ලක්දිව ඉතිහාසය පිළිබඳ 100% ක් සත්‍ය තොරතුරු ඇතුලත් මහා ඓතිහාසික ග්‍රන්ථ රත්නය වනාහී මහාවංශය යි. මෙය සෑම සිංහල බෞද්ධයෙකු විසින්මත් සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින්මත් අනිවාර්යයෙන් කියවිය යුතුම වටිනා ග්‍රන්ථයකි.

බොහෝ පඬිවරු පාලි ගාථා බන්ධනයන්ගෙන් පවතින එම මහාවංශය ලක්වැසි ජනයාගේ පහන් සංවේගය පිණිස සිංහලට පරිවර්තනය කොට ඇත්තාහ. එකී ග්‍රන්ථ අතුරින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලට අනුවාදිත මහාවංශයට හිමි වන්නේ සුවිශේෂී තැනකි.

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

මහාවංශය යන නම ඇසූ පමණින් බොහෝ දෙනෙකු සිතාගෙන සිටින්නේ එකල සිටි ශ්‍රී ලාංකික භික්ෂූන් විසින් ඉතා පක්ෂපාතීව මනඃකල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බව ය. එයට හේතුව ඔවුන්ට මහාවංශය කියවන්ට අවස්ථාවක් නොලැබීම ය. නමුත් මහාවංශය යනු සෑම සිංහලයෙකු විසින් ම ත් සෑම බෞද්ධයෙකු විසින් ම ත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා ම වටිනා ග්‍රන්ථයකි. ඇත්තෙන්ම මහාවංශය කෙරෙහි තිබුනු ගෞරවය සිංහලයාගෙන් නැතිකොට තිබෙන්නේ විදේශ ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙස ය. නමුත් හොඳ සිහි බුද්ධියකින් කියවන විට මහාවංශයේ වටිනාකම මිල නොකළ හැකි බව තේරුම් යනු ඇත.

මහාවංශය ඉගෙනීමේදී එදා දඹදිව තිබූ පරිසරය ද තේරුම් ගෙන තිබීම ඉතා වැදගත් ය. අප භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටින සමයේ දඹදිව මහජනයා ප්‍රධාන වර්ණ හෙවත් වංශ සතරකට බෙදී සිටියෝය. එනම්, ක්ෂත්‍රිය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය සහ ශුද්‍ර වංශය වශයෙනි. මේ සතර වංශිකයන්- ගෙන් දඹදිව භූමියේ ආධිපත්‍යය හිමිව තිබුනේ ක්ෂත්‍රිය වංශිකයන්ට ය. රාජවංශිකයන් ලෙස ඔවුන්ව හඳුන්වති. රජ බවට පත්වූවෝ ක්ෂත්‍රිය වංශිකයෝ ය. නමුත් ක්ෂත්‍රිය වංශික රජ පරපුරටත් අවශේෂ සමාජයටත් අනුශාසනා කරමින් මහත් බලපෑමක් කළ තවත් වංශයක් තිබුණේය. ඒ බ්‍රාහ්මණ වංශය යි.

ක්ෂත්‍රිය වංශයත් බ්‍රාහ්මණ වංශයත් තම තමන්ගේ වංශ පරම්පරාව වෙනත් බාල වංශයකට මිශ්‍ර නොකොට පවත්වා ගන්ට මහත් සේ කැපවී තිබේත ඉතාමත් කල්පනාකාරී වී තිබේ. එයට ප්‍රධාන හේතු දෙකක් තිබුණේය. එකක් නම් ඔවුන් සමාජ ආධිපත්‍යයේ කොටස්කරුවන් වීමයි. අනික නම් ඒ සමාජ ආධිපත්‍යයට විශේෂ සුදුසුකම වන තම වංශය කැලැල් නොවී පවිත්‍රව තබාගැනීම යි.

ඒ කාලයේ දඹදිව රජකළ සෑම කෙනෙකු ම අයිති වූයේ ක්ෂත්‍රිය වංශයට ය. නමුත් ක්ෂත්‍රිය කුමාරවරුන්ට ඉගැන්වූ ආචාර්යවරු වනාහී බ්‍රාහ්මණයෝ ය. රාජ්‍යාභිෂේකයේදී පෙරමුණ ගෙන කටයුතු කළෝ බ්‍රාහ්මණයෝ ය. රජුන්ට අනුශාසනා කළ පුරෝහිතයන් වූවෝ බ්‍රාහ්මණයෝ ය. තුන්වෙනි වංශය වූ වෛශ්‍ය කුලයට අයත් උදවිය නොයෙක් වෙළහෙළඳාම් කිරීම් ආදියෙන් මහා ධනවතුන්ව සිටුවරුන්ව සිටිය ද, ඔවුන්ට තිබුනේ ඊට පහළ තැනකි. ශුද්‍ර වංශිකයන් යනුවෙන් සඳහන් වූයේ පාර අතුගෑම්, දර පැලීම්, වැසිකිළි පිරිසිදු කිරීම් ආදී කටයුත්තේ සිට දාසභාවයට අයිති ඕනෑම කටයුත්තක් කළ හැකි පිරිසයි.
ක්ෂත්‍රිය වංශිකයෝත් බ්‍රාහ්මණ වංශිකයෝත් තමන්ගේ වංශය ගැන මහත් අභිමානයෙන් කතා කොට ඇත්තාහුය. වෙනත් වංශයක් සමග ආවාහ විවාහ ආදිය නොකර ගැනීමට ඔවුහු මහත්සේ සැළකිළිමත් වූහ. තමන්ගේ වංශයේ පවිත්‍ර භාවය ගැන අභිමානයෙන් කතා කරද්දී විවාද රහිතව සියලු දෙනාම එයට හිස නැමූහ.

දීඝ නිකායෙහි සෝණදණ්ඩ සූත්‍රයේ සඳහන් මෙම සිදුවීම දෙස බලන්න. එක් කාලයක අප භාග්‍යවතුන් වහන්සේ මහත් සඟ පිරිසක් සමග අංග රටේ චාරිකාවේ වඩිද්දී චම්පා නුවරට වැඩම කළ සේක. එකල චම්පා නගරයේ සෝණදණ්ඩ නමින් මහත් සම්භාවනීය බ්‍රාහ්මණයෙක් වාසය කළේය. ඔහුට බිම්බිසාර රජුගෙන් තෑග්ගක් වශයෙන් විශාල නින්දගමක් ලැබී තිබුණි. එයින් ලත් ආදායමෙන් ඔහු මහා ධනවතෙකු ව සිටියේය.

බුදුරජාණන් වහන්සේව බැහැදැක බණ ඇසීමේ ආශාවෙන් බ්‍රාහ්මණ වංශිකයන් ඇතුලු සියලු දෙනා ම පාහේ චම්පා නගරයේ ගර්ගරා පොකුණු තෙර දෙසට ගමන් කරමින් සිටියහ. ඒ අවස්ථාවෙහි සෝණදණ්ඩ බ්‍රාහ්මණයාටත් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට කැමැත්තක් ඇතිවිය. ඒ වන විට වෙනත් ඈත පළාතකින් පන්සියයක් බ්‍රාහ්මණවරු කිසියම් කටයුත්තකට චම්පා නගරයට ඇවිත් සිටියෝය. ඔවුන්ට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්ට සූදානම් වන බව සැළ විය. ඔවුහු වහාම සෝණදණ්ඩ බ්‍රාහ්මණයා සොයාගෙන ගියහ. ගොස් සෝණදණ්ඩ බ්‍රාහ්මණයා වැනි කෙනෙකු සංචාරක ශ්‍රමණයෙකු බැහැදකින්ට යෑම කිසිසේත් නුසුදුසු බව නොයෙක් ආකාරයෙන් තරයේ කියා සිටියෝය. එයින් පළමුවැන්න මෙය ය.

“භවත් සෝණදණ්ඩයෝ මව් පාර්ශවයෙනුත් පිය පාර්ශවයෙනුත් යන මේ දෙපාර්ශවයෙන් ම ඉතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙක් නොවැ. ඔබගේ මව්පිය දෙදෙනා උපන් මව්කුස මීමුතු පරම්පරා සතක් වෙනකල් ම ඉතාමත් පිරිසිදුයි නොවැ. ලෝකයේ කවුරුවත් ඔබේ වංශය කිලුටුයි කියා බැහැර කොට නැත්තේය. මේ මේ වංශයන්ගෙන් තොපගේ වංශය අපවිත්‍රයි කියා නින්දා ද ලබා නැත්තේය.”

ඉහත උපුටාගත් ප්‍රකාශය දෙස හොඳින් බලන්න. එසේ නම් බ්‍රාහ්මණවරු තමන්ගේ මව් පාර්ශවයේත් පිය පාර්ශවයේත් පවිත්‍ර භාවය ගැන තොරතුරු පරම්පරා සතක් ම ආපස්සට යනතුරු නම්ගොත් වශයෙන් ප්‍රසිද්ධියේ ඉහළින් කථා කොට ඇත්තාහ. එසේ නොවුනා නම් මේ ආගන්තුක බ්‍රාහ්මණවරු සෝණදණ්ඩගේ සත්මුතු පරම්පරාව ගැන දන්නේ කෙසේද?

ඒ බ්‍රාහ්මණයන්ගේ කියමනට සෝණදණ්ඩ බ්‍රාහ්මණයා දුන් පිළිතුර මෙයයි. “භවත්නි, එසේ නම් මා කියන දේත් අසාගෙන ඉන්ට ඕනෑ. එතකොට තමුන්නාන්සේලාට වැටහේවි භවත් ගෞතමයන් වහන්සේව බැහැදැකීමට අප ම යි යන්ට සුදුසු කියා. භවත් ගෞතමයන් වහන්සේ වැනි කෙනෙකු අපිව දකින්ට වඩින එක නුසුදුසුයි කියා.

භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යනු මව් පාර්ශවයෙනුත් පිය පාර්ශවයෙනුත් යන දෙපාර්ශවයෙන් ම ඉතා පිරිසිදු උපතක් ලැබූ කෙනෙකි. උන්වහන්සේගේ මව්පිය දෙදෙනාගේ මව්කුසත් මීමුතු පරම්පරා සතක් යනකල් ම ඉතාමත් පිරිසිදු ය. ලොව කිසි කෙනෙක් ශාක්‍ය වංශය කිළුටු ය කියා බැහැර කොට නැත්තේය. මේ මේ වංශයන්ගෙන් තොපගේ ශාක්‍ය වංශය අපවිත්‍ර ය කියා නින්දා ලබා නැත්තේය.”

සෝණදණ්ඩ බ්‍රාහ්මණයා මෙය කටට ආ පලියට කියන කථාවක් නොවෙයි. ඔහු ද මහා සම්භාවනීය බ්‍රාහ්මණයෙකි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ චම්පා නුවරට වැඩිය බව ඔහුට සැළවූ විට ඔහු මුලින් ම සොයා තිබෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාක්‍ය රාජවංශයේ සත්මුතු පරම්පරාව පිළිබඳව ය. එසේ නැතිව ආවාට ගියාට වෙනත් වංශයක පිරිසිදුකම ගැන ඔහු මේ අයුරින් කථා කරයි ද?

මෙයින් පැහැදිලිව පෙනෙන්නේ එකල රජ පවුල්වලත් මේ පරම්පරා කථාව ඉතා පිරිසිදුව පවත්වාගෙන ආ බවයි. ඒ ඔවුන්ගේ සමාජ තත්වය පිණිස ඇති ප්‍රධාන ම සහ එක ම සුදුසුකම නිසා ය. තමන්ගේ වංශ පරම්පරාවේ ආරම්භක පුරුෂයා කවුද යන කථාවත් ක්ෂත්‍රිය බ්‍රාහ්මණ කවුරුත් අනිවාර්යයෙන් ම දැනගෙන සිටිය යුත්තකි. ඒ ගැන හොඳ ම උදාහරණයක් දීඝ නිකායේ ම අම්බට්ඨ සූත්‍රයෙහි සඳහන් වෙයි.

එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඟ පිරිසත් සමග චාරිකාවේ වඩිද්දි කොසොල් දනව්වේ ඉච්ඡානංගල නමැති බ්‍රාහ්මණ ගමටත් වැඩම කළ සේක. ඒ කාලයේ ඒ අසල වූ උක්කට්ඨා නගරයේ පොක්ඛරසාති නමින් සම්භාවනීය බ්‍රාහ්මණයෙක් සිටියේය. ඔහු වාසය කළ ඒ උක්කට්ඨා නගරය නින්දගමක් වශයෙන් ඔහුට කොසොල් රජුගෙන් ලද ත්‍යාගයකි.

මේ පොක්ඛරසාති බ්‍රාහ්මණයා බ්‍රාහ්මණවංශික දරුවන්ට උගන්වයි. ඔවුන් අතර දහසය හැවිරිදි ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක් අම්බට්ඨ නමින් සිටියේය. ඔහුව අමතා පොක්ඛරසාති බ්‍රාහ්මණයා මෙය කීවේය. “පුත්‍රය, ලැබෙන ආරංචි අනුව ශ්‍රමණ ගෞතමයන් ශාක්‍ය රජපරපුරෙන් නික්මී පැවිදි වූ කෙනෙක් ලු. ඒ ශ්‍රමණ ගෞතමයන් බුද්ධත්වය ලබා ඇති බව මේ හැම තැන ම පාහේ කතා වෙති. ඔබ ගොස් උන්වහන්සේ සැබෑවට ම බුද්ධත්වය ලැබූ කෙනෙක් ද නැද්ද කියා බලාගෙන එන්ට.”

ඒ කාලයේ බ්‍රාහ්මණයන් සියල්ලෝ ම මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය නමින් වෙනම විෂයක් ඉගෙන ගනිති. ඒ අනුව ය බුද්ධ කියා තමා හඳුන්වා ගන්නා ශ්‍රමණ ගෞතමයන් ගැන සොයා බලන්ට කීවේ.

අම්බට්ඨ මානවකයා දැඩි බ්‍රාහ්මණවාදියෙකි. හේ අප භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් තුන් වතාවක් ම ශ්‍රමණ බවට ගර්හා කළේය. ශාක්‍ය වංශයටත් ගර්හා කළේය. ඒ අවස්ථාවේ ඔහුගේ බ්‍රාහ්මණ වංශය අයත් වන කණ්හායන ගෝත්‍රයෙහි යටගියාව මතු කොට ඒ ගෝත්‍රය ශාක්‍ය රජපවුලේ දාසියෙකුගේ කුසින් උපන් ‘කණ්හ’ නම් දරුවෙකුගෙන් පැවත එන බවට තොරතුරු භාග්‍යවතුන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද්දේය. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මානවකයාගෙන් මෙසේ අසා වදාළ සේක.

“අම්බට්ඨය, ඔබ වයෝවෘද්ධ වූ මහලු වූ ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණයන්ගෙන් තමාගේ කණ්හායන ගෝත්‍රය ආරම්භ වුනේ කොතැනින් කියා ද අසා තිබෙන්නේ? ඒ කණ්හායන ගෝත්‍රය ආරම්භ කළ මුල් ම පුරුෂයා කවරෙක් ද?”

එහිදී අම්බට්ඨ මානවකයාට තමන්ගේ ගෝත්‍රය කණ්හ නමැති ඍෂිවරයාගෙන් ආරම්භ වූ බවට
පිළිගන්ට සිදු විය. ඒ අම්බට්ඨ සූත්‍රයේ සඳහන් පරිදි අපගේ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨයාට මෙසේත් වදාළ සේක.

“පෝරාණං ඛෝ පන තේ අම්බට්ඨ මාතාපෙත්තිකං නාම ගොත්තං අනුස්සරතෝ අය්‍යපුත්තා සක්‍යා භවන්ති. දාසිපුත්තෝ ත්වමසි සක්‍යානං. සක්‍යා ඛෝ පන අම්බට්ඨ රාජානං ඔක්කාකං පිතාමහං දහවති.”

“අම්බට්ඨය, ඔබගේ පැරණි වූ මව්පියන්ගේ නාම ගෝත්‍රයන් සිහිකරද්දී ස්වාමිවරු වශයෙන් ඉන්නේ ශාක්‍ය වංශිකයෝ ය. ඔබ අයිති වන්නේ ශාක්‍යවරුන්ගේ දාසි පුත්‍රයෙකුට ය. අම්බට්ඨය, ශාක්‍යවරු ඔක්කාක රජුව ශාක්‍ය පරපුරේ ආරම්භක මීමුත්තා කොට සලකති.”

එකල සමාජය තමන්ගේ වංශ පරම්පරාවේ පවිත්‍ර භාවය නොසිඳ පවත්වාගෙන ආ බවට ඔප්පු කරන්ට මෙයටත් වඩා සාක්ෂි කුමට ද? මෙය එකල සමාජයේ තිබූ ස්වභාවය යි. ඒ ඒ වංශත් ඒ ඒ වංශයන්ට අනුව පැවරී තිබූ රාජකාරීත් අනුව හැඩගැසුනු සමාජයක එය පැහැදිලිව ම දකින්ට ලැබුනු අනිවාර්ය ලක්ෂණයකි. ක්ෂත්‍රියයෝත් බ්‍රාහ්මණයෝත් තම තමන්ගේ වංශ පරපුර පවිත්‍රව තබා
ගන්ට කොතරම් කැපවීමක් කළාහු දැයි මෙයින් අපට සිතාගත හැකිය.

දඹදිව රජපවුල්වල එබඳු පරිසරයක හැදී වැඩී සිටි කුමාරවරු මේ රටට ඇවිත් පදිංචි වී අලුත් ම ජන කොට්ඨාසයක් බිහි කළෝය. ඔවුන් හඳුන්වන්නේ සිංහල යන නාමයෙනි. ඔවුන් ද ඒ කාලයේ තමන්ගේ රටේ ක්ෂත්‍රිය පරම්පරාව පවත්වාගෙන ආ අයුරින් ම පවිත්‍ර වංශය පිළිබඳ කථාව මෙරටටත් ගෙන ආ බව පෙනේ. පෝරාණයන් යනුවෙන් සඳහන් වන්නේ ඒ රාජ වංශයේ පරම්පරා කථාව පිළිබඳව පැරණි මුතුන් මිත්තන්ගේ මතකයේ විස්තරය යි.

විජය රාජකුමාරයා ලංකාවේ රජ වී අභිෂේක ලැබීම පිණිස තමන් අසා දැක ඇති පරිදි තම රජපරපුරේ චාරිත්‍රය වශයෙන් ක්ෂත්‍රිය කන්‍යාවක් ගෙන්නා ගන්නා තුරු තම අභිෂේකය කල්දමා තිබේ.

මහාවංශයේ කියවෙන්නේ ඒ පැරැන්නන් විසින් දිගටම පවත්වාගෙන ආ විස්තර කථාව යි. සිංහලයාගේ රාජපරම්පරාවේ විස්තරත් ඔවුන් දියුණු වූ ආකාරයත් ඔවුන්ට බුදු දහම ලැබුනු ආකාරයත් දිගටම පවත්වාගෙන ආ ග්‍රන්ථය සීහළට්ඨකථා මහාවංශය යි. සිංහලයෝ ඒ ක්‍රමයෙන් තමන්ගේ සියලු තොරතුරු සකස්කොට පවත්වාගෙන ඇවිත් ඇත්තාහ. චේතියවංසට්ඨ කථා, දීපවංශය, ථූපවංශය ආදියෙහිත් විස්තර වන්නේ පැරැන්නන්ගේ ස්මරණය යි. විශේෂයෙන් සිංහලයන්ගේ අටුවාව හෙවත් සීහළට්ඨ කථාව මහා විහාර සඟපරපුර සමග බැඳී තිබුනේය.

අනුරාධපුර මහා විහාරයෙන් වෙන් වී අභයගිරියට ගිය සඟ පිරිස නිතර ම කටයුතු කොට තිබෙන්නේ මහාවිහාරික භික්ෂූන් කෙරෙහි විරුද්ධ ආකල්පයෙනි. එනිසා ම අභයගිරිවාසී භික්ෂූන්ට ද තමන්ගේ ම පරම්පරා කථාවක් වෙන ම පවත්වාගෙන යන්ට ඕනෑ විය. එහි ප්‍රතිඵලය වූයේ උත්තරවිහාරට්ඨ කථාව හෙවත් උත්තර විහාර මහාවංශය නමින් ඔවුන්ටත් තමන්ගේ ම ග්‍රන්ථයක් බිහිකර ගැනීම යි.

සිංහල රාජවංශයේ ආරම්භක පුරුෂයා ලෙස සිංහබාහු රජුගේ පුත්‍ර වූ විජය රාජකුමාරයාගේ නම සඳහන් කොට තිබෙන්නේ ඒ රාජ වංශයේ ම පැරණි මුතුන් මිත්තෝ ය. විජය කුමාරයාගේ පියා සිංහබාහු රජු ය. මව වනාහි ඒ සිංහබාහු රජුගේ ම නැගණිය වන සිංහසීවලී දේවිය ය. සිංහබාහු රජු විසින් තමන්ගේ ම නුවරක් ඉදිකොට එයට සිංහපුරය යන නම තැබුවේය. ඔවුන්ගේ වංශය පටන් ගන්නේ එතැනින් ය. මෙය සිදුවූයේ ලංකාවේ නොව දඹදිව වංග ජනපදයට අයත් ලාට රටේ ය.

විජය රාජකුමාරයා රජ වූයේ ලාට රටේ නොව එකල තම්බපණ්ණි නමින් හැඳින්වූ මේ ලංකාවේ ය. ඔවුන්ට අවශ්‍ය පරිදි තමන්ගේ රජපරපුරේ ආරම්භය පිළිබඳව වෙනත් සුපිරි කථාවක් මේ අලුතින් පැමිණි රටේ ගොතන්ට අවස්ථාව නොලැබුණේය. මක් නිසා ද යත්; මේ රටේ මුල්ම මනුෂ්‍ය ජනාවාසය ඉදිකළේ ඔවුන් නිසා ය. එනිසා ඔවුන්ට තමන්ගේ පරපුරේ කථාව පිළිබඳව අමුතුවෙන් වසන් කරන්ට දෙයක් නොතිබුණේය. සියල්ලන් ම ඒ රජපරපුර ගැන දන්නා හෙයිනි.

මහාවංශයේ මුලින් ම විස්තර වන්නේ ශාක්‍ය වංශය පිළිබඳ පරම්පරා කථාව ය. එහි ඔක්කාක රජ පරපුර පටන් ගන්නේ මහාසම්මත නමැති සම්භාවනීය රජ කෙනෙකුගෙනි. ඒ පරම්පරාව නොකඩවා පවිත්‍රව රැගෙන ආ බව පැරැන්නන්ගේ ශ්‍රැති පරම්පරාවෙන් දිගට ම ගෙනැවිත් තිබේ. ඒ අනුව මහාවංශයෙහි බුදුරජාණන් වහන්සේගේ පරම්පරාව ගැනත් විජය රජුගේ පරම්පරාවත් පෙන්වා දී තිබේ. එනම් බුදු සසුනෙහි ඉතිහාසයත් සිංහල රාජවංශයේ ඉතිහාසයත් ය.

මහාවංශය කියවගෙන යන විට ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගේ සම්භාවනීය ගුණය අඩුවෙමින් යන බවක් පෙනේ. දකුණු ඉන්දියාවෙන් වරින්වර කඩාවැදුණු ආක්‍රමණිකයෝ සිංහලයාගේ අභිවෘද්ධියට බලවත් ලෙස හානි පමුණුවා ඇත්තාහ. දොළොස්වන සියවසෙහි කාලිංග මාඝ නමැති බ්‍රාහ්මණවංශික මන්ත්‍රධාරී රජුගේ ආක්‍රමණයෙන් ඔහු යටතට පත් සිංහල රටවැසියාත් බුදුදහමත් විසි එක් අවුරුද්දක් ම නැත්තට නැතිවෙන තුරු බැට කෑවේය. එයින් පසු මේ දක්වා සිංහලයන්ට පෙර අයුරින් නැගී සිටින්ට නොහැකි විය. පසුකාලීනව සිංහල රාජවංශයට බලපෑවේ උතුරු ඉන්දියානු බලය නොව දකුණු ඉන්දියාවේ මිසදිටු හින්දු ආගමෙන් මෙහෙයවන ලද රජපරම්පරාවල්වල ආනුභාවයයි.

පහළොස්වන සියවසේ සිට දිගින් දිගට පැමිණි යුරෝපීය ආක්‍රමණ නිසා සිංහලයෝ තවත් බෙලහීන බවට පත්වූහ. අවසානයේදී සිංහල රාජපරම්පරාව ගතිගුණවලිනුත් බෙහෙවින් දුර්වල විය. එකිනෙකා කුලල් කා ගත්හ. ඉංග්‍රීසීන් යටතට මේ රට පත්විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව ජීවග්‍රාහයෙන් අල්ලාගත් පසු එවකට ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් නමැත්තා ඒ අවස්ථාවේ ක්‍රියාකොට තිබෙන්නේ මෙසේය.

“සිංහල රජු අල්ලාගන්නා ලදැයි යන ප්‍රවෘත්තිය ලැබෙන විට බ්‍රවුන්රිග් උතුමාණන් වහන්සේ යුද්ධ මුලාදෑනින් ස්වල්ප දෙනෙකුත් සමග (1815) පෙබරවාරි මස දහනම වෙනි දින රාත්‍රී භෝජනය අනුභව කරමින් සිටියේය. යථෝක්ත ආරංචිය ලැබුනු කෙණෙහි ම උතුමාණන් වහන්සේ මේසයෙන් නැගිට සතුටු කඳුළු වගුරුවමින් එහි සිටි සියලු දෙනාට අතට අත දෙමින් ‘යුරෝපීය ජාතීන් තුන් වර්ගයකට ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි කෘත්‍යයක් අප විසින් අද ඉෂ්ට කරගන්නා ලද්දේය. ඒ සම්බන්ධව ආධාර කළා තමුන්නාන්සේලාට මාගේ අවංක ස්තුතිය ප්‍රදාන කරමැයි’ කීවේය.

(මහාවංශය සිංහල අනුවාදය – පිටු අංක 584)

එසේ නම් යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට ය. බුදු සසුන නැති කිරීමට ය. ඔවුහු දිගින් දිගට ම සිය උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කළාහුය. දැන් ඉතාම අසීරු තත්වයකට පත්ව තිබේ. පැරණි සිංහලයන් බුද්ධ ශාසනය කෙරෙහි දක්වන ලද මහා භක්තිය ද, ශිල්ප ශාස්ත්‍ර ද, කෘෂිකාර්මික ක්‍රම ද, වාරිමාර්ග උපායයන් ද ආදී කොට ඇති ජාතියක අභිවෘද්ධියට හේතුවන සියල්ල පිළිබඳ වූ ඤාණයෙන් දැන් සිංහලයෝ තොර වී සිටිති. සිංහලයන්ට එයින් වැඩක් ද නැත. ඔවුහු මහාවංශයට ද සිනාසෙති. එය ප්‍රලාපයකැයි අපහාස කරති. මේ වන විට ලංකාව ම ණය බරින් මිරිකී ගොස් තිබේ. රෝග පීඩාවලින් ආතුර වී තිබේ. ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබේ. ආධ්‍යාත්මික වශයෙන් දුර්වල ය. එනමුදු බොහෝ සිංහලයෝ උඩඟුකමින් නන් දොඩවමින් සිටිති. එයින් අඩුවක් නැත. සිංහලයන්ගේ අනාගතය එතරම් දුරකට ගෙන යා හැකි වටපිටාවක් සපයන බවක් නොපෙනේ.

මෙම සරල සිංහල අනුවාදය උදෙසා සහය කරගත්තේ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමා විසින් සකස් කරන ලද මහාවංශයත්, අතිපූජ්‍ය අකුරටියේ අමරවංශ නාහිමියන් සහ හේමචන්ද්‍ර දිසානායක පඬිතුමන් විසින් අනුවාදිත වංසත්ථප්පකාසිනියත්, මහාවංශ ගීතයත් ය. එමෙන් ම මහාවංශයේ සරල අනුවාදයන් රාශියක් තිබෙන බව අපට දකින්ට ලැබිණි. මහාවංශය නමැති ශ්‍රේෂ්ඨ ඉතිහාස කථාව සිංහල ජනතාවට කියවන්නට සැලැස්වීම උදෙසා ඒ ඒ පඬිවරුන් ගත් වෑයම සදා ප්‍රශංසනීය ය.

මහාවංශයෙහි මුල් කොටසෙහි තිබෙන්නේ පරිච්ඡේද තිස් හතකි. මෙම ග්‍රන්ථයෙහි අප විසින් සරල සිංහලෙන් අනුවාදිතව තිබෙන්නේ එම කොටස පමණි. මෙම මහාවංශය කියවීමේදි ඇතැම්විට ශ්‍රද්ධාවෙන් අපගේ සිත පිනායයි. සිත පහන් වෙයි. එමෙන් ම ඇතැම් රජවරුන් විසින් කරන ලද නොයෙකුත් ක්‍රියාවන් ද ඇතැම්විට සිදුවන ලද කුමන්ත්‍රණයන් ද විශේෂයෙන් සංඝමිත්‍ර නම් සොළී භික්ෂුවක් මහසෙන් රජුගේ ද සහය ඇතිව මහාවිහාරය විනාශ කළ අයුරු කියවන විට කෙලෙස්වල තියෙන භයානක ස්වභාවයත් සංසාරයෙහි තිබෙන නීච ස්වභාවයත් ධර්මයෙන් තොර වූ අසත්පුරුෂ ඇසුරේ භයානකකමත් නිතැතින් ම වැටහෙයි. එවිට අප තුළ ධර්ම සංවේගයක් හටගනී. මහාවංශ කර්තෘවර මහානාම මාහිමියන් වහන්සේ අපට යෝජනා කරන පරිදි ඒ ඒ තැන්වලදී ප්‍රසාදයත් සංවේගයත් ඇති කරගත මැනව.

මහානාම මාහිමියන් වහන්සේ විසින් අපගේ ඉතිහාසය පිළිබඳ අනර්ඝ අප්‍රකට තොරතුරු ඉතාම අපක්ෂපාතීව ගාථා බන්ධනයන් මගින් සකසා මහාවංශය ලිවීමෙන් අපගේ ජාතියට කරන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි දෙයකි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩි අනුහසින්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුහසින්, ස්වර්ණමාලී මහාසෑයේ වැඩ සිටින ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලාගේ අනුහසින් සිංහල ජාතියත් බුදු සසුනත් ලංකාද්වීපයෙහි චිරාත් කාලයක් සුරැකේවා!

පාළි ගාථා සහිතව මෙතෙක් පළකළ මහාවංශය දිගටම කියවාගෙන යා හැකි ලෙස පාළි ගාථා රහිතව පළකරන මෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටි හෙයින් ව්‍යාකරණානුකූලව සකස් කොට මෙවර සංස්කරණය කරන ලදී. මෙය බොහෝ දෙනෙකුට සුවසේ කියවා සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැකිය. දැනට නානා මාධ්‍යයන් තුළින් ද අපගේ ඉතිහාසය පිළිබඳ පැතිර යන විකෘතියට පත් දුර්මත දුරුවී ගොස් බොහෝ දෙනා හට යහපත සැලසේවා!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ
මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බු.ව. 2563 වප් මස 01 දින (2019.10.01)

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703