ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

මේලිපියෙන් අපි ඉගෙනගන්නේ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි පැහැදීම ඇතිවන දේශනාවක්. මේ දේශනාවේ නම ඡබ්බිසෝධන සූත්‍රය. මේ දේශනාව ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායටයි.

ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. භික්ෂූන් වහන්සේලා අමතලා කියනවා, “මහණෙනි, රහතන් වහන්සේ නමක් කියලා ප්‍රතිඥා දෙන භික්ෂුවක් ඉන්න පුළුවන්. මගේ ඉපදීම අවසන් වෙලා ඉන්නේ. මං මේ නිවන් මග සම්පූර්ණ කළා. මට අයෙමත් ඉපදීමක් නෑ. මට ආයෙමත් කරන්න දෙයකුත් නෑ කියලා කියන, තමන් සම්පූර්ණ බව කියන භික්ෂුවක් ඉන්න පුළුවන්.” එතකොට ඒ භික්ෂූව එහෙම කිව්වහම, “එකපාරට පිළිගන්න යන්න එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා” කියනවා.

එයාගෙන් අහන්න කියනවා මෙන්න මේ විදිහට. “ආයුෂ්මතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කරුණු හතරක් විස්තර කරනවා. මෙන්න මේවා තමයි ඒ. යමක් දැක්කොත්, ඒ දැකපු තැනින් අවසන් කිරීමක් ගැන. යමක් ඇසුවොත්, අසපු තැනින්ම අවසන් කිරීමක් ගැන. යමක් ආඝ‍්‍රාණය කළොත්, ආඝ‍්‍රාණය කරපු තැනින් ඉවරයි. දිවෙන් රස වින්ඳොත්, රස විඳපු තැනින් ඉවරයි. කයින් පහස ලැබුනොත්, පහස ලැබූ තැනින් ඉවරයි. හිතට හිතුනොත්, ඒ තැනින් ඉවරයි. අමුතු සංස්කාර හැදෙන්නෙ නැති අවබෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ අන්න ඒ කරුණු මොන විදිහටද තේරුම් ගත්තේ?” කියලා අර භික්ෂුවගෙන් අහනවා.

එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේ, රහතන් වහන්සේ නමක් නම්, කළ යුතු සියල්ල ඉවරකරපු කෙනෙක් නම්, කෙලෙස් බර බැහැර දැමූ කෙනෙක් නම්, දුකෙන් නිදහස් වෙච්ච භික්ෂුවක් නම්, ඒ භික්ෂුව මෙන්න මෙහෙම කියනවා.”

“ආයුෂ්මතුනි, මං රූපය දැක්කට පස්සේ ඒ දැකපු රූපයේ බැසගන්නෙ නෑ. දැකපු රූපයෙ හිත පිහිටන්නේ නෑ. ඒකෙ මිශ‍්‍ර වෙන්නේ නෑ. එයින් නිදහස් වෙලා මං ඉන්නවා” කියලා ඒ රහතන් වහන්සේ විස්තර කරනවා. “කනෙන් ශබ්දය ඇහැව්වට පස්සේ අහන ශබ්දයේ හිත බැසගන්නෙ නෑ. ශබ්දය එක්ක එකතු වෙන්නේ නෑ. ශබ්දයෙන් නිදහස් වෙලා ඉන්නවා. නාසයෙන් ආඝ‍්‍රාණය කළාම ඒකෙ හිත බැසගන්නෙ නෑ. ඒකට එකතු වෙන්නේ නෑ. නිදහස් වෙලා ඉන්නවා. දිවෙන් රස වින්දහම රසයේ හිත බැසගන්නෙ නෑ. රසයත් එක්ක එකතුවන්නේ නෑ. රසයෙන් නිදහස්වෙලා ඉන්නවා. කයට පහස දැනුනාම පහසේ හිත බැසගන්නේ නෑ. පහසින් නිදහස් වෙලා ඉන්නවා. සිතට සිතුවිලි හිතෙනවා, සිතුවිලි එනවා. ඒකේ සිත බැසගන්නෙ නෑ. එකතු වෙන්නේ නෑ. සිතුවිලිවලින් නිදහස් වෙනවා” කියලා එයා උත්තර දෙනවා. එතකොට මෙයාට “ආ… බොහෝම හොඳයි” කියලා අනුමෝදන් වෙන්න කියනවා.

ඊට පස්සේ ආයෙත් ප්‍රශ්නයක් අහන්න කියනවා මෙහෙම, ”ආයුෂ්මතුනි, ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධ ගැන. ඒ තමයි, රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඤ්ඤාණ උපාදානස්කන්ධ කියලා. මේ දුක ගැන පංච උපාදානස්කන්ධ හැටියට දේශනා කළා. ඔබ ඕක කොයි විදිහටද අවබෝධ කළේ?” කියලා අහන්න.

අහනකොට “යම්කිසි භික්ෂුවක් රහත් වෙලා නිවන අවබෝධ කරලා, කෙලෙස් රහිත වෙලා, කිසිවකට බැඳෙන්නෙ නැතිව නිදහස් වෙලා නම් මෙන්න මේකයි දෙන උත්තරේ” කියනවා.

“ආයුෂ්මතුනි, රූපය කියලා කියන්නේ බල රහිත වෙච්ච එකක්. ඒ කියන්නේ, රූප කියන්නේ සතර මහා ධාතූන්ගෙන් හටගත්ත දේ. සතර මහා ධාතූන්ගෙන් හටගත්ත රූපයට මම ඇලෙන්නේ නෑ. (අනස්සාසිකා) අනස්සාසිකා කියන්නේ ‘ඒකෙන් මං ආශ්වාදයක් හොයන්නේ නෑ’ ඇල්මක් හොයන්නේ නෑ.

ඒ නිසා මේ සතර මහා ධාතූන් ගෙන් හටගත්ත රූපය ගැන (මේකෙ හොඳ වචනයක් තියෙනවා.) (උපයූපාදානාචේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා) සිත බැසගන්නවා නම්, රූපයට සිත බැඳෙනවා නම්, රූපය ගැන සිතේ අධිෂ්ඨානයක් ඇතිකර ගන්නවා නම්, රූපය ගැන සිතේ හැඟීමක් ඇතිවෙනවා නම් (තේසං ඛයා) ඒවා ඔක්කොම ක්ෂය වෙලා ගියා. (විරාගා) නොඇලී ගියා. (නිරෝධා) නිරුද්ධ වුනා. (චාගා) අත්හැරියා. (පටිනිස්සග්ගා) දුරින්ම දුරුකළා. (විමුත්තං මේ චිත්තන්ති) මගේ හිතෙන් මං නිදහස් වුනා. රූපයට මං නොඇලූනා” කියලා කියනවා.

වේදනා කියන්නේ විඳීම. දැන් අපට නොතේරුනාට සාමාන්‍යයෙන් අපි වේදනා කියලා කියන්නේ අපට රිදෙන එකටනේ. අපට රිදුනාම අපි කියනවා ‘අපට හරි වේදනයි’ කියලා. අපට හිත රිදුනහමත් අපි කියනවා ‘වේදනයි’ කියලා. කය රිදුනහමත් කියනවා ‘වේදනයි’ කියලා. ධර්මයේ වේදනා කියන්නේ විඳීම විතරක් නෙවෙයි. සතුටටත් වේදනාවයි කියන්නෙ. (හිතට සතුටක් ආවාහම අපි කියනවද, ආ… හරි වේදනයි කියලා?” කියන්නේ නෑ. අපි දුකට විතරයි වේදනා කියලා කියන්නේ.) ධර්මයේ සැපයටත් කියනවා වේදනා කියලා. දුකටත් කියනවා වේදනා කියලා. උපේක්ෂාවටත් කියනවා වේදනා කියලා. සාමාන්‍යයෙන්අපිට කයට දැනෙන කොට තමයි අපි වේදනා කියලා කියන්නේ. ධර්මයේ වේදනා කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම හිතට ඇතිවෙන දේ. කනෙන් ශබ්දයක් ඇහුවාම හිතට ඇතිවෙනවා නම් සැපක් ඒක සැප වේදනාව. සිතට ඇතිවෙනවා නම් දුකක් ඒක දුක් වේදනාව. සිතට ඇතිවෙනවා නම් මධ්‍යස්ථ බවක්, උපේක්ෂා වේදනාව.

නාසයෙන් ආඝ‍්‍රාණය කළාමත් එහෙමයි. දිවෙන් රස වින්ඳාමත් එහෙමයි. කයට පහස ලැබුනාමත් එහෙමයි. සිතට සිතුනාමත් එහෙමයි. සිතට ඇතිවන සමහර කාරණා හිතුනහම, හිතට දුකක් ඇතිවෙනවා. එතකොට ඇති වෙන්නේ මොන වේදනාද? දුක් වේදනාව. සිතට සමහර කාරණා හිතුනහම සතුටක් එනවා. ඒක සැප වේදනාව. සිතට සමහර කාරණා එනකොට, එහෙම විශේෂයක් වෙන්නෙ නෑ. උපේක්ෂා වේදනාව.

ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අර භික්ෂුවගෙන් ඇහුවායින් පස්සේ ඒ භික්ෂුව කියනවා ”ආයුෂ්මතුනි, මේ වේදනාව කෙරෙහි මගේ සිත බැස ගන්නේ නෑ. ඒ විඳීමට සිත ඇලෙන්නේ නෑ. ඒකට එකතු වන්නේ නෑ. ඒකට සිතෙන් යම් අධිෂ්ඨානයක් මං කළාද, යම් ඇල්මක් තිබුනද, බැසගැනීමක් තිබුනද ඒ ඔක්කෝම ක්ෂය වෙලා ගියා. ක්ෂය වෙනවා කියන්නේ නැතිවෙලා ගියා. ඇල්ම දුරුවුනා. ඇල්ම නිරුද්ධ වුනා. මගේ හිත විඳීමෙන් නිදහස් වුනා.

ඊළඟට සංඥාව. හඳුනගන්නවා. අපි ඇස් දෙකෙන් රූප හඳුනගන්නවා. කන් දෙකෙන් ශබ්ද හඳුනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නවා. දිවෙන් රස හඳුනගන්නවා. කයෙන් පහස හඳුනගන්නවා. සිතට එන අරමුණු හඳුනගන්නවා. මේවත් අවබෝධ කරලා, ඒ කෙරෙහි තිබෙන ඇල්ම සම්පූර්ණයෙන්ම දුරුකළා. ඒකෙන් මං නිදහස් වුනා කියනවා.

මෙතන සංස්කාර කියන්නේ චේතනාව. ඇහෙන් රූපයක් දැක්කහම අපිට ඒ දැකපු රූපය ගැන චේතනා ඇතිවෙනවා. අපි දන්නෙ නෑ චේතනා ඇති වෙන බව. චේතනා ඇතිවෙලා ඊට පස්සේ තමයි අපි ඒ ගැන හිතන්න පටන් ගන්නේ. ඒ කියන්නේ වචන කථා කරන්න පටන් ගන්නේ. කි‍්‍රයා කරන්නේ. ඉතින් මේ විදිහට ඇහෙන් රූපයක් දැක්කහම චේතනා ඇතිවෙනවා. කනෙන් ශබ්දයක් ඇහුවාම චේතනා ඇතිවෙනවා. නාසයෙන් ආඝ‍්‍රාණය කළාම චේතනා ඇතිවෙනවා. දිවෙන් රස වින්ඳහම චේතනා ඇතිවෙනවා. කයට පහස ලැබුනහම චේතනා ඇතිවෙනවා. හිතට හිතුනහම චේතනා ඇතිවෙනවා. ඉතින් මේ චේතනා ගැන යම් ඇල්මක්, බැසගැනිල්ලක්, එහි හිත පිහිටුවීමක් තිබ්බද, ඒක සම්පූර්ණයෙන්ම ක්ෂය කරලා දාලා, දුරුකරලා දාලා, නැතිකරලා දාලා, ඒකෙන් නිදහස් වුනා කියනවා.

ඊළඟට විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ දැනගැනීම. ඇහැයි, රූපයයි එකතු වුනහම ඇහේ විඤ්ඤාණය හටගන්නවා. කනයි ශබ්දයයි එකතු වෙනකොට කනේ විඤ්ඤාණය හටගන්නවා. නාසයෙන් ආඝ‍්‍රාණය කරන කොට නාසයේ විඤ්ඤාණය හටගන්නවා. දිවට රස දැනෙන කොට දිවේ විඤ්ඤාණය හටගන්නවා. කයට පහස දැනෙන කොට කයේ විඤ්ඤාණය හටගන්නවා. හිතට අරමුණක් එන කොට හිතේ විඤ්ඤාණය හටගන්නවා. මේ කෙරෙහි අවබෝධ කරගෙන, මේ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ කරලා දාලා, ඇල්ම ක්ෂය කරලා දාලා, ඒකෙන් නිදහස් වුනා, ඒක මම අවබෝධ කරගත්තා. මගේ හිත මේවයින් මිදුනා කියලා, අවබෝධ කරගත්තා” කියලා. රහතන් වහන්සේ උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, “හොදයි! හොඳයි! කියලා අනුමෝදන් වෙන්න” කියනවා.

අනුමෝදන් වෙලා ආයෙත් අහන්න කියනවා මෙහෙම, ”ආයුෂ්මතුනි, ඒ භාග්‍යවත් අරහත් සම්බුදු රජාණන් වහන්සේ ධාතු හයක් දේශනා කරලා තියෙනවා. ධාතු කියලා කියන්නේ, සාමාන්‍යයෙන් ඔය පරිවර්තනවල නම් element කියනවා. නමුත් මේ ධාතු කියන එක මේකෙදි අපට තේරුම් ගන්න තියෙන්නේ මෙහෙමයි.

පඨවි ධාතු කියන්නේ පොළොවට පස් වෙලා යන දේවල්. අපේ ශරීරයේ තියෙනවා. ඒවට කියනවා පඨවි ධාතු. දැන් අපි උදාහරණයක් ගනිමු. අපි නියපොතු කපලා දානවනේ පොළොවට. පස්වෙලා යන්නෙ නැද්ද ඒවා? එතකොට කෙස්. කොණ්ඩෙ පීරන කොට කෙස් ගැලවිලා එනවා. ඒවා එහෙම්ම පස්වෙලා යන්නෙ නැද්ද? එතකොට අපි ජීවත් වෙලා ඉන්දැද්දිම අපේ කොටස් පස් වෙනවනේ. ‘පඨවි ධාතු’.

ඊළඟට ආපෝ ධාතු කියන්නේ වතුරේ දිය වෙලා යන දේවල් අපේ ශරීරයේ තියෙනවා. තේජෝ ධාතු කියන්නේ රස්නේ දේවල්. වායෝ ධාතු කියන්නේ මේ සුළෙඟේ ගහගෙන යන දේවල්. අපේ ශරීරයේ තියෙනවා. ආකාස ධාතු කියන්නේ යමක් තියෙන්න පුළුවන් ඉඩකඩ. ඒ කියන්නේ? දැන් ඔන්න ගලනාලයේ, ආකාස ධාතුව තියෙනවා. ඒ නිසයි අපිට බොන්න පුළුවන්. ඒ අවකාශය. දේශනාවේ තියෙන්නේ කන් සිදුර, නාස් සිදුර, ගලනාලය, බඩවැල්වල ඒ හිස් බව තියෙන තැන්. අපි කියමු හොඳට අපි කාලා බඩ පිරුනා. එතකොට ඒ අවකාශ ධාතුව වැහිල නැද්ද? තව කන්න බෑනේ. එතකොට අවකාශ ධාතුව කියන්නේ ඒකටයි.ඊළඟට විඤ්ඤාණ ධාතුව කියල කියන්නේ මේ ඇහේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හට ගන්න විඤ්ඤාණය. එතකොට මේ ධාතු කියන්නේ ස්වභාවය කියන අර්ථය.

මේ ධාතු හය ගැන ඔබවහන්සේගේ අවබෝධය මොකක්ද? කියලා අර රහතන් වහන්සේගෙන් අහනවා. අහනකොට ඒ රහතන් වහන්සේ උත්තර දේවි කියනවා මෙහෙම, (පඨවිධාතුං ඛෝ අහං ආවුසෝ න අත්තතෝ උපගච්ජිං) ආයුෂ්මතුනි, මම පඨවි ධාතුව ආත්මය කියලා ගත්තේ නෑ කියනවා. මගේ දෙයක් හැටියට මම අයිතියක් හඟවගත්තේ නෑ කියනවා. (න ච පඨවිධාතු නිස්සිතං අත්තානං) මේ පඨවි ධාතුව ඇසුරු කරපු මම කියල ඉන්නවා කියලත් මම ගත්තේ නෑ. (යේ ච පඨවිධාතුනිස්සිතා උපයූපාදානා චේතසෝ අධිට්ඨානාභිනිවේසානුසයා) මේ පඨවි ධාතුව ඇසුරු කරගෙන යම්කිසි සිතේ ඇල්මක් බැසගෙන තියෙනවා නම්, බැඳීමක් තියෙනවා නම්, ඒකේ සිත පිහිටුවා ගෙන ඉන්නවා නම්, අන්න ඒ සියල්ලම මගේ හිතෙන් ක්ෂය වෙලා ගියා, ඒකට නොඇලී ගියා, ඒක නිරුද්ධ වුනා, ඒ ඇල්ම දුරින්ම දුරු කළා, මගේ සිත පඨවි ධාතුවෙන් නිදහස් වුනා.

ඊට පස්සේ කියනවා “ආයුෂ්මතුනි, ආපෝ ධාතුවෙත් අන්න ඒ විදිහට හිත බැසගත්තේ නැතිව, ආපෝ ධාතුවෙනුත් මම නිදහස් වුනා.” අපි නිදහස් නෑනේ. අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒක. අපි මේ සතර මහා ධාතුන්ට බැඳිල ඉන්නේ. අපි නිදහස් වෙලා නෙවෙයි ඉන්නෙ. විඤ්ඤාණයට බැඳිලා ඉන්නේ. මේකෙ තියෙනවා බැඳිලා ඉන්න ආකාරය. එක්කෝ අපි තමා කියලා අයිතියකින් බැඳෙනවා. එහෙම නැත්නම් මෙය ඇසුරු කරගෙන අපි හිත පවත්වනවා. ඇල්ම පවත්වනවා (අපේ බලාපොරොත්තු ඔක්කෝම තියෙන්නේ මේ ධාතු ගොඩත් එක්කයි.) එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. “මහණෙනි, එතකොට ඒ භික්ෂුව කියයි ඔය විදිහට”.

ඊළඟට ආපෝ ධාතුව කියන්නේ වතුරේ ගහගෙන යන දේවල්. අපි ලඟ තියෙන්නේ ආපෝ ධාතුව පිත, සෙම, සැරව, ලේ, සොටු, දහඩිය… කියන මේවා. මුත‍්‍රා ආදී දේවල්.

තේජෝ ධාතුව කියන්නේ… කන බොන දේවල් ඔක්කෝම දිරවන්නේ තේජෝ ධාතුවෙන්. අපි මෝරන්නේ, වයසට යන්නේ, උස මහත් වෙන්නේ තේජෝ ධාතුව මුල් වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට තියෙන ඇල්මත් දුරුකරලා, එයා තේජෝ ධාතුවෙන් නිදහස් වෙනවා.

වායෝ ධාතුව මෙහෙම විස්තර කරනවා. ආශ්වාස කරන්නේ වායෝ ධාතුව. ප‍්‍රශ්වාස කරන්නේ වායෝ ධාතුව. ඊළඟට බඩ ඇතුලේ තියෙන හුළං වායෝ ධාතුව. උගුරට එන්නේ වායෝ ධාතුව. මේ වගේ ඒවත් ඇසුරු කරගෙන අපි හිත පවත්වනවා. ඒකත් අවබෝධ කරලා නිදහස් වෙනවා.

ආකාස ධාතුව, විඤ්ඤාණ ධාතුවත් එහෙමයි. දැන් මේකෙ තියෙනවා, “විඤ්ඤාණ ධාතුව මම කියලා ගන්නෙත් නෑ. මගේ ආත්මය කියලා ගන්නෙත් නෑ. විඤ්ඤාණ ධාතුව ඇසුරු කරගෙන පවත්වන්නෙත් නෑ. විඤ්ඤාණ ධාතුව ඇසුරු කරගෙන හිතේ බැසගැනීමක් තිබුන නම් සම්පූර්ණයෙන්ම ඒක දුරුකරල දාලා, විඤ්ඤාණ ධාතුවෙන් මං නිදහස් වුනා. මේ ධාතු හය අල්ලා නොගෙන මේ සියලූ කෙලෙසුන්ගෙන් මිදුනා” කියල කියනවා. එතකොට බලන්න රහතන් වහන්සේ කිව්වාම ඔය කියපු හැම අවබෝධයම රහතන් වහන්සේට තියෙනවා.

අපි කලින්ම කිව්වේ. ඇහින් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්… ඒවා සකස් කරන්නේ නැතිව නිදහස් වුනා කියලා. ඊළඟ එකේ අපි කිව්වේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරලා ඒකෙන් නිදහස් වුනා කියලා. මේකෙ අපි මොකක්ද කිව්වෙ? ධාතු හය අවබෝධ කරලා ඒකෙන් නිදහස් වුනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා “එතකොට මහණෙනි, බොහෝම හොඳයි කියලා සතුටු වෙන්න” කියලා. අනුමෝදන් වෙන්න කියනවා.

අනුමෝදන් වෙලා ආයෙත් කියනවා. මොකක්ද? “ආයුෂ්මතුනි, ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික බාහිර ආයතන හයක් ගැන දේශනා කරලා තියෙනවා. ඒ තමයි ඇස-රූප, කන-ශබ්ද, නාසය-ගඳසුවඳ, දිව-රස, කය-පහස, මනස-අරමුණු. මේවා තමයි මේ ආයතන හය. මේ ගැන ඔබට අවබෝධ වුනේ කොහොමද? ඔබ මේකෙන් නිදහස් වුනේ කොහොමද?” කියලා අහන්න කියනවා. එතකොට ඒ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා මෙන්න මේ විදිහට.

“ඇහැ ගැනත්, ඇහැට පෙනෙන රූප ගැනත්, ඇහේ විඤ්ඤාණය ගැනත්, මේ තුන එකතුවුනාම යමක් ගැන අවබෝධ කරගන්නවාද, යමක් ගැන දැනගන්නවාද, ඒ ගැනත්, මට යම්කිසි ආසාවක් තිබ්බ නම්, රාගයක් තිබ්බ නම්, බැඳීමක් තිබ්බ නම්, තණ්හාවක් තිබ්බ නම්, බැසගැනීමක් තිබ්බ නම්, සිතෙන් අධිෂ්ඨානයක් තිබ්බ නම් ඒ සෑම දෙයක්ම ක්ෂය වෙලා ගියා, නැතිවෙලා ගියා, නිරුද්ධ වුනා. ඒ නිසා මං අවබෝධ කරගත්තා. මගේ සිත මේවයින් නිදහස් වුනා” කියලා.

කියනවා, “ආයුෂ්මතුනි, කන ගැන, නාසය ගැන. දිව ගැන, කය ගැන ඒ විදිහටම අවබෝධ කළා… මනස ගැන, මනසට සිතෙන අරමුණු ගැන, මනෝ විඤ්ඤාණය ගැන, මනෝ විඤ්ඤාණයෙන් දැනගත යුතු දේවල් ඇද්ද, ඒවා ගැන මගේ තිබිච්ච ආසාව, තණ්හාව, බැසගැනිල්ල සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා ගිහිල්ලා මං මේකෙන් නිදහස් වුනා” කියලා ඒ රහතන් වහන්සේ උත්තර දෙනවා. එතකොට “හොඳයි” කියලා අනුමෝදන් වෙන්න කියනවා.

ඊට පස්සේ අහන්න කියනවා, “ඔබවහන්සේට මේ විඤ්ඤාණය සහිත කය ගැනත්, බාහිර අරමුණු ගැනත්, ‘මමය, මාගේය’ කියන හැඟීම සම්පූර්ණයෙන් නැතිවෙලා ගියේ කොහොමද?” කියලා. ඇහුවාම මෙන්න මෙහෙම උත්තර දෙනවා කියනවා.

ඔන්න එතැන ඉඳල තියෙනවා සුපටිපන්නෝ කියන එක විස්තර වශයෙන්. ඔන්න තියෙනවා, ඒ රහතන් වහන්සේ මෙහෙම කියයි “ආයුෂ්මතුනි, මම ඉස්සර ගිහිගෙදර ගත කරපු එක්කෙනෙක්. (දැන් මේ රහතන් වහන්සේ විස්තර කරනවා) (අවිද්දසු අහෝසිං) මට මේ චතුරාර්ය සත්‍යය ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නෑ. (දැන් මෙයා කියනවා.) මට දවසක් තථාගතයන් වහන්සේ, තථාගත ශ‍්‍රාවකයන් වහන්සේ නමක් මුණගැසුනා. මට බණ අහන්න ලැබුනා. මං ඒ ධර්මය අහලා (තථාගතේ සද්ධං පටිලභති) තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන ශ‍්‍රද්ධාව ඇතිවුනා. (අපි කලින් ඒක ඉගෙන ගත්තනේ.) දැන් බලන්න ඒවා ආයේ මතුවෙන තාලේ. (තථාගතේ සද්ධං පටිලභති) තථාගතයන් වහන්සේ කෙරෙහි ශ‍්‍රද්ධා ප‍්‍රතිලාභය ඇතිවුනා.

ඉතින් ඒ ශ‍්‍රද්ධා ලාභයෙන් යුක්තව (ඔන්න වචනෙ… මොකෙන් යුක්තවද? ශ‍්‍රද්ධා ලාභයෙන් යුක්තව) මං මෙහෙම කල්පනා කළා. මට ගෙදර ඉඳලා මේ කියන ධර්මය අවබෝධ කිරීම කරගන්න බැහැ. මොකද හේතුව (සම්බාධෝ) කරදර වැඩියි. (රජාපථෝ) කෙලෙස්මයි හටගන්නේ. (අබ්භෝකාසෝ පබ්බජ්ජා) ඒ වුනාට පැවිදි ජීවිතය නම් හරි නිදහස්. ආකාසේ වගෙයි. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන ආකාරයට මුලූමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මග, මට මේ ගෙදර ඉඳලා පුරුදු කරන්න බැහැ. මම මේ ගිහි ජීවිතේ අත්හරින්න ඕන. මම කෙස් රැවුල් බාලා කසාවත් පොරවා ගෙන ගිහිගෙයින් නික්මුනා. මම සියලු දේපල වස්තුව අත්හැරියා. මම සියලූ නෑදැයන් අත්හැරියා. මම බුද්ධ ශාසනේ මහණ වුනා”.

දැන් ඔන්න, ඉස්සෙල්ලා මෙයා කවුද? ගිහි කෙනා. අවබෝධය තිබිච්ච කෙනෙක්ද? අවබෝධය නැති එක්කෙනෙක්ද? අවබෝධය නැති එක්කෙනෙක්. එයාට මුණ ගැහුනා බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක්. ධර්මය ඇහුවා. ඊට පස්සේ එයාට ශ‍්‍රද්ධාව ඇතිවුනා. ශ‍්‍රද්ධාව ඇතිවෙලා එයා කල්පනා කළා, මට මේක සම්පූර්ණ කරගන්න නම් ගෙදර ඉඳලා බැහැ. මට මේක අවබෝධ කරන්නත් ඕන. එතකොට ගිහි ජීවිතය අත්හරිනවා. පැවිද්ද අහස වගේ. පැවිදි වුනා. පැවිදිවෙලා කියනවා,

“මෙන්න මං පැවිදිවෙලා සිල්පද සමාදන් වුනා. සමාදන්වෙලා මං ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කළා. ප්‍රාණඝාතය පිණිස මං දඬු මුගුරු පාවිච්චි කළේ නෑ. ආයුධ පාවිච්චි කළේ නෑ. මං ඒකට ලැජ්ජයි. මම සතුන් කෙරෙහි දයාවෙන්, සියලූ ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කළා. (දැන් මේ සිල්පද රැකපු හැටි කියනවා.) මම සොරකම අත්හැරපු කෙනෙක්. සොරකම අත්හැරියා. මම දුන්න දෙයක් විතරයි පිළිගත්තේ. මම සොරසිත් රහිතව පිරිසිදු ජීවිතයක් ගෙව්වා. මම බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙව්වා. අබ්‍රහ්මචාරී වුනේ නෑ. මම බොරු කිව්වේ නෑ. මෙයා කියනවා, මම සත්‍යවාදී වුනා. ඇත්තෙන් ඇත්ත ගලපන කෙනෙක් වුනා. ලෝකයේ අර්බුද ඇතිවෙන පද හදන්න ගියේ නෑ. මම කේලාම් කිව්වේ නෑ. (කේලම විස්තර කරනවා මෙහෙම. මොකක්ද කේලම කියන්නේ? කේලම කියන්නේ (ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා) මෙතැන අහගෙන ගිහිල්ලා එතැන කියන්නේ නෑ මෙතැන බිඳවන්න. ඒක තමයි කේලම. එතැනින් අහගෙන ගිහිල්ලා ඒක මෙතැන කියන්නේ නෑ, එතැන බිඳවන්න. එතකොට බිඳෙනවා. කේලම හරියට ටෙලිෆෝන්වලින් කරනවානේ. එතකොට අහගෙන ඉඳලා කියපු ගමන් අනෙක් එක්කෙනාගේ හිත රිදුනද කේලම තමයි ඒක.) මං එහෙම කරන්න ගියේ නෑ. (ඉති භින්නානං වා සන්‍ධාතා) මම බිදිච්ච අය එකතු කළා. (සහිතානං වා අනුප්පදාතා) මම සමඟි වෙන්න උදව් කළා. (සමග්ගාරාමෝ) මම සමඟියට සතුටුවුනා. (සමග්ගරතෝ) සමඟියට ඇලූනා. (සමග්ගනන්‍දී) සමගියෙන් ප්‍රමුදිත වුනා. (සමග්ගකරණීං වාචං භාසිතා අහෝසිං) මම සමඟිය ඇතිවෙන දේවල්මයි කිව්වේ.

ඊට පස්සේ (පරුසං වාචං පහාය) පරුෂ වචනය අත්හැරියා. (පරුෂ වචනය අත්හැරියම මොකද වෙන්නේ?) යම් වචන තියෙනවා නම් (නේලා) මිහිරි, (කණ්ණසුඛා) කනට සැප. (පේමණියා) පේ‍්‍රමණීය. (හදයංගමා) හදවතට සනීපය ඇතිවෙන. (පෝරී) ශිෂ්ට සම්පන්න. (බහුජනකන්තා) බොහෝ දෙනා කැමති මනාප වචන මම කිව්වා. (සම්ඵප්පලාපා) මං නිසරු දේ කථා කළේ නෑ. මං කතා කළේ (කාලවාදී) කාලයට ගැලපෙන වචන, (භූතවාදී) ඇත්ත දේවල්, (අත්ථවාදී) අර්ථවත් දේ, (ධම්මවාදී) ධර්මය, (විනයවාදී) විනය, (නිධානවතිං වාචං) කෙනෙකුට හිතේ ප්‍රයෝජනයට තබාගන්න ඕන දේවල් කිව්වේ. මං ඔන්න ඔය විදිහටයි සිල් ආරක්ෂා කළේ. (රහත් වෙන්න පදනම් වෙච්ච හැටි තමයි මේ කියන්නේ…)

මං වගා කටයුතු ආදිය කරන්න ගියේ නෑ. (බීජගාමභූතගාමසමාරම්භා) ගස් කොලන් සිඳින්න කපන්න කරන්න ගියේ නෑ. (ඒකභත්තිකෝ අහෝසිං රත්තුපරතෝ පටිවිරතෝ) මං රාත‍්‍රී ආහාරයෙන් වැළකිලා උදේ වරුවේ දානේ ගත්තා. විකාල භෝජනයෙන් වැළකුනා.

මම නැටුම්, ගැයුම්, වැයුම්, විසූක දර්ශන බලන්න ගියේ නෑ. මල් සුවඳ විලවුන් දරන්න ගියේ නෑ. ඇඟපත විසිතුරු වස්ත්‍රාභරණයෙන් සරසන්න ගියේ නෑ.

මං වටිනා සුඛෝපභෝගී ආසන පරිහරණය කරන්න ගියේ නෑ. මං මිල මුදල් පිළිගත්තේ නෑ. මම ධන ධාන්‍ය පිළිගත්තේ නෑ. අමු මස් පිළිගත්තේ නෑ. මම ස්ත‍්‍රී කුමාරියන් පිළිගත්තේ නෑ. දාස දාසියන් පිළිගත්තේ නෑ. එළුවෝ, කුකුළෝ පිළිගත්තේ නෑ. බලූ, බළල් පිළිගත්තේ නෑ. ඇත්තු ගවයෝ ආදිය පිළිගත්තේ නෑ. කුඹුරු වතුපිටි පිළිගත්තේ නෑ. මම එක එක් කෙනාගේ පණිවිඩ එහාට මෙහාට අරන් ගියේ නෑ. මම වෙළහෙලදාම් කරන්න ගියේ නෑ. මම කාටවත් ගහන්න බනින්න හිංසා කරන්න මොකක්වත් කරන්න ගියේ නෑ. (මේ කියන්නේ ආජීව පාරිශුද්ධිය ගැනයි.)

මම ලැබිච්ච දේකින් සතුටුවෙච්ච කෙනෙක්. මට තිබුනේ බඩගින්නට මොනවා හරි වළඳන්න පාත්තරෙයි, කයට පොරොවන්න සිවුර විතරයි. මම යන යන තැන පාත්තරෙයි සිවුරයි විතරක් ගෙනිච්චා, කුරුල්ලෙක් අත්තටු දෙක විතරක් අරන් යනවා වගේ. මම මේ විදිහට ආර්ය වූ ශීලයෙන් යුක්ත වෙලා බොහෝම සැපයක් විඳපු කෙනෙක්.

(ඔන්න ඊට පස්සේ කියනවා මාර්ගය දියුණු කරන හැටි. කොහොමද ඒ?) මම ඇහෙන් රූප දැක්කහම ඒ රූපයේ ඡායාව මතකයට ගත්තේ නෑ. කෙලෙස් හටගන්න රූපවල කොටස්වත් මං ගත්තේ නෑ. මං ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත්, යම් ප්‍රශ්නයක් ඇතිවෙනවද ඒ ප‍්‍රශ්න ඇතිවන ආකාරයට අසංවර කරගත්තේ නැතිව, ඇස නමැති ඉන්‍ද්‍රිය සංවර කරගෙන වාසය කළා. කනෙන් ශබ්ද අසද්දී ඒවා කොටස් වශයෙන් ඒ ශබ්දයේ කෑලි මතක තියාගත්තේ නෑ. කන නැමැති ඉන්ද්‍රිය සංවර කළා. නාසය නමැති ඉන්ද්‍රිය සංවර කළා. මං දිවෙන් රස වින්ඳට පස්සේ කෙලෙස් හටගන්න විදිහට ඒ රස මතක තියාගත්තේ නෑ. දිව සංවර කළා. කයට පහස ලැබුනට පස්සෙ කෙලෙස් හටගන්න විදිහට ඒක මතක තියාගත්තේ නෑ. කය සංවර කළා. (මනසා ධම්මං විඤ්ඤාය) මනසට අරමුණක් ආවාම මං ඒ අරමුණු හිතේ තියාගෙන කෙලෙස් ඉපැද්දුවෙ නෑ. මනස සංවර කරගත්තා කෙලෙස් ඇතිවෙන්නෙ නැතිවෙන්න. මං ඇස, කන, නාසය, දිව, කය, මනස සංවර කරගෙන මං මගේ ජීවිතය ඇතුලෙන් නිවැරදි සැපයක් වින්ඳා. (දැන් මේ විස්තර කරන්නේ රහත් වෙන්න අනුගමනය කළ වැඩපිළිවෙල ගැනයි)

(ඊළඟට ඒ රහතන් වහන්සේ කියනවා) මම ඇවිද ගෙන ඉදිරියට යද්දි, හැරිල එද්දී හරි කල්පනාවෙන් මං හිටියේ. වටපිට බලද්දි හරිම කල්පනාවෙන් හිටියේ. අතපය දිග හරිද්දිත් හකුලවද්දිත් හරි කල්පනාවෙන් හිටියේ. සිවුරු පරිහරණය කරද්දිත් හරි කල්පනාවෙන් හිටියේ. වළඳන දේවල්, පානය කරන දේවල්, හපා කන දේවල්, රස විඳින දේවල් ඒ ඔක්කොම හරි කල්පනාවෙන් කළේ. කොටින්ම මම වැසිකිලි කැසිකිලි ගියේ පවා කල්පනාවෙන්. මං යනකොට, ඉන්න කොට, වාඩිවෙලා ඉන්න කොට, සැතපී ඉන්න කොට, ඇහැරගෙන ඉන්න කොට, නිශ්ශබ්දව ඉන්න කොට හරි කල්පනාවෙන්, මේ ධර්ම මාර්ගයට බාධාවක් ඇතිවෙන්නේ නැතිවෙන්න කාලය ගෙව්වා. (බලන්න කොච්චර කැපවීමක් කරලද?)

මං මේ විදිහට ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්තව ඉඳලා හුදෙකලා තැන් හොයාගෙන ගියා. ගිහිල්ලා හුදෙකලා තැන්, ආරණ්‍යය, ගස්මුල්, කඳු, ගල්ලෙන්, සොහොන් පිටි, පාලූ තැන් මේවායේ මං වාසය කළේ. පිණ්ඩපාතය වළඳලා, ඊට පස්සේ පළඟක් බැඳගෙන වාඩිවෙනවා. වාඩිවෙලා භාවනා කරනවා. භාවනා කරලා පංච නීවරණයන් අවබෝධ කරගෙන, පංච නීවරණයන්ගෙන් හිත බේරගන්නවා.”

මොනවද පංච නීවරණ කියන්නේ? පංච නීවරණ කියලා කියන්නේ විමුක්ති මාර්ගය, චිත්ත දියුණුව, හිතේ පිරිසිදුකම වහන දේවල්. නීවරණයන්ගෙන් එකක් තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මොනව හරි එකක් හිතට ගියාට පස්සේ ඒකට ඇලූම් කරනවා. එතකොට එයාට වෙන මොකුත් කරන්න බැහැ. ඒකමයි ඔළුවේ වැඩ කරන්නේ. එතකොට ඒකට කියනවා කාමච්ඡන්දය. එහෙම නැත්නම් ව්‍යාපාදය. ව්‍යාපාදය කිව්වේ තරහ… ක්‍රෝධය ඇතිවුනාට පස්සේ මොකුත් කරන්න බැහැ, එයාට ඒකම හිතට එනවා. ඒක නීවරණයක්. එහෙම නැත්නම් ථීනමිද්ධය. නිදිමත එනවා, කම්මැලිකම එනවා මොකුත් කරන්න බැහැ. එහෙම නැත්නම් උද්ධච්ච කුක්කුච්ච. හිත විසිරෙනවා මුකුත් කරන්න බැහැ. එහෙම නැත්නම් සැකය.

“මං මේ පංච නීවරණ වලින් සිත පිරිසිදු කළා. මං මේවට එන්න නොදී පිරිසිදු කළා. පිරිසිදු කරලා මං පළවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළා. (මේ රහතන් වහන්සේ කියනවා.) දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළා. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළා. හතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළා. එතකොට මගේ සිත පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා හිත පිරිසිදු වුනා. (දැන් අපි දන්නේ ඇඟවල් පිරිසිදු කිරිල්ල ගැන විතරනේ. අපි දන්නවා රෙදි හෝදන හැටි, රෙදි පිරිසිදු කරන හැටි. මේ කියන්නේ සිත පිරිසිදු කරන හැටි ගැනයි.)

හිත පිරිසිදු වුනා. හිත බබලන්න ගත්තා. හිත කිලිටු වන දේවල් බැහැර වුනාට පස්සේ, හිත මෘදු වුනා. හිත මෘදුවුනා කියන්නේ හිත හොඳට පදම්වුනා. දැන් අපි ගමු යකඩයක්. ඔය යකඩය නවන්න ඕන. නිකන් නවන්න බෑනේ. මොකද අපි ඒකට කරන්න ඕන? රත් කරන්න ඕන. රත් කළාට පස්සේ යකඩය නවන්න පුළුවන් ආකාරයට ඒ නැවීම නැමැති ක්‍රියාවට යෝග්‍යයි. රත්වෙලා තියෙන වෙලාවේ යකඩයේ නැවීම නැමැති දේ කරන්න පුළුවන්. ඒකට කියනවා කර්මණ්‍ය වෙලා කියලා. ක්‍රියාවට යෝග්‍ය වෙලා. ඒ වගේ මේ සිත මේ ධ්‍යානවලින් හොඳට දියුණු කරලා පිරිසිදු කරලා, සකස් කරලා, මෘදු කරලා තියෙනවා ක්‍රියාවට යෝග්‍ය පරිදි ඕන දෙයක් ඕන වෙලාවට කරන්න පුළුවන් විදිහට.

අන්න එහෙම කරලා (ආනෙඤජප්පත්තේ) බාහිර ශබ්දයකට, අරමුණකට ඒ හිතේ සකස් කරපු දේ වෙනස් කරන්න බෑ. දැන් අපි ගත්තොත් අපි බොහෝම සන්සුන්ව භාවනා කරගෙන ඉන්නවා කියලා. ලොකු ශබ්දයක් ආවොත් සමහර විට අපි ගැස්සෙනවා. ගැස්සෙන කොට අර හිතේ තියෙන තැන්පත් බව වෙනස් වෙනවා. ‘ආනෙඤ්ජප්පත්තේ’ කියන්නේ එහෙම වෙනස් වෙන්නේ නෑ කියන එකයි.

වෙනස් නොවෙන ආකාරයට හිත පවත්වගෙන මම කෙලෙස් නසන්න මේ හිත යොමු කළා. යොමු කරලා මම අවබෝධ කළා මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය, මේ තමයි දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යය, මේ තමයි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය, මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. මම අවබෝධ කළා මේවා තමයි ආශ‍්‍රව කියලා. ආශ‍්‍රව හටගන්නේ මේ ආර්ය සත්‍ය අවබෝධය නැති නිසා. මේ ආශ‍්‍රවයන් නැති කරන්න මේක තමයි මාර්ගය කියලා අවබෝධ කරගන්න කොට මගේ සිත කාම ආශ‍්‍රවයන්ගෙන් නිදහස් වුනා. භව ආශ‍්‍රවයන්ගෙන් නිදහස් වුනා. අවිජ්ජා ආශ‍්‍රවයන්ගෙන් නිදහස් වුනා. මගේ ජීවිතයේ විඤ්ඤාණය සහිත කය ගැන, බාහිර නිමිති ගැන, මමය මාගේය මාගේ ආත්මය කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. නිදහස් වුනා” කියනවා.

දැන් මේ රහතන් වහන්සේ නමකගේ විස්තරයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා “මහණෙනි, එතකොට ඒ භික්ෂුවට ‘බොහෝම හොඳයි’ කියලා අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙලා මෙහෙම කියන්න ‘(ලාභා නෝ ආවුසෝ) ආයුෂ්මතුනි, අපිට හරි ලාභයක් (සුලද්ධං නෝ ආවුසෝ) ආයුෂ්මතුනි, අපට හොඳ ලැබීමක් ඔබවහන්සේ වගේ ආයුෂ්මතුන් වහන්සේ නමක්, සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් අපි දැකපු එක’ කියලා සතුටු වෙන්න” කියනවා.

එතකොට අපි මේ විස්තර කළේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයාගේ වැඩපිළිවෙල. දැන් තේරෙනවාද සංඝ කියන ගණයට ගිහි අය දැම්මෙ නැත්තෙ ඇයි කියලා? මේ කියන්නේ පැවිදි කෙනෙකුගේ වැඩපිළිවෙලනේ. මේ ඒ ප‍්‍රතිපදාව. දැන් ඔය කියපු ශීලය, ඉන්ද්‍රිය සංවරය, නුවණින් කල්පනා කිරීම, හුදෙකලා විවේකය, භාවනා කිරීම. මේ ඔක්කොගේම ඉලක්කය රාගය, ද්වේෂය, මෝහය දුරුකිරීමයි. ඒකට කියනවා (සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ) භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා මනා වූ ප්‍රතිපදාවට පිළිපන් සේක.

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා මේ වැඩපිළිවෙල තුළ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ දියුණුව ලැබුවේ කියලා දන්නෙ නැත්නම් අපි පහදින්නේ කොහොමද? පහදින්නේ නෑනේ. අපි සමහර විට කවුරුහරි හාමුදුරු කෙනෙකුගේ මොකක් හරි අඩුපාඩුවක් දැකපු ගමන් සමහර අය මුළු බුද්ධ ශාසනයම අත්හරිනවා. ඇයි ඒ? ඒගොල්ලො හිතන්නේ බුද්ධ ශාසනය කියන්නේ අර හාමුදුරුවෝ කියලා.

සංඝයා අතර කොච්චර පිරිහිච්ච අය හිටිය දැක්කත් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු, ‘මම සරණ ගියපු ශ‍්‍රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා අවබෝධයෙන් හිටපු කෙනෙකුගේ පැහැදීම කාටවත් වෙනස් කරන්න බැහැ. අන්න ඒකයි වැදගත්කම. එහෙම නැත්නම් වෙන්නේ මොකද? සමහරු කියනවා අපිට නම් දැන් බුද්ධශාසනය එපා වෙලා තියෙන්නේ. අපිට බුද්ධාගමත් දැන් එපා වෙලා තියෙන්නේ කියනවා. මං අහල තියෙනවා සමහරු කියනවා එහෙම. ඒකට හේතුව මොකද? එයාට බුද්ධාගම එපා වෙලා තියෙන්නේ එයා බුද්ධාගම කියලා හිතාගෙන ඉන්නේ වෙනත් එකක්.

බුදුරජාණන් වහන්සේව හරියටම දැක්ක නම්, ගුණ වශයෙන් අවබෝධ කරගත්ත නම් කවදාවත් එපා වෙන්නේ නෑ, පහදිනවාමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට දැක්ක නම් පහදිනවාමයි. එපා වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා හරියට දැක්ක නම් පහදිනවාමයි, එපා වෙන්නේ නෑ. එතකොට මේ විදිහටයි අපි තේරුම් ගන්න ඕන ඒක, සුපටිපන්න ආදී ගුණ මේ විදිහයි කියලා.

මං අහල තියෙනවා එක කථාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔන්න එක රහතන් වහන්සේ නමක් එක දායක පින්වතෙක් දානෙකට වඩම්ම ගෙන යනවා. යනකොට මඩ වලක් තිබුනා. මේ රහතන් වහන්සේ මඩ වල උඩින් පැන්නා. පැනලා වැඩියා. අර පින්වතා කල්පනා කරනවා, “හරි අසංවරයි, මං පිරිකර දෙන්න හිටියේ… හැබැයි දෙන්නෙ නෑ… දානෙ විතරක් දෙනවා. (ඔන්න දැක්කනේ පැහැදිලා තියෙන හැටි.) ඊට පස්සේ ඊට වඩා පොඩි වලක් හම්බ වුනා. අර රහතන් වහන්සේ ඒකට බැහැල වඩිනවා. ඉතින් අර දායක පින්වතා අහනවා, “ස්වාමීනි, ඔබවහන්සේ ඉස්සෙල්ලා මීට වඩා ලොකු වලකින්නෙ අර පැන්නෙ. මේකෙනුත් පනින්න තිබ්බනේ.” “පින්වත, මං මේකෙන් පැන්න නම් මට දානෙත් නැතිව යනවා” කිව්වා.

ඒකෙ තේරුම මොකක්ද? එතකොට අපිට තේරෙනවා මේ වගේ බුද්ධ දේශනා හදාරලා තිබුනොත් විතරයි අවබෝධයෙන් පහදින්නේ. එහෙම නැත්නම් පහදින්නේ අවබෝධයෙන් නෙවෙයි, අපට ඕන කරන්නෙ just look අපි බලන්නේ ඒක. අපට ඕන නිකන් බලන්න. අපි සතුටු වෙන ආකාරයට ඉන්නවාද, අන්න එතැන තමයි බලන්නේ. කොහොම හිටියත් ප්‍රශ්නයක් නෑ, අපි සතුටු වෙන ආකාරයට ඉන්නවා නම්. දැන් මේ විදිහට හරියට කල්පනා කළොත්, බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයාගේ වැඩපිළිවෙල, මේ විදිහේ වැඩපිළිවෙලක් තුළයි නිකෙලෙස් වුනේ කියලා. ආන්න එතකොට තමයි අපිට හොඳට හිත පහදින්නේ. සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ.

ඊළඟට බලන්න මේ ශ‍්‍රාවක සංඝයාගේ සුපටිපන්න ගුණය. සාරිපුත්ත මහරහතන් වහන්සේට බඬේ අමාරුවක් හැදුනා. හොඳටම අමාරුයි. මුගලන් මහරහතන් වහන්සේ අහනවා “ඔබවහන්සේගේ මේ අසනීප තත්ත්වය කලිනුත් හැදිල තියෙනවාද?” කියලා. එතකොට කිව්වා “අනේ ආයුෂ්මතුනි, මට ගෙදරදිත් මේ අසනීපය හැදෙනවා” කිව්වා. ”ගෙදරදි හැදුනාම මොකද කරන්නේ?” කියලා ඇහුවා.

“එතකොට අපේ අම්මා මෙන්න මේ මේ බෙහෙත් වර්ග දාලා කැඳක් හදලා මට දෙනවා” කිව්වා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා, “ඔබවහන්සේ ලෙඩින් නොවැ. හම්බුවෙන්නෙ නැතැයි අපි පිණ්ඩපාතෙ වැඩි වෙලාවක” මේක අහගෙන හිටියා දෙවි කෙනෙක්. ඒ එහා පැත්තේ තිබුනා මාළිගාවක්. මාළිගාවේ හිටියා දූල. ඒ දූ කුමාරිට එයා වැහුනා. වැහිලා ඔන්න කැරකිලා වැටුනා. ඊට පස්සේ කිව්වා “මම යන්නෙ නෑ මේ ඇඟෙන්. අසවල් අසවල් බෙහෙත් ජාති ගනින්. හදාපන් කිව්වා කැඳක්. හදලා අද ස්වාමීන් වහන්සේ නමක් පිඬු සිඟා වඩිනවා පූජා කරපන්. එතකොට මං යනවා” කිව්වා.

ඊට පස්සේ ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ ඒ ගැන මුකුත් කල්පනා කළේ නෑ. වඩින කොට ඒ මාළිගාවෙන් කැඳක් දුන්නා. කැඳ දැක්ක ගමන් මුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා “මේ කැඳ අර සාරිපුත්ත හාමුදුරුවෝ කියාපු කැඳ.” අරගෙන පිටත් වෙන්න ලෑස්ති වුනා. “ස්වාමීනි, වඩින්න එපා ඉන්න. ඔබවහන්සේ වඩින්නෙ ඇයි?” කියලා ඇහුවා. “අසනීප වෙච්ච හාමුදුරු නමක් ඉන්නවා” කිව්වා. “නෑ… නෑ… ඔබවහන්සේ වළඳන්න තව තියෙනවා” කිව්වා. මුගලන් හාමුදුරුවෝ වැළඳුවා. තව කැඳ එකක් ගත්තා. අරගෙන ගෙනිච්චා. මුගලන් හාමුදුරුවෝ මේ කැඳ එක අරගෙන ගිහිල්ලා පාත්තරය අතට දීලා කියනවා “සාරිපුත්ත ස්වාමීන් වහන්ස, මං කිව්වනේ පින්වන්ත කෙනාට ලැබෙනවා කියලා.”

සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කළා ‘අපි කිව්වෙ නෑනේ කාටවත්ම. කොහොමද මේක ලැබුනේ?’ කල්පනා කරලා බැලූවා. බලන කොට සැරියුත් හාමුදුරුවෝ දැක්කා මේක වෙලා තියෙන්නේ කෙනෙක්ව පෙළලා. කෙනෙක්ව පීඩාවට පත්කරලයි මේක හම්බවුනේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා “ආයුෂ්මතුනි, මට එපා ඕක. ඕක ගිහිල්ලා අන්න එහා පැත්තට වීසි කරන්න. ඔයිට හොඳයි මං අපවත් වෙනවා.” සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කීම අහල මුගලන් මහරහතන් වහන්සේ නිශ්ශබ්දව පාත්තරේ අතට අරගෙන පිටිපස්සට ගිහිල්ලා පාත්තරේ මුනින් අතට හරවන කොට, කැඳ ටික ඔක්කෝම වැටෙන කොටම, බඬේ අමාරුව සදහටම සනීප වුනා. සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ…

අපි සුපටිපන්න කියන කොට රහතන් වහන්සේලා අයිතියි. සඟ ගුණ දන්නේ නැතිවනේ ගොඩක් අය සංඝයාගේ ප්‍රශ්නවලට පොදුවේ සංඝරත්නයටම බනින්නේ. එතකොට සුපටිපන්න කියන කොට ඔය ගුණවලට අයිතියි රහතන් වහන්සේලා. ඉතින් ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ’ භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝයා මනා වූ පිළිවෙතකට පිළිපන් සේක. බලන්න එතකොට උන්වහන්සේලා ආජීව පාරිශුද්ධියේ කොයිතරම් පිරිසිදු මට්ටමක ඉඳලද? කොයිතරම් පිරිසිදු මට්ටමක්ද? ඉතින් සමහර අවස්ථාවල් තියෙනවා සමහර භික්ෂූන් වහන්සේලාගේ ශික්ෂා ගෞරවය හිතන්න බැරි තරම් පුදුමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, පැන් පාවිච්චි කරන කොට පෙරහන්කඩයකින් වතුර පෙරලා වළඳන්න කියලා. සත්තු ඉඳියි කියලා.

ඉතින් ඒ කාලේ චාරිකාවේ වඩිනකොට හැමතිස්සෙම පරිෂ්කාරත් එක්ක පෙරහන්කඩයක් ලඟ තියෙනවා. හදිසියෙන් වතුර ටිකක් වළඳන්න, එක ස්වාමීන් වහන්සේ නමකට පෙරහන්කඩයක් තිබුනේ නෑ. ඒ ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක වැඩම කළා චාරිකාවක. දැන් ඔන්න වතුර තිබහයි. වතුර වළඳන්න ඕන. ඒත් පෙරහන්කඩයක් නෑ. ඉතින් උන්වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා “අනේ මට පෙරහන්කඩේ දෙනවද වතුර වළඳන්න?” අර හාමුදුරුවෝ කිව්වා “කෝ තමුන්නාන්සෙගේ පෙරහන්කකඩේ?” කියලා ඇහුවා. “අනේ මට නෑ” කිව්වා. “මං දෙන්නෙ නෑ” කිව්වා (ඒ කාලෙත් එහෙමයි). මේ ස්වාමීන් වහන්සේට පෙරහන්කඩයක් නෑ දැන්. (සමහරවිට වෙන පාරකින් යන්න වෙන්න ඇති.) පැන් වළඳන්න නැති නිසා අපවත් වුනා. අපවත් වුනත් වැළඳුවේ නෑ. බලන්න කොහොම ප්‍රතිපත්තියේ යෙදිලද කියලා…

හරි පුදුමයි මේ ලෝකේ… උදාර මනුෂ්‍යයන්ව ඔබ දකින්න ඕන නම් මම පරිවර්තනය කරලා තියෙනවා “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” කියලා ‘ථේර ථේරී ගාථා’. ලෝකයේ ශ්‍රේෂ්ඨම අය දකින්න ඕන නම්, අන්න ඒවා කියවන්න ඕන. මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම අයගේ ගති, ඒ අය හිතපු ඒවා, අදහස් ඔක්කෝම තියෙනවා. ඒක අපි සීඩී එකකට හදලා තියෙනවා “ථේර ගාථා” කියල. හරි වටිනවා. ඒක අහද්දි ඒ යුගයට අපිව යනවා. අතිශයින්ම සුන්දරයි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය. ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම්, අපිට අවබෝධ වෙන්නෙ නැත්නම්, අපේ හිත පහදින්නේ නෑ. ‘සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ’….

ඒ නිසා අපටත් ඒ ශ්‍රාවක සංඝරත්නය ගුණ වශයෙන් හඳුනාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ආකාරයේ පැහැදීමක් ඇතිකර ගන්න වාසනාව උදාවේවා!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්

[/fusion_text]

<< කලින් ලිපියට

මීළඟ ලිපියට >>