ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,
අපි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ විසින්ම අපට හඳුන්වා දීපු අරහං, සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ සමූහය ඉගෙන ගත්තා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් අවබෝධයෙන්ම දේශනා කොට වදාළ, ධර්මයෙහි තිබෙන්නා වූ මූලික ලක්ෂණ ගැන ඉගෙන ගත්තා. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වහන්සේලාගේ ගුණ සමූහය ගැන ඉගෙන ගත්තා. ඒ තුළින් අපට තෙරුවන් ගැන කිසියම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වුණා.
දැන් අපි ඉගෙන ගන්නේ සීලය ගැනයි. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවයි, ආර්යකාන්ත සීලයයි කියන මේ හතරට කියනවා, ‘සෝතාපත්ති අංග’ කියලා. ඒ කියන්නේ සෝවාන් වූ කෙනෙක් තුළ පිහිටන්නා වූ අංග. යම්කිසි කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ‍්‍රාවකයෙක් වෙලා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා, ගමන් කරනවා නම් ඒ ශ‍්‍රාවකයා තුළ මේ ලක්ෂණ හතර පිහිටනවා. ඒ මූලික ලක්ෂණ හතර තමයි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය, ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය, ආර්ය සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය සහ ආර්යකාන්ත සීලය. එයින් අද අපි ඉගෙන ගන්නේ සීලය ගැනයි.
ඔබ බොහෝ කාලයක් තිස්සේ පන්සිල් සමාදන් වෙනවා. මේ පන්සිල්වල තියෙන්නේ පංච දුෂ්චරිතයෙන් වැළකීමයි. එහෙම නම් අපි ඉස්සර වෙලා ඉගෙන ගන්න ඕන පන්සිල් නෙවෙයි, පංච දුෂ්චරිතය කියන්නේ මොකක්ද කියලයි.
පංච සීලයේ පළවෙනි සිල්පදය, ‘(පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි) සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.’ සතුන් මැරීම ගැන බුදුරජාණන් වහන්සේ මොන විදිහටද පෙන්වා දුන්නේ කියලා අපි දැනගන්න ඕන. මේක දුෂ්චරිතයක්. දුෂ්චරිතයක් කියන්නේ නරක දෙයක්, වැරදි දෙයක්, නොමනා දෙයක්, බාලයෙකුගේ ක්‍රියාවක්, අසත්පුරුෂයෙකුගේ ක්‍රියාවක්. එතකොට යම්කිසි කෙනෙක් පාණාතිපාතා කියන දුෂ්චරිතය කළොත්, එයා තුළ අකුසල් වැඩෙනවා. එයා තුළ යම් කුසල් තිබුණා නම් ඒවා පිරිහෙනවා. එතකොට ‘පාණාතිපාතා’ කියන එකේ තියෙන භයානකකම පේනවද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, සතුන් මැරීම බයත්, වෛරයත් හටගන්නා පළමුවෙනි කරුණ කියලයි. පාණාතිපාතා සිල්පදය බුදුරජාණන් වහන්සේ විස්තර කළේ මෙහෙමයි. ඔන්න පාණාතිපාති කෙනෙකුගේ ලක්ෂණ. ඒ තමයි, (ලූද්දෝ) එයා රෞද්‍රයි, නපුරුයි. (ලෝහිතපාණී) ලේ තැවරුණ අත් ඇති. ලේ තැවරුණ අත් කියන එකේ තේරුම මේකයි, ඔබ අහලා තියෙනවද ආයුධ පරිහරණය කරන සමහර අය තමන්ගේ පිරිසිදුකම ගැන මෙහෙම කියනවා, “මගේ මේ අත් දෙකේ මම ලේ ගාගෙන නෑ” කියලා. එහෙම කියන අය ඉන්නවනේ.
මට මතකයි, පොලීසියේ මහත්මයෙක් මාත් එක්ක කිව්වා, “ස්වාමීනී, මගේ අත් දෙකේ ලේ නෑ” කියලා. ලේ තැවරුණ අත් ඇති කියන එකේ අර්ථය ඒකෙන් ගන්න පුළුවන්. රෞද්‍ර, ලේ තැවරුණ අත් ඇති, (හතපහතේ නිවිට්ඨෝ) අන්‍යයන්ව වැනසීමෙහි යෙදුණු, (අදයාපන්නෝ) දයාවක් නැති බවට පත් වූ, (අදයාපන්නෝ පාණභූතේසු) ප්‍රාණීන්, සත්වයින් කෙරෙහි දයාවක් නැති මේ කාරණාවලින් යුක්ත වීමටයි ‘පාණාතිපාත’ කියලා කියන්නේ.
එතකොට බලන්න, බුදුරජාණන් වහන්සේ ‘පාණාතිපාතා’ කියන වචනයට කොයිතරම් විස්තරයක් කරලා තියෙනවද? අපි මේ විස්තරය දන්නේ නෑනේ. අපි විස්තර දන්නේ නැතුව නිකන්ම ‘පාණාතිපාතා වේරමණී’ කියලා කියනවා. ඒක මොන විදිහේ එකක්ද කියලා අපි හරියට දන්නේ නෑ. ඒ නිසා කරවල කෑල්ලක් කැවුණොත් ‘ඔන්න සිල් කැඩුණා’ කියනවා. ඔය වගේ දේවල්වලින් තමයි පටලවා ගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා කියලා මේ දේශනා කරන්නේ, මනුෂ්‍යයන් කෙරෙහි, සියලූ සතුන් කෙරෙහි දයා රහිත වූ, රෞද්‍ර වූ, ලේ තැවරුණ අත් ඇති, සතුන් වැනසීමෙහි යෙදීම පාණාතිපාතා කියලයි. බුදුරජාණන් වහන්සේ ‘සේවිතබ්බාසේවිතබ්බ’ කියන සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේත් එක්ක කරන සාකච්ඡාවකදී මේක හරි ලස්සනට තෝරලා දෙනවා.
එතකොට පංච දුෂ්චරිතයේ ස්වභාවය තමයි, මෙලොව පරලොව දෙකේම බය, වෛර ඇතිකිරීම. හිතලා බලන්න, අපි මේ ලෝකයේ තියෙන යුද්ධ ගැන කතා කරනවා. මේ යුද්ධ අයිති වෙන්නේ පාණාතිපාත කියන එකටනේ. ආගමික වධ හිංසා තියෙනවා. ඒවා අයිති වෙන්නෙත් පාණාතිපාත කියන එකට. එතකොට සතුන් මැරීම අයිති වෙන්නේ පාණාතිපාත කියන එකට. මේකේ ලක්ෂණය බය වෛර හටගැනීමයි. ඕක තමයි පංච දුෂ්චරිතය තුළින් බිහිකරන්න පුළුවන්. ඒ පංච දුෂ්චරිතයේ පළවෙනි එක තමයි පාණාතිපාතය. එතකොට පාණාතිපාතයෙන් බයත්, වෛරයත් හටගන්නවා.
එතකොට යම්කිසි කෙනෙක් ‘පාණාතිපාතී’ වෙනවා නම්, ඒ කියන්නේ රෞද්‍ර නම්, ලේ වැකුණු අත් ඇතුව ඉන්නවා නම් එයා ඉන්නෙත් බයෙන්. මොකද, එයා අන්‍යයන්ගේ වෛරයට ලක්වෙනවා. එතකොට මේ ලෝකයේ බය වෛර හටගන්නා වූ ප්‍රධාන කාරණය තමයි ප්‍රාණඝාතය. අපි කෙටියෙන් ප්‍රාණඝාතය කියලා කියනවා තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා කියන වචනය විස්තර කරන්න මේ විදිහටයි, ‘ලූද්ධෝ ලෝහිතපාණී හතපහතේ නිවිට්ඨෝ අදයාපන්නෝ පාණභූතේසු.’ එතැන විශේෂ වචන හතරක් පාවිච්චි කරනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ දුෂ්චරිතය තෝරපු හැටි. එතකොට ප්‍රාණඝාතය නිසා මෙලොව ජීවිතයේදී බය, වෛර හටගන්නවා. ඒකට කියන්නේ දිට්ඨධම්මික කියලා. මේ බය, වෛර හටගන්නේ මෙලොවදී විතරක් නෙවෙයි, එයා පරලොවදිත් බය වෛරවලට පත්වෙනවා. පාණාතිපාත කරන කෙනා මරණින් මතු උපදින්නේ නිරයේ, අපායේ. එතකොට එයා නිරය තුළ තමන්ගේ ක‍්‍රියාවට අනුරූප වූ වධ වේදනාවට ලක්වෙලා බය, වෛරවලට භාජනය වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා මේ දුෂ්චරිතයේ තියෙන ආදීනවය දකිනවා. ආදීනවය කියන්නේ, මේකේ තියෙන නරක පැත්ත දකිනවා. දැකලා පළවෙනි දුෂ්චරිතයෙන් මිදෙනවා. බය, වෛර හටගන්නා වූ පළවෙනි කාරණය අත්හරිනවා. ඒ කියන්නේ (පාණාතිපාතං පහාය) පාණාතිපාතය අත්හරිනවා. අත්හැරපු ගමන් එයා අත්හැරලා තියෙන්නේ රෞද්‍රකම, ලේ වැකුණු අත් ඇති බව, අන් සත්වයන්ව ඝාතනය කිරීම, ප්‍රාණීන් කෙරෙහි දයා රහිත බවයි. එතකොට එයා සුචරිතයට එනවා. සුචරිතයට එන්නේ, එයා (පාණාතිපාතා පටිවිරතෝ හෝති) පාණාතිපාතයෙන් වැළකීම ශික්ෂා පදය හික්මීමේ මාර්ගයක් හැටියට සමාදන් වෙනවා.
ඔන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන එකේ තේරුම. (නිහිතදණ්ඩෝ) එයා ප‍්‍රාණීන් මැරීම පිණිස, හිංසා කිරීම පිණිස දඬු මුගුරු ගන්නේ නෑ. එයා දඬු මුගුරු අත්හැරපු කෙනෙක්. (නිහිතසත්ථෝ) අවි ආයුධ අත්හැරපු කෙනෙක්. (ලජ්ජී) ඒ දේවල් කරන්න ලැජ්ජා කෙනෙක්. (දයාපන්නෝ) සතුන් කෙරෙහි, මනුෂ්‍යයන් කෙරෙහි දයාවෙන් ඉන්න කෙනෙක්. (සබ්බපාණභූතහිතානුකම්පී විහරති) ඒ විදිහට සියලූ ප්‍රාණීන්, සත්වයින් කෙරෙහි හිතානුකම්පීවීම තමයි පළවෙනි සිල්පදය.
එතකොට ‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ කිව්වාම ඒ අර්ථ ටික දන්නේ නැත්නම්, අවබෝධයෙන් සිල් රකින කෙනෙක් වෙන්නේ කොහොමද? එයාට තියෙන්නේ දෘෂ්ටියක් විතරයි. එයා මොනවා හරි සුළු කෑල්ලක් අල්ලගෙන, “ආ… අරක කළහම සීලය බිඳෙනවා. සිල් කැඩෙනවා” කියයි. එයා සිල්පදය දන්නේ නෑ. අපි සිල්පදය දන්නේ නැත්තේ ධර්මයේ තෝරලා දීලා නැති නිසා නෙවෙයිනේ. ධර්මයේ පැහැදිලිව තෝරලා තියෙනවා. දන්නේ නැත්තේ ධර්මයේ තෝරපු දේ කියපු නැති නිසයි. එතකොට ‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ කියලා සිල්පදය සමාදන් වෙලා පාණාතිපාතයෙන් වෙන් වූ ගමන් බය, වෛර සංසිඳෙනවා.
එයාට පාණාතිපාත හේතු කරගෙන හටගන්නා වූ යම් බයක්, වෛරයක් තියෙනවා නම්, ඒ බය වෛර හටගන්නේ නෑ. මෙලොව හටගන්නෙත් නෑ, පරලොව හටගන්නෙත් නෑ. ඒ වගේම පාණාතිපාතයෙන් වැළකුණු කෙනෙකුට, ඒ වැළකීම හේතුකරගෙන, පාණාතිපාතයට යොමුවීමෙන් හටගන්නා යම්තාක් අකුසල් ඇද්ද, ඒ සියල්ල ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට පාණාතිපාතයෙන් වැළකීම නිසා උපදවා ගන්න තියෙන යම් තාක් කුසල් ඇද්ද, ඒ කුසල් උපදවා ගන්නවා. එතකොට යම් කෙනෙක් පළවෙනි සිල්පදය අවබෝධයෙන්ම ආරක්ෂා කර ගත්තොත් එයා අකුසල් ප්‍රහාණය කරන, කුසල් උපදවා ගන්න වැඩපිළිවෙලකට පත් වූ සුචරිතවත් කෙනෙක් බවට පත්වෙනවා.
එතකොට ‘පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ කියන කොට මේකේ කොයිතරම් පළල් වූ අර්ථයක් තියෙනවාද කියලා ඔබට තේරෙනවාද? මේ ලෝකයේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වීම හේතුකර ගෙන තමයි දීර්ඝායුෂ ලබන්නේ. රෝගපීඩා නොලබන නීරෝගී ජීවිතයක් ලබන්නේ. ඊළඟට මේ පාණාතිපාතයෙන් වැළකීම තුළ කායික මානසිකව ශක්තිමත් ජීවිතයක් ලබන්න හේතුවන කුසල වර්ධනයක් සිදු වෙනවා.
පාණාතිපාතයේ යෙදීමෙන් සිදුවෙන්නේ අනිත් පැත්ත. ඒ තමයි, එයා නිරයේ ගිහිල්ලා ආයෙමත් මනුෂ්‍ය ලෝකයට ආවොත් මනුෂ්‍ය ලෝකයේදී ඉපදුණු ගමන්ම රෝගියෙක්. සමහර දරුවන් ඉන්නවා, උපතේම හදවතේ සිදුරු. සමහරු උපතින්ම අත පය කොරවෙලා. සමහරු උපතින්ම රෝගීන් හැටියට ඉන්නවා. සමහරුන් අඩු ආයුෂයෙන් මැරිලා යනවා. ඒ ඔක්කෝටම හේතුව, සංසාරයේ ‘පාණාතිපාතී’ කෙනෙක් වෙලා හිටපු එක. මේ සියල්ලම එහි විපාක. එහෙම නම් අපි පාණාතිපාතයෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙන්න ඕන අවබෝධයකින්. එහෙම නම් අපි මේ සිල්පදය සමාදන් වෙන්න ඕන, අකුසල් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් වර්ධනය කිරීම පිණිසත්. මොකද, ඒ තුළ තමන්ගේ අතින් වෙන්න තියෙන අකුසල් ඔක්කෝම ප‍්‍රහාණය වෙනවා. මොකද, සතුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන් වාසය කරනකොට අපේ ජීවිතයේ වැඩෙන්නේ කුසලයක්.
එයා තුළ ‘මම මගේ මේ ධර්ම මාර්ගය තුළ අකුසල් ප්‍රහාණය වීම පිණිසත්, කුසල් වර්ධනය පිණිසත් තමයි මේ සිල්පදය සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ’ කියන අවබෝධය තියෙනවා. අන්න ඒකට තමයි අවබෝධයෙන් සිල් රකිනවා කියලා කියන්නේ. ඒ විදිහට අවබෝධයෙන් සීලය රකින කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘සම්මා කම්මන්ත’ කියන මාර්ග අංගය සම්පූර්ණ වෙන්න හේතුවක් වෙනවා.
ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් මහත් අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් සීලය ඉගෙනගෙන ඒ විදියටම ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕන.
සාදු! සාදු!! සාදු!!!
→ මතු සම්බන්ධ යි…
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්
මීලඟ ලිපියට(ආර්යකාන්ත සීලය ii )