Moon

තවත් පමා නොවී මේ දැන්ම බුද්ධානුස්සතිය වඩන්න

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 12

බුදු ගුණයේ මහා බලයෙන් සියලු යහපත උදා කරගත හැකි වාසනාවන්ත කාලයක වාසනාවන්ත දේශයක අප ඉපදී සිටියත් ඔහේ උපන් වාරේ සිටින සමහරු ඒ වාසනාව ළඟ ළඟම ගැවසි ගැවසී සිටියත් එය ග්‍රහණය කර ගැනීමට සමත් වී නැහැ. අනන්ත සසර පුරා සැරි සරා තව තවත් ඒ දුකේම ගිලෙනවාද…? තමන් පූරුවෙ වාසනාවකින් බුදු බණ අසන්නට හැකි අවස්ථාවක ලැබුණු ජන්මයෙන් ප්‍රයෝජන ගන්නවාද… ? පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ වදාරන ලද මේ දහම් පණිවිඩය ධර්මයෙන් බුදුන් දැකීම උදෙසාය.

මෙම ලිපියේ මුල් කොටස පසුගිය සතියේ පල විය…

බුදුරජාණන් වහන්සේට මේ බාහිය දාරුචීරියගේ හදිසි අනතුර ගැන සැළවුණා. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාත් සමඟ ඒ ස්ථානයට වැඩම කළා. බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ මෘත ශරීරය කසළ ගොඩක් අසල මුණින් අතට පෙරළී තිබුණා.

“පින්වත් මහණෙනි, මේ සිරුර ඇඳකට නංවා ගන්න. නගරයෙන් බැහැරට ගෙන ගොස් ආදාහනය කරන්න. ඒ අළු තැන්පත් කොට ස්ථූපයක් හදන්න.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ මෘත ශරීරය රැගෙන ගොස් ආදාහනය කළා. කුඩා ස්ථූපයක් තැනුවා. මල් පූජා කළා. බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඒ බාහිය දාරුචීරිය සැවැත් නුවරට අමුත්තෙක්. අද තමයි එයා මෙහෙ ආවේ. සමහරු දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ සමග සුළු වෙලාවක් මොහු කතා කළ බව. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔහු ඉපදී සිටින්නේ කොහේද?”

“පින්වත් මහණෙනි, ඒ සිරුර මාගේ ළය මඬලින් උපන් ශ්‍රාවක පුත්‍රයෙකුටයි අයිති වුණේ. පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය කුලපුත්‍රයා ධර්මය සොයාගෙන ඇවිත් මාව වෙහෙසට පත් කළේ නෑ. සැණෙකින් ධර්මය අවබෝධ කළා. පින්වත් මහණෙනි, මේ බාහිය දාරුචීරිය තමයි, වහා ධර්මාවබෝධය කළ මාගේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ.”

භික්ෂූන් වහන්සේලා පුදුමයට පත් වුණා. “අද උදේ තමයි මොහු ඉතා දුර බැහැර සිට සැවැත්නුවරට ආවේ. හරි පුදුමයි. කොයි වෙලාවෙද මොහු බණ ඇහුවේ…? අපි දැක්කේ නෑ…. හැබැයි සමහර භික්ෂූන් දැක තියෙනවා, මොහු පාරේ වඩින භාග්‍යවතුන් වහන්සේ ළඟ වැඳවැටී සුළු මොහොතක් කතා කරන අයුරු. එතකොට ඒ සුළු වෙලාවෙදී අර්හත්වයට පත්වීමට තරම් ධර්මයක් කොහොමද මොහු ඇහුවේ?”

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

“සහස්සම්පි චේ ගාථා – අනත්ථපදසංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මති

දහසක් ගාථා කිව්වත් හැඩකොට – පලයක් නැහැ එහි අරුතක් නැතිවිට
යම් ගාථාවක් මැනවින් ඇසුවිට – අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා විට එලෙසට – උතුම්ය එක් ගාථාවක් එම විට”

මිනිස් ජීවිතය කියන්නෙ ගලාගෙන යන දොළපාරක් වගේ. සිඳීගෙන යන දොළ පාරක් වගේ. මේ මිනිස් ජීවිතය අහිමි වෙන්න ඉස්සර වෙලා මිනිසත් බවත් එක්කම ඔබ ලැබූ බුද්ධිමත් භාවය ඔබට දියුණු කරගන්න පුළුවන් දුර්ලභ වාසනාවක් මේ බුද්ධානුස්සති භාවනාව තුළින් ඔබට ඇති කරගන්න පුළුවන්.

බුද්ධානුස්සති භාවනාව

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙළෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුණු සේක. සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.

බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලුන සේක, නොගැටුණ සේක, මුලා නොවුණ සේක, ආශාව දුරු කළ සේක. කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුණ සේක, නොගැටුණ සේක, මුළා නොවුණ සේක, ආසාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුණ සේක, නොගැටුණ සේක, මුළා නොවුන සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුණ සේක, නොගැටුණ සේක, මුළා නොවුණ සේක, ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුණ සේක, නොගැටුණ සේක, මුළා නොවුණ සේක, ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුණ සේක, නොගැටුණ සේක, මුළා නොවුණ සේක, ආශාව දුරු කළ සේක. බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, අරහං වන සේක, අරහං වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ, දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ සේක. ප්‍රහාණය කළ යුතු වූ දුක හටගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළ සේක. සාක්ෂාත් කළ යුතු වූ, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළ සේක. ප්‍රගුණ කළ යුතු වූ, දුක නැතිවීමේ මග නම් වූ ආර්ය සත්‍යය, ගුරු උපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළ සේක.

මේ චතුරාර්ය සත්‍යය ධර්මයන්, සත්‍යඤාණ වශයෙන්ද, කෘත්‍ය ඤාණ වශයෙන්ද, කෘත ඤාණ වශයෙන්ද, පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළසකින් යුතුව ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීමද පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවීමද ජලයේ සක්මන් කිරීමද සියල්ල විනිවිද නොපෙනී ගමන් කිරීම ආදී අනන්ත ප්‍රාතිහාර්යයන්ගෙන් යුතු ඍද්ධිවිධ ඤාණය ලබා ගත් සේක. දුර තිබෙන රූපයන්ද ළඟ තිබෙන රූපයන්ද දැකීමේ හැකියාව වූ දිබ්බචක්ඛු ඤාණය ලබාගත් සේක. දුර තිබෙන ශබ්දයන්ද ළඟ තිබෙන ශබ්දයන්ද ඇසීමේ හැකියාව වූ දිබ්බසෝත ඤාණය ලබා ගත් සේක. සියලු ලෝක සත්වයන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් සේක. සියලු ලෝක සත්වයන් උපදින ආකාරයද කර්මානුරූපව චුත වන ආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඤාණය ලබාගත් සේක. සියලු ආශ්‍රවයන් මුළුමනින්ම නැති කොට ඤාණාලෝකය උපදවාගෙන ආසවඛ්‍යය ඤාණය ලබා ගත් සේක.

මෙසේ අනන්ත ඤාණයෙන්ද අනන්ත සීලයෙන්ද අනන්ත සමාධියෙන් ද අනන්ත ගුණයෙන් ද සමන්විත නිසා බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග සොයාගෙන සුන්දර නිවනට වැඩම කළ නිසා සුගත වන සේක, සුගත වන සේක, සුගත වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද සියලු දිව්‍ය ලෝකද මේ මිනිස් ලෝකයද සියලු ප්‍රේත ලෝකයද සතර අපාය ආදී මේ සියලු ලෝකයන් අවබෝධ කොටගෙන සියලු ලෝක වලින් නිදහස් වූ නිසා ලෝකවිදූ වන සේක, ලෝකවිදූ වන සේක, ලෝක විදූ වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්යයෙන්ද, අනුන්ගේ සිත් දකිමින් දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යයෙන්ද, අනුශාසනා ප්‍රාතිහාර්යයෙන්ද අකීකරු දෙව් මිනිසුන් දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක, අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ට ද, නුවණැති මිනිසුන්ට ද සසර කතරින් එතෙර වීම පිණිස මාර්ගය පෙන්වා වදාළ නිසා සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍යය ධර්මයන් අන්‍යයන්ටද අවබෝධ කරගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක, බුද්ධ වන සේක. බුද්ධ වන සේක.

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ, මේ සියලු සම්බුදු ගුණ දරාගැනීමට තරම් භාග්‍යය ඇති සේක. හිරු සඳු එළිය පරදවන අනන්ත ආලෝකය ඇති ප්‍රඥාලෝකය දරාගැනීමට තරම් භාග්‍යය ඇති සේක. මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඬලක් දරා වැඩසිටීමට තරම් භාග්‍යය ඇති සේක. භාග්‍යය ඇති සේක. භාග්‍යය ඇති සේක. බුදුරජාණන් වහන්සේ භගවා වන සේක, භගවා වන සේක, භගවා වන සේක.

බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි…

අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර