පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-03-17 වන දින පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කමේ දී සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ බෝධීන් වහන්සේගේ මුල් නම ඇසතු. අපේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාවෙන් තුසිත දිව්‍ය ලෝකේ වැඩ ඉද්දි දෙවියන්ගේ ආරාධනාවෙන් තමයි මනුස්ස ලොකේ ඉන්දියාවේ කපිලවස්තු නගරයේ මහාමායා බිසොවුන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගත්තේ. අන්න එදා, අපේ භාග්‍යවතුන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න දවසේ තමයි දඹදිව නේරංජනා නදිය අභියස බෝධීන් වහන්සේට උවමනා පරිසරය හැදුනේ. ලුම්බිණී සල්වනයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ උපන්න දවසේ බෝධීන් වහන්සේගේ අංකුරය ඇද්දා උඩට. බොධීන් වහන්සේ පැලවුනේ එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සිද්ධ වුන දවසේ තමයි බෝධීන් වහන්සේ පැලවුනේ. එතකොට අපේ බුදුරජාණන් වහනසේ වයස විසි නමය වෙද්දි ජීවිතය ගැන හොදටම කළකිරිලා මේ සත්වයා මැරෙනවා ඉපදෙනවා, මැරෙනවා ඉපදෙනවා මේකේ අවසානයක් නෑ. මේකේ අවසානයක් දැකගන්නේ කොහොමද කියන අදහසින් මේ ජරා මරණ වලට ගොදුරු වෙලා, රෝග පීඩා වලට ගොදුරු වෙලා අසරණ වෙලා ඉන්න සත්වයාව මේකෙන් මුඳවන්නේ කෝහොමද කියන අදහසින් එක්තරා රාත්‍රියක කපිල වස්තු නුවර නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙලා ගියා. ඒ වයස විසි නමයේදී. එතකොට උන්වහන්සේ වයස තිස් පහක් වෙනකම් සෑහෙන්න දුක් වින්ඳා. හරි මඟක් සොයාගන් පිළිවෙලක් නැතුව.

හොයන නිවණ මේකයි කියලා කියන්න නම් පිරිස හිටියා. ආළාරකාලාම කිව්වා ශ්‍රමණ ගෞතමය ඔබ සොයන නිවන මේකයි කියලා. මහ නුවණින් යුතුව අප බෝසතාණන් වහන්සේට අවබෝධ වුනා ඒ නිවණ නොවේ කියලා. ඊලගට හම්බ වුනා උද්දකරාමපුත්ත. උද්දකරාමපුත්ත කිව්වා ඔබ සොයන නිවන මෙයයි කියලා. අද කොච්චර නම් සංඝයා, මිනිස්සු කියනවද ඔබ සොයන නිවන් මග මේකයි කියලා. ඒවගේ ඒ කාලෙත් තිබුණා. ඔබ සොයන නිවන මෙයයි කියලා උද්දකාරමපුත්තත් කිව්වා. එතකොට මහාබෝසතාණන් වහන්සේ කල්පනා කළා නෑ මේක වෙන්න බෑ කියලා. ඊටපස්සේ උන්වහන්සේ තීරණය කළා තනියම මම මේක සොයගන්ට ඕනෑ, මම මේ සංසාර දුකින් අත්මිඳෙන පිළිවෙල සොයාගන්න ඕනෑ කියලා. නේරංජනා නඳිය අසබඩ, උරුවෙල ගම්මානයේ හරියට දුක් වින්ඳා. ඒ කාළේ විශ්වාසේ තිබුණේ, තෘශ්ණාව නැති වෙන්න නම් දුකම විඳින්න ඕන කියලා. දුක විඳින්න විඳින්න එපා වෙලා අතාරිනවා කියලා. ඒ මතය අනුව තමයි තමන්ගේ ශරීරයට දුක් දෙන තපස් ක්‍රම බිහිවුනේ…….