ශ්රද්ධාවන්ත පින්වතුනි,
හතරවන සිල් පදය තමයි බොරු කීමෙන් වැළකීම. (මුසාවාදා) ‘මුසා’ කියන්නේ බොරු. මුසාවාදී කියන්නේ බොරු කියන කෙනා. කොහොමද ඒක කරන්නේ? (සභාගතෝ වා පරිසගතෝ වා ඤාතිමජ්ඣගතෝ වා පූගමජ්ඣගතෝ වා රාජකුලමජ්ඣගතෝ වා අභිනීතෝ සක්ඛිපුට්ඨෝ) කෙනෙක්ව සභාවක් මැද්දට, පිරිසක් මැද්දට, එහෙම නැත්නම් දෙමාපියන් නෑදැයන් මැද්දට ගෙන්නලා “ඔබ දන්නවා නම් දැන් ඉතින් කියන්න” කියලා කියනවා. එතකොට එයා දැනගෙන “මං දන්නේ නෑ” කියලා කියනවා. ඒක බොරුව. ඒ වගේම එයා දන්නේ නැති දේ “මං දන්නවා” කියලා කියනවා. දකින දේ “මං දකින්නේ නෑ” කියලා කියනවා. දැකපු නැති දේ “මං දැක්කා” කියලා කියනවා. අහපු දේ “මං ඇහැව්වේ නෑ” කියලා කියනවා. අහපු නැති දේ “ඇහුවා” කියලා කියනවා. ඒවා සියල්ල අයිති වෙන්නේ බොරුවට.බොරුවත් එක්ක තවත් කරුණු කිහිපයක් බද්ධවෙලා තියෙනවා. ඒ තමයි, පිසුණාවාචෝ, ඵරුසාවාචෝ, සම්ඵප්පලාපී. බොරුවත් එක්ක තමයි මේ ඔක්කෝම තියෙන්නේ. අවබෝධයක් නැත්නම් එයා බොරුව නිසා හරියට පව් කරගන්නවා. මොකද, හැම තිස්සේම බොරුවෙන් ඇත්ත වහන්න පුළුවන්. ඇත්ත වහපු ගමන් ඇත්ත මතුවෙන්න විදිහක් නැතුව යනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම බොරුව තමයි යන්නේ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, බොරුව, බුද්ධ ශාසනය අතුරුදහන් වෙන කරුණු වලින් එකක් කියලා. ඒ තමයි, කෙනෙක් බුදුරජාණන් වහන්සේ නොවදාළ දේ, වදාළා කියලා කියනවා නම්, බුදුරජාණන් වහන්සේ වදාළ දේ, වදාළේ නෑ කියලා කියනවා නම් ඒක බොරුවනේ. එය බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න, බොහෝ පව් රැස්වෙන්න හේතුවක්.
බොරුවෙන් වළකින්න නම් සිහිය තියෙන්න ඕන. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුනම නැත්නම් බොරුවෙන් වළකිනවා කියන එක අමාරු වැඩක්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “(ඉති අත්තහේතු වා පරහේතු වා ආමිස කිංචික්ඛහේතු වා සම්පජානමුසා භාසිතා හෝති) යමෙක් බොරු කියන්නේ එක්කෝ තමා උදෙසා. එක්කෝ තමන් ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන. එහෙමත් නැත්නම් තමන්ට පිරිසක් ගොඩනගාගන්න. එක්කෝ අනුන් උදෙසා, එක්කෝ මොනවා හරි ලාභයක් ලබාගන්න. මේ නිසයි දැන දැන බොරු කියන්නේ.
නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා බොරුවෙන් වැළකී වාසය කරන කෙනෙක්. එයා බොරු කියන්නේ නෑ. එයා (මුසාවාදං පහාය) බොරු කීම අත්හැරපු කෙනෙක්. ඒක කරන්නේ කොහොමද? එයා බොරු කීමෙන් වැළකිලා, සත්‍ය වචන කතා කරනවා. විශ්වාසවන්ත වචන කතා කරනවා. ඒ වගේම ඇදහිය යුතු වචන කතා කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපා කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා බොරුවෙන් වැළකීම තුළ කරන්නේ ඒකයි. බොරුව තුළ බය වෛර දෙකම හටගන්නවා. බොරුව තුළින් ලොකු රටවල් වුණත් විනාශ කරන්න පුළුවන්. ඒ වගේම බොරුව කියන්නේ මරණින් මත්තේ අපායේ ඉපදීමට හේතුවෙන දෙයක්.
බොරු කියන කෙනා යම් ආකාරයකට මිනිස් ලෝකයට ආවා නම් කවුරුවත් එයාගේ වචනය පිළිගන්නේ නෑ. සමහර විට එයා කතා කරන්න බැරි කෙනෙක් වෙලා උපදිනවා. ඒ විදිහට බොරුව තුළ අකුසල් වැඩෙන බවත්, කුසල් පිරිහෙන බවත් දන්නා වූ ශ්රාවකයා බොරු කීමෙන් වැළකී වාසය කරනවා.
මට මේක කීවාම මතක් වුණේ, මම ටික කාලයක් මෙල්බර්න්වල හිටියා. එහිදී ලංකාවේ මහත්තයෙක්ව මුණගැසුණා. එයා වැඩකරන්නේ ඉඩම් විකුණන ආයතනයක. ඒ මහත්තයා තමයි ඒකේ ප්‍රධානියා. එයා ඒ කාලේ මතයක් දරලා තියෙනවා, ‘බොරු කියන්නේ නැතුව දියුණු වෙන්න බැහැ. දියුණු වෙන්න නම් බොරු කියන්න ඕන’ කියලා. ඉතින් එයා ව්‍යාපාරවලදී වටිනාකමට වඩා කරුණු කියලා කේවල් කරලා ඕන ගානට මිල බස්සනවා.
මෙයා අපෙන් ධර්මය අහන්න ඇවිල්ලා, ධර්මයට පැහැදිලා කල්පනා කරලා තියෙනවා, ‘මට මේ බොරු කීම හරියන්නේ නෑ. වෙළඳාම් කොච්චර පාඩු වුණත් කමක් නෑ, මම බොරු කීමෙන් වළකින්න ඕන’ කියලා. ඉතින් එයා අවබෝධයෙන් සීලය සමාදන් වුණා. සමාදන්වෙලා ඊට පහුවදා ඉඳලා අලූත් විදිහකට ව්‍යාපාර පටන් ගත්තා. අලූත් විදිහ තමයි, දැන් එයා ඇත්තම කියනවා. එයා කියනවා, “මේකේ ඇත්ත වටිනාකම මෙච්චරයි. මම ඉස්සර ඉඩම් ගන්න අයට මේකේ වටිනාකම මෙච්චරයි කියලා මේ ගාණට බස්සනවා. නමුත් මම දැන් එහෙම කරන්නේ නෑ. මේකේ වටිනාකම මෙච්චරයි.” දැන් මෙයා මේ විදිහට වෙළඳාම කරනවා.
දවස් කීපයකින් මෙයා ආයෙත් ආවා. ඇවිල්ලා මට කිව්වා, “ස්වාමීන් වහන්ස, මට පුදුම සතුටුයි. මම හිටියේ මිථ්‍යා දෘෂ්ටියක. මම කලින් ව්‍යාපාර කරද්දී ඇත්ත ගානට වඩා වැඩිපුර ගාණක් කතාකරලා, ඊට පස්සේ ඒ ගාන කේවල් කරලා අඩු කරලා බඩු විකුණුවා. ඒත් දැන් මම එහෙම කරන්නේ නෑ. මම ඇත්තම කියනවා. ‘මම මේ ගාණට විකුණන්නේ, මට මේකෙන් සුළු ලාභයක් තියෙනවා. හැබැයි මේකෙන් නම් අඩු කරන්නේ නෑ. ඒක කිව්වට පස්සේ මිනිස්සු කලින්ටත් වඩා ගන්නවා.”
එතකොට බලන්න, එයාට සිල්පදයත් රැකගෙන, තමන්ගේ හෘද සාක්ෂියට අනුව සතුටු වෙවී ව්‍යාපාර කරන්න අවස්ථාව තිබුණා. නමුත් එයා කලින් ව්‍යාපාර කළේ සිල්පද මොකවත් නැතුව, හැම තිස්සේම මනුස්සයන්ව වංචා කරන අදහසින්. නමුත් තෙරුවන් සරණේ පිහිටීම නිසා එයා වංචා නොකොට, ඇත්ත කතා කරලා ව්‍යාපාර කරන මට්ටමට ආවා. ඔන්න බලන්න වෙනස. එතකොට බොරුවෙන් වැළකී වාසය කිරීම කුසල් වැඩෙන, අකුසල් ප්රහාණය වන දෙයක්.
ඊළඟට කේලමෙන් වැළකීම. කේලමෙන් කරන්නේ, මෙතැනින් අහගෙන ගිහිල්ලා එතැන කියනවා. එහෙම කිව්වහම පිරිස බිඳෙනවා. ඊළඟට එතැනින් අහගෙන ඇවිල්ලා මෙතැන කියනවා. කිව්වාම මෙතැන බිඳෙනවා. මේකට කියන්නේ කේලම් කීම කියලා. කේලාම් කීම තුළ, සම්පූර්ණ සමගිය නැතුව යනවා. මේකේ කේලමේ ස්වභාවය තියෙනවා. කේලමේ ස්වභාවය තමයි, (සමග්ගානං වා භෙත්තා) සමගි වූ අය බිඳිලා යනවා. (භින්නානං වා අනුප්පදාතා) බිදුණු අය තවත් බිඳෙනවා. (වග්ගාරාමෝ) එයා ඒක කරන්නේ බිඳවන්න කැමැත්තෙන්. (වග්ගරතෝ) පිරිසව කඩාකප්පල් කරන්න කැමැත්තෙන්. (වග්ගනන්දී) පිරිසව කඩාකප්පල් කිරීමේ සතුටුවෙලා. (වග්ගකරණීං වාචං භාසිතා හෝති) ඒ පිරිසව විනාශ කරන්න තමයි ඒක කරන්නේ.
යමෙක් එයින් වැළකී වාසය කරනවා නම් එයා (භින්නානං වා සන්ධාතා) බිඳුණ අය සමගි කරනවා. (සහිතානං වා අනුප්පදාතා) සමගි වූ අයට සමගියට අනුබල දෙනවා. සමගිය ගැන සතුටු වෙනවා. සමගියට ඇලී වාසය කරනවා. සමගිය ඇතිවන්නා වූ වචන කතා කරනවා. ඒක වචනයෙන් කරන පින්කමක්.
ඊළඟ එක තමයි නපුරු වචන. පරුෂ වචන කියන්නේ (යා සා වාචා කණ්ඩකා) දරුණු (කක්කසා) කර්කෂ, කණට අමිහිරි, ක්‍රෝධය හටගන්නා වූ, සිතේ තැන්පත්කම නැතිවෙන්නා වූ වචන.
ඊළඟට සම්ඵප්පලාප. සම්ඵප්පලාප කියන්නේ වුවමනා නැති, අසත්‍ය වූ, අයහපත පිණිස පවතින දේවල් කියව කියවා ඉන්න එක. මේවායින් වැළකී වාසය කිරීම තුළ, බොරුවෙන් වැළකී වාසය කරන කෙනෙක් බවට පත්වෙනවා….
සාදු! සාදු!! සාදු!!!
→ මතු සම්බන්ධ යි…
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්