බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ගුණය ‘විජ්ජාචරණ සම්පන්න.’ ‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ‘චරණ’ කියන්නෙ හැසිරීම. එතැන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඤාණවලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පර්යේෂණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ‘ආර්ය පර්යේෂණය.’ උන්වහන්සේ පරීක්ෂණ කළේ සිත පිරිසිදු කරලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. ඒ පරීක්ෂණය කරගෙන යනකොට උන්වහන්සේට විද්‍යාව පහළ වුණා. දම්සක් පැවතුම් සූත්‍රයේ (විජ්ජා උදපාදි) ‘විද්‍යාව පහළ වුණා’ කියලා තියෙන්නේ ඒකයි. විද්‍යාවන් අතර බුදුරජාණන් වහන්සේ සොයාගත් විද්‍යා තුනක් තියෙනවා. ඒකට කියන්නේ ‘ත‍්‍රිවිද්‍යා’ කියලයි.

පළමුවෙනි විද්‍යාව තමයි, ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය.’ ඒ කියන්නේ පෙර ජීවිත දකිනා නුවණ. අපි ඔක්කොගේමත් ඒ ස්මරණය තියෙනවා. අපට ඒක මතුවෙලා නැත්තේ මතුවෙන ආකාරයට අපේ නුවණ දියුණුවෙලා නැති නිසයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි සමහරුන්ට කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. සමහර දෙවිවරුන්ට තමන් හිටපු අතීත ජීවිතය මතක් වෙනවා. හතරවැනි ධ්‍යානයට හිත දියුණු කරලත් කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන්. බොහෝ දෙනෙකුට ඒ විදිහට බලන්න පුළුවන් තමන්ගේ ජීවිතය ගැන විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේට ඕනෑම කෙනෙකුගේ ජීවිතයක් බලන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා ආඩම්බරකාර බ්‍රාහ්මණයෙක් හිටියා. එයා කල්පනා කළා, “හැමෝම වළලන තැන්වල මාව මැරුණම වළලන්නේ නෑ. මාව විශේෂ තැනක වළලන්න ඕන” කියලා. (මෝඩකමට එහෙම හිතන අය ඉන්නවනේ…) ඉතින් මෙයා “කොහෙද මාව වළලන්න සුදුසු තැන..?” කියලා වත්තේ බලාගෙන බලාගෙන යද්දී අතු මුල් බැහැපු විශාල නුග ගහක් තියෙනවා දැක්කා. දැන් මෙයා සේවකයෝ දාලා නුග ගහ කප්පවනවා. මෙයා මේ ලෑස්ති කරන්නේ කවුරුවත් වළලපු නැති පිරිසිදු තැනක්.

ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙතැනට වැඩියා.

“පින්වත මොකද මේ?”

“ස්වාමීනී, මම කල්පනා කළා කවුරුවත් නොකරපු දෙයක් කරන්න. මම කල්පනා කළා මළාට පස්සේ හොඳ ශුද්ධ වූ තැනක මගේ මිනිය වළලන්න”

“ඔයාගේ නම මොකක්ද?”

ඉතින් මේ කෙනා නම කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “ඔයා ඔය නමින්ම මෙතැනම දාහතරදහස් වතාවක් වළලලා තියෙනවා.” බලන්න එක පාරටම අතීතය හොයනවා. ඒක තමයි නියම විද්‍යාව.

බුදුරජාණන් වහන්සේගේ කාලේ ‘පිළින්දිවච්ඡ’ කියලා රහතන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට මිනිසුන්ගේ හිත රිදෙන විදිහේ වචන කතා කිරීමේ පුරුද්දක් තිබුණා. උන්වහන්සේ මිනිස්සුන්ට කතා කරන්නේ “කොහෙද තෝ යන්නේ..?” ආදී වශයෙන්. මිනිස්සුන්ට මේක හරිම කම්පනයක් වුණා. ඉතින් “මේ ස්වාමීන් වහන්සේ කතා කරන්න දන්නේ නෑ” කියලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා, “පින්වත් මහණෙනි, ඒ පිළින්දිවච්ඡ භික්ෂුව පිරිසිදු හිතින්මයි ඔය කතා කරන්නේ. තරහක් නෑ. එකම හේතුවක් තියෙනවා, එයා ආත්මභාව 500ක්ම එක දිගට උසස් කුලයේ ඉපදුණ කෙනෙක්. ඒ පුරුද්ද තමයි මේ.” ඒ විදිහට බුදුරජාණන් වහන්සේට ක්ෂණයෙන් තව කෙනෙකුගේ ජීවිතය සම්බන්ධයෙන් හොයලා කියන්න පුළුවන්.

ඒ වගේම ගොඩක් වළඳන ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සෙත් රහතන් වහන්සේ නමක්. සමහරු අතර “මේ ස්වාමීන් වහන්සේ හරිම පෙරේතයි” කියලා කතාවක් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේව ගෙන්නලා “ඇත්තද භික්ෂුව, කොච්චර වැළඳුවත් මදි කියන්නේ?” කියලා ඇහුවා “අනේ ස්වාමීනී, මං ඔය වැළඳුවේ ටිකයි” කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා “මහණෙනි, මේ භික්ෂුව රහතන් වහන්සේ නමක්. ආත්මභාව 500 ක් අලියෙක් වෙලා ඉඳලා තියෙනවා.”

බලන්න පුරුද්ද පස්සෙන් එන හැටි. අපි ඒක දන්නේ නෑනේ. සමහර විට මිනිස්සුන්ගේ දුර්වලකම් එනකොට අපි ඒ දුර්වලකම්වලට හිනාවෙනවා. නමුත් අපේ ජීවිතයේ සංසාරෙන් ගෙනාපු දුර්වලකම් කොච්චර ඇද්ද? බුදුරජාණන් වහන්සේට මේ සියල්ල එක ක්ෂණයකින් දකින්න පුළුවන්. අන්න ඒවට තමයි විද්‍යාව කියන්නේ.

ඒ වගේම උන්වහන්සේට ‘චුතූපපාත ඤාණය’ තිබුණා. ඒ කියන්නේ සත්වයන්ගේ චුතවීම, ඉපදීම දක්නා නුවණ. උන්වහන්සේගේ දේශනා තුළ දිව්‍යලෝක, බ්‍රහ්මලෝක, අපාය, නිරය ගැන සම්පූර්ණ විස්තර තියෙනවා. “අසවල් තැන ගියොත් මෙච්චර කල් ජීවත් වෙනවා.. අසවල් නිරයේ උපන්නොත් මෙච්චරකල් ඉන්නවා.. අසවල් නිරයේ උපන්නොත් මෙච්චරකල් ඉන්නවා.. මේ නිරයට කියන්නේ මේ නම.. අසවල් නිරයට කියන්නේ මේ නම..” කියලා උන්වහන්සේ මේ ඔක්කෝම විස්තර කරලා තියෙනවා. ඒකට කියන්නේ ‘චුතූපපාත ඤාණය.’

ඊළඟ විද්‍යාව ‘ආසවක්ඛය ඤාණය.’ ‘ආසවක්ඛය ඤාණය’ කියන්නේ ආශ‍්‍රවයන් ක්ෂය කිරීමේ නුවණ. අපේ හිතේ ඕනෑම ස්වරූපයකින් හොයන්න බැරි විදිහට කෙලෙස් සැඟවිලා තියෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සමහරු භාවනා කරලා, ධ්‍යාන වඩලා, බඹලොව ගිහිල්ලා උපදිනවා. එහේ කල්ප ගණන් ඉඳලා ඒ ආයුෂ ඉවර වුණාට පස්සේ කර්ම විපාක අනුව ආයෙමත් උපතක් කරා යනවා. ආශ‍්‍රව වලින් කරන්නේ කර්මයත් එක්ක සම්බන්ධ වෙලා උපතක් කරා අරගෙන යන එකයි. කර්මයෙන් කරන්නේ විඳවන එකයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “(අත්ථි භික්ඛවේ, ආසවා නිරයගාමිනියා) මහණෙනි, සමහර ආශ‍්‍රව තියෙනවා, ඒ ආශ‍්‍රවයෙන් කරන්නේ පුද්ගලයාව නිරයට අරගෙන යන එක. ඒ වගේම (අත්ථි භික්ඛවේ, කම්මං නිරය වේදනීයං) කර්ම තිබෙනවා නිරයේ විඳවිය යුතු” ආශ‍්‍රවයෙයි, කර්මයෙයි වෙනස ඔතැනින් මතක තියාගන්න. ‘නිබ්බේධික’ කියන සූත්‍රයේ ඒ කාරණය ලස්සනට විස්තර වෙනවා.

එතකොට සමහර ආශ‍්‍රව පුද්ගලයාව නිරයට අරගෙන යනවා. තිරිසන් ලෝකයට ගෙනියනවා. පේ‍්‍රත ලෝකයට ගෙනියනවා. අපායට ගෙනියනවා. අපට මේ ආශ‍්‍රව පේන්නේ නෑ. මේ ආශ‍්‍රව දැකලා ඒවා ප්‍රහාණය කිරීමේ ඤාණයටයි ‘ආසවක්ඛය ඤාණය’ කියලා කියන්නේ. මේවා තමයි විද්‍යාව.

බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. උන්වහන්සේගේ විද්‍යාව ඉවර වෙන්නේ අරහත්වයෙන්. ඒ කියන්නේ ආරම්භයක් තියෙනවා, මැදක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ විද්‍යාව ශ‍්‍රාවකයන්ටත් එහෙමයි. අරහත්වයට පත්වීමෙන් ඉවරවෙනවා. කෙනෙක් සෝවාන් වෙලා, සකදාගාමී වෙලා, අනාගාමී වෙලා, අරහත්වයට පත්වුණොත් එතැනින් ඒ විද්‍යාව සම්පූර්ණයි.

නමුත් අද පවතින නූතන විද්‍යාව එහෙම එකක් නෙවෙයි. ඒ විද්‍යාවේ කොණක් පොටක් නෑ. කොටි වලිගය වගෙයි. ඉවර වෙන තැනක් නෑ. විද්‍යාඥයෝ සොයාගෙන යන මාර්ගය කවදා කොතැනකදී කොයි විදිහට අවසන් වෙයිද කියලා කවුරුවත් දන්නේ නෑ. එබඳු අවිද්‍යා සහගත විද්‍යාවක්, ගෞතම බුදුරජාණන් වහන්සේ සොයාගත් විද්‍යාවත් එක්ක සමාන වෙන්නේ කොහොමද? කිසිසේත්ම සමාන වෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ විද්‍යාව දැන් ඔය කියපු විද්‍යා තුනයි. ඒ විද්‍යාවෙන් කරලා දෙන්නේ අවබෝධය ඇති කරලා නිකෙලෙස්බවට පත් කිරීමයි. එකේ අවසානයක් තියෙනවා. සෝවාන් වුණොත් උපරිම වශයෙන් ජීවිත හතකින් ඒක ඉවර වෙනවා. සකදාගාමී වුණොත් කාම ලෝකයේ එක වතාවක් ඉපදිලා ඉවර වෙනවා. අනාගාමී වුණොත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඉවර වෙනවා. අරහත් වුණොත් මේ ජීවිතයේදීම පිරිනිවන් පානවා. මේක තමයි නියම විද්‍යාව.

ඒ වගේම බුදුරජාණන් වහන්සේට විද්‍යාවෙන් යුතු චරණ ධර්මයනුත් තිබුණා. ඒ කියන්නේ ඒ අවබෝධයට අනුව තමයි උන්වහන්සේ ජීවත් වුණේ. දැන් අපි ගනිමු මෙහෙම. ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා කියමු. එයා ප්‍රොෆෙසර් විශ්ව විද්‍යාලයට විතරනේ. ගෙදරට ප්‍රොෆෙසර් නෙවෙයිනේ. ඔන්න එයා ක්ලබ් එකකට ගිහිල්ලා බොනවා. ඊට පස්සේ එයා කවුද? බේබද්දා. ඊට පස්සේ එයා වල්වැඩ කරන්න යනවා. එතකොට එයා සල්ලාලයා. එතකොට අපට පේනවා එයාගේ උගත්කමත් එක්ක හැම තිස්සේම ක්‍රියාව බද්ධවෙලා නෑ. අවබෝධයත් එක්ක ක්‍රියාව බද්ධවෙලා නෑ. ඒ විදිහට විජ්ජාචරණ නැති විද්‍යාවක් තමයි මේ නූතන විද්‍යාව.

නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් සෝවාන් මාර්ගයට පැමිණි වෙලාවේ ඉඳන් ඒ අවබෝධයත් එක්ක හැසිරීම තියෙනවා. බලන්න වෙනස. ශ‍්‍රාවකයන්ටත් ඒක එහෙමයි. අපගේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ ඇති කරගත් විද්‍යාව තුළයි හැම ක්ෂණයක්ම ගත කළේ. උන්වහන්සේගේ ජීවිතය හරිම ආශ්චර්යයි. උන්වහන්සේ ජීවිතයේ නිදිකිරා වැටුණු අවස්ථාවක් නෑ. උන්වහන්සේ ගෙන් වචනයක් වැරදිලා පිට වූ අවස්ථාවක් නෑ. උන්වහන්සේගේ ගමනක් වැරදිලා හරි ගස්සපු අවස්ථාවක් නෑ. අපි නම් ගිහිල්ලා ‘ආ මට ඒක අමතක වුණා..’ කියලා ආයෙත් එනවනේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ එහෙම මොකුත් නෑ.

යමෙකුට මේ ලෝකයේ අංග සම්පූර්ණ මනුෂ්‍යයාව හොයාගන්න ඕන නම්, සියල්ලෙන් අග තැන්පත් ඒ කෙනා බුදුරජාණන් වහන්සේයි. ඒ අංග සම්පූර්ණ බව, උන්වහන්සේගේ ජීවිතය පුරාම දකින්න ලැබෙනවා.

උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ වයස අවුරුදු තිස්පහේදී. පිරිනිවන් පෑවේ වයස අසූවේදී. සාමාන්‍යයෙන් අපේ නම් වයස තිස්පහේ ඉඳලා අසූව වෙනකන් හිටියොත්, ලෝකයේ තොරතුරු අරගෙන අපේ දැනුම ටික ටික වැඩිවෙනවනේ. එතකොට සමහර විට අවුරුදු තිස්පහේදී අපි දැරුව මත අසූව වෙනකොට වෙනස් වෙනවා. ‘මීට අවුරුදු හතළිස් පහකට කලින් මං කල්පනා කළේ මේ විදිහටයි. දැන් මං ඒවා වෙනස් කළා’ කියලා අපි කියනවානේ. අපි හිතන තීරණ වෙනස් කරන්න එච්චර වයසක් යන්න ඕන නෑ. අපි මේ කියපු දේවල් මේ වෙනස් කරනවනේ. අපේ දැනුම ඒ විදිහට කොච්චර වෙනස් වෙනවද?

නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු තිස්පහේදී දැනුමෙන් සම්පූර්ණ වෙලා ඉවරයි. උන්වන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වැඩසිටි අවුරුදු හතළිස් පහ තුළ කළේ ඒ දැනුම බෙදපු එක මිසක් ඒ දැනුම වර්ධනය වීමක් නෙවෙයි. ඒකයි විශේෂත්වය. අවුරුදු තිස්පහේදී උපදවාගත් අවබෝධය අවුරුදු හතළිස් පහක් බෙදුවා. අපට වෙන්නේ ඒක නෙවෙයිනේ. අපි හැම තිස්සේම ඊළඟට එන දැනුමට දැන් ගන්න තීරණ වෙනස් කරනවා. නමුත් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. උන්වහන්සේ ඒකාන්තයෙන්ම විජ්ජාචරණ සම්පන්නයි.

‘විජ්ජාචරණ සම්පන්න’ වූ ශාස්තෘන් වහන්සේ නමක් සරණ යන්න ලැබීම ගැන අපි කොයිතරම් සන්තෝෂ වෙන්න ඕනද? ඔබ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියපු කෙනෙක්. සමහර විට ඔබ මේ කියපු පැතිවලට හිතලවත් නැතුව ඇති. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ එක එක ගුණයක් පාසා හිතලා නැතුව ඇති. එහෙම වුණොත් අපිට ශ‍්‍රද්ධාව පිහිටන්නේ කොහොමද?

අපි ළඟ රත්තරන් තියෙනවා කියලා හිතමු. නමුත් මේ රත්තරන් ටික ඔප දැම්මොත් තමයි දිළිසෙන්නේ. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියවද්දී කියවද්දී තමයි අපට උන්වහන්සේව හම්බ වෙන්නේ. ඒකයි උන්වහන්සේ දේශනා කළේ “(යෝ ධම්මං පස්සති සෝ මං පස්සති) යමෙක් ධර්මය දකිනවා නම් එයා තමයි මාව දකින්නේ” කියලා, උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි. උන්වහන්සේගේ ජීවිතය පුරාම ඒක අපට දකින්න ලැබෙනවා.

ලෝකයේ ආගමික නායකයින් විතරක් නෙවෙයි, සියලු මනුෂ්‍යයින්, දෙවියන් ගත්තත් ඒ වගේ විජ්ජාචරණ සම්පන්න කෙනෙක් මේ ලෝකයේ කොහේවත් නෑ. හිටියා නම් වාර්තාවක් තියෙන්න ඕන. දකින්න ලැබෙන්න ඕන. කොහේ හරි විස්තරයක් තියෙන්න ඕන. අපි වෙන ආගමක් හැදෑරුවොත් එහෙම හම්බ වෙන්නේ නෑ. මොකද, අපි ඒ පොත් පත් කියවලා තියෙනවා.

බුදුරජාණන් වහන්සේ හැර විජ්ජාචරණ සම්පන්න කෙනෙක් වෙන හම්බවෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාවටම ඒ විජ්ජාචරණ සම්පන්න ගුණය තිබුණා. හරි පුදුමයි… උන්වහන්සේ ගත්ත තීරණ, කතා කරපු දේවල්, පණවපු නීති සෑම දෙයක් තුළම ඒ විජ්ජාචරණ සම්පන්න බව තියෙනවා. හරිම පුදුමයි!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්