බුදුරජාණන් වහන්සේ ගේ කරුණාව එබඳු ලෞකික උපකාරයක් මත රැඳුනක් නොවේ. එය අසිරිමත් කරුණාවකි. මහා කරුණාවකි. එයට හේතුව කුමක්ද? නොනැවතී ඉපදෙමින් මැරෙමින් යන සසරගත ජීවිත පුරා වැළඳගෙන ඇති මහා දුක උන්වහන්සේට පෙනීම යි. සසර පුරා පැතිරී ඇති මහා දුකක් අපට නොපෙනේ. අපට පෙනෙන්නේ මේ ජීවිතයේ මිනිසුන් අත්විඳින යම් යම් දුක් කම්කටොළු පමණි. ජීවිත දුක උන්වහන්සේට පෙනෙන්ට පටන් ගත්තේ ගිහි ගෙදර සිටියදී ම ය. දිනක් සිදුහත් කුමරු උයන් කෙළියට යමින් සිටියේය. එක්වරම තම නෙතට අමුතු දසුනක් මුණ ගැසුනි. ඒ ඉතා දරුණු ලෙස ජරාජීර්ණ වී එක්තැන්ව මල මූ පහකරමින් සිටින මහල්ලෙකි. තමා දුටු මේ දර්ශනයෙන් කුමරුගේ ඇඟ කිළිපොළා ගියේය. ජීවිතය මෙතරම් පිළිකුල් ස්වභාවයට පත්වන්නේ මන්දැ’යි කුමරුන්ට සිතාගත නොහැකි විය. ඊ ළඟ වතාවේ සිදුහත් කුමරු දුටුවේ එයටත් වඩා බරපතල දෙයකි. ඒ බිහිසුණු ලෙස රෝගීව සිටින්නෙකි. රෝ දුකින් පීඩිත හේ බැගෑහඬ නගමින් කඳුළු වගුරුවයි. මේ දැක්මෙන් කුමරුන්ට තවත් ඇස් ඇරුනේය. තුන්වෙනි වතාවේ කුමරුන් දුටුවේ වෙනත් දෙයකි. ඒ මළ සිරුරකි. එය වටකොට ගත් ඤාතීහු කෙස් කඩා විසුරුවා ගනිමින්, නොයෙක් අඳෝනා නගමින් ඒ වියෝව ඉවසාගත නොහැකිව හඬා වැටෙමින් සිටියහ. සාමාන්‍ය මිනිසුන් හට මේ දර්ශනයන් නිතර ඇස ගැටෙන නමුත් මේ තුලින් සිදුහත් කුමරුගේ හදවත දැඩි කම්පනයකට පත් කරවීය. අහෝ…..! උපන් මිනිසා කෙමෙන් කෙමෙන් ජරාජීර්ණ වෙයි. නොයෙක් ලෙඩ රෝග වලට බඳුන් වෙයි. නොයෙක් ක්‍රමයෙන් මරණයට පත් වෙයි. මෙය ඉක්මවා යාගත නොහැක්කේ ද?…..” සිදුහත් කුමරු තුල හටගත් මේ කල්පනාවන්ට එක්තරා විසඳුමක් ලැබුනි. එනම් ඊළඟ වතාවේ ශ්‍රමණයෙකු දැකීම යි. ශ්‍රමණයා යනු ගිහි ජීවිතය අත්හළ කෙනෙකි. ඉහත කී ගැටළුවට විසඳුමක් ඔහු තමා තුළින්ම සොයයි. එය කුමරු ගේ සිත් ගත්තේය. සිදුහත් කුමරා ද ගිහි ජීවිතය අත් හළේය. ශ්‍රමණයෙකු බවට පත්වූයේය. සිදුහත් කුමරු ශ්‍රමණයෙකු බවට පත් වූ ඒ කාලය ඉන්දියාවට උදා වූ අමුතුම කාලයකි. බොහෝ දෙනෙක් ඉපදෙන මැරෙන ස්වභාවයට විසඳුම් සොයමින් සිටියහ. ජීවිතයේ ඇත්ත කුමක්දැයි සොයමින් සිටියහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ද ඒ මගට බැසගත්හ. ජීවිතයේ ඇත්ත සොයන්නට මහන්සි ගත්හ. ඒ වෙනුවෙන් උන්වහන්සේ නොයෙක් අන්දමේ බරපතල දුෂ්කර ක්‍රියා කළහ. ඒ කිසිවකින් තමන්ට සත්‍යාවබෝධ නොවන බව තේරුම් ගන්නට තරම් උන්වහන්සේ මහා ප්‍රඥාවකින් යුක්ත වීම ලෝවැසියන් ගේ භාග්‍යයකි. එක්තරා පොහෝ දිනක වෙසක් සඳ උදා වූයේය. ඒ අසිරිමත් රාත්‍රියෙහි ශ්‍රමණ ගෞතමයාණෝ දැඩි අදිටනකින් ඇසතු රුක් සෙවනේ වාඩි වී සිටියහ. තමන් ම සොයා ගත් මගකින් සිත, කය, වචනය මෙහෙයවූහ. සිත මැනැවින් සමාධිමත් කළහ. ප්‍රඥාව ද දියුණු කළහ. මෙතෙක් නොවූ විරූ ඉතා විස්මිත වූ අවබෝධයකට පත් වූහ. එය සම්මා සම්බුදු වරයෙකු ගේ පහළවීම ය. මහා කාරුණිකයෙකු ගේ පහළවීම ය. ආශ්චර්යවත් මිනිසෙකු ගේ පහළවීම ය. ලොවට අමෘතය බෙදන්නෙකු ගේ පහළවීම ය. මෙසේ අප බුදුරජාණන් වහන්සේ බුදුබවට පත් වීමේ දී ලද අවබෝධය පුදුම සහගත දෙයකි. ආශ්චර්ය දෙයකි. අද්භූත දෙයකි. ඒ අවබෝධය තුළින් ම උන්වහන්සේ සසර දුකින් නිදහස්ව ගියහ. ජරාමරණයෙන් නිදහස්ව ගියහ. ඉන්පසු උන්වහන්සේ විසින් කරන ලද්දේ ඒ අවබෝධය මත පිහිටා ලෝක සත්වයා දෙස බැලීම යි. සාමාන්‍ය මිනිසෙකුට තබා ලොවෙහි කිසි දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් ඒ අයුරින් ලෝක සත්වයා දෙස බැලීමේ හැකියාවක් නැත්තේය. උන්වහන්සේ ලොව දෙස බලන්නේ බුදු ඇසිනි. ඒ බුදු ඇසින් ලෝක සත්වයා දෙස බලද්දී ලෝක සත්වයා ගේ නොනැවතී ඉපදෙන මැරෙන සසර දුක පිළිබඳ දුක්ඛිත කථාන්දරය උන්වහන්සේ ඉදිරියේ මැනවින් දිග හැරී ගියේය. ලෝක සත්වයා ගේ සැබෑ දුක මැනැවින් දුටුවෝ බුදුරජාණන් වහන්සේ පමණි. උන්වහන්සේ ඒ සසර දුකින් එතෙර වී සිටිති. එහෙත්…. බොහෝ සත්වයෝ සසර දුකක් ඇති බවක්වත් නොදනිති. ලෝක සත්වයාට සසරේ යථා ස්වභාවය නොපෙනීම ගැන උන්වහන්සේ තුල මොනතරම් අනුකම්පාවක් ඇතිවෙන්ට ඇත්ද! බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය සත්‍යයක් යැයි අදහාගත් සිය ශ්‍රාවක භික්ෂූන්ට උන්වහන්සේ මේ සසර දුක පහදා දෙන්නට මහන්සි ගත් සේක. “මහණෙනි, මේ නොනැවතී ඉපදෙන මැරෙන ස්වභාවය උරුම කරගෙන සිටීමට අති දීර්ඝ කාලයක් ගෙවී ඇත්තේය. මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ තරහකාරයන් හා එක්වීම නිසාත් ආදරය කළවුන් ගෙන් වෙන්වීම නිසාත් ඉතා දුකට පත්ව බොහෝ හඬා වැළපී ඇත්තේය. එසේ හඬා වැටෙද්දී ඔබේ නෙතින් ගලා හැලුනු යම් කඳුළක් ඇද්ද එයම ඉතා බොහෝය. මහා සාගරයේ ජලය එතරම් නැත්තේය….. මහණෙනි, මව්ගේ මරණයෙන්…. පියාගේ මරණයෙන්…. සැමියාගේ මරණයෙන්….. බිරිඳගේ මරණයෙන්….. දරුවන්ගේ මරණයෙන්….. සොයුරන්ගේ මරණයෙන්….. සොයුරියන්ගේ මරණයෙන්….. ඤාතීන්ගේ මරණයෙන්…. තමා සතුව තිබූ දේපළ වස්තුව අහිමි වීමෙන්…. දරුණු රෝගයන්ට බඳුන් වීමෙන් ඔබ ඉතා දුක්ඛිතව සිටියේය. හඬා වැටුනේය. එසේ හඬා වැටෙද්දී ඔබේ නෙතින් ගලා ගිය යම් කඳුළක් ඇද්ද එය ම ඉතා බොහෝය. මහා සාගරයේ එතරම් ජලය නැත්තේය. මහණෙනි, මෙසේ වන්නට හේතුව කුමක්ද? මහණෙනි, මේ නොනැවතී ඉපදෙන මැරෙන ස්වභාවය පටන් ගත් මුල් අවස්ථාව දැක්ක නොහැකි තරම් ඉතා දීර්ඝ නිසාය. චතුරාර්ය සත්‍යාවබෝධ කරගන්නට නොහැකි වීම නැමැති අවිද්‍යාවෙන් මෙහි සත්‍යය වැසී ඇති නිසාය. එනිසා ම තෘෂ්ණාවෙන් බැඳී ඇති නිසාය. එනිසා ම අති දීර්ඝ කලක් තිස්සේ නොනැවතී ඉපදෙමින් මැරෙමින් යන සසර ගමනක ඔබ පැටලී ඇති නිසාය. මහණෙනි, ඔබ විසින් මේ අති දීර්ඝ කාලය පුරා බොහෝ දුක් කම්කටොලු විඳින ලද්දේය. එහෙයින් මහණෙනි, මේ හටගෙන ඇති සියලු උපත් කෙරෙහි, සියලු දේ කෙරෙහි ඇල්ම ඇති නොකර ගැනීම ඉතා සුදුසුය. මේ ගැන කළකිරීම ඉතා සුදුසුය. මෙහි නොඇලීම ඉතා සුදුසුය. මේ දුක්ඛිත පැවැත්මෙන් නිදහස් වීම ඉතා සුදුසුය” යනුවෙනි. (අස්සු සූත්‍රය – සංයුත්ත නිකාය) බුදුරජාණන් වහන්සේ මේ සත්වයන් ගේ ජීවිත ගැන කොතෙක් දුරට සොයා බලා තිබේ දැයි උන්වහන්සේ ගේ ඉහත ප්‍රකාශයෙන් අපට සිතාගත හැකිය. තම තමන් ගේ කර්ම විපාකයෙන් නිරයේ ඉපිද අනන්ත දුක් විඳින සත්වයන් උන්වහන්සේ ගේ බුදු නෙතට මැනැවින් පෙනුනේය. තිරිසන් අපා උපතින් ගොඩ එන්නට නොහැකිව නැවත නැවත එහිම උපදින සතුන් උන්වහන්සේට මැනවින් පෙනුනේය. පේ‍්‍රත ලෝකයෙහි, අසුර ලෝකයෙහි ඉපදී දුක් විඳින සතුන් මැනවින් පෙනුනේය. බොහෝ සත්වයන් මේ දුක්ඛිත සසරේ ම යන බවත් මැනැවින් පෙනුනේය. සුගතියෙහි උපදින්නේත්, මගඵල ලබන්නේත් ඉතා ස්වල්ප දෙනෙකු බව උන්වහන්සේ හොඳින් දැන සිටියහ. එනිසා ම ඒ ස්වල්ප දෙනා සතර අපායට වැටෙන ස්වභාවයෙන් බේරාගැනීම පිණිස උන්වහන්සේ බොහෝ වෙහෙසුන සේක. වරක් තමන් වහන්සේ මනුෂ්‍යයාගේ යහපතට කැමැති කලණ මිතුරෙකු වශයෙන් තමන්වහන්සේ ම හඳුන්වා ගත්තේ මෙසේය. “මහණෙනි, උපත උරුම කරගත් සත්වයෝ කලණ මිතුරු වූ මා වෙත පැමිණ ඒ උපතින් නිදහස් වෙති. මහණෙනි, ජරාමරණ උරුම කරගත් සත්වයෝ කලණ මිතුරු වූ මා වෙත පැමිණ ඒ ජරාමරණයෙන් නිදහස් වෙති. මහණෙනි, ශෝක, වැළපීම්, භය තැතිගැනීම්, දුක් දොම්නස් උරුම කරගත් සත්වයෝ කලණ මිතුරු වූ මා වෙත පැමිණ ඒ දුක්ඛිත ඉරණමෙන් නිදහස් වෙති” යනුවෙනි. බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට පැවිදි බව හඳුන්වා දුන්නේද මහා කරුණාව නිසාය. ඒ උන්වහන්සේ විසින් සොයාගන්නා ලද දහම් මගෙහි ගමන්කොට මේ බිහිසුනු සසරින් එතෙර වීම පිණිස ය. ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාට විනය ශික්ෂාපද පණවන ලද්දේ ද මහා කරුණාව නිසාය. ඒ ශික්ෂාපද තුලින් සිය ශ්‍රාවකයන් ගේ දහම් මග ආරක්ෂා කරදීම පිණිසය. උන්වහන්සේ ගේ මුවින් වදාළ මේ දෙසුම බලන්න. “මහණෙනි, බොහෝ ජනතාවකගේ හිත පිණිස, බොහෝ ජනතාවකගේ සැප පිණිස, ලෝක සත්වයා කෙරෙහි අනුකම්පා පිණිස, යහපත පිණිස, දෙවියන්ටත් මිනිසුන්ටත් හිත සුව පිණිස එක පුද්ගලයෙක් උපදිතොත් උපදියි. ඒ එක් පුද්ගලයා කව්ද? අර්හත් සම්මා සම්බුදු වූ තථාගත තෙමේ ය” යනුවෙනි. අපගේ බුදුරජාණන් වහන්සේ ලොව සැරිසරා වැඩි ඒ පන්සාලිස් වසර පුරාම ලෝක සත්වයා කෙරෙහි පතුරුවන ලද මහා කරුණාව ඉතා අසිරිමත් ය. උන්වහන්සේ පිරිනිවන් පාන්නට සූදානම් වූ අවස්ථාවේ ආනන්ද තෙරුන් වදාළේ අවසන් වතාවටත් සංඝයාට විශේෂ යමක් වදාරා පිරිනිවන් පානා සේක යන කරුණ සිතමින් තමන් කිසියම් අස්වැසිල්ලක් ලබන බවයි. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “ආනන්දය, සංඝයා මාගෙන් තවත් කුමක් නම් බලාපොරොත්තුවෙන් සිටියි ද? ආනන්දය, ඇතුළට වෙනත් දෙයකුත් පිටතට වෙනත් දෙයකුත් වශයෙන් නොබෙදා මම ධර්මය පැවසූවෙමි. අන්තිම මොහොත තෙක් සඟවාගෙන සිට අවසාන මොහොතේ පෙන්වන පරිදි අතේ මිට මොලවාගෙන සිටින ආචාර්ය මුෂ්ටියක් තථාගතයන් වහන්සේ තුළ නැත්තේය” යනුවෙනි. අපගේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ මහාබෝ මැඬ වැඩ සිටින අවස්ථාවෙහි එතැනට මාරයා පැමිණියේය. පිරිනිවන් පානා ලෙස ඇරයුම් කෙළේය. එවේලෙහි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “මාරය, මාගේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වණක් පිරිස ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුකූල ප්‍රතිපදාවෙන් යුක්තව බුදු සසුන් මග මැනවින් ඉස්මතු කරන තුරු නොපිරිනිවන් පාමි” යන්නයි. බුදුරජාණන් වහන්සේ රහත් වීමට පින් ඇති ශ්‍රාවකයන් රහත් ඵලයෙහි හික්මවා ලන්නට මහත් වෙහෙසක් ගත්හ. ඉතිරි මග ඵල ලබන්නට පින් ඇති ශ්‍රාවකයන් හට ඒ අවස්ථාව උදා කරදෙන්නට මහත් වෙහෙසක් ගත්හ. ඇතැම් දිනවල උන්වහන්සේ එක දිගට දහම් දෙසන සේක. තමන් වහන්සේ කොන්ද රිදෙන තුරු එක දිගට වැඩ හිඳ දහම් දෙසති. ධර්ම දේශනාවට ප්‍රතිබල සම්පන්න භික්ෂුවක් එතැන සිටියොත් ඒ භික්ෂුවට ඒ ධර්ම දේශනාවේ ඉතිරිය දෙසීමට පවරා ස්වල්ප වේලාවක් හාන්සි වී ඒ දම් දෙසුම අසා සිටින සේක. තම ශ්‍රාවක භික්ෂුව ගේ ඒ දෙසුම හමාර වූ පසු උන්වහන්සේ නැගිට සාදුකාර දී ඒ දෙසුමට ප්‍රශංසා කරන සේක. බුදුරජාණන් වහන්සේ තරම් තම ශ්‍රාවකයන් උත්සාහවත් කළ, ධෛර්යමත් කළ, වීර්යවත් කළ වෙනත් ශාස්තෘවරයෙක් ලොව නැත්තේය. වරෙක උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාරන්නේ මහා ඇත්රජෙක් බට පතුරින් කළ ගෙයක් සුණුවිසුනු කර දමන සෙයින් කෙලෙස් නසා දමන්න කියා ය. තවත් වරෙක වදාරන්නේ අභීත යුද සෙබලෙක් යුද්ධය දිනා ජය කෙහෙළි නංවන සෙයින් කෙලෙස් යුද්ධය දිනා ගන්නා ලෙසට ය. තවත් වරෙක උන්වහන්සේ මෙසේ වදාරති. “මහණෙනි, තම ශ්‍රාවකයන්ට ආදරය ඇති, කරුණාව ඇති, දයා ඇති ශාස්තෘවරයෙක් යමක් කළ යුතු ද, මා විසින් ඔබට එය කරන ලද්දේය. මහණෙනි, අර තිබෙන්නේ රුක් සෙවනය. අර තිබෙන්නේ නිදහස් තැන් ය. මහණෙනි, දැහැන් වඩවු. ප්‍රමාදයට පත් නොවන්න. ප්‍රමාද වී මේ අවස්ථාව ගිලිහී යාමෙන් ඔබ මහත් ශෝකයකට පත්වන්නට ඉඩ තියාගන්නට එපා” යනුවෙනි. අප ගේ බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව නිසාම සසර දුකින් පීඩිත සත්වයෝ එයින් මිදී පිරිනිවී ගියාහුය. තව පිරිසක් අනාගාමීව සුද්ධාවාස බඹලොව උපන්හ. තව පිරිසක් සකදාගාමීව දෙව්ලොව උපන්හ. තව පිරිසක් සෝවාන්ව ආත්ම හතක් ඇතුළත පිරිනිවන් පාන බවට පත්වූහ. තව පිරිසක් දෙව්ලොව උපන්හ. මගඵලලාභී සියලු ශ්‍රාවක පිරිස සතර අපා දුකින් සදහට ම නිදහස් වී ගියහ. එය මහා කරුණාවේ මහිමයයි! බුදු කෙනෙක් මිස එබඳු දෙයක් ලොව වෙන කවුරු නම් කරත් ද? ඒ අප ගේ භාග්‍යවතුන් වහන්සේ ගේ මහා කරුණාවට නමස්කාර වේවා! (2015 වර්ෂයේ වෙසක් පුන් පොහෝ දින බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි) පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ