දිවයින පුවත්පතේ පළවූ ලිපි
දේව බලය ලංකරගන්න
ජීවිතය පිළිබඳ අනේකවිධ ආකෘතීන් අප විසින් අත්දැක තිබේ. බුදු දහම මිනිසාට මඟ කියා දෙන්නේ සතර අගතියෙන් තොරව සිය ජීවිතය ගෙවන ආකාරයයි. මේ මඟ අනුව සිය ජීවිතය පවත්වාගෙන යැම සඳහා උනන්දුව ඇති කර ගැනීමේ වාසිය එලොව මෙලොව දෙකටමය. එසේ තිබියදී තවමත් අපේ සමාජය විසින් උපතින් ලැබූ මේ දායාදය, සිය දියුණුව පිණිස භාවිතා නොකරන තරමට එහි අගය වටහාගෙන ඇත. මහා දායාදයක් ඔබේ අතට පත්කිරීම සඳහා මේ මාර්ගෝපදේශය ලබාදෙන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේය.
තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න
මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොළපාරක් වගේ. සිඳීගෙන යන දොළ පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්. අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!
එක බණ පදයෙන් බුදුන් දැකීම
බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ. අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම ගිලෙනවාද…? තමන් පූරුවෙ වාසනාවකින් බුදු බණ අසන්නට හැකි අවස්‌ථාවක ලැබුණු ජන්මයෙන් ප්‍රයෝජන ගන්නවාද… ? පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ වදාරන ලද මේ දහම් පණිවිඩය ධර්මයෙන් බුදුන් දැකීම උදෙසාය.
දන් දීමෙන් දිව්‍ය සැපත්, මසුරුකමෙන් ප්‍රේත දුකත් උරුම කරගත්තෝ
අප මේ මිනිස් ලොව ගතකරන මේ ස්‌වල්ප කාලය අපේ ජීවිතයේ එක්‌තරා තීරණාත්මක පරිච්ඡේදයක්. මේ කාලයේදී තථාගතයන් වහන්සේ වදාළ සත්‍ය නො දැනීම තමයි අපට තිබෙන ලොකුම අලාභය. පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බෝසතාණන් වහන්සේ ගිය ගමන අතිශයින්ම අසාමාන්‍යයි. ඒක සාමාන්‍ය පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නොවේ. වරින් වර සතර අපායට වැටෙන ලෝකයක පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ එකක්. ඒ බුද්ධත්වය මේ ලෝකයේ ඉතාමත් සුළු පිරිසකටයි ලැබෙන්නේ.
ලේ බොන ප්‍රේතයෙක් වී දුවගේ කුසට වධ දුන් තාත්තා
වැදගත්ම දේ වෙන්නේ කුඩා දරුවන්ගේ සිත නියමාකාරයෙන් සැකසීමයි. වැඩිහිටියන් සීලය ගැන කතා කරනවා තමයි... නමුත් ඔවුන් කිසිවෙක් කතා කරන්නේ නෑ තෙරුවන ගැන.... අප සරණ ගිය බුදුරජාණන් වහන්සේව නිරන්තරයෙන් සිහිකළ යුතුයි. ඒ ශ්‍රී සද්ධර්මය නිතර සිහිකළ යුතුයි. ඒ මහ රහතන් වහන්සේලාගෙන් යුතු මාර්ගඵලලාභී සංඝරත්නය අප නිතර සිහි කළ යුතුයි. වැඩිහිටියන් ඉස්සර වෙලාම මේ තැනට එන්නට ඕන. නැතිව කුඩා දරුවන්ව හරිගස්වන්න බැහැ. වැඩිහිටියන් නිවැරදි වුණොත් කුඩා දරුවන් නියම මාර්ගයට ගැනීම ඉතාම ලේසියි.
විභාගයෙන් සමත් වන්නට පමණක් නොව අභාගයෙන් දුරුවෙන්නටත් අපේ දරුවන්ට තිසරණයෙන් මගක්…
සාමාන්‍යයෙන් ලෝකයේ අනිකුත් මිසදිටු ආගම් තමන්ගේ ශාස්තෘන් වහන්සේ සිහිකරන්න සුවිසල් මන්දිර හදනවා. අපේ බෞද්ධයන්, බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පන්සලක් හැදුවොත්, ඒකටත් බනිනවා. මෙච්චර විශාල එකක් බුදුන්ට හදන්නේ ඇයි, කියලා බනිනවා. මේ ගැරහීම ඒ අයගේ විපත්තියට හේතු වෙන්න පුළුවන්. රුවන්වැලි මහා සෑයට වඳින්න, පුදන්න කියලා, අපි කියනවා. තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියන එක හඳුනානොගත් අයට, මේකට ගරහන්න පුළුවන්.
බුදු ගුණයේ මහා බලය
බුදු ගුණයේ මහා බලය දැනගැනීම ම ජීවිතයේ එලොව මෙලොව දියුණුව පිණිස පවත්නේය. මේ කාරණය ඔබට අත්දැකීමෙන් සනාථ කරගැනීම සඳහා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පසුගිය සතියේ බුදු බලය පිළිබඳව කරුණු දක්වා සිටියහ. ඔදවත් තෙදවත් මිනිසා විසින් තනන සමාජය දිළිඳු නොවන්නේය. පරිහානිකර නොවන්නේය. සිංහල ජාතිය ඔදවත් තෙදවත් කළ හැක්කේ එහි මූලික තැනුම් ඒකකය වූ සිංහලයා ඔදවත් තෙදවත් බවට පත් කිරීමෙනි. තිසරණ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් එක් එක් පුද්ගලයා පිරුණා වේද, ජාතිය නිදිගැට හරින්නේ එතැන් සිටය.
දැනගන්න පිහිටන්න මහා බුද්ධ බලය
එදා බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට “තෝ පියා මරපු කෙනෙක්, දැන් ඒ ගැන කරන්න දෙයක් නැහැ. නිරයට යන්න ලැහැස්ති වෙලා ඉන්න” කියලා, වදාළා නම් මොකද වෙන්නේ. එතැනයි බුද්ධිමත්කම තියෙන්නේ. අද යම් කෙනෙක් ඉන්නවා නම්, පවෙන් තැවී තැවී ඉන්න කෙනෙක්, ඔහුට ඒ පව අමතක කරවලා, ධර්ම මාර්ගයට යොමු කරන එක තමයි භික්ෂූන්ගේ යුතුකම. අකුසලයට පසුතැවීම කියන එක නෙමෙයි ශාසන කාර්යය. ඒ පසුතැවීමෙන් මුදවාගෙන ධර්ම මාර්ගයට යොමු කරවීමයි ධර්මානුකූලව කළ යුතු වන්නේ.
මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි
මළුවට ඇතුළු වූ මොහොතේ සිට බුද්ධානුස්සතියේ යෙදෙන්න ඕනේ. දේවාල වැඳලා පුරුදුවෙලා තියෙන නිසා මහා සෑයත් දේවාලයක් කියලා හිතන්න නරකයි. මේ යන්නේ තමන්ගේ ශාස්තෘවරයාණන් හමුවෙන්න කියලා හිතාගෙනයි යන්න ඕනේ. හොඳින් තිසරණය මත පිහිටා, ගාථා කියලා රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමයි මුලින්ම කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය දියුණු වුණහම මහා සංඝයා විෂයෙහි දානයක් පිරිනමලා ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරනවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. එතකොට දාන, ශීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුන ම සිදු වෙනවා.
පෘථිවියේ පූජනීය ම ස්ථානයේ බලයෙන් ඔබේ ජීවිතය ජයගන්න
මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන් ම තිබිය යුත්තේ තිසරණය සරණ යෑමයි. මාර්ගඵලලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත් වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ගඵලලාභී මගේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. යම් කෙනෙක් තිසරණය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පන්සිල් පද පහ නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයට දැනෙනවා.