පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-12-04 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ඨාන සූත්‍රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව සහ මහා ගෝවින්ද සූත්‍රයෙහි ඇතුලත් සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාව

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ දහම් වැඩසටහනේදී අපි ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බොහෝම සරල විදිහට මුල ඉඳලා කියා දුන්නා. පටිච්ච සමුප්පාද ධර්මය බොහෝම සරල ආකාරයෙන් අපි ඔබට කියා දුන්නා. ඒ වගේම පංච උපාදානස්කන්ධය ගැනත් බොහොම සරල ආකාරයෙන් කියාදුන්නා. දැන් මං හිතන්නේ බොහෝ දෙනෙකුට පටිච්ච සමුප්පාදය ගැනත් පංච උපාදානස්කන්ධය ගැනත් සාමාන්‍ය දැනීමක් ඇතිකරගන්ට පුළුවන්කම තියෙනවා. මේ ධර්ම ඥානය හරි විදිහට තමන් තුළ පිහිටන්ට නම් ඒකට උවමනා කරන මූලික දෙයක් තියෙනවා. ඒ දේ තමයි සරණ. ඒ කිව්වේ තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව මතක තිබීම. ධර්මය සරණ ගිය බව මතක තිබීම. ශ්‍රාවක සංඝයා සරණ ගිය බව මතක තිබීම.

ඒ මතකයෙන් බැහැර වෙච්ච දැනුම තමන්ට ආඩම්බරකමක් සපයයි. අන් අයට වඩා තමන්ට දැනුමක් තියෙනවා කියලා උඩඟු සිතක් පහළ කරලා දෙයි. තමාත් දැන් යමක් කමක් දන්න කෙනෙක් ය කියලා තමන්ට හිතෙයි. ඊට එහා දෙයක් නෑ. ඊට එහා දෙයක් තමන්ට ලැබෙන්න නම් නිතරම තමන්ට සිහිවෙලා තියෙන්න ඕනෙ සරණ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව, ධර්මය සරණ ගිය බව, ශ්‍රාවක සංඝයා සරණ ගිය බව, සීලයක පිහිටි බව. ඔය මූලික ම සරණටයි සීලයටයි කියන්නේ සෝතාපත්ති අංග සමාදන් වෙනවා කියලා. ධර්මය හරියට වැටහෙන්න ගත්තොත් පිහිටන්නේ ම ඒ සරණෙමයි.