ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,
දෙවැනි දුෂ්චරිතය, අදින්නාදානා. අදින්නාදායි කියලා කියන්නේ නොදුන්න දේ ගැනීම. නොදුන්න දේ ගැනීම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙහෙමයි, (යං තං පරස්ස පරවිත්තූපකරණං) අනුන් සතු, අනුන්ගේ සම්පත්වලට අයිති යමක් ඇද්ද, (ගාමගතං වා) ගමේ වෙන්න පුළුවන්, (අරඤ්ඤගතං වා) කැලේ වෙන්න පුළුවනි, (තං අදින්නං) ඒක තමන්ට දීලා නෑ. (ථෙය්‍යසංඛාතං ආදාතා හෝති) එය හොර සිතින් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ දෙයක් නොවන බව දැනගෙන, තමන්ගේ දෙයක් නොවන්නේ යමක්ද, ඒක කොහේ වුණත් (ගමේ වෙන්න පුළුවන්, වනාන්තරේ වෙන්න පුළුවන්) සොර සිතින් ගන්නවාද ඒක තමයි (අදින්නාදායී) සොරකම් කිරීම.බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සොරකමත් බය වෛර හටගන්නා කාරණාවක්. බලන්න, අප අතරේ සොරකම් කිරීම කියන එක නැත්නම් අපට ‘අපේ දේවල් නැතිවෙයිද?’ කියලා බයක් හටගන්නේ නෑනේ. කවුරු හරි අපේ දෙයක් සොරකම් කළොත්, ඒ සොරකම් කරපු කෙනා කෙරෙහි අපට බයක්, වෛරයක් හටගන්නවානේ. එහෙම නම් මේ සොරකම බය වෛරය හටගන්න හේතුවක්. ඊට පස්සේ ඒ සොරකම නිසා හැමතිස්සේම එකිනෙකා කෙරෙහි බලන්නේ සැකයෙන්.
එතකොට ඒ සොරකම මුල් කරගෙන බය වෛර හටගන්න කාරණාවක නියැලී සිටිනවා නම්, බය වෛර හටගන්න දෙයක පැටලිලා ඉන්නවා නම්, ඒ කියන්නේ හොරකම් කරනවා නම්, අනුන් සතු තමන්ට නොදුන්න දේවල් සොර සිතින් ගන්නවා නම් ඒක අයිති වෙන්නේ දුෂ්චරිතයට. ඒකෙන් වෙන්නේ තමන් තුළ තිබෙන්නා වූ යම් කුසල් ඇද්ද, ඒ කුසල් පිරිහිලා යෑමයි. තමන් තුළ තියෙන අකුසල් වර්ධනය වීමයි. මොකද, සොරකම් කරන්න කල්පනා කරන පුද්ගලයාට අනිත් අය කෙරෙහි මෙත් සිතක් නෑනේ. අපිට තව කෙනෙකුගේ දෙයක් පැහැර ගන්න සිතක් ආවට පස්සේ, මෙත් සිතක් ඇතිවෙන්නේ නෑ. මෛත‍්‍රී සිතින් ඒක කරන්න බැහැ.
ප්‍රාණඝාතය වගේම සොරකම් කරපු කෙනාත් මේ ජීවිතයේදීත් බයෙන් වාසය කරනවා. හොරෙක් වාසය කරන්නේ බයෙන්නේ, තැතිගැනීමෙන්නේ. මොකද, එයා බය වෛරයට පාත්‍ර වෙන ක්‍රියාවක් කරලා තියෙනවා. ඊළඟට ඒ වගේ හොරකමකට කාට හරි දඬුවම් දීලා තියෙනවා දකින කොට තමන් තැතිගන්නවා. ‘මාවත් අහුවෙයිද?’ කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ එයා මෙලොවදීම බය වෛර ඇතිවන කාරණාවකට පත්වෙනවා. මරණින් මත්තේ නිරයේ ගිහිල්ලා උපදිනවා. එතකොට ‘සොරකම් කිරීම’ කියන්නේ මෙලොව පරලොව දෙකේම බය වෛර හටගන්න හේතුවක්.
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක්. දැන් ඔබට ප්‍රාණඝාතයෙන් වැලකීමේ සිල්පදය තේරුණාද? (නිහිතදණ්ඩෝ, නිහිතසත්ථෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාණභූතේසු හිතානුකම්පී විහරති) දඬු මුගුරු අත්හැරලා, අවි ආයුධ අත්හැරලා, ලැජ්ජාවට පත්වෙලා, දයාවන්තව, සියලූ ප‍්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. මෙයා තව කෙනෙක්ව ප්‍රාණඝාතයට පොළඹවන්නේ නෑ. එහෙම නම් තමන් ප්‍රාණඝාතය කරන්නෙත් නෑ. තව කෙනෙක්ව ප්‍රාණඝාතයට පොළඹවන්නෙත් නෑ.
සොරකමින් වැළකුණු කෙනා, තමන් සොරකම් නොකොට තව කෙනෙක්ව බය වෛර ඇතිවෙන කාරණාවකට පොළඹවයිද? අකුසල් වැඩෙන්නා වූ, කුසල් පිරිහෙන්නා වූ දේකට යොදවයිද? තමන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා නම් කවදාවත් එහෙම යොදවන්නේ නෑ. එතකොට බලන්න, අවබෝධයෙන් සිල් රැකීම කරන කොට තමන් අකුසලයෙන් වළකිනවා වගේම අනිත් අයවත් වළක්වනවා. ඒ කියන්නේ කාවවත් හොරකම් කරන්න පොළඹවන්නේ නෑ. හොරකම් කරවන්නේ නෑ.
නැත්නම් කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. එයා තමන් හොරකම් කරන්නේ නෑ. කෙනෙකුට කියනවා, “මම ලේන්සුවක් වනන්නම්. එතකොට උඹ ගනින්…” කියලා. මිනිස්සු එහෙම කරනවානේ. “මම අතනින් තියලා යන්නම්. උඹ ගනින්..” කියනවා. ඒ කියන්නේ අනෙක් අය ලවා සොරකම් කරවනවා. නමුත් තමන් සොරකම් කරන්නේ නෑ. නමුත් එයා සිල් පදයේ අර්ථය තේරුම් ගත්තාට පස්සේ අනුන් සතු දෙයක් කොහේ තිබ්බත් තමන්ට දුන්නේ නැත්නම් සොර සිතින් ගන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ කාරණා පුරුදු කරගන්න හරි ලස්සනට උගන්නලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට කවුරුවත් පිළිගන්වන්නේ නැතුව, තනිවම පිළිඅරගෙන පාවිච්චි කරන්න කිව්වේ දැහැටියි, ඇල්වතුරයි විතරයි. වෙන කිසිම දෙයක් ගන්න එපා කිව්වා.
බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අවස්ථාවල භික්ෂූන් වහන්සේලා පාරේ වඩිනවා. වඩිනකොට අඹ ගස්වල අඹ වැටිලා තියෙනවා. අයිතිකාරයෝ නෑ. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේලා අඹ අහුලා ගන්නවා. නමුත් කවුරුත් පිළිගන්වලා නෑනේ. ඒ නිසා වළඳන්න බෑ. අරගෙන යනකොට කෙනෙක්ව ඉස්සරහට හම්බවෙනවා. හම්බ වෙනකොට අඹ ටික අතාරිනවා. අතෑරලා, “පින්වත, පාරේ අඹ ගහක අඹ වැටිලා තිබුණා. අපි ඇහුලූවා. පිළිගන්වන්න කෙනෙක් නෑ. අපට මේක පූජාකරන්න” කියලා පිළිගන්වා ගෙනයි වළඳන්නේ. එතැන කවදාවත් හොරකමක් වෙන්නේ නෑ. මොකද, සොර රහිත වූ සිතින්නේ ගත්තේ. එතැන (අථේනේන සුචිභූතේන අත්තනා විහරති) සොර නොවූ සිතින් වාසය කරන්න පුළුවන්කම තියෙනවා.
මේ සොරකම හරි සියුම් එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඒක විස්තර කරලා තියෙන විදිහ හරි පුදුමයි. දැන් මේ ඔරලෝසුව මෙතැන මේසේ උඩ තියෙනවා. දැන් මේක අනුන්ගේ කියලා අපි දන්නවනේ. ඔන්න අපට හොරකම් කරන්න හිතෙනවා. මේක අල්ලනවා. ආයෙමත් “නෑ, ඕන නෑ” කියලා අත ගන්නවා. හොරකම වෙන්නේ නෑ, කිට්ටුවට ගිහින් නැවතුණා. ඊට පස්සේ “නෑ මේක ගන්නමයි ඕන. තියෙන මිනිහෙකුගෙන්නේ මම මේ ගන්නේ” කියලා අල්ලලා සොලවනවා. නමුත් තාම මේසෙන් උඩට ඉස්සිලා නෑ. ආයෙමත් තියනවා. ඒත් හොරකම සිද්ධවෙලා නෑ.
ඊළඟට තිබූ තැනින් උස්සලා ගන්නවා. එතකොට හොරකමට අහුවෙනවා. මොකද, ඉස්සුවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. එයාට ඕනෙ නම් ආයෙමත් ඒක තියන්න පුළුවන්. නමුත් හොරකමට අහුවුණා. ඔන්න බලන්න, අපි මේ දේවල් ඉගෙනගන්න ඕන කියන්නේ ඒකයි. මෙයාට ඉස්සුවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්නේ. නමුත් මේක මේසේ තියෙනකම් එයාගේ නෙවෙයි. අතින් අල්ලලා ගත්තට පස්සේ, ඒක එයා ගත්තා. හොරකම කළා. ඊට පස්සේ එයා ඒක තියනවා කියමු. නමුත් හොරකම සිද්ධවුණා.
දැන් බලන්න, මේ සොරකම කොයිතරම් සියුම් එකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා සීලය ආරක්ෂා කිරීමේදී ඒ සීලය, සෝතාපත්ති අංගයක් වෙන්නේ එයාට සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සතිය තියෙන නිසයි. සම්මා දිට්ඨියෙන් යුක්ත ශ‍්‍රාවකයා, සීලය පුරුදු කරන්නේ මාර්ග අංගයක් හැටියට. එයා අකුසලයක් හටගත්තාම සිහියෙන් ඒ අකුසලය ප්‍රහාණය කරනවා. මේක දන්නේ නැති කෙනාට සිහිය නෑ. මතක නෑ. එයාට හිතුණද ගත්තා.
එතකොට සොරකමෙන් වැළකීමෙන් බය වෛර ඇතිවෙන කාරණාව සංසිඳුණා වෙනවා. තමන් සොරකම් කරන්නේ නැත්නම්, තමන් ඒ පිළිබඳව අවබෝධයකින් යුක්ත නම්, එයා බය වෛරයට ලක්වෙන්න කාරණාවක් නෑ. එතකොට තමන් මෙලොව නිවැරදි සැපයක් විඳිනවා. පරලොව සුගතියේ උපදිනවා. දෙවියන් අතර උපදිනවා. මිනිසුන් අතර බොහෝම යහපත් කෙනෙක් වශයෙන් උපදිනවා. කවදාවත් එයාට තමන්ගේ දේපල, වස්තුව විනාශ වෙන දෙයක් සිද්ධ වෙන්නේ නෑ. මොනවා හරි වෙලා බේරෙනවා. සොරකමින් වැළකීමෙන් මේ ඔක්කෝම සිද්ධ වෙනවා.
ඒ නිසා තථාගත ශ‍්‍රාවකයා අවබෝධයෙන්ම සොරකමින් වැළකීමේ සිල්පදය ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයාට කර්ම, කර්මඵල ගැන අවබෝධයක් තියෙනවානේ. ඒ කර්ම, කර්මඵල ගැන අවබෝධයක් තියෙන නිසා තමයි, එයා දන්නේ, ‘මං මේක කළොත්…. මේකෙ විපාකය මේකයි’ කියලා. දැනගෙන එයින් වැළකී වාසය කරනවා. (අදින්නාදානා වේරමණී) ‘නොදුන් දෙයක් ගැනීමෙන් වැළකීම’ නම් වූ සිල්පදය සමාදන් වෙලා වාසය කරනවා.
සිහිය නැතුව මේ සිල් එකක්වත් රකින්න බෑ. සිහිය ඕනමයි. ඒ වගේම වීරිය නැතුවත් සිල් රකින්න බෑ. වීරියත් ඕන. වීරිය කියන්නේ අකුසල් ප්‍රහාණය කිරීමේ, කුසල් ඉපදවීමේ වීරිය. සොර සිතක් හටගත්තාම ඒක අකුසලයක්නේ. ඒක අකුසලය හැටියට හඳුනාගන්න එයාට සිහිය තියෙන්න ඕන. එතකොට තමයි එයා ඒක ප්‍රහාණය කරන්නේ. ඒ විදිහට හික්මුණොත් එයා ළඟ රත්තරන් කෝටි ගාණක් ගෙනල්ලා තිබ්බත් ප‍්‍රශ්නයක් නෑ. මොකද, එයාට නොදීපු එකක් එයා කවදාවත් ගන්නේ නෑ. එයාට යම් වෙලාවක සිත අසංවර වෙලා සොර සිතක් පහළ වුණොත්, සැණෙකින් ඒක ප්‍රහාණය කරනවා. එයා දන්නවා, ‘ඒක අකුසලයක්. අනුන් සතු දෙයක්’ කියලා. එයා ඒ විදිහට අදින්නාදානා වේරමණී සිල්පදය ආරක්ෂා කරනවා.
සාදු! සාදු!! සාදු!!!
→ මතු සම්බන්ධ යි…
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්
මීලඟ ලිපියට(ආර්යකාන්ත සීලය iii )