අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව, 2019 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් එතුමන්ගේ උදාර චින්තනය ජනගත කිරීම තුළින් සිංහල ජාතිය අවදි කරනු වස්, 5000 ක පමණ තරුණ දෙමාපියන් සහ යොවුන් දූ පුතුන් සහභාගී වූ “සිරි දම්පල් අභිනන්දන” පුණ්‍යමහෝත්සවය 2019 සැප්තැම්බර් 14 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කරන ලද මේ මහානීය කෘතගුණ පූජා මහෝත්සවයේ මුලසුන දරණ ලද්දේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, අතිපූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර නාහිමි, අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි, පූජ්‍ය පොල්පිතිමුකලානේ පඤ්ඤාසිරි නාහිමි ඇතුළු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ වැඩමවීම සිදු වූ අතර, ධර්මපාල චින්තනය ඇසුරින් සිංහල බෞද්ධයන් තුළ ජාතික, ආගමික, සංස්කෘතික ආකල්ප වර්ධනය පිණිස මහෝපකාරී වන අයුරින් විශේෂ දේශනා රැසක් පැවැත්විණි. ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතා ද දේශනයක් පැවැත්වූ අතර අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ට උපහාර පිණිස නිර්මාණය කළ සිරි දම්පල් සමරු ගීතය ද එහිදී එළි දැක්විනි. අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස එළි දැක්වීම ද මෙහි දී සිදු වූ අතර මෙම වැඩසටහන ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.




මෙම උතුම් ගුණ සමරු පුණ්‍යෝත්සවය තුළින් රැස් වූ සියලු පින් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියන්ටත්, දේශනා පැවැත්වූ හා වැඩමවා වදාළ ත්‍රෛනිකායික පූජනීය මහා සංඝරත්නයටත්, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු පින්වතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත්, මේ උතුම් කටයුත්ත සාර්ථක කරගනු පිණිස නන් අයුරින් උපකාර කළ සියලු පින්වතුන්ටත්, වැඩසටහනට සහභාගී වූ තරුණ, වැඩිහිටි සියලු පින්වතුන්ටත්, ධර්මදාන සාමාජික සියලු පින්වතුන්ටත්, දැකබලා සතුටුවන පින්වත් ඔබ සැමටත් අනුමෝදන් වෙත්වා! සුවසේම පින් රැස් කර ගනිමින් සිල් ගුණදම් ආරක්ෂා කරගනිමින් මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!