නොබැඳී කිසිවකට – වනයේ සිටින මුවා
රිසි ලෙස සැරිසරයි – ගොදුරු ද සොයන නියා
නුවණැති කෙනා මෙලෙසින් – නිදහසේ අගය දකිමින්
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ පසේබුදුවරයන් වහන්සේ නමක් පැවසූ තවත් ගාථාවක් ගැන වදාළා. සසරෙහි කරන ලද අනන්ත පුණ්‍යානුභාවයෙන් යුතු එක්තරා දිව්‍ය පුත‍්‍රයෙක් දිව්‍ය සැප විඳිමින් වාසය කළා. මේ දිව්‍ය පුත‍්‍රයාගේ ආයුෂ ක‍්‍රමක‍්‍රමයෙන් නිමා වෙමින් තිබුණා.

ඔය අතරේ මිනිස් ලොව ද පසේබුදුවරු න්ගේ යුගය පහළව තිබුණා. එකල බරණැස් නුවර රජුගේ අන්තඃපුරයෙහි විසිදහසක් පුරාංගනාවන් සිටියා. ඔවුන් කිසිවෙකුටත් පිරිමි දරුවෙකු පිළිසිඳගත්තේ නෑ. මේ නිසා අමාත්‍ය මණ්ඩලය පවා රජතුමාට රජ පරපුර අවසන් වීමෙහි අනතුර පෙන්වා දුන්නා.

“පින්වත් දේවයන් වහන්ස, රජ පරම්පරාව ඔබවහන්සේගෙන් අවසන් විය යුතු නෑ. ඉදිරියටත් රජ පරම්පරාව පැවැත්විය යුතුයි. එසේ නොවුණහොත් අප සියලූ දෙනාටම අනතුරක්. එනිසා දේවයන් වහන්ස, ඔබවහන්සේට දාව පුත් කුමරෙක් ලබාගැනීම අප අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන දෙයක්මයි.”

මේ ගැන රජතුමාත් කල්පනාවට වැටුණා. රජකමට සුදුසු පින්වත් දරුවෙක් ලබන්නට නම් බිසව සිල්වත් විය යුතු බව එකල කවුරුත් දැනසිටියා. ඉතින් රජතුමා ඒ සඳහා යම්කිසි උපෝසථ සීලයක අගබිසව සමාදන් කරවන්නට කල්පනා කළා. ඇමතිවරු රජතුමාට උපදෙස් දුන්නා.

“දේවයන් වහන්ස, ඔබවහන්සේගේ බිසවුන් වහන්සේලා අතර අගබිසව ඉතාමත් ඤාණවන්තයි. ඉතාමත් සීලවන්තයි. එනිසා මහරජතුමනි, යම් කුලාංගනාවක් සැබෑ බස් තෙපලන්නී ද, සිල්වත් වන්නී ද ඕ තොමෝ උදාර වූ පුණ්‍යවන්ත වූ පුත‍්‍රලාභය පිණිස භාග්‍ය දරන්නීය. මහරජතුමනි, හිරිඔතප් දරණ අපගේ අගබිසවුන් වහන්සේ පුත‍්‍රලාභයට සුදුසුවන බව අපගේ ඒකාන්ත විශ්වාසයයි.”

මෙකරුණ සැළ වූ විට රජබිසව මහත් ප‍්‍රීතියට පත් වුණා. සතුටු වුණා. උදාර වූ පුත්රුවනක් ලැබීමට තරම් තමා පිනැත්තියක බව සිහි කරමින් සතුටු වුණා. ඇය පුන් පොහෝ දිනයෙහි සුවඳ පැන් නා, සුදු වත් හැඳ, උඩු මහලට ගොස් සිල් සමාදන් වුණා. වත් පිළිවෙත් පිරුවා. මෙත් වැඩුවා. ඇයගේ පුණ්‍යානුභාවය තව්තිසා දෙව්ලොව දක්වා පැතිර ගියා.

දිනක් එලෙස මෙත් වඩමින් සිටියදී ඇය ඉදිරියෙහි එක්තරා දෙවියෙක් පෙනී සිටියා. ඒ දෙවියා අන් කවරෙකුවත් නොව සක්දෙවිඳු බව ඇය දැනසිටියේ නෑ. ඒ සක් දෙවිඳුන් ඇය ඉදිරියේ සිට මෙසේ විමසුවා.

“පින්වත් රාජදියණියෙනි, මම ඔබ කෙරෙහි පහන් වූ සිතැත්තෙමි. එනිසා ඔබට වරයක් දෙනු කැමැත්තෙමි.”

මෙය ඇසූ අගබිසව මහත් ප‍්‍රීතියට පත්වුණා. සිත පිනා ගියා. බබලන නෙතින් යුතුව ගෞරවාචාර කරමින් දෑත් බැඳගත් ඕ තොමෝ සක් දෙවිඳුන් හට මෙසේ පැවසුවා.

“අනේ පින්වත් දේවතාවුන් වහන්ස, මම මහත් දුකට පත් වූ තැනැත්තියක් වෙමි. පින්වත් පුත් රුවනක් පතාගෙන මා උතුම් සීලයක් දරා සිටින්නියක වෙමි. වත්පිළිවෙත් කරමින් මෙත් වඩමි. මා කෙරෙහි අනුකම්පාවෙන් මා හට පුත් රුවනක් ලබා දෙන වරයක් දෙන සේක්වා!”
“පින්වත් රාජදියණියෙනි, සතුටින් වසනු මැනැව. නොබෝ දිනෙකින් නුඹගේ මන දොළ සපිරෙන්නේය!”

එසේ පැවසු සක් දෙවිඳු නොපෙනී ගියා. දෙව්ලොව පහළ වුණා. දිව්‍ය සභාව රැස් කළ සක් දෙවිඳු විමසන්නට පටන් ගත්තා.

“පින්වත් දෙවිවරුනි, මනුලොව එක්තරා රාජ දියණියක් පින්වත් පුත් රුවනක් පතා බොහෝ පින් කරයි. සිල් ගුණදම් රකියි. මේ සභාවෙහි ආයුෂයාගේ අවසානය කරා යන දෙව්පුත්හු සිටිත්ද?”

“පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, මෙතැන සිටිනා අපගේ මහා පදුම නම් දෙව්පුතු දෙස බලනු මැනැව. මේ දිව්‍යපුත‍්‍රයාගේ ආයුෂ අවසන් වෙමින් තිබේ. දැන් මොහුගේ අදහස ඉහළ දිව්‍ය ලෝකයක ඉපදීමටයි.”

“දරුව, මහා පදුම. ඔබට ගැලපෙන්නේ ඉහළ දෙව්ලොවක ඉපදෙන්නට නොවේ. ඔබට ගැලපෙන්නේ මිනිස් ලොවයි.”

“පින්වත් ශක‍්‍ර දේවේන්ද්‍රය, මා සිතා සිටින්නේ මනු ලොව යෑමට නොවෙයි. ඇත්තෙන්ම මට මිනිස් ලොව පිළිකුල්. මා කැමති මීට වඩා උසස් දිව්‍ය ලෝකයක උපදින්නටයි.”

“දරුව, එසේ නොකියන්න. මේ දෙව්ලොව එන්නට පළමු පින් රැස් කරගන්නා ලද්දේ මිනිස් ලොවදී බව අමතක කරන්නේ මන්ද? එනිසා යළිත් ඔබට පින් කරගැනීමට අවස්ථාවක් ලැබී තිබේ.”

“අහෝ! ශක‍්‍ර දේවේන්ද්‍රය, දස මාසයක් මාතෘ ගර්භයක වාසය කිරීමට මා තුළ කිසි කැමැත්තක් නැහැ. ඇත්තෙන්ම මව් කුසක උපදින්නට මට වුවමනාවක් නැහැ…. නැහැ… නැහැමයි.”

“පින්වත් දරුව, ඇත්ත. මව්කුසක උපදින්නට ඔබේ කැමැත්තක් නැති බව මට වැටහේ. මිනිස් ලොව උපදින්නට මව්කුසක්ම වුවමනාද? පින්වත් දරුව, ඔබට ඕපපාතිකව මිනිස් ලොව උපදින්නට වාසනාව තිබේ. එනිසා ඔබට උපත උරුමව තිබෙන්නේ නෙළුම් මලක උපදීමටයි. එය ඔබ විසින් පෙර භවයේ කරන ලද පිනක් නිසා ලැබෙන දෙයක්.”

සක් දෙවිඳුන් එසේ පැවසූ විට මහා පදුම දිව්‍යපුත‍්‍රයා මිනිස් ලොව ඉපදීමට කැමති වුණා. ඔහු දෙව්ලොවින් චුත වුණා. බරණැස් රජුගේ උද්‍යානයෙහි ගල් තලාවක් මැද ඇති පොකුණෙහි විශාල නෙළුම් කෙමියක මෙම දිව්‍යපුත‍්‍රයා ඕපපාතිකව ඉපදුණා.

එදා හරි අපූරු දෙයක් සිදුවුණා. එනම් අගබිසව සිහිනයක් දැකීමයි. විසි දහසක් කුලාංගනාවන් පිරිවරා උයන් පොකුණට පැමිණි ඇයට නෙළුම් කෙමියක සිඟිත්තෙක් දකින්නට ලැබීමයි. ඈ පසුදින උදෑසන සිල් සමාදන් වුණා. වත්පිළිවෙත් කළා. මෙත් වැඩුවා. අන්තඃපුරාංගනාවන් පිරිවරා පොකුණ වෙත පැමිණියා. එසේ පැමිණෙද්දී එක්තරා මල් කෙමියක ඇති විශේෂත්වයක් ඇය දුරදීම දැක්කා. ඇය දුවගෙන ගොස් ඒ මල් පොහොට්ටුව ආදරයෙන් වැළඳගත්තා. ඒ මොහොතේ ඒ මල් කෙමියේ මල් පෙති එකින් එක විහිදෙන්නට පටන් ගත්තා. රන්වන් පාටින් බැබලෙන සියුමැලි සිඟිත්තෙක් ඒ මල් කෙමිය මැද නිදා සිටියා.

මේ අසිරිය දුටු සියලූ කුලාංගනාවන් ප‍්‍රීතිඝෝෂා කළා. මහත් උත්සවශ‍්‍රීයෙන් මේ පින්වත් සිඟිත්තාව මාළිගය කරා රැගෙන ගියා. සියලූ දෙනාගේම ආදරය මේ දරුවාට ලැබුණා. අන්තඃපුරයේ සියලූ කාන්තාවන්ගේ අතින් අත යන මේ දරුවාට ආදර සැලකිලි දක්වන්නට හැමෝම එක්වුණා. ‘අනේ පුතේ, මෙයත් කන්න. මෙයත් බොන්න. මෙයත් අනුභව කරන්න’ කියමින් පෙරැත්ත කර කර ආහාරපාන කැවීම නිසා මේ දරුවාට හැම දෙයක්ම එපා වුණා. මේ කුමරා ඒ වධයෙන් බේරීම පිණිස දොරටුව ළඟට දුව යනවා. ලෝහ ගුලියක් ගෙන සෙල්ලම් කරනවා.

දිනක් එක්තරා පසේබුදුවරයන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිද්දී මේ කුමරා අසලටත් පැමිණියා. මේ ශ‍්‍රමණයන් වහන්සේ දුටු කුමාරයා කෑ ගසා මෙහෙම කිව්වා.

“අනේ පින්වත් ශ‍්‍රමණය, මේ පැත්තෙ එන්න එපා! මෙහෙ මිනිසුන්ගෙන් හරී කරදරයි. අරක කන්නලූ. මේක කන්නලූ. කිසි නිදහසක් නෑ.”
කුමරා දුටු පමණින් පසේබුදුවරයන් වහන්සේ කරුණු තේරුම් ගත්තා. හුදෙකලාවේම ජීවිතය අවබෝධ කරන වාසනාව මොහු තුළ ඇති බව හඳුනාගත්තා. එනිසාම කුමරා කියූ වදන් ඇසූ සැණින් උන්වහන්සේ ඉදිරියට නොගොස් පෙරළා ආපසු වැඩියා. කුමාරයාට මෙය මහත් ප‍්‍රහේලිකාවක් වුණා.

“අනේ…. ශ‍්‍රමණයන් වහන්සේ නැවතුණා. ආපසු හැරිලා වැඩියා. එහෙම වුණේ මා කියූ දෙයට උන්වහන්සේගේ සිත රිදුණා වත්ද? මා සමඟ අමනාප වුණා වත්ද? තරහා ගත්තා වත්ද?”

පිරිවර ජනයා මෙහෙම පිළිතුරු දුන්නා.

“පින්වත් කුමරුනි, ශ‍්‍රමණයන් වහන්සේ ඔය වගේ සුළු කතාවකින් විතරක් නොවෙයි, ඔයිට වඩා සැරට බැන්නත් හිත රිද්දා ගන්නෙ නෑ. තරහ වෙන්නෙත් නෑ. උන්වහන්සේලා අනුන් පූජා කරන දෙයින් යැපී මෙත් සිතින් නෙව වාසය කරන්නේ.”

“අනේ… එහෙම කිව්වට මට නම් සිතෙන්නේ මාගෙන් වරදක් වුණා කියලයි. මා කියූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදී ඇති බවයි මට සිතෙන්නේ.”

ඉන්පසුව කුමාරයා මව්පියන්ට සැළකර රාජ පිරිවර සමඟ බරණැස ඉසිපතනයට ගියා. එවකට ඉසිපතනයේ වැඩසිටියේ පසේබුදුවරයන් වහන්සේලාය. කුමාරයා පිරිස සමඟ ඉසිපතනයට ගිය විට ඇස් විදහා ගත් මුව පැටවුන් එහාට මෙහාට දුව පැන යන අයුරු දැක ඉතා සතුටට පත්වුණා.

“අනේ අර මුවන් නේද? උන් හරි සතුටින් නේද ඉන්නේ?”

“ඔව්, කුමාරයාණෙනි, ඒ මුවන් තමයි. උන් හරි සතුටින් ඉන්නේ.”

“එතකොට ඔය මුවන්ට ‘මේකත් කන්න, අරකත් කන්න’ කියලා වධ කරන්න කවුරුවත් නෑ?”

“අනේ කුමරුනි. මේ මුවන්ට එහෙම වධයක් නෑ. යම් තැනක කෑමට තණකොළ තියෙනවා නම්, බීමට ජලය තියෙනවා නම්, අනතුරකුත් නැත්නම්, උන් හරි නිදහසේ වාසය කරනවා. කැමති විදිහට වාසය කරනවා.”

මේ ප‍්‍රකාශයත් සමඟම කුමාරයාගේ සිත වෙනස් වෙන්න පටන් ගත්තා. නිදහසක ඇති අගය වැටහෙන්න පටන් ගත්තා. මුවෙක් මෙන් සැහැල්ලූවෙන් වසන්නට ඇත්නම් කොතරම් අගේදැයි සිතෙන්නට පටන් ගත්තා. කුමාරයා තවදුරටත් පසේබුදුවරයන් වහන්සේ වැඩසිටින තැන සොයමින් ගියා. එසේ සොයමින් යද්දී ඒ වන රුප්පා සෙවණේ සුදු වැලි අතුල මනා කොට හැමද ඇති සක්මන් මලූවක් දකින්නට ලැබුණා. ඉතා ශාන්ත වටපිටාවක් දකින්නට ලැබුණා. එහෙත් ඒ කුමාරයා සොයන ශ‍්‍රමණයන් වහන්සේ දකින්නට ලැබුණේ නෑ.

“කුමාරයාණෙනි, නිසැකවම මෙතන තමයි ඒ ශ‍්‍රමණයන් වහන්සේ ඉන්නවා ඇත්තේ. උන්වහන්සේ වඩිනකම් අපි ටිකක් ඉමු.”
“අනේ මට නම් සැකයි. මං උදේ පැවසූ දෙය නිසා උන්වහන්සේගේ සිත රිදුණා. දැන් මහා පිරිවර සේනාවක් සමඟ මං මේ පැමිණි නිසා උන්වහන්සේගේ සිත තවත් රිදෙන්න ඇති. ඒ නිසා ඔබලා මෙතන නවතින්න. මෙතනින් ඔබ්බට කවුරුත් එන්න එපා. මං තනියම උන්වහන්සේව හෙයාගෙන යනවා.”

කුමාරයා තනිවම රුක් සෙවණේ සොය සොය ගියා. සිනිදු වැලි අතුරා ඇති මාවතේ කෙනෙක් ඇවිද ගිය පියවර සටහන් තියෙනවා. ඒ පියවර සටහන් ඔස්සේ කුමරු තවත් ඈතට ගියා. කුඩා කුටියක් දැක්කා. ඒ කුටිය ළඟට ගියා. හිමිහිට දොර ඇරියා. කවුරුවත් නෑ. වටපිට බැලූවා. භාවනාව පිණිස වාඩිවෙන්නට සුදුසු ලස්සන ගල් තලාවක් තිබුණා. කුමාරයාට මෙහෙම හිතුණා.

”ඔව්! මෙතන තමයි ශ‍්‍රමණයන් වහන්සේ වැඩඉන්නවා ඇත්තේ. උන්වහන්සේ වඩින තුරු මා මේ ආසනයේ වාඩිවෙන්නට ඕන. උන්වහන්සේ මේ අසුනේ වාඩිවෙලා කල්පනා කරන්න ඇත්තේ වෙළහෙලදාම් ගැන නොවෙයි. රජකම් ගැන නොවෙයි. ජීවිතය ගැනයි. මාත් මේ ජීවිතය ගැන හිතන්න ඕන.”

කුමරා දෑස පියාගෙන භාවනා කරන්නට පටන් ගත්තා. ටිකෙන් ටික චිත්ත සමාධිය දියුණු වුණා. ධ්‍යාන සමාපත්ති ඇතිවුණා. ජීවිතය ගැන විමසන්නට සිත යොමු කරද්දී ප‍්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තා. සියල්ල අනිත්‍ය බවත්, එනිසාම අනාරක්ෂිත බවෙන් ඇතිවන බිය හටගන්නා බවත්, එයම දුක බවත්, එනිසාම තමාගේ වසඟයේ පවත්වාලිය නොහැකි බවත් අවබෝධ වුණා. හේතුඵල දහමෙන් හටගත් සියල්ලේ ආදීනව ප‍්‍රකට වුණා. අවබෝධයෙන්ම කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා.

කුමාරයා සමඟ පැමිණි පිරිවර සේනාව සෑහෙන වේලාවක් මඟ බලා සිටියා. කුමාරයා හැරී එන පාටක් නෑ. ඔවුන් ටික ටික ඇතුළට ආවා. වටපිට සොයන්න පටන් ගත්තා. එතකොට ගල් තලාවක භාවනානුයෝගීව සිටින කුමාරයාව දැකගන්නට ලැබුණා. ඔවුන් ළංවෙද්දී කුමාරයා ඇස් පිය හැර බැලූවා.

“පින්වත් කුමාරයාණෙනි, ශ‍්‍රමණයන් වහන්සේ බැහැදකින්නට අපි හෙට එමු. දැන් අපට කල් ගත වෙනවා. රජ්ජුරුවන් වහන්සේ අපගේ ප‍්‍රමාදය ගැන උදහස් වෙන්නටත් පුළුවනි. එනිසා පින්වත් කුමරුනි, අපි හෙට පැමිණ ශ‍්‍රමණයන් වහන්සේ කමා කරගනිමු. දැන් ඉතින් අපි යමු. එනිසා ඔය ගැන එච්චර හිතන්න ඕන නෑ.”

“ඒක ඇත්ත. මං ඒ ගැන කොහෙත්ම හිතන්නේ නෑ. වෙන දෙයක් ගැන සිතන්නෙත් නෑ. සිත පැටලී යන ලෝකයෙන් මං නිදහස් වෙලයි ඉන්නේ. විරාගී සිතක අසිරිය මට දැන් වැටහෙනවා.”

සේනාව පුදුමයට පත්වුණා. ඇසිපිය නොහෙළා කුමරු දෙස බලා සිටියා. ඔවුන්ට මෙය අදහා ගන්නට බෑ.

“අනේ පින්වත් කුමරුනි, මේ වචන හරි වෙනස්. මොහොතකට පෙර අප සමඟ කතා කළ කුමාරයා නොවෙයිද මේ ඉන්නේ? මෙතරම් ඉක්මනින් මේ ඇති වූ පරිවර්තනය කුමක්ද? ලෝකය සමඟ නොපැටලී ගිය සිතක් ඇති කරගැනීම ලෙහෙසි වැඩක් නොවෙයි. අප සොයා පැමිණි ශ‍්‍රමණයන් වහන්සේ අයිති වන්නේ පච්චේක බුද්ධ යන උතුමන්ටයි. ඔබත් එවැනි පච්චේකබුද්ධ කෙනෙක් බවට පත්වුණා වත්ද? ඒ පසේබුදුවරයන් වහන්සේලා ඔබ වගේ නොවෙයි. උන්වහන්සේලා කෙස් රැවුල් බාලා කසාවත් පොරවාගෙනයි ඉන්නේ.”

එතකොට කුමාරයා තමන්ගේ හිස අතගෑවා. සැණෙකින් කෙස් රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත‍්‍ර අතුරුදහන් වුණා. කසාවත් පෙරැවුණා. සියුමැලි ශ‍්‍රමණයන් වහන්සේ නමකගේ රුවක් දිස්වුණා. ඒ පසේබුදුවරයන් වහන්සේ මිහිරි ස්වරයෙන් මේ ගාථාව පැවසුවා.

මිගෝ අරඤ්ඤම්හි යථා අබද්ධෝ
යේ නිච්ඡකං ගච්ඡති ගෝචරාය
විඤ්ඤූ නරෝ සේරිතං පෙක්ඛමානෝ
ඒකෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“තොණ්ඩුවකට හසු නොවී ඉන්න මුවා නිදහසේ මයි වනයේ හැසිරෙන්නේ. තණ කොළ බුදින්නට කැමති කැමති අයුරින් ඒ සතා නිදහසේ යනවා. බුද්ධිමත් මනුෂ්‍යයා කිසිවෙකුට නොබැඳී ස්වෛරීව නිදහසේ ජීවත් වීමට මං සොයනවා නම්, මාත් දැන් ඒ වගේ කෙනෙක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴

 

ඊළඟ කථාවට පිවිසෙන්න >>>