බුදුරජාණන් වහන්සේ තමයි, ‘මෙන්න මේ විදිහට සීලය දියුණු කරන්න.. මේ විදිහට සමාධිය දියුණු කරන්න.. මේ විදිහට ප්‍රඥාව දියුණු කරන්න.. දැන් මේ විදිහට කරන්න..’ කියලා ලස්සනට පුහුණු කරන්නේ. එතකොට ඒ විදිහට කළාම එයා සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී.’ ලෝකයේ පුහුණු කරන අය අතර, දමනය කරන අය අතර අග්‍රයි. ඒක පුදුම එකක්.
අපිත් සමහර විට සමහර අයව ‘මෙයා මේකට දක්ෂයි. එයා මේ පැත්තට පුරුදු කරන්න ඕන’ කියලා තෝරනවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ‘අයියයි, මල්ලියි දෙන්නෙක් මහණ වුණා. අයියට හොඳට ධර්මය පාඩම් හිටිනවා. මල්ලිට බණ පාඩම් හිටින්නේ නෑ. අයියා මල්ලිට අඬගහලා “උඹට පාඩම් හිටින්නේ නෑ. ගෙදර ගිහිල්ලා වගා කරපන්” කියලා කිව්වා. නමුත් මල්ලි ගෙදර යන්න කැමති නෑ.
ඉතින් බැරිම තැන පොඩි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ගේට්ටුව ලඟ අඬ අඬා සිටියා. මොකද, ගෙදර යන්න කියලා එලවලානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයා ලඟට වඩිනවා.
“ආ… මොකද මේ චූල පන්ථක අඬ අඬා?”
“අනේ ස්වාමීනී, අයියා මාව එලෙව්වා.”
“ඇයි ඒ?”
“මට පාඩම් හිටින්නේ නෑ. ඒ නිසා ගෙදර යන්නලු. සිවුරු ඇරලා ගෙදර ගිහිල්ල කුඹුරු කොටන්නලු.”
“නෑ… එහෙම කරන්න බැහැනේ. මේක එයාගේ ශාසනයක් නෙවෙයිනේ. යමු මාත් එක්ක” කියලා ඔළුව අතගාලා අතින් අල්ලගෙන එක්කගෙන ගියා.
බුදුරජාණන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේගේ අතට රෙදි කෑල්ලක් දුන්නා. දීලා “කිලිටි අත්හරිනවා.. කිලිටි අත්හරිනවා.. (රජෝ හරණං) කියලා රෙදි කෑල්ල අත ගගා ඉන්න” කියලා කිව්වා. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේ එහෙම කර කර ඉන්නවා. නමුත් කිලිටි අත්හරිනවා කියනකොට කිලිටි වෙනවා. “කිලිටි අත්හරිනවා කිය කියානේ මං අතගෑවේ. හැබැයි මේක කිලිටි වෙනවානේ.” මෙයාගේ සිත දැඩිලෙස මේකට යොමු වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එයාගේ සිත දියුණු වෙන ආකාරයට දහම් කරුණු දේශනා කළා. සුළු වෙලාවකින් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. බලන්න, අවබෝධ කිරීමේ හැකියාව වැහිලා තිබුණ හැටි. වෙන කාටද ඒක මතුකරලා ගන්න පුළුවන්?
අපටත් මේ ජීවිතය අවබෝධ කරන්න තියෙන අවස්ථා, කුසලතා කොච්චර නම් වැහිලා ඇද්ද? කවුරු නම් දනිත්ද මේක අවුස්සලා ගන්න? ඔන්න වෙනස.
මේ චූල පන්ථක ස්වාමීන් වහන්සේ තමයි මනෝමය ශරීර මවන භික්ෂූන් අතරින් අග්‍ර වුණේ. අයියා ස්වාමීන් වහන්සේ මේක දන්නේ නෑ. අයියා හිතුවේ ගෙදර ගිහිල්ලා කියලයි. ඉතින් එදා ස්වාමීන් වහන්සේලා ඔක්කොම දානෙකට වැඩියා. බුදුරජාණන් වහන්සේ වදාළා “එක නමක් අඩුයි..” දැන් කවුරුවත් මෙයා ඉන්න බව දන්නේ නෑ. එක පුද්ගලයෙකුට කිව්වා “ගිහිල්ලා බලන්න විහාරයේ ඉන්නවා තව ස්වාමීන් වහන්සේ නමක්.”
දැන් ඉතින් මෙයා බලන්න ගියා. යනකොට එකම වගේ හාමුදුරුවරු දාහක් ඉන්නවා. අතු ගානවා, සක්මන් කරනවා, භාවනා කරනවා. අරයා ආයේ හති දාගෙන දුවගෙන ආවා. ඇවිල්ලා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මේ දැන් දහස් නමක් වැඩලා ඉන්නවා” කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා, “ඔබ ආයෙත් ගිහිල්ලා නම අහන්න. නම අහලා ඉස්සෙල්ලාම නම කියන කෙනාගේ සිවුරු පොට අල්ලන්න.” ඉතින් මෙයා ගිහිල්ලා “කවුද චුල්ලපන්ථක ස්වාමීන් වහන්සේ?” කියලා ඇහුවා. ඒ වෙලාවේ දහස් නමම “මමයි..මමයි..” කියලා ඉස්සරහට ආවා. ඉස්සෙල්ලාම ‘මමයි’ කියපු ස්වාමීන් වහන්සේගේ සිවුරෙන් ඇල්ලුවා. අල්ලපු ගමන් අනිත් නමසිය අනූනව නමම නැතුව ගියා.
“අනේ ස්වාමීනී, දානෙට වඩින්න” කිව්වා. “හා හොඳයි. මං එන්නම් උපාසක මහත්මයා යන්න” කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට ආසනයක් වෙන් කරලා තිබුණා. ඔන්න භික්ෂුවක් පොළොවෙන් උඩට මතුවෙලා වාඩිවුණා.
මේ අපි කතා කළේ ශ්රාවකයෙකුගේ ඉර්ධියක්නේ. එහෙම නම් ශාස්තෘන් වහන්සේගේ ඉර්ධිබලය කොහොම ඇද්ද? අපට නම් වර්තමානයේ කවුරු හරි අළු චුට්ටක් මැව්වත් මහා හාස්කමක්නේ. කවුරු හරි කෙනෙක් ඒ වගේ අළු ටිකක් මැව්වොත්, මලක් වැටුණොත් අපට නිකං මහා අද්භූත දෙයක්. නිකං කරකෝලා දැම්මා වගෙයි. නමුත් මේ වගේ ඍද්ධි බලන්න ඒ කාලේ මිනිස්සු කොච්චර වාසනාවන්තද? මේ කියන්නේ ශාස්තෘන් වහන්සේගේ ඍර්ධියක් නෙවෙයිනේ. ශ්‍රාවකයන් වහන්සේ නමක්. බලන්න, පුහුණු කරන ලස්සන.
එක තැනක සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේලා තිස් නමක් වනාන්තරේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ලඟට වඩිනවා. උන්වහන්සේ හිතනවා “මේ තිස් නමගේ මනස දැන් හොඳට මෝරලා තියෙන්නේ. මේ වාඩිවෙලා ඉන්න තැනම අරහත්වයට පත්වෙන්න දේශනාවක් කරන්න ඕන.” දැන් උන්වහන්සේ මේ හැම කෙනෙකුගේම හිත දකිමින් තමයි දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට ඒ තිස් නමම අරහත්වයට පත්වුණා. ‘අනුත්තරෝ පුරිසදම්මසාරථී.’ අන්න ඒවටයි හික්මවනවා කියන්නේ.
සමහර විට අපි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩහිටපු කාලේ හිටියා නම් මෙතැනින් කී දෙනෙක් නම් රහතන් වහන්සේලා වෙලා ඇද්ද? අපි ඒක දන්නේ නෑ. දැන් අපේ වාසනාව වැහිලා තියෙන්නේ. මේ ජීවිතේදීවත් අපි මේ පොඞ්ඩ අල්ල ගත්තේ නැත්නම්, ආයේ කවදා නම් මේ වගේ අවස්ථාවක් ලැබෙයිද කියලා කියන්න බෑ.
ඊළඟට ‘සත්ථා දේවමනුස්සානං.’ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ. ‘සත්ථා’ කියන වචනයත්, ‘ශාස්තෘ’ කියන වචනයත් පැරණි ඉන්දියානු වචන. ඔබ ගැල් කියන වචනය අහලා තියෙනවා නේද? ගැල් කියන්නේ කරත්තවලට. ඒ කාලේ රාත්‍රී කාලයේ ගැල් පන්සීය දාහ යනවා. දවල් කාලේ යන්න බැහැ, රස්නෙ වැඩියි. ඉස්සෙල්ලාම කරත්තේ යන කෙනා ආකාසේ තරුවලින් තමයි පාර සලකුණු කරගන්නේ. එතකොට එයාට හරියටම කරන්න පුළුවන්. ඒ ගැල් මෙහෙයවන කෙනාට ‘ශාස්තෘ’ කියලා කියනවා. එයා හිටියේ නැත්නම් කාන්තාරයෙන් එතෙර වෙන්න බැහැ. ඒවා දන්න බොහෝම දක්ෂ මිනිස්සු ඉන්නවා. ඒ වගේ කෙනෙක් ගමන මෙහෙයවන්නේ. (සත්ථු) ගැල් නායකයා තමයි ඒක කරන්නේ.
බුදුරජාණන් වහන්සේත් ‘සසර’ නැමැති කතරින් එතෙර වෙන්න පාර කියනවා. ඒකටයි ‘ශාස්තෘන් වහන්සේ’ කියලා කියන්නේ. සසරින් එතෙර වෙන්න පාර පෙන්නූ නිසයි අපි අපේ ශාස්තෘන් වහන්සේ කියන්නේ. එතකොට උන්වහන්සේ දෙවියන්ටයි, මිනිසුන්ටයි ශාස්තෘන් වහන්සේ. එහෙම නම් අපි මතක තියාගන්න ඕන, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මිනිස්සුන් විතරක් සසර දුකින් මුදවන්න නෙවෙයි. මිනිස්සු, දෙවියෝ… ඒ සියලු දෙනාම සසර දුකින් මුදවන්නයි.
එහෙම නම් අපට තේරුම් ගන්න පුළුවනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන්න මනුෂ්‍යයන්ටත් පුළුවන්කම තියෙනවා, දෙවියන්ටත් පුළුවන්කම තියෙනවා. මේක දන්නේ නැති අය තමයි ‘දිව්‍ය ලෝකයේ ගිහින් වැඩක් නෑ’ කියලා කියන්නේ. ‘ඇයි ඒ?’ කියලා ඇහැව්වම එක්කෝ ‘සැප වැඩියි’ කියනවා. ඊළඟට ‘පින් කරන්න බැහැ’ කියලා කියනවා. හරියට මෙහෙ පින් කරනවා වගේ. ඔය ඔහේ මොකක් හරි කියවනවා. ඒකේ තේරුම දන්නේ නැතිකම.
චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයේ ඉඳලා අකණිටා බඹලොව දක්වා ඉන්න සියලු දෙවියන්ට මාර්ගඵල ලබන්න පුළුවන්. දැනුත් ගණනින් කියන්න බැරි මාර්ගඵල ලාභීන් පිරිසක් ඉන්නවා. ධම්මචක්ක පවත්තන සූත්‍රයේ තියෙනවානේ ඒ දිව්‍ය ලෝක විසි දෙකකින් දෙවිවරු ඇවිල්ලා බණ අහල මාර්ගඵල ලැබුවා කියලා. අදටත් දෙවිවරුන්ට මාර්ගඵල ලබන්න පුළුවන්. මනුස්ස ලෝකයේ ඒ වාසිය නැති තරමයි. මොකද, අද මනුෂ්‍ය ලෝකයේ ධර්මය කියන අය ඇත්තෙත් නෑ. කියන කෙනෙකුට කියන්න දෙන්නෙත් නෑ. ඒකටත් අකුල් හෙලනවා. ඒ නිසා මනුස්ස ලෝකයේ් හරිම කරදරයි. මේක කරන්න අමාරුයි. ඒකට හේතුව තමයි, සම්මා දිට්ඨිය තියෙන අය, පින් පව් විශ්වාස කරන අය අඩුයි. එහෙම අය දිව්‍ය ලෝකයේ යන්නේ නෑනේ. දිව්‍ය ලෝකයේ යන්නේ හොඳට පින් කරපු අය.
ඔබට හිතෙනවා ඇති දිව්‍ය ලෝකයේ යන එක ලේසියි කියලා. නෑ…. මනුෂ්‍ය ලෝකයට එන්නත් ලේසි නෑ. දිව්‍ය ලෝකයට යන්නත් ලේසි නෑ. දෙකම අමාරුයි. එතකොට මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයක ඉපදුණොත් ඒ මනුෂ්‍යයන්ටයි, දෙවියන්ටයි සංසාරෙන් එතෙර වෙන්න පුළුවන්. මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන්. ඒ වගේම ඔබට හිතෙන්න පුළුවන් ‘ඒ වුණාට දිව්‍ය ලෝකයේ සැප වැඩියිනේ…’ කියලා. එහෙම එකක් නෑ. මේ මනුෂ්‍ය ලෝකයෙත් සැප තියෙනවානේ. මිනිස්සු මනුෂ්‍ය ලෝකයේ සැපට මුලාවෙනවා වගේම දෙවියන් දිව්‍ය සැපයටත් මුලාවෙනවා.
මනුෂ්‍ය ලෝකය තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කළාම නුවණ තියෙන කෙනා අවබෝධ කරගන්නවා. (දුක් විඳින කෙනා නෙවෙයි, නුවණ තියෙන කෙනා අවබෝධ කරගන්නවා.) දිව්‍ය ලෝකයෙත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කළාම නුවණ තියෙන දෙවියන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේට දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ කියලා කියන්නේ ඒ නිසයි.
බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට කළ ධර්ම දේශනා සංයුත්ත නිකායේ මුල් කොටසේ හරි ලස්සනට තියෙනවා. ශක්‍ර දෙවියන්ට ධර්මය දේශනා කරපු ආකාරය ‘සක්කපඤ්හ’ සූත්‍රයේ තියෙනවා. ශක්‍ර දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා, ධර්මය අහලා තෙරුවන් සරණ ගියා. ඒ මොහොතේම චුතවුණා. ඒ මොහොතේම ආයෙමත් ශක්‍රයා වෙලා උපන්නා. ඊට පස්සේ ශක්‍ර දෙවියෝ කියනවා “මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා මම මෙතැන චුතවෙලා, ආයෙමත් මෙතැනටම ආවා” කියලා. ඒ කියන්නේ මේ කතා කර කර ඉන්දැද්දි චුතවෙලා ඒ වෙලාවේම එතැනම ඕපපාතිකව ඉපදිලා.
බිම්බිසාර රජ්ජුරුවෝ මරණයට පත්වෙලා උපන්නේ ‘ජනවසභ’ කියලා දිව්යරාජයෙක් වෙලයි. පස්සේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණා. ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමත් දිව්‍ය රාජයෙක් වෙලයි ඉන්නේ.
එක තැනක තියෙනවා, විශාඛා මහෝපාසිකාව කළ පූර්වාරාම පූජාව බලාගෙන සතුටුවෙලා එයාගේ යෙහෙළියක් ‘පරනිම්මිත වසවත්තී’ කියන දිව්‍ය ලෝකයේ උපන්නා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ එයාගෙන් ඇහුවා “ඔයා කොහොමද මේ දිව්‍ය ලෝකයේ උපන්නේ?” කියලා.
“අනේ ස්වාමීනී, විශාඛාව මගේ යෙහෙළියක්. ඇය බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝයාට ආරාමයක් හදලා පූජා කළා. මට හරි සතුටුයි. මම ඒක අනුමෝදන් වුණා. මට වෙන පිනක් කරගන්න හම්බ වුණේ නෑ. මම මේ දිව්‍ය ලෝකයේ උපන්නේ ඒ පිනෙන්.” බලන්න පින අපේ ජීවිතවලට සම්බන්ධ වෙන හැටි.
එහෙම නම් දිව්‍ය ලෝකයේ ඉන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉද්දී ගොඩාක් පින් කරපු අය. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකවල ආයුෂ පවා විස්තර කරනවා. මට මතක හැටියට මිනිස් ආයුෂ අවුරුදු හාරසියයක් තුසිත දිව්‍ය ලෝකයේ එක දවසයි. එතකොට ඒ ලෝකයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තවම දවස් හයයි හතයි.
අපි නුවණින් කල්පනා කරල බැලුවොත්, කෙනෙකුට ගෞතම බුද්ධ ශාසනය මුණගැසුනට පස්සේ එයාට ආත්මභාව තුන හතරකින් සංසාරයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේ උතුම් අවස්ථාවක් තමයි අපි අපේ මේ පණ්ඩිතකම් නිසා අහිමි කරගන්නේ. එහෙම නැතුව අපි මේ අවස්ථාව හරියටම අල්ලා ගත්තොත්, බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තොත් කවුරු මොනවා කිව්වත් තමන් ඒ මාර්ගයේ යනවා. ඒක තමයි වැදගත්ම කාරණය. දැන් අපි කතා කළේ (සත්ථා දේවමනුස්සානං) දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ කියන බුදු ගුණය ගැනයි.
→ මතු සම්බන්ධ යි…
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්
sadu… sadu… sadu….