පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-05-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී පුණ්ණමා සූත්‍රය සහ ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

මෙහි පළමු දේශනාවෙන් විස්තර වන්නේ සංයුත්ත නිකාය 3 වන කොටසට අයත් පුණ්ණමා සූත්‍රයයි. පුන් සඳ පායා ඇති රැයක භික්ෂු සංඝයා සමග එළිමහනේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේගෙන් පංච උපාදානස්කන්ධය අරබයා එක් භික්ෂුවක් විසින් විමසන ලද පැනයන්ට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු මෙහි ඇතුලත් වේ. එම භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ විමසන ලද පැනයන් මෙසේ ය.

“ස්වාමීනි, මේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ කුමක් මුල්වෙලාද?”

“ස්වාමීනි, උපාදානය බවට පත්වෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයමද? එහෙම නැත්නම් උපාදානය බවට පත්වෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර වූ දෙයක්ද?”

“ස්වාමීනි, පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇති ඡන්දරාගයේ වෙනස්කම් තියෙනවාද?”

“ස්වාමීනි, ස්කන්ධවලට ඔය ස්කන්ධ කියන නම ලැබුණේ කවර පදනමක් මතද?”

“ස්වාමීනි, රූප ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? වේදනා ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? සඤ්ඤා ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? සංස්කාර ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද? විඤ්ඤාණ ස්කන්ධය කියා දෙයක් ව්‍යවහාරයට ආවේ කවර හේතුවක් නිසාද? කවර කරුණක් නිසාද?”

“ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇතිවෙන්නේ කොහොමද?”

“ස්වාමීනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද?”

“ස්වාමීනි, රූපයෙහි ඇති ආශ්වාදය කුමක්ද? ආදීනය කුමක්ද? නිස්සරණය කුමක්ද? වේදනාවෙහි ඇති ….(පෙ)…. සඤ්ඤාවෙහි ඇති ….(පෙ)…. සංස්කාරවල ඇති ….(පෙ)…. විඤ්ඤාණයෙහි ඇති ආශ්වාදය කුමක්ද? ආදීනය කුමක්ද? නිස්සරණය කුමක්ද?”

“ස්වාමීනි, මොන විදිහට අවබෝධ කරගන්නා විට ද, මොන විදිහට දකිනා විට ද, මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් මම ය, මාගේ ය යන දෘෂ්ටියෙහි බැස තිබෙන මාන අනුසය ඇති නොවන්නේ?”

මෙහි ඇතුලත්වන දෙවන ඛජ්ජනීය සූත්‍රයෙන් විස්තර වන්නේ ශ්‍රාවකයා පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණින් විමසිය යුතු ආකාරයයි.