පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-12-31 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් වෙනුවෙන් සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපිට කුමක්දෝ අපේම දෝසෙකට මෙහේ සිරගත වෙන්න වුනා. හැබැයි කුමක්දෝ පිනකට අපට ධර්මය ලැබෙන තැනත් මෙතනයි. ඔබ සමහර විට ගෙදර උන්නා නම් කවදාවත් අත්දෙක උස්සලා බුදුන් වදින එකක් නෑ. ඔබ සමහර විට ගෙදර උන්නා නම් කවදාවත් මේවගේ වාඩිවෙලා නිස්කලංකව බණ අහන එකක් නෑ. ඒ නිසා මොකක්දෝ පිනක් ඔබට පහල වුනා. එතකොට මේ හරියට උනුවතුරෙන් නෙළුම් මලක් පිපුනා වගෙයි. ඔබට මතක හිටින්න මම කරුණු දෙකක් තුනක් කියා දෙන්නම් ඒක අමතක කරන්න එපා.

බුදුරජාණන් වහන්සේ වදාළා මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි කියලා. ඒ වගේම බුදු කෙනෙකුන් පහළ වීම දුර්ලභයි. සද්ධර්මය අහන්ට ලැබීම දුර්ලභයි. එතකොට අපට මේ දුර්ලභය ලංවෙලා තියෙද්දි මේ මොකක්ද වුනේ? දුර්ලභ කරුණු ලංවෙලා තිබෙන බව අපිට කවදාවත් පුංචි කාළේ අපේ හිතට අපේ වැඩිහිටියෝ දැම්මේ නෑ. අපේ යාළු මිත්‍රයෝ අපට කිව්වේ නෑ දුර්ලභ මනුස්ස ජීවිතයක් උඹට ලැබිලා බුදු කෙනෙක් පහල වීම දුර්ලභයි ඒ අවස්ථාවේ උඹ ඉන්නේ, උඹට බණ අහන්න ලැබෙනවා කියලා කිව්වේ නෑ. හැබැයි ඒ නොකිව් දේ දැන් ඔබට ලැබුනා. ඒ වගේම පින්වත්නි අපට ලැබෙන්න ඕන දෙයක් තමයි රැකවරණය. ඒ රැකවරණය ඔබට ලැබෙන විදිය මං ඔබට කියන්නම්….