ළඟ ගුණය ‘සුගත.’ සුගත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම නිසා, නිවන අවබෝධ වීමට කියන නමක්. ඔන්න ගෙදරක ළමයෙක් ඉන්නවා. මේ ළමයා නරක යාළුවෝ ටිකක් එක්ක ක්ලබ් ගානේ ගිහින් ? වෙලා එනවා කියමු. දෙමව්පියෝ කියයි “පුතා ඔයා ඔය යන පාර නම් හොඳ නෑ” කියලා. එතැන ‘පාර’ කියලා කිව්වේ එයාගේ වැඩපිළිවෙලටනේ. ඔන්න කෙනෙක් බොහෝම හොඳට ජීවත් වෙනවා. එතකොට අපි කියනවා “ඔයා හොඳ ගමනක් යන කෙනෙක්” කියලා. එතැනත් ගමන කියලා කිව්වේ එයා ජීවත්වෙන පිළිවෙලට. මේකෙත් තියෙන්නේ ඒ අර්ථය.

සුගත කියලා කිව්වේ ‘සුන්දර ගමනක් ගිය’ කියන අර්ථයෙන්. සුන්දර ගමන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගෙන නිවන කරා වැඩම කළා කියන අර්ථය තමයි ‘සුගත’ කියන එකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කළ නිසා ‘සුගත’ කියලා කියනවා. අපේ ශාස්තෘන් වහන්සේ ‘සුගත’ ගුණයෙන් යුතු බව අපි අවබෝධ කරගන්න ඕන.

ඊළඟ එක ‘ලෝකවිදූ.’ ‘විදූ’ කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත් කියන අර්ථයෙන්. ‘ලෝකවිදූ’ කියන්නේ සියලු ලෝකයන් අවබෝධ කරගත් කියන අර්ථයෙන්. බුදුරජාණන් වහන්සේ භෞතික ලෝක විතරක් නෙවෙයි, සත්ව ලෝකත් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී මේ පෘථිවිය හැදෙන හැටි පිළිබඳව විස්මිත කරුණු දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කළා, පෘථිවිය විනාශ වෙද්දී සත්වයන් ආලෝක බවට පත්වෙනවා කියලා. ඒකෙ තේරුම තමයි, සත්වයන් නැති වෙන්නේ නෑ. කර්මානුරූපව මොන විදිහකින් හරි පවතිනවා. කාලයක් ගියහම නැවතත් මේ ලෝකය හැදෙනවා. ඊට පස්සේ අර ආලෝක බවට පත්වූ සත්වයන් නැවතත් මේ ලෝකයට පාත් වෙනවා. පාත් වෙලා නිල් ආකාසේ ඉන්නවා.

එළකිරි උණුකරලා දුම් දදා තිබිලා නිවෙන්න තිබ්බාම කිරෙන් උඩ යොදයක් හැදෙනවනේ. එ් වගේ මේ පෘථිවියෙත් යොදයක් හැදෙනවා. මේ යොදයෙන් ඉමිහිරි සුවඳක් එනවා. (මේ කියන්නේ පෘථිවියේ එක්තරා අවස්ථාවක්) ඒ යොදයේ තියෙන්නේ මී පැණි වගේ රහක්. පෘථිවිය ආශ‍්‍රයෙන් ආකාසේ ඉන්න මේගොල්ලන්ට මේ සුවඳ දැනෙනවා. එයින් එක්කෙනෙක් ආයාසයකින්, උත්සාහයක් අරගෙන මේ යොදය ඇඟිල්ලේ ගාලා දිවේ ගාගෙන “ෂා… රස…” කියලා කියනවා. එතකොට අනිත් අයට ‘මොකක්ද මේ..?’ කියලා දැනගන්න උනන්දුවක් ඇතිවෙනවා. අපට වුණත් එහෙමනේ. අපි ඔක්කොම ඉන්න තැනකට අපි නොදැකපු, නොකාපු දෙයක් ගෙනල්ලා “ෂා… රස….” කියලා කිව්වොත් අපටත් ‘ඒක බලන්න ඇත්නම්…’ කියලා හිතෙනවානේ.

අද කාලේ නම් පොසිල වලින්නේ එක එක කතන්දර හදන්නේ. නමුත් මේ බලන්න, ලෝකය ගැන කවුරුවත් දන්නේ නැති විස්තර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපූරුව. මෙහෙම දිව ගාලා රස කියපු නිසාලු මේ වර්තමාන මනුෂ්‍යයා රසවත් කෑමක් හම්බවුණාම ඉස්සෙල්ලා චුට්ටක් රස බලලා “ෂා…. හරි අගෙයි” කියලා කියන්නේ. ඒක අපි ඒ වගේ තත්වවලට පත්වෙලා ආපු පුරුද්දලු.

මේ වගේ බුදුරජාණන් වහන්සේ ලෝක ගැන විස්මිත කාරණා පෙන්වා දෙනවා. දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා,

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේ නමක් මේ සහස්සී ලෝක ධාතුවට ඇහෙන්න කතා කරලා තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.”

“ඔව්, මං එහෙම කිව්වා තමයි.”

“අනේ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේට ලෝක කීයකට ඇහෙන්න කතා කරන්න පුළුවන්ද?”

“ආනන්දය, තථාගතයන් වහන්සේලාගේ කුසලතාවය මනින්න බැහැ”

ආනන්ද ස්වාමීන් වහන්සේ දෙවැනි වතාවෙත් ඒ කාරණයම අසා සිටියා. ඒ වතාවෙත් බුදුරජාණන් වහන්සේ “මනින්න බෑ” කිව්වා. තුන්වැනි වතාවෙත් අහනකොට ලස්සන කතාවක් කිව්වා.

“ආනන්දය, හිරු සඳු එළිය කරන මේ ලෝකය තියෙනවනේ. මේ වගේ ලෝක දාහක් එකතු වුණාම ඒකට ‘චූළනිකා සහස්සී ලෝක ධාතුව’ කියලා කියනවා. ඒ දාහ වගේ ඒවා දාහක් එකතු වුණාම ‘මජ්ඣිමා සහස්සී ලෝක ධාතුව.’ ඒ වගේ ඒවා දාහක් ‘තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව. ආනන්දය, තථාගතයන් වහන්සේට ඕන නම් මේ ඔක්කොම ලෝකවලට ඇහෙන්න කතා කරන්න පුළුවන්. ඒ ලෝකවලින් එහාට වුණත් ඇහෙන්න කතාකරන්න පුළුවන්.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කොහොමද ඕක කරන්නේ? කොහොමද මේ ලෝකවලට කතා කරන්නේ?”

මීට අවුරුදු 2600 කට කලින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බලන්න. බුදුරජාණන් වහන්සේ වදාළා,

“ආනන්දය, මම ඉස්සෙල්ලාම ඒ ලෝකවලට යවන්නේ ආලෝකය. (අපට ඒක නම් පොඞ්ඩක් තේරෙනවා) ආලෝකය යැව්වට පස්සේ ඒ ආලෝකය යවපු දිශාවට ඒ අය යොමු වෙනවා. ඊට පස්සේ මම ශබ්දය යවනවා.” අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ‘ලෝකවිදූ’ වන සේක.

බුදුරජාණන් වහන්සේ නිරය, තිරිසන් අපාය, පේ‍්‍රත ලෝකය ආදී ලෝක ගැන තවත් ලස්සන උපමාවක් දේශනා කළා. උපමාව තමයි, ඔන්න කෙනෙක් කාන්තාර මාර්ගයක ගමන් කරනවා. හැබැයි, ඒ පාර වැටිලා තියෙන්නේ ගිනිඅඟුරු වලකට. මේක නුවණැති කෙනෙක් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා කල්පනා කරනවා ‘අනේ මේ පුද්ගලයා යන පාර නම් හරි අමුතු පාරක්. මෙයා මේ යන පාර වැටිලා තියෙන්නේ ගිනිඅඟුරු වලකට. මෙයා මේ පාරේ ගියොත් ගිනිඅඟුරු වලේ තමයි නතර වෙන්නේ.’ එයාට පස්සේ කාලෙක දකින්න ලැබෙනවා, මෙයා ඒ පාරේ ගිහිල්ලා ගිනිඅඟුරු වලේ වැටිලා ඉන්නවා.

ඒ වගේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන් දිහා බලද්දී උන්වහන්සේට මේ මනුෂ්‍යයන්ව පේනවා. ‘මෙයා මේ ක්‍රියාවල් කරමින් ඉන්නේ. මෙයා මේ විදිහට වචන කතා කර කර ඉන්නේ. මෙයා මේ විදිහට හිත හිත ඉන්නේ. මෙයා මේ යන මාර්ගයේ ගියොත් නිරයේ උපදිනවා’ කියලා. ඒ විදිහට එයා නිරයේ ඉපදිලා දුක් විඳ විඳ ඉන්නවා උන්වහන්සේට පස්සේ කාලෙකදී දකින්න ලැබෙනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කරනවා. ඔන්න මනුෂ්‍යයෙක් පාරක යනවා. ඒ පාර වැටිලා තියෙන්නේ අසූචි වලකට. ඒ පාර ඉවර වෙන්නේ අසූචි වලකින්. ඉතින් ඈත ඉඳලා කෙනෙක් මේක බලාගෙන ඉඳලා “අනේ මේ මනුෂ්‍යයා මේ පාරේ ගියොත් අර අසූචි වලේ තමයි වැටෙන්නේ’ කියලා කල්පනා කරනවා. ඒ විදිහටම මෙයා පස්සේ කාලෙක වැසිකිලි වලේ වැටිලා ඉන්නවා දකින්න ලැබෙනවා. සමහරු ජීවත්වෙන පිළිවෙල බලද්දී බුදුරජාණන් වහන්සේටත් ‘මෙයා දැන් කරන දේවල්, කියන දේවල්, හිතන දේවල්වලින් ඊළඟ ආත්මයේ තිරිසනෙක් වෙලයි නවතින්නේ…’ කියලා පේනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට පස්සේ කාලෙක එයා තිරිසනුන් අතරේ ඉපදිලා ඉන්නවා දකින්න ලැබෙනවා.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා “කෙනෙක් කාන්තාර මාර්ගයක යනවා. (කාන්තාර මාර්ගයක යන කොට පිහිටක් නෑනේ) මේ කෙනා පිපාසෙන්, බඩගින්නෙන් යනකොට මෙයාට යන්තම් කොළ දෙක තුනක් තියෙන ගස් හම්බවෙනවා. මෙයා මේ ගහක් යට වාඩිවෙලා මහන්සි අරිනවා. ඒ වගේ සමහරු ජීවත්වෙන පිළිවෙල දිහා බලද්දී මට ‘මෙයා නම් මරණින් මත්තේ පෙරේත ලෝකයේ තමයි උපදින්නේ කියලා පේනවා. අන්තිමට එයා මරණින් මත්තේ පෙරේත ලෝකයේ ඉන්නවා දකින්න ලැබෙනවා.”

බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකය ගැනත් උපමාවක් දේශනා කළා. මනුෂ්‍යයෙක් කාන්තාර මාර්ගයක ගමන් කරද්දී එයාට හොඳට කොළ තියෙන, හෙවන තියෙන ගහක් දකින්නට ලැබෙනවා. ඒ ගහ තියෙන පාරේ තමයි මෙයා යන්නේ. ඉතින් කෙනෙක් මේක බලාගෙන ඉඳලා කල්පනා කරනවා ‘මේ යන පාරේ දිගටම ගියොත් මෙයාට මේ ගහ හම්බවෙනවා. එයා මේ ගහ යට ටිකක් විවේක ගනියි’ කියලා. ඒ වගේ තමයි, සමහරු ජීවත්වෙන පිළිවෙල දිහා බලලා බුදුරජාණන් වහන්සේ “මෙයා ආයෙමත් මරණින් මත්තේ මනුෂ්‍ය ලෝකයේ ඉපදේවි” කියලා දකිනවා. පස්සේ කාලෙකදී එයා මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා ඉන්නවා දකින්න ලැබෙනවා. උන්වහන්සේ මනුෂ්‍ය ලෝකය දැක්කේ කාන්තාර මාර්ගයක තියෙන හෙවන ඇති ගහක් ලෙසටයි.

එහෙම නම් අපි අද ඉන්නේ කාන්තාර මාර්ගයක හෙවන තියෙන ගහක් යට. අපි හෙවන තියෙන ගහ යට ඉඳලා වෙන වෙන පාරවල් තෝරා ගන්නවා. කෙනෙක් ගිනි අඟුරු වළට යන පාර තෝරා ගන්නවා. කෙනෙක් අසූචි වලට යනවා. තව කෙනෙක් හෙවන නැති ගස් තියෙන පැත්තට යනවා. මේ උපමා හරි වටිනවා. මේවා මතක තියාගන්න. මේක තියෙන්නේ මහා සීහනාද සූත්‍රයේ. මේ කියපු උපමා ටික අපේ ජීවිතවලට හරි වැදගත්.

ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ඔන්න තවත් කෙනෙක් කාන්තාර මාර්ගයේ යනවා. එයා යන පාර වැටිලා තියෙන්නේ හොඳ ගෙයක් තියෙන තැනකට. පස්සේ කාලේ එයා ඒ ගෙදර ඉන්නවා. ඒ වගේ තමයි, සමහර අය මේ ජීවිතයෙන් පස්සේ දිව්‍ය ලෝකවල සැපසේ වාසය කරනවා.” බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකය දැක්කේ කාන්තාර මාර්ගයේ තියෙන හොඳ ගෙයක් හැටියට.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා “ඔන්න පිපාසයෙන් ඉන්න තවත් මනුෂ්‍යයෙක් කාන්තාර මාර්ගයක යනවා. හැබැයි, ඒ පාර වැටිලා තියෙන්නේ වනාන්තරයක් තියෙන දිශාවකට. හොඳ පැන් පොකුණු තියෙන දිශාවට. එයා ඒ පාරේ ගිහිල්ලා, පැන් වළඳලා, පිපාසය නිවාගෙන හොඳට හාන්සිවෙලා ඉන්නවා. ඒ වගේ තමයි, සමහරු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා කෙලෙස් පිපාසය බැහැර කරලා, පිපාසයක් නැති සිතින් සැනසිල්ලේ වාසය කරනවා. උන්වහන්සේ මෙන්න මේ විදිහට මේ සියලු ලෝක දැක්කා.

උන්වහන්සේ දේශනා කළා “මේ මේ දේවල් කිරීම හේතුවෙන් නිරයේ යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් තිරිසන් අපායේ යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් පෙරේත ලෝකයට යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් මනුෂ්‍ය ලෝකයට එනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් දිව්‍ය ලෝකයේ යනවා… මේ මේ දේවල් කිරීම හේතුවෙන් නිවන අවබෝධ කරනවා…’ කියලා. ඒ වගේම උන්වහන්සේ ඒ පාරවලුත් පෙන්වා දුන්නා.

එහෙම නම් කෙනෙකුට නිරයේ යන්න ඕන නම් කරන්න තියෙන්නේ අනුන්ට උගුල් අටව අටවා, අනුන්ට නින්දා අපහාස කර කර ඉන්න එකයි. එතකොට එයා කෙලින්ම නිරයේ තමයි. තිරිසන් අපායේ යන්න ඕන නම් එයාට තියෙන්නෙත් ඒ විදිහට ඉන්න. බුද්ධ දේශනාවේ තියෙනවා, සමහරු හොඳට දානේ දෙනවා. හැබැයි, සිල් රකින්නේ නෑ. අනුන්ට උගුල් අටවනවා. නින්දා අපහාස කරනවා. කරදර කරනවා. වචනයෙන් පව් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා ගිහිල්ලා කන්න තියෙන සත්තු අතර උපදිනවා කියලා. බලන්න මේ මනුෂ්‍යයින්ට වෙන දේවල්. බල්ලෝ වෙලා, අලි වෙලා, අශ්වයෝ වෙලා උපදිනවා. හැබැයි, උන්ට හොඳට සැළකිලි. ඒ ලැබෙන්නේ සංසාරේ දන් දීලා තියෙන නිසයි. නමුත් තිරිසන් ලෝකයේ උපදින්නේ කයෙන්, වචනයෙන්, සිතින් අයහපතෙහි හැසිරීම නිසයි. බුදුරජාණන් වහන්සේ ඒ හැමදේම දේශනා කරලා තියෙනවා.

දවසක් බුදුරජාණන් වහන්සේ ‘සුමනා’ කියන කුමාරියට දානය ගැන ලස්සන දහම් කාරණාවක් කියා දුන්නා. සුමනා කුමාරිය බුදුරජාණන් වහන්සේගෙන් හොඳ ප‍්‍රශ්නයක් අසා සිටියා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නම ශ‍්‍රද්ධාවෙන් සමානයි. සීලයෙනුත් සමානයි. ප්‍රඥාවෙනුත් සමානයි. නමුත් එක්කෙනෙක් දන් දෙනවා. එක්කෙනෙක් දෙන්නේ නෑ. මේ දෙන්නම මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ උපදින්න පුළුවන්ද?” “පුළුවන්” කිව්වා. ”එතකොට දිව්‍ය ලෝකයේදී මේ දෙන්නගේ වෙනසක් තියෙනවද?”

“වෙනසක් තියෙනවා. අර දන් දීපු කෙනා දන් දීපු නැති කෙනාට වඩා දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන් බලවත් වෙනවා.”

“ස්වාමීනී, මේ දෙන්නා දිව්‍ය ලෝකයෙන් චුතවෙලා මනුෂ්‍ය ලෝකයේ උපදිනවා. එතකොට වෙනසක් නැද්ද?”

“ඒත් වෙනසක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේදීත් අර දන් දීපු කෙනා මනුෂ්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන් වැඩියි.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා මහණ වුණොත් මහණ වුණාට පස්සෙත් වෙනසක් තියේවිද?”

“වෙනසක් තියෙනවා. මහණ වුණාට පස්සෙත් සංසාරේ දන් දීපු කෙනාට අග‍්‍ර වශයෙන් සිව්පසය ලැබෙනවා. දන් දීපු නැති කෙනාට එහෙම ලැබෙන්නේ නෑ.”

“ස්වාමීනී, මේ දෙන්නා නිවන් දැක්කොත්..? නිවන අවබෝධ කළොත් ඒකෙත් වෙනසක් තියේවිද?”

“ඒකෙ නම් වෙනසක් නෑ. ඒ විමුක්තිය ඔක්කෝටම එකයි” කිව්වා.

මේ ලෝක ගැන, සත්වයන් ගැන බුදුරජාණන් වහන්සේගේ තියෙන අවබෝධය හරිම පුදුමයි. සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ ‘ලෝකාන්තරික’ කියලා නිරයක් ගැන විස්තර කරලා තියෙනවා. ඒ නිරය තනිකරම කළුවරයි. තව ‘සීත නිර’ කියලා නිරයක් තියෙනවා. ඒ නිරයේ තියෙන්නේ සීතල විතරයි. ඒ ලෝකාන්තරික නිරය එළිය වෙන්නේ බුදු කෙනෙක් පහළ වූ දවසක, බුදු කෙනෙක් දහම් දෙසන වෙලාවක, පිරිනිවන් පාන වෙලාවක වගේ වෙලාවක විතරයි. ඒ විදිහට බුද්ධ දේශනාවල උපදින තැන් ගැන බොහෝ විස්තර තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලම අවබෝධ කරගෙන මේ සියල්ලෙන්ම මිදුණ එකම ශාස්තෘන් වහන්සේ. උන්වහන්සේ ඒකාන්තයෙන්ම ‘ලෝකවිදූ’ වන සේක.

සමහර අය ‘ඔය අපාය තියෙනවද? දිව්‍ය ලෝක තියෙනවද? ඕවා තියෙන්නේ කොහේද?’ කිය කියා අහන්නේ මේවා ගැන දන්නේ නැතුවයි. මීට අවුරුදු සියයකට කලින් කවුරුහරි ලංකාවේ කෙනෙකුට කැනඩාව කියලා රටක් තියෙනවා කියලා කිව්වා නම්, ‘කොහෙද ඕක තියෙන්නේ?’ කියලා අහයි. කැනඩාව කියලා රටක් තියෙනවා කියලා දැන්නේ අපි දන්නේ.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්