මිය ගිය ධර්මය වෙනුවෙන් මතක බතක් පිසූ මවගේ කතාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, නැන්දා සහ ලේලිය අතර තියෙන අරගලය ඈත අතීතයේ පටන් ම දකින්ට ලැබෙන දෙයක්. ගෙදරක පුතෙක් කසාද බැන්ද විට පුතාගේ නිවසට යි සිය බිරිඳ පදිංචියට එන්නේ. ලේලිය කියන්නේ ඇයට යි. බොහෝ නිවෙස්වල නැන්දම්මාගෙන් ලේලිය බැට කනවා. එහෙම නැත්නම් ලේලියගෙන් නැන්දම්මා බැට කනවා. මේ කච්චානි ජාතක කතාවෙන් කියැවෙන්නේ ලේලියක් නිසා නැන්දම්මා දුකට පත් වීම ගැනයි.
ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත් නුවර ජේතවනයේ. ඔය කාලයේ සැවැත් නුවර එක්තරා නිවසක අම්මෙකුයි තාත්තෙකුයි පුතෙකුයි වාසය කළා. මේ පුතා නිතර ජේතවනයට ගොහින් බණ අහනවා. ඒ නිසා ම තිසරණ පන්සිල්හි පිහිටා තම දෙමාපියන්ට ආදරයෙන් උපස්ථාන කළා. කලක් ගත වෙද්දී මොහුගේ පියා අභාවයට පත් වුණා.කච්චානි,,,
එදා පටන් මේ තරුණ උපාසක තමන්ගේ අම්මාට සැලකුවේ දෙවියෙකුට වගේ. උදේ ම නැගිටලා මුහුණ සෝදන වතුර ටික, දැහැටි දඬුවේ පටන් සෑම උපස්ථානයක් ම කරනවා. ඊට පස්සේ කැඳ හදලා දෙනවා. ඊට පස්සේ දවාලට කන්ට බත් ටිකත් උයලයි වැඩට යන්නේ. දවසක් අම්මා මෙහෙම කීවා.කච්චානි, කච්චානි
“අනේ මයෙ පුතේ… ඔයාට මේ සෑම දෙයක් ම කරන්ට බෑ පුතේ. මයෙ වැඩත් කරනවා, ගෙදරදොරේ වැඩත් කරනවා, කුඹුරු වැඩත් කරනවා. හප්පා… තනි දරුවෙක්ට මේ ඔක්කෝ…ම දේවල් කරන්ට ඇහැක… එහෙම නොවෙයි මයෙ පුතේ, අපේ පවුලට ගැලපෙන තැනකින් මං දැරිවියක් සොයා දෙඤ්ඤං. එතකොට ඈට පුළුවනි මටත් සලකාගෙන ගෙදර වැඩත් බලන්ට. ඔයැයිට ඇහැකි නොවැ තමුන්නේ අනික් කටයුතු සොයා බලන්ට.”කච්චානි..කච්චානි
“නෑ… අම්මා… මේවා මං කරන්නේ මගේ ම හිත සුව පිණිසයි. වෙන කෙනෙක් අම්මාට මෙහෙම සලකාවි කියා මං නම් හිතන්නෙ නෑ.”කච්චානි,,කච්චානි
“ඒ උනාට පුතේ… අපේ පවුල් පරම්පරාවකුත් තියෙන්ට ඕනෑ නොවෙද.”
“අනේ… අම්මා… මට නම් ගිහි ජීවිතේ දිගට ම ඉන්ට අදහසක් නෑ. මං අම්මා ඉන්න තාක් මයෙ දෑතින් උපස්ථාන කරගන්නවා. ඊට පස්සේ මං පැවිදි වෙන්ට යනවා.”
“එහෙම බෑනෙ මයෙ පුතේ… අනේ පුතේ මගේ වචනය අහක දාන්ට එපා ඕං” කියලා මේ අම්මා අර උපාසකට නැවත නැවතත් කසාදයක් කරලා දෙන්ට ඇවිටිලි කළා. ඒත් උපාසක කැමති උනේම නෑ. බැරිම තැන අම්මා තමන්ගේ තනි කැමැත්තට කෙල්ලක් සොයා කසාද බන්දලා දුන්නා.
උපාසක තම අම්මාගේ වචනය ප්‍රතික්ෂේප නොකොට සාමකාමීව පවුල් ජීවිතේ ගෙවන්ට සිත හදාගත්තා. ‘අනේ මගේ සැමියා තමන්ගේ අම්මාට පුදුමාකාර ආදරයකින් සලකනවා නොවැ. මාත් මෙයැයිගේ අම්මාට උපස්ථාන කොරන්ට ඕනෑ. එතකොට මං ගැන ඇති මෙයැයිගේ ආලවන්තකොම තවත් වැඩි වේවි’ කියා සිතා ලේලිත් මැද්දට පැනලා උපස්ථාන කරන්ට පටන්ගත්තා.
‘අනේ මයෙ බිරිඳ මොනතරම් යහපත් ගුණධර්ම ඇති කෙනෙක් ද… මං කරනවා වාගෙම අපෙ අම්මාට උපස්ථාන කරනවා’ කියා සිතා උපාසකගේ ආදරය වැඩි වුණා. එදා පටන් උපාසක රසවත් කෑම බීම මොනවා ලැබුණත් කෙළින් ම ගෙනැවිත් තමන්ගේ බිරිඳගේ අතේ තියනවා.
කලක් යද්දි ඈ මෙහෙම හිතුවා. ‘මෙයා ඉස්සර රසවත් ප්‍රණීත දේ ලැබුණොත් ඉස්සෙල්ලාම අම්මාට දීලා පස්සෙ මට දුන්නේ. දැන් කෙලින්ම මයෙ අතේ තියන්නෙ. මං හිතන්නේ දැන් මෑණියන්දෑව එපා වෙලා ඇති. වෙන කොහාට හරි යවාගන්ට ඕනෑ වෙලා ඇති. හරි… මං මහ අම්මණ්ඩිව යවා ගන්ට උපායක් සොයා ගන්නංකෝ’ කියා වැරදි විදිහට තේරුම් ගත්තා. දවසක් උපාසක ගෙදර එනකොට ඈ මූණ එල්ලාගෙන කඳුළු පුරෝගෙන උන්නා.
“ඇයි… සොඳුරී… මොකද ඔයා මහා දුකකට පත් වෙලා වගේ මූණත් එල්ලාන, දෑහේ කඳුළු පුරෝගෙන… ඇයි?”
“ඇයි තමා… මං මෙතෙක් කලක් ඔයාට කීවෙ නෑ. අද නම් මගේ අහිංසක හිත හරී…යට රිදුණා. මං මෙච්චර සලකද්දී වෙනදාටත් වඩා මහා… නරක විදිහට මට බැන්නේ. අනේ මං කොහොමෙයි මේවා… ඉ…ඉවසන්නේ” කියලා ඉකිබිඳින්ට පටන් ගත්තා. උපාසක නිශ්ශබ්දව ගෙට ගියා.
එදා පටන් ඈ අම්මාට කැඳ දෙද්දී එක්කෝ තද… රස්නෙට දෙනවා. නැත්නම් සීතලට දෙනවා. එක්කෝ ලුණු හොඳට ම වැඩි කරලා දෙනවා. නැත්නම් ලුණු නැතිව දෙනවා. “අනේ දුවේ… කැඳ ටික රස්නෙයි නොවැ” කීවාම සීතල වතුර කෝප්පයක් කැඳ එකට හලනවා. අනේ දුවේ අද ටිකාක් සීතයි, ලුණුත් ටිකාක් වැඩියි වාගේ” කීවාම “හහ්… මේං බලාපන්කෝ වැඩක්… මේ උන්දෑව සංතෝෂ කරන එක නොවැ දැන් අපට ඇති අමාරුම රාජකාරිය. මොනවා දුන්නත් සෑහීමක් නෑ. මං නැගිට්ට වෙලාවෙ ඉඳලා මැරෙනවා මැරෙනවා… කෝ කොහොම දුන්නත් මදි…” කියලා හොඳටෝම බණින්ට පටන් ගන්නවා.
අම්මා නාන්ට වාඩි උනාම ගොඩාක් රස්නෙ වතුර පිටට වක්කරනවා. “ඌයි දුවේ… මයෙ පිට පිච්චෙනවා.” “හෑ… මොන වදයක් ද දෙයියනේ මේ මහ උන්දැගෙන්” කියලා ගොඩාක් සීතල වතුර වක්කරනවා. “හෝ… දුවේ… සීත වැඩියි.” “ආං… ඒ ගමන සීතලයි ලු. නිදකිං මේ ගෑණි. සත්කාර සම්මාන කොහොම කරන්ට ද කියලා මට නම් තේරෙන්නේ නෑ. මාව ම මරව මරවා වැඩ ගන්නවා” කියලා හොඳටෝම බෙරිහං දෙනවා.
දවසක් අම්මා මෙහෙම කිව්වා. “අනේ දුවේ මයෙ මෙට්ටේ මකුණෝ පිරිලා වගෙයි. නින්දක් නෑ මකුණෝ කනවා.”
එතකොට ඈ ඇඳ එළියට දැම්මා. තමන්ගේ ඇඳත් එළියට දැම්මා. තමන්ගේ ඇඳේ මෙට්ටේ හොඳට ගසලා අව්වේ දැම්මා. අම්මාගේ මෙට්ටෙත් පැත්තකින් තියලා “ඕං… මං හොඳට ගසලා මකුණෝ අයිං කළා” කියලා මකුණන්ගෙන් පිරී ගිය මෙට්ටෙම දාලා ඇඳ ගෙයින් තිබ්බා. එදා රෑ අම්මාට නින්දක් නෑ. මුළු රෑ ම නොනිදා වාඩි වෙලා උන්නා. “අනේ දුවේ… මකුණෝ ගිහිං නෑ වගේ. මුළු රෑ ම මාව මකුණෝ කෑවා.”
“ඕං… ඕං… ඉතිං මට බණින්ට පටන් ගත්තා. ඇයි අම්මණ්ඩියේ, තී දැක්කේ නැද්ද මං ඊයේ මක්කද කළේ කියා? මේ ගෑණිගේ කටයුතුවලට නම් වෙනම පිරිසක් ගේන්ට වේවි” කියලා කෑ ගසන්නට පටන් ගත්තා.
දවසක් ඈ අම්මාගේ කෙළ පඩික්කම තමන්ම පයින් ගස්සල බිම හැලුවා. “අයි… අයියෝ… මේ… මොනාද දෙයියනේ කරගත්තේ… මුළු ගෙදර නිකාං වැසිකිළියක් වගේ වුණා. අනේ මයෙ රත්තරන් අම්මේ… මට මෙහෙම වද දෙන්ට එපා කියලා මං මොන තරම් කියනවා ද. කෝ… මේ කාලකණ්ණි ගෑණි මට ම පන්න පන්නා වද දෙනවා නේ” කියා ඈ හඬාගෙන සැමියා ළඟට ගියා.
“මේ… මට නම් මේ පව්කාරිත් එක්ක එක ගෙදර පවුල් කන්ට බෑ. එක්කෝ මේ මහගෑණිව මේ ගෙදරින් යවන්ට. එක්කෝ මාව යවන්ට.”
“සොඳුරී… ඔයා තවම තරුණයි. ඔයාට ඕනෑ තැනක ගොහිං ජීවත් වෙන්ට ඇහැකි. මයෙ අම්මාට එහෙම බෑ. එයා ගොඩාක් වයසයි. එයාට තියෙන්නේ මගේ පිහිට විතරයි. ඒ නිසා ඔයා එහෙනම් තමන්ගේ ගෙදර ගිහිං ඉන්ට. මං ඉස්සර වගේ මයෙ අම්මාට උපස්ථාන කරන්නම්. මට ඒකේ කිසීම බැරි කොමක් නෑ. මට පුළුවනි මයෙ අම්මාට සලකන්ට.”
එතකොට ඈ නිශ්ශබ්ද වුණා. ‘හෝ… මේ මිනිහාව බිඳවන්ට බෑ. මං ගෙදර ගොහින් වැන්දඹුවක් වශයෙන් වාසය කළොත් මහා දුකකට වැටෙනවා’ කියා සිතා තමන් ම ගේ දොර පිරිසිදු කළා. එදා පටන් අම්මාට විරුද්ධව වචනයක් කීවේ නෑ. ආයෙමත් මුල් කාලේ වාගේ අම්මාට සලකන්ට පටන් ගත්තා.
දවසක් උපාසක භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට ජේතවනයට ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. භාග්‍යවතුන් වහන්සේ උපාසකගෙන් මෙසේ අසා වදාළා.
“උපාසක… දැන් කොහොමද? කලින් වගේම අප්‍රමාදීව පිං දහම් කරනවා ද? මෑණියන්ගේ උපස්ථාන කටයුතු හොඳට කරනවා නේද?”
“අනේ ස්වාමීනී, මට ගිහි ජීවිතයක් ගෙවන්ට ඕනෑකමක් තිබුණේ ම නෑ. මයෙ අකැමැත්තෙන් ම අපෙ අම්මා මට කසාදයක් කරලා දුන්නා. ඈ මුල් දවස්වල හොඳට හිටියා. පස්සේ මයෙ අම්මාට සෑහෙන්ට වෙනස්කම් කළා. මාව අම්මා එක්ක බිඳුවන්ට මහන්සි ගත්තා. වැඬේ හරි ගියේ නෑ. අන්තිමේදී මං කීවා මං තනියම හරි අම්මාට සලකන්නම්. ඉන්ට බැරි නම් ආපහු තමුන්නේ ගෙදර යන්ට කියලා. එතකොට දමනය වුණා. දැන් ආයෙමත් අම්මාට හොඳට සලකනවා.”
“උපාසක, මේ ආත්මේ ඔබ ඇගේ වචනයට අහුවුණේ නෑ. නමුත් කලින් ආත්මේ ඔබ ඇගේ වචනයට අහු වුණා. තමුන්නේ මෑණියන්ව ගෙදරින් පන්නා ගත්තා. මං මැදිහත් වෙලා ආපහු ගෙදරට එක්කරගෙන ඇවිත් උපස්ථාන කරන්ට සැලැස්සුවේ” කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.
“උපාසක, ගොඩාක් ඉස්සර කාලෙ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ඔය කාලේ බරණැස එක්තරා නිවසක සිටිය පුත්‍රයෙක් දෙමාපියන්ට ආදරයෙන් සැලකුවා. පියා අභාවයට පත් වුණා. ඊට පස්සේ මේ පුත්‍රයා තමන්ගේ අම්මාව මහත් ආදරයෙන් රැකබලාගෙන ඇප උපස්ථාන කරමින් වාසය කළා.ඒ අම්මගෙ නම කච්චානි.
ඒ අම්මා තමන්ගේ පුතා තනියම වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරමින් තමාටත් උපස්ථාන කරගෙන සිටීමට කැමති වුණේ නෑ. හොඳ තැනකින් කසාදයක් බන්දලා දෙන්ට ඕනෑ කියන යෝජනාව පුතාට ඉදිරිපත් කළා. නමුත් ඒ පුත්‍රයා කසාද බඳින්ට කැමති වුණේ නෑ. අන්තිමේදී ඒ අම්මා තමන්ගේ තනිකැමැත්තට අර පුත්‍රයාට කසාදයක් බන්දලා දුන්නා. ටික දවසක් අලුත් ලේලි ඈට උපස්ථාන කළා. පස්සේ විරුද්ධකම් කරන්ට පටන් ගත්තා.
ඈ ඉතාම සූක්ෂ්ම ලෙස මේ අම්මා ගැන පුතාගේ සිතේ තිබූ ආදරය නැති කරන්ට දක්ෂ වුණා. දවසක් ඈ අම්මාට දොස් පවරමින් හයියෙන් කෑ ගසන්ට පටන් ගත්තා. “අනේ ස්වාමී… මට තවත් මේ දුක ඉවසගන්ට අමාරුයි. ඔයාට තේරෙන්නේ නැද්ද මේ කාලකණ්ණි මහ ගෑණි මට දෙන වද කන්දරාව. දැන් තියෙන්නේ එක උත්තරයයි. එක්කෝ මහගෑණිව මේ ගෙදර තියාගන්ට, මාව යවන්ට. එහෙම නැත්නම් මාව මේ ගෙදර තියාගන්ට, මහ ගෑණිව යවන්ට” කියා හඬන්ට පටන් ගත්තා.
එතකොට පුත්‍රයා සිතුවේ මේ සියලු කරදර හදන්නේ තමන්ගේ අම්මා කියලයි. පවුල කැඩෙනවාටත් කැමැත්තක් නෑ. අම්මාට මෙහෙම කීවා. “අම්මේ… ඇයි ඔයා මේ ගෙදර නිතර රණ්ඩු සරුවල් කරන්නේ? මට මයෙ පවුල් ජීවිතේ රැකගන්ට ඕනෑ. දැන් අම්මා මෙහෙ ඉන්ට ඕනෑ නෑ. මං ඉතින් මට හැකි පමණින් උදපදව් කළා මදෑ. දැන් කොහේ හරි ගිහින් ඉන්ට. මෙහෙ ඉන්ට බෑ.”
එතකොට අම්මා හැඬූ කඳුළින් රෙදි පොට්ටනියත් අරගෙන ගෙදරින් එළියට බැහැලා ගියා. ගිහින් තමන් දන්නා හඳුනන ගෙවල්වල බැලමෙහෙවරකම් කරමින් ඉතා දුකසේ ජීවත් වුණා. නැන්දම්මා ගෙදරින් ගියාට පස්සේ ලේලියගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා.
“ඕං මෙයා… දැක්කා නොවැ. ඔය කාලකණ්ණි මූසලී මේ ගෙදර ඉන්නකම්ම මයෙ කුසට දරුවෙක් ආවේ නෑ. දැක්කා නේද?” කිය කියා තම සැමියා තමන්ගේ මව් ගෙදරින් පිටමං කිරීමෙන් කළේ යහපතක් බවට හඟවමින් සිටියා. ටික කලකින් ලේලිය පුතෙක් බිහි කළා. එතකොට ඈ තවත් උදම් අනන්ට පටන් ගත්තා. “ඔයාට දැන් තේරෙනවා ඇති. අර අම්මණ්ඩි මේ ගෙදර ඉන්නකල් අපට පුත්‍ර ලාභයක් ලැබුණේ නෑ. ඇයි ඉතින් හැමදාම මේ ගෙදර රණ්ඩු නොවැ. මං කීවේ ඕකි මහා මූසලියක් ය කියලා නේද මෙයා.”
එතකොට ඒ අම්මාට හිතවත් අය මේ ගැන මහත් සංවේගයෙන් අම්මාට කිව්වා “කාතියානී… ආං උඹේ ලේලිට දැන් සරුය කියලා ඒකී හැම තැනම කියනවා. ඒකිට පුතෙක් ලැබුණේ උඹව ගෙදරින් පන්නාගත්තාට පස්සෙ කියලා කියන්නේ.”
එතකොට අම්මා මෙහෙම සිතුවා. ‘ඔව්… සත්තකින් ම මේ ලෝකයේ ධර්මය මැරුණා වෙන්ට ඕනෑ. ධර්මය කියා දෙයක් තිබුණා නම් මෙහෙම වෙන්ට බෑ. මං ඒ දූට කිසිම හිංසාවක් පීඩාවක් කළේ නෑ. ඈ ම යි පුතාවත් උසිගන්නලා මාව ගෙදරින් ගහලා පැන්නුවේ. ඔව්… මව්ට හිංසාකොට පන්නා ගැනීම නිසා පුතෙකුත් ලැබුණා නම්, සැපසේ වසනවා නම්, සත්තකින් ම මේ ලෝකයේ ධර්මය මැරිලා. මං එහෙනම් දැන් කරන්ට තියෙන්නේ මැරුණ ධර්මය උදෙසා මතක බතක් දෙන එක.’
මෙහෙම සිතූ අම්මා තලපිටියි, හාලුයි, උයන්ට හැලියකුයි, හැන්දකුයි අරගෙන අමු සොහොනට ගියා. ගිහිං මිනී හිස් කබල් තුනක් ලිප් ගලට තියා ලිපක් බැන්දා. ගිනි දැල්ලුවා. ඊළඟට පොකුණට ගිහිං හිස පටන් ගිලී නා ගත්තා. කට සේදුවා. ළිප ළඟට ඇවිත් දිය බේරෙන කෙස් වැටිය මුදාගෙන සහල් ගරන්ට පටන් ගත්තා.
ඔය කාලේ මහාබෝධිසත්වයෝ උන්නේ සක් දෙවිඳු හැටියට ඉපදිලා. බෝධිසත්වවරු කියන්නේ අප්‍රමාදය උතුම් කොට සලකන අය. එදා ඔහු ලෝකය දෙස බලද්දි ඉතාම දුකට පත් අම්මෙක් දැන් ලෝකයේ ධර්මය මැරිලා යන හැඟීමෙන් මියගිය ධර්මය උදෙසා මතක බතක් දෙන්ට සූදානම් වන හැටි දැක්කා. දැකලා බ්‍රාහ්මණයෙකුගේ වෙස් අරගෙන පාරේ යන කෙනෙක් වගේ අම්මා ළඟට ආවා. “ඈ අම්මේ… මොකදෑ මේ… අමු සොහොනේ බත් ඉවිල්ලක් නෑ නොවැ. මේ තල පිටි දාලා බතක් උයන්නේ ඇයි අම්මේ…. උඹ මොනාද මේ කරන්නේ?” කියා මේ පළමු ගාථාව ඇසුවා.
(1)
ඇයි කාතියානි උඹ මේ සුදුවතක් හැඳගෙන
නාලා තෙත බේරෙන කෙස් වැටිය මුදාගෙන
මිනී හිස් කබලෙන් සොහොනේ ලිපක් ද බැඳගෙන
තලබතක් පිසින්නට හාලුත් හොඳින් දොවාගෙන
මොකෝ මෙසේ තී මෙහි තලබතක් පිසින්නේ?
බ්‍රාහ්මණ වෙස්ගත් සක් දෙවිඳු පැවසූ මේ ගාථාවට ඈ මෙසේ ගාථාවෙකින් පිළිතුරු දුන්නා.
(2)
අනේ බමුණ මේ තලබත යහපත් ලෙස මං පිසින්නෙ
මට අනුභව කරන්ට නම් නොවේ
මාපිය ගුරුවරුන් පිදුම නම් ධර්මය මේ ලෝකේ
මියගිය බව හොඳටම මට තේරුම් ගිය නිසා
සූදානම් වන්නේ මං අමුසොහොනට ඇවිත්
මියගිය ධර්මයට මතක බතක් පුදන්ටයි
ඇගේ කතාවට පිළිතුරු වශයෙන් සක්දෙවිඳු මේ ගාථාව පැවසුවා.
(3)
කාතියානියේ නුවණින් සලකා බලපං –
ධර්මය මැරුණාය කියා කවුද නුඹට කීවේ
ධර්මය නිසාමනේ දහසක් නෙතින් යුතුව –
මහානුභාව ඇති සක් දෙවිඳුත් උපදින්නේ
මේ උත්තම ධර්මය කිසිදා නැත මිය යන්නේ
එතකොට අම්මා තමා එසේ කීමට හේතු වූ කරුණු කාරණා මේ ගාථාවලින් පැවසුවා.
(4)
බ්‍රාහ්මණය මට නම් හොඳටම විශ්වාසයි
මිය ගොස් ඇති බව ධර්මය කිසි සැකයක් නෑ
පව් කරනා එවුන් මට ලැබෙනවා දකින්ට
ඒකුන් හට පුළුවනි සැපයෙන් ම වසන්ට
(5)
වඳ එකියක් වෙලා මගේ ගෙදර ලේලිය උන්නා
ඒකී මට ගහලා නිවසින් පන්නා දැම්මා
ඒ නිසා ම ඒකිට හොඳ පුතෙක් උපන්නා
ගෙදරට අධිපතිනිය වී ඒකි යසට ඉන්නවා
මං තනි වී අසරණ වී පිහිට නැතිව ඉන්නවා
එතකොට බ්‍රාහ්මණ වෙස් ගත් සක්දෙවිඳු ශක්‍රදේවරාජ වේශයෙන් මහත් ආනුභාව ඇතිව පෙනී සිටියා. මව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සැලකීම ආදී සප්තව්‍රතපදයන් පුරුදු කිරීම නමැති ධර්මය නිසා තමන් ශක්‍ර තනතුරේ උපන් බවත් ධර්මය ලොවේ තිබෙන බවට හොඳම සාක්ෂිය තමා බවත් පවසා සක් දෙවිඳු මේ ගාථාව පැවසුවා.
(6)
කාතියානියේ, මං ජීවත්වෙන කෙනෙක් මිසක් –
මැරුණු කෙනෙක් නොවේ
තිට යහපත සලසන්ටයි – තව්තිසාවේ ඉඳන් මෙහෙට ආවේ
තිට හිංසා කළ නිසා ම – යම් එකියක් වැදුවා නම් පුතෙක්
පුතා සමඟ ඒකිව මං දැන් අළුකොට දමනවා
එතකොට අම්මා භය වුණා. නැගිට සක් දෙවිඳුට වන්දනා කොට මෙහෙම කීවා. “අනේ දේවරාජනේ… මං එහෙම දේකට නොවේ කීවේ… අනේ මයෙ මුණුබුරා නොමැරී ඉන්ට ඕනෑ නොවැ” කියා මේ ගාථාව පැවසුවා.කච්චානි,,කච්චානි
(7)
අනේ දේවරාජනේ,
එවැනි දෙයක් කැමති වුණත් නුඹවහන්සේ නම්
මට යහපත සදන්ට නොවැ – තව්තිසාවේ ඉඳන් මෙහෙට වැඩියේ
අනේ මාත් මයෙ පුතත් ලේලිය හා මුනුපුරත්
අපි හැමෝම එකම ගෙදර – සමඟිව සතුටින් ඉන්ටයි මං ආසා
එතකොට සක්දෙවිඳු ඇය තුළ මෛත්‍රිය කරුණාව ආදී ගුණධර්ම පිහිටා තිබීම ගැන ප්‍රශංසා කරමින් මේ ගාථාව පැවසුවා.
(8)
කාතියානියේ,
ඔවුන් සමඟ සතුටින් ඉන්ටයි තී නම් ආසා
තී දරුවන්ගෙන් ගුටිකෑවත් – ගුණදම් අත් නොහැර ඉන්නවා
එහෙනම් තී පුතා එක්ක, ලේලිය මුනුපුරා එක්ක
එකම ගෙදර සතුටින් සමඟියෙන් වසන්න
මෙසේ කියා සක්දෙවිඳු ඒ අම්මාට මෙහෙමත් කීවා. “කාතියානී, තී භය ගන්ට කාරි නෑ. මං මාගේ දේවානුභාවයෙන් තිගේ පුත්‍රයාවත් ලේලියවත් අතරමගට එන්ට සලස්වන්නම්. ඔවුන් සමාව ඉල්ලා වැඳ වැටේවි. ඊට පස්සේ ගෙදරට එක්කරගෙන යාවි. ගෙදර ගොහින් අප්‍රමාදීව වාසය කරපං” කියා නොපෙනී ගියා.
සක් දෙවිඳුගේ ආනුභාවයෙන් අර පුත්‍රයාටත් ලේලියටත් දිගටම අම්මාව මතක් වෙන්ට පටන් ගත්තා. ඔවුන්ට වෙන කිසිම දෙයක් කරගන්ට බැරි වුණා. දරුවාත් වඩාගෙන ගෙදරින් පිටත් වුණා. “අනේ අපෙ අම්මාව දැක්කා ද?” කියා ගමේ මිනිසුන්ගෙන් අසමින් සොහොන පැත්තට ආවා. සොහොන ළඟ අම්මා ඉන්නවා දැක්කා. “අනේ අම්මා… මේ කොහිද මේ… අනේ අපෙන් වෙච්චි වැරැද්දට සමාවෙන්ට” කියා දුවගෙන ඇවිත් අම්මාගේ දෙපා ළඟ වැඳ වැටුණා. ඒ අම්මා ඔවුන්ට සමාව දුන්නා. ඊට පස්සේ අම්මා හිනැහි හිනැහී මුනුපුරාව වඩාගෙන සිඹින්ට පටන් ගත්තා. ඔවුන් ඉතා සතුටින් ගෙදර ගොහින් එදා පටන් සමඟියෙන් සතුටින් වාසය කළා.
මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.
(9)
ඒ කාතියානි ලේලිය හා සතුටින් නිවසට ගියා
එදා පටන් සියලු දෙනා සමඟිව එහි ගත කළා
පුතාත් මුනුපුරත් ඇයට හොඳින් ම උවටැන් කළා
සක්දෙවිඳුගේ රැකවරණය ඔවුන් සැමට සැලසුනා
මෙය වදාළ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය වදාළා. ඒ ධර්ම දේශනාව අවසානයේ උපාසකතුමා සෝවාන් ඵලයට පත් වුණා. “මහණෙනි, එදා මව්ට උපස්ථාන කළ පුත්‍රයාව සිටියේ මේ උපාසක ම යි. එදා මව් වෙලා සිටියේ අද මව් ම යි. එදා ලේලිය ව සිටියේ අද ලේලිය ම යි. එදා සක් දෙවිඳුව සිටියේ මම” යි කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා.
සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ