අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට අනුවාදිත මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස 2019-09-14 දින එළිදැක්විණ. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු විශේෂ උත්සව සභාවේදී ය. 37 වන පරිච්ඡේදයේ සිට 58 වන පරිච්ඡේදය දක්වා වූ පරිවර්තන කොටස මෙහි ඇතුලත්ව තිබේ.

පරිච්ඡේද 37 කින් සමන්විත වූ මහාවංශය ප්‍රථම භාගය ද උන්වහන්සේ විසින්ම සරල සිංහලයට පරිවර්තනය කරන ලදුව, මීට තෙවසරකට පෙර ශ්‍රී ලාංකික ජනතාව අතට පත්වූ අතර එහි දෙවන සංස්කරණය ද මේ වන විට ප්‍රකාශයට පත්කොට තිබේ.

මේ ඔබ අතට පත්වන්නේ සිංහල මහාවංශයෙහි ද්විතීය භාගයෙහි පළමු කොටස ය.

විජය රාජකුමාරයාගෙන් ආරම්භ වූ ලක්දිව මනුෂ්‍ය වාසය දඹදිව රාජවංශයන්ගේ සහායයෙන් ක්‍රමානුකූල වූ රාජාණ්ඩු ක්‍රමයක් තුළ සකස් විය.

දෙවනපෑතිස් රජු දවස, ලක්දිවට ශාස්තෘන් වහන්සේනමක් බඳු අප මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග ම ලංකාවෙහි බුදු සසුන ස්ථිරව පිහිටන බවට බුදුරජාණන් වහන්සේ විසින් සක් දෙවිඳුට වදාළ වචනය සත්‍ය බවට පත්විය. එතැන් පටන් අපගේ මේ ලක්දිව ගෞතම බුදු සසුනට ඉතාමත් ම හිතකර වූ වටපිටාවකින් යුතු සොඳුරු දිවයිනක් බවට පත්විය.

නමුත් වරින් වර දකුණු ඉන්දියාවෙන් කඩාවදින ආක්‍රමණයන්ගෙනුත්, ඔවුන් විසින් අඛණ්ඩව කරනු ලබන මංකොල්ලකෑම්වලිනුත් ලක්දිව පීඩාවට පත්වූයේ සුළුපටු අයුරකින් නොවේ.

එමෙන්ම රාජ්‍ය ලෝභයෙන් එකිනෙකාගේ ඇණකොටාගැනීම් ද හේතුවෙන් වරින් වර ලංකා රාජ්‍යය ඉතා දුර්වල අඩියකට වැටුණේය. ලංකාවෙහි බලවත් සිංහල රජෙකු නොමැති අවස්ථාවන්හිදී පරිහානියට පත්වන්නේ එහි ආරක්ෂාවත්, ආර්ථිකයත්, ජනතා සමෘද්ධියත් පමණක් නොවේ. ලංකාවෙහි ආධ්‍යාත්මික රැකවරණය සලසන සංඝයා වහන්සේ ද එකල්හි පිරිහීමට පත්වෙති. නොයෙක් දෘෂ්ටිවලින් ඔවුහු ආකූල ව්‍යාකූල වෙති. සිල් ගුණදම්වලින් බැහැර වෙති. ඍජු ගුණැති, පුණ්‍යානුභාවයෙන් හෙබි රජවරු නැති ඕනෑම කාලයකදී ඒ දුර්දශාව ලක්දිවට උදාවේ.

මහාවංශයේ ද්විතීය භාගයෙහි එවන් සත්‍ය තොරතුරු බොහෝ ය. මේ කොටසෙහි අවසාන පරිච්ඡේද කිහිපය තුළ දකුණු ඉන්දියානු ආක්‍රමණික දෙමළ මංකොල්ලකරුවන් නිසාවෙන් ලක්දිවට සිදුවූ හානිය මැනවින් විස්තර කරයි. සිංහල ජාතිය තමන්ට නායකයෙකු නැතිව අන්ත අසරණ අඩියකට පත්වී සිටි අයුරු මෙහි සටහන් වන්නේ කියවන්නවුන් හට සංවේගය ඇතිකරවමිනි. සිංහල ජාතියේත් බුද්ධ ශාසනයේත් වාසනාවකට මෙන් සිංහල රාජවංශයට අයත් කීර්ති නම් කුමරෙක් පහළ වූයේය. එවන් යුගයක හේ කීර්ති විජයබාහු නමින් රජව යළි ලක්දිව එක්සේසත් කොට විනාශ වුනු රටත් සසුනත් නගාසිටුවීය.

මෙවැනි අති අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයක් ‘මුසාවකි’ යි කිය කියා හෙළාදකින්ට පෙර කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

මෙම සරල සිංහල අනුවාදය උදෙසා සහය කරගත්තේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සකස් කරන ලද මහාවංශයත්, ඡට්ඨ සංගායනාවෙන් සකස් වූ මහාවංස පාළියත් ය. එමෙන් ම මහාවංශයේ සරල අනුවාදයන් රාශියක් තිබෙන බව අපට දකින්ට ලැබිණි. මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාව සිංහල ජනතාවට කියවන්නට සැලැස්වීම උදෙසා ඒ ඒ පඬිවරුන් ගත් වෑයම සදා ප්‍රශංසනීය ය.

මහාවංශයෙහි ද්විතීය භාගයට අයත් මෙම මුල් කොටසෙහි තිබෙන්නේ පරිච්ඡේද විසි එකකි. දැනට අප විසින් සරල සිංහලෙන් අනුවාදිතව තිබෙන්නේ එම කොටස පමණි.

මෙම මහාවංශය කියවීමේදි ඇතැම්විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වෙයි. එමෙන් ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන් ද ඇතැම්විට සිදුවන ලද කුමන්ත්‍රණයන් ද විශේෂයෙන් සිංහල ජාතියටත් රාජ්‍ය තන්ත්‍රයටත් සිදුවන විනාශයන් කියවනවිට කෙලෙස්වල ඇති භයානක ස්වභාවයත් සංසාරයෙහි ඇති නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතැතින් ම වැටහෙයි. එවිට අප තුළ ධර්ම සංවේගයක් හටගනී. මහාවංශ කර්තෘවර මහානාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන් වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව.

මෙවර සිංහල අනුවාදයේදී අප විසින් පාළි ගාථාවන් රහිතව සකසන ලද්දේ මුද්‍රණ වියදම අඩුකර ගනු පිණිස ය. මෙය බොහෝ දෙනෙකුට සුවසේ කියවා සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැකිය. දැනට නානා මාධ්‍යයන් තුළින් ද අපගේ ඉතිහාසය පිළිබඳව පතුරුවා හරිනු ලබන විකෘතියට පත් දුර්මත දුරුවී ගොස් බොහෝ දෙනා හට යහපත සැලසේවා!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ
මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බු.ව. 2563 නිකිණි මස 21 දින (2019.08.21)

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703