බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව ඇති උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම හරහා ගලා යන නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක හිමියන්ගේ මූලිකත්වයෙනි. කඨින චීවර පූජාවේ ප්‍රධාන දායකත්වය ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සහ පුෂ්පරාණි කරුණාරත්න මහත්මිය විසින් දරනු ලැබූහ.

මෙයට ම සමගාමී ව නොවැම්බර් මස 12 වනදා ස්වාමීන් වහන්සේලා 200 නමකට දහවල දානය පූජා කරන්නට යෙදුණේ බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රම භූමියේ දී ය. එහි දී සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වටිනා පරිෂ්කාර පූජාවන් ද සිදු කෙරිණි. ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා මහානායක හිමියන්ට කඨින චීවරය පූජා කර සඟසතු කළේය. එදින ම බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමය මගින් මෙහෙයවන දහම් පාසලේ අධ්‍යාපනය ලබන ඉන්දියානු දරුවන් 500 දෙනෙකු හට පාසල් උපකරණ සහ ඇඳුම් ප‍්‍රදානයක්ද සිදු කැරිණි.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ දෙස් විදෙස් ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසින් දීපව්‍යාප්තව ද රටවල් ගණනාවක ද බිහි කෙරුණු මහමෙව්නාව භාවනා අසපු අතරට බුද්ධගයාවේ බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමය එක් වූයේ මින් වසර 9කට පෙර 2007 වසරේ දී ය. 2015 වසරේ දී එම අසපුවේ එතෙක් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරමින් ඉන්දියාව තුළ ධර්ම ප‍්‍රචාරය පිණිස අපමණ මෙහෙවරක් ඉටු කළ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ පසුව උන්වහන්සේ උදෙසා සිදු කෙරෙන පුණ්‍යානුමෝදනාවක් ලෙසින් වාර්ෂික කඨින චීවර පූජාව ඉතා ඉහළින් සිදු කරන්නට කටයුතු යෙදිණි. මේ වසරේද ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදු කෙරුණේ දෙවැනි වරටයි.

පසුගිය වසරේ දී මෙන් ම මෙම වසරේ දී ද බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමයේ මෙම පින්කමට සමගාමී ව පසුගිය නොවැම්බර් 11 වැනිදා වජිරාසන භූමියේ භාවනාවේ යෙදෙමින් වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලා 300 නමක් විෂයෙහි පිණ්ඩපාත දානය ද පූජා කැරිණි. පින්කමට සහභාගී වූ සැදැහැවත් පිරිස වජිරාසන භුමියේ දී අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූහ. වජිරාසන පිළිම වහන්සේ උදෙසා මැණික් ගල් ඇල්වූ සිවුරක් පූජා කිරීම ද මෙදින සිදු වූ අතර වජිරාසන භූමියේ පහන් දල්වා සොඳුරු ආලෝක පූජාවක් ද සිදු කැරිණි. කඨින චීවර පූජාව සිදු කෙරුණු දින රාත‍්‍රියේ දී බුද්ධග්‍යාන් භාවනාශ‍්‍රමයේ දහම් පාසැල් දරු දැරියන් විසින් පාලි සහ හින්දි පිරිත් සජ්ඣායනාවක් ද පවත්වන ලදී. ඉතා මධුර ස්වරයෙන් පැවැත්වූ එම සජ්ඣායනා ශ‍්‍රවණය කළ බොහෝ සැදැහැවත්හු එම දරු දැරියන්ට ත්‍යාග පිරිනැමූහ.

රැස් වූ සියලු පින් සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා!

Related News >> http://www.lankadeepa.lk/index.php/top_story/481049

ඡායාරූප එකතුව 1
ඡායාරූප එකතුව 2
ඡායාරූප එකතුව 3
ඡායාරූප එකතුව 4