පෙළහර’ නමින් දිනමිණ පුවත්පතෙහි පළවිය. බොහෝදෙනාගේ ඉල්ලීම නිසා, විශේෂයෙන් ම නයනා නිල්මිණි දියණියගේ උනන්දු කරවීම මත මෙම අනර්ඝ ලිපි එකතුව මෙසේ දහම් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වේ.

මෙම ග්‍රන්ථය සැකසීමට සහාය දැක්වූ මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, නයනා නිල්මිණි දියණියටත්, සහාය දැක්වූ සැමටත් උතුම් ධර්මාවබෝධය පිණිස මෙයින් ලත් සියලු පින් උපකාරී වේවා!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ