Mahamevnawa

එක බණ පදයෙන් බුදුන් දැකීම

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 11

බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ. අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම ගිලෙනවාද…? තමන් පූරුවෙ වාසනාවකින් බුදු බණ අසන්නට හැකි අවස්‌ථාවක ලැබුණු ජන්මයෙන් ප්‍රයෝජන ගන්නවාද… ? පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ වදාරන ලද මේ දහම් පණිවිඩය ධර්මයෙන් බුදුන් දැකීම උදෙසාය. 


සමහර අයට බුදුරජාණන් වහන්සේ ඇසුරට ලැබෙන්නේ මොහොතයි. ඒ මොහොතේදී ඔහුට බුදු ගුණ අසන්නට ලැබෙනවා. බුදු රජුන්ගේ ධර්මය හරිම අසිරිමත්. පුදුම සහගතයි. මිනිස්‌ සන්තානය තුළ ඇති සියලු ගැටලු විසඳන්න ඒ ධර්මයට පුළුවන්. මිනිස්‌ ජීවිතය මුළුමනින්ම පිරිසිදු කරන්න ඒ ධර්මයට පුළුවන්. කෙළෙස්‌ සැඩ පහරේ වේගයෙන් ගසාගෙන යන සත්වයා එයින් උඩට ඔසවා අමා මහ නිවන නම් වූ දූපත වෙත ගෙන යන්නටත් ඒ ධර්මයට පුළුවන්. ඒ ධර්මයට සමාන කරන්න පුළුවන් කිසි දෙයක්‌ ලෝකයේ නැහැ. එවැනි අසිරිමත් ධර්මයක්‌කණ වැකුණු සැණෙකින් සියලු සසර දුක්‌ නිමා කළ උදාර පුද්ගලයෙක්‌ ගැනයි දැන් ඔබ ඉගෙන ගන්නේ. 

ඉස්‌සර කාලෙ බොහෝ මිනිස්‌සු වෙළෙඳාම් පිණිස නැව්වලින් මුහුදු ගමන් යනවා. සමහර අවස්‌ථාවන්හීදී ඒ නැව් අනතුරුවලට ලක්‌වෙනවා. කුණාටුවලට හසු වෙනවා. මුහුද මැද ඒ නැව් බිඳෙනවා. මිනිසුන් ජල රකුසාට බිලිවෙනවා.

එක්‌තරා වෙළෙඳ පිරිසක්‌ නැවක නැඟී වෙළෙඳාමේ ගියා. ඒ නැව මුහුද මැද අනතුරකට බඳුන් වුණා. ඒ නැවේ එක්‌ පුරුෂයෙක්‌ හිටියා. ඔහුගේ නම බාහිය. ඔහු අමාරුවෙන් ජීවිතය ගලවාගෙන දඹදිව බටහිර වෙරළේ සුප්පාරක කියන නැව් තොටට ගොඩ වුණා. ඔහු වතුරෙන් ගොඩ එද්දී ඇඟේ නූල් පොටක්‌ තිබුණේ නෑ. නන්නාඳුනන ප්‍රදේශයක නිසා මොහු තවත් භය වුණා. කයට වස්‌ත්‍රයක්‌ සොයා ගන්න කිසිසේත්ම පිළිවෙළක්‌ නෑ. අන්තිමේදී ඔහු කළේ වියළි දර පතුරු වැල් පොටවල්වලින් පටලවා වස්‌ත්‍රයක්‌ විදියට සකස්‌කරගෙන පොරොවා ගත්තු එකයි. දැන් ආහාර ටිකක්‌ සොයාගන්න ඕන. මොහු වටපිට බලද්දී මිනිසුන් දෙවියන්ට බලි දීපු බඳුනක්‌ හම්බ වුණා. එයත් රැගෙන ගමට පිඬු සිඟා ගියා. මිනිස්‌සු පුදුම වුණා.

අම්මේ…. අප්පච්චියේ…. මේ බලන්න… මෙන්න අමුතු කෙනෙක්‌ඇවිල්ලා…. දර පතුරුවලින් කරපු අමුතු ඇඳුමක්‌ඇඳන් ඉන්නවා. දානය ඉල්ලගෙනයි ඇවිල්ලා ඉන්නේ…”

පොඩි දරුවන් මෙහෙම කියද්දී කවුරුත් මොහුට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌කුවා.

හැබෑවටම මේ නම් විශේෂ උත්තමයෙක්‌ හැඩයි…· කිසි දේකට ආසාවක්‌නෑ නෙව. පොරොවාගෙන ඉන්නේ දර පතුරුවලින් කළ වස්‌ත්‍රයක්‌… පාත්තරයට තියෙන්නේ වළං කැබැල්ලක්‌. මේ නම් රහතන් වහන්සේ නමක්‌ වෙන්න ඇති “නැත්නම් මෙවැනි නිකෙළෙස්‌ අයුරකින් ඉන්නේ කොහොමද?”

මිනිස්‌සු ගොඩාක්‌ පැහැදුණා. මොහුට ආදරයෙන් සැලකුවා. සත්කාර සම්මාන කළා. බාහිය දාරුචීරිය නමින් මොහු ප්‍රසිද්ධ වුණා. නමුත් මොහු හුදෙකලාවෙම ජීවත් වුණා. ආහාරය පිණිස කිසිවක්‌ සොයාගෙන ගමට යනවා. ඊට පස්‌සේ ගල්ලෙනට ගිහින් හුදෙකලාවේ ඉන්නවා. ටික ටික භාවනාත් කරනවා. එතකොට හිත ටිකක්‌ තැන්පත් වුණා. මොහු හිතුවා, නිකෙළෙස්‌ වුණා කියලා. එහෙම හිතාගෙන කල්ගෙව්වා.

දවසක්‌ මෙහෙම හිතුවා… “මේ ලෝකයේ රහත් මගට පිළිපන් හෝ රහත් වූ හෝ යමෙක්‌ඇත්ද, මමත් ඔවුන් අතර කෙනක්‌” කියලා.

මේ ජීවිතයේ මෙහෙම වුණාට මේ තැනැත්තා සසරේ පින් කළ කෙනෙක්‌. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මොහු පැවිදිවෙලා හිටියා. ඒ බුදු සසුනේ පැවිදි වූ භික්‌ෂූන් අශාසනික කටයුතුවල නියෑළී සිටිද්දී බුදු සසුන තේරුම් ගත් භික්‌ෂූන් සංවේගයෙන් වාසය කළා.

දවසක්‌ ඒ භික්‌ෂූන් වහන්සේලා සත් නමක්‌ මෙහෙම කතා වුණා.

දැන් කාලෙ මහණ වෙච්ච උදවිය සසර ගැන කිසි භයක්‌ නෑ. මේ උදවිය තමයි බුදු සසුන් අතුරුදන් කරන්නේ… මේ ශාසනය අතුරුදන් වෙන්න කලින් අපිවත් යම්කිසි පිහිටක්‌ සලසා ගනිමු කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් ස්‌වර්ණ චේතිය වන්දනා කොට වනගත වුණා. එක්‌තරා පර්වතයක්‌ දැකලා මෙහෙම කල්පනා කළා.

“ජීවිතයට ආශාව තියෙන අය වනාන්තරයේ නවතිත්වා! ජීවිතාශාව අත්හැර මහණදම් පුරන්න කැමැති අය මේ පර්වතයට නගිත්වා! කවුද මෙයින් දෙවැනි අදහසට එකඟ?”

එතකොට භික්‌ෂූන් වහන්සේලා ඒ අදහසට එකඟ වුණා. ඔවුන් වැල්පටවල් සොයාගෙන, දර කැබැලි බඳිමින් ඉණිමඟක්‌ සකස්‌ කරගෙන එය ඔස්‌සේ අර පර්වතයට නැග්ගා. ඊට පස්‌සේ ඉණිමඟ බිමට තල්ලු කළා. දැන් පහළට බහින්න විදියක්‌ නෑ. ඒ සඟ පිරිස අතර හිටිය සංඝ ස්‌ථවිරයන් වහන්සේ එක රැයක්‌ ඉක්‌ම යද්දී අර්හත්වයට පත් වුණා. උන්වහන්සේ ඉර්ධිබල සම්පන්න රහතන් වහන්සේ නමක්‌ වුණා. උන්වහන්සේ අනෙක්‌ භික්‌ෂූන්ට මෙහෙම කිව්වා.

“ප්‍රිය ආයුෂ්මතුනි, මං ඔබට දැහැටි දඬු ගේන්නම්. පැන් ගෙන එන්නම්. පිණ්‌ඩපාතය ගෙන එන්නම්. එය වළඳා භාවනා කරගෙන යන්න.”

“ස්‌වාමීනි, අපි එහෙම කතිකාවතක්‌ කරගත්තේ නැහැ නෙව. ඒ කියන්නේ අප අතරින් කවුරුන් හෝ පළමුව රහත් වුණොත් උන්වහන්සේ ගෙන එන පිඬු වළඳා මහණදම් පුරන්නෙමු යි කියලා අපි කතා වුණාද?”

දෙවැනි දවසේ දෙවැනි සංඝ ස්‌ථවිරයන් වහන්සේ අනාගාමී ඵලයට පත් වුණා. උන්වහන්සේටත් ඉර්ධිබල ලැබුණා. හැබැයි අනිත් ස්‌වාමීන් වහන්සේලා තම අධිෂ්ඨානය වෙනස්‌ කරගත්තේ නෑ. සෘද්ධි සම්පන්න භික්‌ෂූන් දෙනම සත්කාර කරන්න කැමැති වුණත් එයට අකැමැති වූ උන්වහන්සේලා කුසගින්නේම බණ භාවනා කරලා අපවත් වුණා. හැබැයි උන්වහන්සේලාට ඒ කාශ්‍යප බුදු සසුන තුළ මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වුණා.

පින කියන්නේ හරි පුදුම දෙයක්‌. අවංකව ධර්මයේ හැසිරීමේ විපාකය හරි අසිරිමත්. ඒ පස්‌නමම අපවත් වී දෙව්ලොවයි ඉපදුණේ. මේ ගෞතම බුදු සසුන පහළ වෙනකම්ම දෙවිවරු වශයෙන් ජීවත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ දෙව්ලොවින් චුත වී මිනිසුන් ලෙස උපත ලබා සිටියා. ඔවුන් අතර එක්‌කෙනෙක්‌ කුමාර කස්‌සප මහ රහතන් වහන්සේ. අනිත් කෙනා දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ. අනිත් කෙනා සභිය මහ රහතන් වහන්සේ. අනිත් කෙනා දහම් ඇසූ සැණින් අනාගාමී වූ පුක්‌කුසාති රජතුමා. අනිත් කෙනා මේ බාහිය දාරුචීරිය.

ඉතින් මේ බාහිය රහත් වෙන මඟ නොදැන, රහතුන් කවුදැයි නොදැන තමන් රහතන් වහන්සේ නමක්‌යෑයි සිතා සිටියා.

අතීතයේ තමා සමඟ මහණදම් පුරා අනාගාමීව බඹලොව උපන් තමන්ගේ මිත්‍ර භික්‌ෂුව මේ දාරුචීරියව හඳුනා ගත්තා. මොහුට බුදුරජාණන් වහන්සේ වෙත යැම පිණිස මග පෙන්වන්නට ඉදිරිපත් වුණා.

දවසක්‌ මොහු හුදෙකලාවේ සිටිද්දී එක්‌තරා දෙවි කෙනෙක්‌ ඉදිරියේ පෙනී සිටියා.

පින්වත් බාහිය, ඔබ රහතන් වහන්සේ නමක්‌නෙවෙයි. ඒ වගේම ඔබ රහත් වෙන මාර්ගය දන්නේ නෑ. ඒ ප්‍රතිපදාව ඔබ තුළ නෑ. ඔය වැඩපිළිවෙළ තුළ නම් ඔබට රහතන් වහන්සේ නමක්‌වෙන්න බෑ.

තමා ඉදිරියේ අහසේ පෙනී සිට තමාට උපදෙස්‌දෙන මේ දේවතාවාගේ ප්‍රකාශයෙන් බාහිය කම්පා වුණා.

“අනේ පින්වත් දෙවිය, මං රහතන් වහන්සේ නමක්‌ නෙවෙයි නම්, අනේ මට කියන්න… ලොව රහතන් වහන්සේලා ඉන්නවාද? රහත් වෙන මඟ පෙන්වා දෙන්න පුළුවන් අය ඉන්නවාද?”

“පින්වත් බාහිය, ලොව රහතන් වහන්සේලා ඉන්නවා. රහත් වෙන්න මඟ පෙන්වා දෙන්න පුළුවන් උත්තමයන් පවා ඉන්නවා.”

“අනේ පින්වත් දෙවිය, මට පිහිට වෙන්න… මමත් ඒ රහතන් වහන්සේව දකින්න ආසයි. රහත් වෙන මඟ දැනගන්න ආසයි.˜

“පින්වත් බාහිය, උතුරු ජනපද ප්‍රදේශ අතරේ සැවැත් නුවර කියලා ප්‍රසිද්ධ නගරයක්‌ තියෙනවා. අන්න ඒ නගරයේ සම්මා සම්බුද්ධත්වයට පත් අසිරිමත් රහතන් වහන්සේ නමක්‌ වැඩ ඉන්නවා. උන්වහන්සේ ඒකාන්තයෙන්ම නිකෙළෙස්‌. ඒ වගේම නිකෙළෙස්‌ බවට පත්වෙන මාර්ගය දේශනා කිරීමට උන්වහන්සේ ඒකාන්තයෙන්ම දක්‌ෂයි.”

ඒ දෙවියා නොපෙනී ගියා. බාහියගේ ජීවිතය මුළුමනින්ම වෙනස්‌වුණා.

ඔව්… තවත් බලා ඉන්න හොඳ නෑ… ජීවිතය කියන්නේ සිඳීගෙන යන දොළ පාරක්‌වගේ දෙයක්‌. කොයි වෙලාවේ අවසන් වෙයිද දන්නේ නෑ… මං මේ හුදෙකලා ජීවිතයට ඇවිල්ලා සෑහෙන කලක්‌ වුණා. දැන් ඉතින් පමාවෙන්න හොඳ නෑ. අර්හත්වයට පත්වෙන මාර්ගය පෙන්වා දෙන්න පුළුවන් සම්බුදුරජාණන් වහන්සේ නමක්‌ලොව පහළ වී සිටිද්දී මං මෙතනට වෙලා ඉන්නේ කොහොමද? මට මක්‌වේවිද? ජීවිතයට අනතුරක්‌වෙන්න කලින් ඉක්‌මනින් යා ගන්න ඕන.

බාහිය දාරුචීරිය කල් ගත්තේ නෑ. ඒ රෑම පිටත් වුණා. පා ගමනින් පිටත් වෙද්දී එක තැනක නැවතුණේ එක රැයයි. ගමනට යොදුන් එකසිය විස්‌සක්‌ තියෙනවා. එච්චර දුරක්‌කොහොම නම් පයින් යන්නද? මොහුට දෙවිවරු උදව් කළා. දේවානුභාවයෙන් මොහු කිහිප දිනකින් සැවැත් නුවරට පැමිණියා. දැන් මොහුට ඉවසිල්ලක්‌ නැහැ. බුදුරජාණන් වහන්සේ දකිනකම් ඉස්‌පාසුවක්‌ නැහැ.

මොහු ඡේතවනාරාමයට දුවගෙන ගියා. භික්‌ෂූන් වහන්සේලා සක්‌මන් කරනවා.

අනේ… මට කියන්න… ඒ ශාස්‌තෘන් වහන්සේ කොහෙද වැඩඉන්නේ….?”

පින්වත, අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ නගරයට පිණ්‌ඩපාතයේ වැඩලයි ඉන්නේ… ඔබ කොහේ ඉඳලා ආපු කෙනෙක්‌ද?

අනේ… මං ගොඩක්‌දුර ඉඳලයි ආවේ. බටහිර මුහුදු තීරයේ සුප්පාරක පටුනේ ඉඳලයි මං ආවේ…

හප්පේ… සෑහෙන දුරක්‌ නෙව. එහෙම නෙවෙයි. දැන්ම කලබල වෙන්න ඕන නෑ… පොඩ්ඩක්‌ ඇඟපත සෝදාගෙන, පාදවල වෙහෙස යනකම් තෙල්ගාලා සංසිඳවාගෙන විවේකයෙන් ඉන්න… භාග්‍යවතුන් වහන්සේ ආපහු වඩිනවා. එතකොට බැහැදකින්න පුළුවන් නෙව.

අනේ… මං මේ සිහිසන් නැතුව වගෙයි දුවගෙන ආවේ. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්‌. කොයි වෙලාවේ අහිමි වේවිද දන්නේ නෑ. මේ යොදුන් එකසිය විස්‌සම මං ආවෙ හරි භයකින්. මං හිත හිතාම හිටියේ ශාස්‌තෘන් වහන්සේ දකිනකම් මගේ ජීවිතයට අනතුරක්‌ වෙන්න එපා කියලයි. අනේ… මට ඉක්‌මනට ශාස්‌තෘන් වහන්සේ දකින්න ඕන. අනේ… මට විවේක ගන්න ඕන නෑ. කකුල් නම් රිදෙනවා තමයි. ජීවිතයේ අනතුර දිහා බලද්දී ඕක මොකක්‌ද? අනේ ස්‌වාමීනි, මං එහෙනම් යන්නම්.

මොහු සැවැත් නුවරට පිවිසුණා. සෑම තැනම භික්‌ෂූන් වහන්සේලා පිඬු සිඟා වඩිනවා. ඇහැළ මල් කළඹක්‌ විසිර ගියා වගේ හැම තැනම ලස්‌සනයි. සැදැහැවතුන් දන් පැන් පුදනවා. ශාන්ත ගමනින් වඩින රහතුන් හැම තැනම දිස්‌වෙනවා. බාහිය දාරුචීරියට ඉස්‌පාසුවක්‌ නෑ. මවුදෙන නැති වූ වසු පැටියෙක්‌ කලබල වී මවුදෙන සොයනවා වගේ මොහු මහා කලබලයකින් වටපිට බලමින් වීදියක්‌ ගානේ යනවා.

අන්න…. අර… අර… අර…. අර වඩින්නේ… ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ තමයි. ඒකාන්තයෙන්ම මට අර්හත්වයට මග කියාදෙන්න පුළුවන් ශාස්‌තෘන් වහන්සේ තමයි….

මොහු දුවගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා. දණ ගසාගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා.

ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට ධර්මය දෙසන සේක්‌වා. සුගතයන් වහන්ස, මට ධර්මය දෙසන සේක්‌වා. එය මට බොහෝ කලක්‌හිත සුව පිණිස පවතීවි.

පින්වත් බාහිය, මේ දහම් දෙසන කාලය නෙවෙයි නෙව පිඬු පිණිස නගරයට වැඩි වෙලාවයි.

අනේ ස්‌වාමීනි… මට තේරෙන්නේ නෑ. මට කිසි බඩගින්නක්‌ දැනෙන්නේ නෑ. මට ජීවිතය ගැන මහා භයක්‌ තියෙනවා…. මේ සුළු වෙලාවෙදී ඔබවහන්සේට අනතුරක්‌ වුණොත් මට බණ පදයක්‌ඇහෙන්නේ කොහොමද? මට අනතුරක්‌ වුණොත් බණ පදයක්‌අහන්නේ කොහොමද? අනේ ස්‌වාමීනි, ජීවිතය ගැන මට මහා භයක්‌ දැනෙනවා… මා කෙරෙහි අනුකම්පාවෙන් දහම් දෙසන සේක්‌වා.

භාග්‍යවතුන් වහන්සේ දෙවැනි වතාවෙත් වදාළේ දැන් බණ අසන්නට කාලය නෙවෙයි කියලයි. පිඬු සිඟා වඩිනවා කියලයි. ඔහු ඒ වතාවෙත් එයම කියා සිටියා.

තුන්වැනි වතාවෙත් බාහිය එයම කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ බාහිය දිහා බැලුවා. බාහියගේ ජීවිතය ඇතුළේ නිවන් අවබෝධ කිරීමේ කුසලතාව හොඳින් මෝරලා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරී රැස්‌කළ පින් පිරිලා තියෙනවා. සැණෙකින් ධර්මය අවබෝධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තව සුළු වෙලාවයි ජීවත් වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සිටිවනම ධර්මය දේශනා කළා.

බාහිය, දැක්‌කොත් දැකීම් මාත්‍රයකින් අවසන් වෙනවා නම්, ඇසුවොත් ඇසීම් මාත්‍රයකින් අවසන් වෙනවා නම්, නාසයට යමක්‌ දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, දිවට රසයක්‌ දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, කයට පහසක්‌ දැනුණොත් දැනීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම්, සිතට යමක්‌ සිතුණොත් සිතීම් මාත්‍රයකින් එය අවසන් වෙනවා නම් ඔබ එතන නෑ. ඔබ එතන නැත්නම්, ඔබ එතැනින් පිටතත් නෑ. ඔබ ඒ අතරත් නෑ. ඔබ ඒ අතරත් නැත්නම්, ඔබ මෙලොවත් නෑ. වෙන ලොවකත් නෑ. ඔබ මේ සියලු දෙයින් නිදහස්‌වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය නම් අතිශයින්ම ආශ්චර්යයි· උන්වහන්සේ දේශනා කළ ඒ හැම වචනයක්‌ම බාහියට අවබෝධ වුණා. පරිපූර්ණ වශයෙන් අවබෝධ වුණා. ඒ මොහොතේම ඔහු අර්හත්වයට පත් වුණා. බාහිය වැඳ වැටුණා.

ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මටත් මේ බුදු සසුනේ පැවිදි බව ලබාදෙන සේක්‌වා·

පින්වත් බාහිය, පැවිදි වීම පිණිස ඔබට පාත්‍රා සිවුරු තියෙනවාද?·

ස්‌වාමීනි, මං එහෙනම් පාත්‍රා සිවුරු සොයාගෙන එන්නම්, කියලා බාහිය දාරුචීරිය රහතන් වහන්සේ පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වැඩියා.

බාහිය දාරුචීරිය රහතන් වහන්සේට වැඩි දුරක්‌ යන්න ලැබුණේ නෑ. යක්‌ෂාවේශ වූ එක්‌තරා ගවදෙනක්‌ උන්වහන්සේ පිටුපසින් වේගයෙන් දුවගෙන ඇවිත් ඇනගෙන ගියා. උන්වහන්සේ එතනම වැටුණා. සසරේ සියලු දුක්‌නිමා කොට පිරිනිවන් පෑවා.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර