Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

දැන් ඔබ හොඳටම දන්නවා, පින ඊළඟ ජීවිතයේ සැප ලබාදෙනවා දෙනවාමයි කියලා. කොහොමද දන්නේ? අපි ඒ බව දන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුළ තියෙන පැහැදීම නිසයි. ඒ පැහැදීම මතයි මේක කරන්නේ. එතකොට බලන්න, මෙතැන තියෙන්නේ හේතුඵල දෙකක් නෙවෙයිද…? මේකේ තියෙන්නේ හේතුඵල දහමක් මිසක් මෙහි පත පතා ගන්න කිසි දෙයක් නෑ. ඒ නිසා තියෙන්නේ හේතුඵල නම් මේ ජීවිතයේ අපට යම් ඵලයක් ලැබිලා තියෙනවා නම්, ඒකට පසුබිම් වූ හේතු සමූහයක් අපි සසරෙන් ගෙනාවා. මේ ජීවිතයේ යම්කිසි හේතු ටිකක් අපට ඉපදිලා තියෙනවා නම්, ඒක තමයි ඊළඟ ජීවිතයේ අපට ලැබෙන ඵලය.

මෙත් සිත වඩන, සත්ව ඝාතනයේ නොයෙදෙන, මනුස්සයන්ට හිංසා නොකරන කෙනාට ඊළඟ ජීවිතයේ සාර්ථක, නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙනවා. හොඳට දන් පැන් දෙන කෙනා, සොරකම් නොකරන කෙනා ඊළඟ ජීවිතයේ ධනවතෙක්. වැරදි කාමසේවනයෙන් වැළකී සිටින කෙනා ඊළඟ ජීවිතයේදී ආදරය ලබන කෙනෙක්. මේ ජීවිතයේ ආදරයේ අහේනිය ඊළඟ ජීවිතයේ නෑ.

බොරු නොකියන, කේලාම් නොකියන, පිරිස බිඳවන්නේ නැති, සත්‍යය කතාකරන, මනුස්සයන්ගේ සමඟිය කැමති කෙනා ඊළඟ ජීවිතයේ ලොව සුවපත් කරන වචන කියන කෙනෙක්. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වූ කෙනා ඊළඟ ජීවිතයේ ඉතා බුද්ධිමත් කෙනෙක්. ඊර්ෂ්‍යා නොකරන, වෛර නොකරන, දුෂ්ටකම් නොකරන කෙනා ඊළඟ ජීවිතයේ මනස්කාන්ත රූ සපුවකින් යුතු කෙනෙක්.

ඊළඟ ජීවිතයේ මේ ඔක්කොම ලැබිලා පාප මිත‍්‍රයෙක් අහුවුණොත්…? ඔන්න නිරෝගීකමත් තියෙනවා, සල්ලිත් තියෙනවා, ආදරයත් තියෙනවා, අනිත් අය තමන් කියන දේත් අහනවා. හොඳට මොළෙත් තියෙනවා. රූපයත් ලස්සනයි. නමුත් ඊළඟ ජීවිතයේ පාප මිත‍්‍රයෙක් එකතු වෙනවා. එතකොට එයා අර ඔක්කොම විනාශය කරා යොදවනවා. එතකොට ඊළඟ ජීවිතයේ විනාශය කරා යොදවන්න එයාට උදව් කරන්නේ කවුද? පාප මිත‍්‍රයා.

ඔබ හිතන්නේ මේ ලෝකය පාප මිත‍්‍රයන්ගෙන් හිඟද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවාද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවා. හිඟ කල්‍යාණ මිත‍්‍රයායි. සත්පුරුෂයා හිඟයි. මේ ජීවිතයේ සත්පුරුෂයා අත්හරිනවා නම්, කල්‍යාණ මිත‍්‍රයා අත්හරිනවා නම්, ඊළඟ ජීවිතයේ ඔබට කොහෙත්ම හම්බවෙන්නේ නෑ. මේ ජීවිතයේ ඔබ සත්පුරුෂයා අත්හරිනවා නම්, සත්පුරුෂයාට ඇහුම්කම් දෙන්නේ නැත්නම්, සත්පුරුෂයා හඳුනාගන්නේ නැත්නම්, ඊළඟ ජීවිතයේ ඔබට සත්පුරුෂයන් දකින්න කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

‘මොහු සත්පුරුෂයාය, මොහු අසත්පුරුෂයාය’ කියලා හඳුනාගන්න උපකාර කරන්නේ තමන්ගේ සත්පුරුෂකමයි. තමන්ව සත්පුරුෂයෙක් බවට පත්කරන්නේ හොඳ නරක ගැන තමන්ගේ තියෙන අවබෝධයයි. හොඳ නරක ගැන අවබෝධයයි, තමන් ආපු සසර පැවැත්ම ගැන අවබෝධයයි තිබුණොත් ඔබ මේ ජීවිතයේදීම සත්පුරුෂයා හඳුනාගන්නවා. කල්‍යාණ මිත‍්‍රයා හඳුනාගන්නවා. අසත්පුරුෂයා අත්හරිනවා. එතකොට ඔබ පාවිච්චි කරන්නේ අවබෝධය.

එහෙනම් මේ ජීවිතයේ පිනත් සමඟ අවබෝධය එකතු කරගත්තොත් ඊළඟ ජීවිතය අසත්පුරුෂයාගේ, පාපමිත‍්‍රයාගේ උගුලෙන් බේරෙන්න ඔබට පුළුවනි.

ඊළඟ එක ඔබ අසත්පුරුෂයෙක්, පාපමිත‍්‍රයෙක් බවට පත්වෙන්නේ නෑ. මොකද, මේ ජීවිතයේ අකුසලය තියෙන කෙනාට පාප මිත‍්‍රයෙක් එකතුවුණ ගමන් එයත් පාපමිත‍්‍රයෙක් බවට පත්වෙනවා. කෙලෙස් හඳුනාගන්න බැරි කෙනා අසත්පුරුෂ ආශ‍්‍රයට ආපු ගමන් එයත් අසත්පුරුෂයෙක් වෙනවා. අසත්පුරුෂයෙක් වුණාට පස්සේ එයා අසත්පුරුෂ වැඩපිළිවෙලක යනවා. එතකොට ඊළඟ ජීවිතයේ මොකුත් නෑ. එතකොට මේ ජීවිතයේ අසත්පුරුෂයාගෙන් බේරිලා මෙයා පින්දහම් කර කර ඉන්නවා. හැබැයි මේ සත්පුරුෂයා, අසත්පුරුෂයා කියලා තෝරාබේරා ගන්න අවබෝධයක් නැත්නම්, ඊළඟ ජීවිතයේදී අහුවෙන්න පුළුවන්.

ඊළඟ ජීවිතයේ අහුවුණොත් අර කොසොල් රජ්ජුරුවන්ට ඇහුණු සද්දේ වගේ තමයි. දවසක් කොසොල් රජ්ජුරුවෝ ලස්සන කාන්තාවක් දැක්කා. ඒ කාන්තාව ස්වාමි පුරුෂයෙක් ඉන්න බිරිඳක්. කොසොල් රජ්ජුරුවන්ට ඒ බිරිඳව අන්තඃපුරයට ගන්න ඕන වුණා. දැන් ගන්න විදිහක් නෑ. මොකද, මෙයාට ස්වාමියෙක් ඉන්නවානේ. ඒ නිසා රජ්ජුරුවෝ මේ ස්වාමියාව මරවන්න කුමන්ත‍්‍රණයක් කළා.

රජතුමා “මට ඒ පුරුෂයා රාජ්‍ය සේවයට ගන්න ඕන” කියලා සෙන්පතියෙකුට කිව්වා. ස්වාමියා කැඳෙව්වා. කැඳවලා “මං තමුසේ ගැන බොහොම පැහැදිලා ඉන්නේ. මගේ රාජ්‍ය මාළිගාවේ මට උපස්ථාන කරන කණ්ඩායමට ගන්න ඕන” කිව්වා.

“අනේ ස්වාමීනි, මං යන්තම් වෙළහෙළඳාම් කරගෙන ජීවත් වෙන කෙනෙක්. මං සියලුම බදු ගෙවන්නම්. මට නිදහසේ කටයුතු කරගෙන යන්න දෙන්න.”

“නෑ… නෑ… මේක රාජ්‍ය නියෝගය. නුඹව රාජ්‍ය සේවයට ඕන. මම නුඹ ගැන බොහෝම පැහැදිලා ඉන්නේ” කිව්වා. (මේ රජ්ජුරුවන්ගේ සැලසුම එයාව මරවන්නයි.)

“කරන්න දෙයක් නෑ. මේ රාජ්‍ය නියෝගය!”

ඔන්න මෙයා රජ්ජුරුවෝ ගාව වැඩට ගියා. දවසක් රජ්ජුරුවෝ මෙයාට උදේම කතා කළා. කතා කරලා “අද මට නවනීත මැටියි, කඩුපුල් මලූයි ගෙනත් දෙන්න ඕන. මොකද මං හවස පහට නානවා. මට නවනීත මැටි ගාලා නාලා, කඩුපුල් මල් පළඳින්න ඕන. හැබැයි ගෙනාවේ නැත්නම් උඹව හෙට මරනවා.”

ඔන්න රාජ්‍ය නියෝගය දුන්නා. රජ්ජුරුවෝ කල්පනා කරලා තමයි මේ දේ කළේ. දැන් මෙයාට කරන්න දෙයක් නෑ. රාජ්‍ය නියෝගයනේ. හැබැයි මෙයා තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙක්. කෙලින්ම ගෙදර දිව්වා. ගෙදරට දුවගෙන යනකොට බිරිඳ උයනවා.

“කරන්න දෙයක් නෑ. මට ඉක්මනට ලිපේ තියෙන එකෙන් හරි කමක් නෑ, බත් මුලක් බැඳලා දෙන්න. මම දැන් යන්න ඕන.”

දැන් මෙයා බත් මුලත් බැඳගෙන දුවනවා. මෙයා දුවන්නේ හිමාල කන්ද පැත්තට. දැන් මෙයාට ඈත හිමාල කන්ද පේනවා. නවනීත මැටි කියන්නේ බටර් වගේ සිනිඳු, සුවඳ තියෙන මැට්ටක්. ඒක තියෙන්නේ හිමාලයේ කියලා මෙයා අහලා තියෙනවා. ඒ වගේම කඩුපුල් මල් තියෙන්නෙත් හිමාලයේ කියලා මෙයා අහලා තියෙනවා. නමුත් කොහෙද තියෙන්නේ, කොතැනද තියෙන්නේ කියලා මෙයා හරියටම දන්නේ නෑ.

මෙයා දැන් අර බත් මුලත් බැඳගෙන එක පිම්මේ දුවනවා. දුවලා… දුවලා… දුවලා… ඔන්න දවල් වුණා. ගංගාවක් අයිනේ මෙයා නැවතුණා. මෙයා බත්මුල ලිහලා කන්න ලෑස්ති වෙනකොට සීයා කෙනෙක් එනවා. හිඟන මනුස්සයෙක්. මෙයා ඇහුවා “සීයේ… කෑවද?” “නෑ පුතේ කෑවේ නෑ” කිව්වා. “එහෙනම් සීයේ බත් කමු” කියලා සීයට අර බත් මුලෙන් කොටසක් දුන්නා. දැන් මෙයාගේ ඔලූවේ ලොකු ගින්දරක් තියෙන්නේ. මෙයා බත් කටක් දෙකක් කෑවා. කනකොට මෙයා දැක්කා ගෙඟ් ඉන්නවා මාළු රංචුවක්. මෙයා කල්පනා කළා ‘මට දැන් මොනවා වෙයිද දන්නේ නෑ. මං ඉතිරි කෑම ටික මාළුන්ට දෙන්න ඕන’ කියලා. මාළුන්ට අර ඉතිරි බත් ටික දුන්නා. දීලා මෙයා අත්දෙක සෝදගෙන ගෙඟන්ම වතුර ටිකක් බීලා අහසට අත්දෙක දික්කරලා කිව්වා,

“මේ හිමාලයට අධිපති දෙවිවරුනි, මේ වෘක්ෂයන්ට අධිපති දෙවිවරුනි, මේ ගෙඟ් සිටින දෙවිවරුනි, නාගයනි, මා කියන දේ අහන්න. මං දැන් පිනක් කළා. ඒ තමයි මං තිරිසන් සතුන්ට ආහාරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, තිරිසන් සතෙකුට ආහාරයක් දුන්නොත් සිය ගුණයක විපාක තියෙනවා කියලා. මං මනුස්සයෙකුට ආහාර වේලක් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මනුස්සයෙකුට ආහාර වේලක් දුන්නොත් දහස් ගුණයක විපාක තියෙනවා කියලා. සිය ගුණයක විපාක තියෙන පිනකුත්, දහස් ගුණයක විපාක තියෙන පිනකුත් මං රැස්කළා. මේ පින් මං ඔබවහන්සේලාට අනුමෝදන් කරනවා. ඔබවහන්සේලා මේ පින් අනුමෝදන් වෙන්න. මං අමාරුවේ වැටිලා ඉන්නේ. රජ්ජුරුවෝ මට නවනීත මැටියි, කඩුපුල් මලූයි ගේන්න කියලා තියෙනවා. මේ දෙක තියෙන්නේ කොහේද කියලා මම දන්නේ නෑ. ඔබවහන්සේලා මට පිහිට වෙන්න. මං මේවා ගෙනාවේ නැත්නම් මට හෙට උදේ මැරුම් කන්න වෙනවා” කියලා ආයෙත් දිව්වා.

පින්වත්නි, මේක දිව්‍ය නාගයෙකුට ඇහුණා. දැන් මේ දිව්‍ය නාගයා මෙයා දුවන කොට සීයා කෙනෙකුගේ වේශයෙන් ඉස්සරහට එනවා.

“හා… හා… පුතා, කොහෙද මේ හතිදාගෙන දුවන්නේ…?”

“අනේ සීයේ, මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ.”

“නෑ… නෑ…. කියාපන්…. කියාපන්…”

“සීයේ… රජ්ජුරුවෝ මගෙන් නවනීත මැටියි, කඩුපුල් මලුයි ඉල්ලනවා. මං දන්නේ නෑ කොහෙද තියෙන්නේ කියලා. මං අහලා තියෙනවා මේවා තියෙන්නේ හිමාලයේ කියලා. මං මේ හිමාලයට දුවනවා.”

“හා… හා…. කලබල වෙන්න එපා! මගේ ළඟ නම් තියෙනවා නවනීත මැටියි, කඩුපුල් මලුයි. මං නුඹට ඒවා දෙන්න කැමැතියි. නුඹ මට දෙන්නේ මොනවාද?”

“අනේ සීයේ, මං පිනක් කරලා තියෙනවා. මේ වෙලාවේ මං මනුස්සයෙකුට කෑම වේලක් දුන්නා. ඒකේ දහස්ගුණයක විපාක තියෙනවා. මං ගෙඟ් මාළුවන්ට කෑම දුන්නා. ඒකේ සියගුණයක විපාක තියෙනවා. මේ පින සීයාට දෙනවා.”

“බොහොම හොඳයි. එහෙනම් මං මේ ටික දෙන්නම්” කියලා කඩුපුල් මලූයි, නවනීත මැටියි දුන්නා.

රජ්ජුරුවෝ සේවකයින්ට නියෝග කරලා තිබ්බා, “ඔය මිනිහා විශ්වාස නෑ. ඔය මිනිහා කොහෙන් හරි හොයාගෙන එන්න පුළුවන්. වේලාසනින් ගේට්ටු වහපන්” කියලා.

දැන් පහට රජ්ජුරුවෝ නාන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙයා හරියට පහ වෙන්න කලින් දුවගෙන ආවා. නමුත් අරගෙන එනකොට ගේට්ටුව වහලා. ඊට පස්සේ මෙයා දොරටුපාලයන්ට කිව්වා,

“මං රාජ්‍ය සේවකයෙක්. මං රාජ්‍ය නියෝගයකින් ගියේ. රජ්ජුරුවන්ට නාන්න මේ ටික දෙන්න ඕන.”

“බෑ…. රජ්ජුරුවෝ කියලා තියෙන්නේ කවුරු ආවත් මේක අරින්න එපා කියලයි.”

“රජ්ජුරුවෝ මට නවනීත මැටියි, කඩුපුල් මලූයි ගේන්න කිව්වා. සාමාන්‍යයෙන් නගරයේ දොරටු වහන වෙලාවට ඉස්සර වෙලා මං ඒවා ගෙනාවා. උඹලා ඒකට සාක්කි නේද?”

“ඔව් අපි සාක්කි.”

“එහෙනම් මං මේවා මෙතැන තියලා යනවා” කියලා එයා ගියා.

දැන් රජ්ජුරුවෝ නින්දට ගිහින් කල්පනා කරනවා, ‘ආ… මං හෙට උදේට අර පුද්ගලයාට දෙන්නම්. ඊට පස්සේ අර බිරින්දෑ මටයි. ඊට පස්සේ අර බිරිඳ මගේ අන්තඃපුරයේ…’ දැන් රජ්ජුරුවන්ට නින්දක් නෑ. කාම දැවිල්ලෙන් දැවි දැවී ඇඳේ ඉන්නවා.

මාළිගාව දෙදුරුම් කාලා ‘දු…’ කියලා සද්දයක් ඇහෙනවා. රජ්ජුරුවෝ ගැස්සිලා ඇහැරුණා. ආයේම මාළිගාව දෙදුරුම් කාලා සද්දයක් ඇහෙනවා ‘ස…’ කියලා. රජ්ජුරුවෝ ‘මොකක්ද මේ සද්දෙ?’ කියලා තව ගැස්සුණා. ආයෙ ටිකක් වෙලා අහගෙන ඉන්න කොට ‘න…’ කියලා සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ රජ්ජුරුවෝ හොඳටම භයවෙලා, දාඩිය දාලා ඉන්න කොට ආයෙත් ‘සෝ…’ කියලා මාළිගාව දෙදුරුම් කාලා සද්දයක් ඇහුණා. දැන් ඉතින් නින්දක් නෑ. පණ ගැහි ගැහී ඉන්නවා. උදේ ඇහැරුණා. පුරෝහිත බමුණන් ඔක්කෝටම කතාකළා. බමුණෝ කිව්වා,

“රජ්ජුරුවනේ, රජ්ජුරුවන්ගේ කේන්දරය බලන්න ඕන.”

දැන් ජ්‍යෝතිෂයට අනුව කේන්දරය බලන්න ඕන. බමුණන් අදහන්නේ ජ්‍යෝතිෂයනේ. ඊට පස්සේ රජ්ජුරුවන්ට වෙලා තියෙන්නේ මොකද කියලා ජ්‍යෝතිෂයට අනුව බැලෙව්වා. බලලා බමුණෝ ඔක්කෝම නළලේ දාඩිය පිස්සා, රැවුල අතගාන්න ගත්තා. ජටා බඳින්න ගත්තා. රජතුමා ඇහුවා,

“බමුණෙනි, මොකද මට වෙලා තියෙන්නේ?”

“රජතුමනි, ඔබතුමාව අපට බේරගන්න පුළුවන් කියලා විශ්වාසයක් නෑ.”

“ඇයි..?”

“ගිරහයෝ නවයම කිපිලා! තමුන්නාන්සේට මහා භයානක විපතක්! මේ ඒරාෂ්ටකය නම් පන්නන්න බෑ…”

“අනේ… එහෙම කියන්න එපා! මොකක්ද කරන්න ඕන…?”

“එහෙනම් එකක් කරන්න. පංචසතික කියලා යාගයක් තියෙනවා. ඒ කියන්නේ හැම සතෙකුගෙන්ම පන්සියය ගානේ එකතු කරලා මරන්න ඕන.”

මේ යාගයට ඌරො පන්සීයයි, හරක් පන්සීයයි, එළුවෝ පන්සීයයි, කුකුලෝ පන්සීයයි, අශ්වයෝ පන්සීයයි, මිනිස්සු පන්සීයයි එකතු කරලා මරන්න ඕන. දැන් රජ්ජුරුවන්ට අර නවනීත මැටියි, කඩුපුල් මලූයි ගේන්න කියපු එක මතක නෑ. රජ්ජුරුවෝ බමුණොයි, ඇමතිවරුයි සේනාව රැස්කරලා ඇහුවා,

“පොළොවද වටින්නේ ජලයද?”

“පොළොව”

“ගස්ද වටින්නේ පොළොවද?”

“පොළොවට වඩා ගස් වටිනවා. ගසුත් එක්ක තමයි වටින්නේ.”

“ගස්ද වටින්නේ සත්තුද?”

“ගසුත් වටිනවා. ඊට වඩා වටිනවා සත්තු.”

“සත්තුද වටින්නේ මිනිස්සුද?”

“සතුන්ට වඩා මිනිස්සු වටිනවා.”

“මිනිස්සුද වටින්නේ මේ ඇමතිවරුද?”

“මිනිස්සුන්ට වඩා අපි වටිනවා.”

“ඇමැතිවරුද වටින්නේ මාවද?”

“ඔබවහන්සේ තමයි වටින්නේ.”

“එහෙනම් බලාපල්ලා මට දැන් ගිරහයෝ නවයම කිපිලා. ඒරාෂ්ටකය ලබලා. මේකට කරන්න තියෙන එකම දේ පංචසතික යාගයක් කිරීම. මේක වහ වහා සූදානම් කරපල්ලා.”

දැන් ඔන්න සත්තු පන්සීය පන්සීය එකතු කරන කොට මේ විශාල පිට්ටනියේ සතුන්ගේ එකම ඝෝෂාව… මිනිස්සු එහෙන් අඬනවා… ඇයි මරන්න මිනිස්සුත් ගෙනැල්ලනේ.

මල්ලිකා දේවිය මේ සිදුවීම දැක්කා. රජ්ජුරුවන් ගෙන් ඇහුවා

“මොකද මේ…?”

“ආ…. ඔහේ දන්නේ නෑ නේද මොකවත්….? මාව විනාශ වෙනකම් ස්වාමියා ගැන කිසිදෙයක් ගැන හොයන්නෙ බලන්නේ නෑ නේද…? මෙච්චර මේ රාජ්‍ය සේවය කරනවා, ජනතාවට ආදරයෙන් මෙච්චර වැඩ කරනවා, මේ ජනහිතකාමී නායකයා. මට වුණ දේ දන්නෙ නෑ නේද?”

“එහෙනම් මොකද..?”

“මට මේ ගිරහයෝ නවයම කිපිලා! ඊයේ ? මට ඒක දැනුම් දුන්නා. ‘දු… ස… න… සෝ…’ කියලා සද්ද හතරක් ඇහුණා. මේ ගැන මං බමුණන්ට අඬගහලා ඇහුවා. මේකට කරන්න තියෙන එකම දේ යාගයක් කිරීම.”

“හරි…. කමක් නෑ… ඕකට අපට ඔයිට වඩා හොඳ උපදේශයක් ලැබෙයි, එක්කෝ ඕක සාර්ථකව කරන්න උපදේශයක් ලැබෙයි. අපි බුදුරජාණන් වහන්සේ ළඟට යමු.”

දැන් මේ වෙනකොට අර නවනීත මැටි ගේන්න ගියපු තරුණයාට කරන්න දෙයක් නෑ. එයා දන්නවනේ දැන් මරණවා කියලා. වේලාසනින්ම එයත් ජේතවනාරාමයට ගියා. දැන් එයා ඉන්නෙත් ජේතවනාරාමයේ. දැන් රජ්ජුරුවොත් ගියා. රජ්ජුරුවෝ ගිහිල්ලා සිද්ධිය කිව්වා.

“ස්වාමීනී, මෙන්න මෙහෙම එකක් වුණා. මට ඊයේ ? ඉඳලා නින්දක් නෑ. භයානක ශබ්ද හතරක් ඇහුණා. මොකක්ද මේ…?”

බුදුරජාණන් වහන්සේ කිව්වා, “රජතුමනි, ඔබට මේකේ කිසිම අනතුරක් නෑ. ඔබට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මේකට ඔබේ සම්බන්ධතාවයක් නෑ. මේ වෙන සිද්ධියක්.”

“ඒ මොකක්ද?”

“මේ සැවැත් නුවර හිටියා ඉතාම සල්ලිකාර, ලස්සන, ධනවත් සිටුවරු හතර දෙනෙක්. මේ සිටුවරු හතර දෙනා එකතුවෙලා ‘දැන් අපට ඕන තරම් සල්ලි තියෙනවා. අපට ආයෝජනය කරපු සල්ලි හැම තිස්සේම එනවා. දැන් අපි මේකට මොකද කරන්නේ?’ කියලා කතා වුණා, එක්කෙනෙක් ඇහුවා, ‘අපි දන්සැල් දෙමුද?’ ‘පිස්සුද උඹට දන්සැල් දෙන්න…?’ කියලා අනිත් අය ඇහුවා. කෙනෙක් ඇහුවා ‘අපි එහෙනම් පින්දහම් කරමුද?’ කියලා. ‘උඹ නාකිද?’ ඇහුවා පින් කරන්න.

‘එහෙනම් මොකක්ද කරන්න ඕන…?’ ‘ඉන්නකම් අපි හොඳට කාලා, බීලා, නටලා, සුපර් ස්ටාර්ස් වෙලා, සුපර් ඩාන්සර්ස් වෙලා ඉඳිමු’ කිව්වා. ‘හා…’ කියලා හොඳට බොන්න ගත්තා. සංගීත සන්දර්ශන තිබ්බා. ලස්සන ගෑණු ළමයි ගෙනැල්ලා නැටෙව්වා. මේ අය අයථා කාමසේවනයේ යෙදුණා. හොඳට වියදම් කළා. හතර දෙනාම මැරුණා. හතර දෙනාම නිරයේ ඉපදුණා.

රජතුමනි, මේක සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ. තාමත් ඒගොල්ලෝ නිරයේ. (දැන් බලන්න… ඒ ශාසනයත් ඉවර වෙලා වෙන බුදු කෙනෙක් පහළවෙලා. නමුත් ඒගොල්ලෝ තාමත් නිරයේ…!) රජතුමනි, ලෝකුඹු හැලියෙන් එක්කෙනෙක් උඩට ආවා. ‘අනේ… මට මේකයි වුණේ…’ කියලා කට ඇරලා ‘දු…’ යන්න විතරයි කියන්න ලැබුණේ. ආයෙ යටට ගියා. ඊළඟ එක්කෙනා ආවා. ‘අනේ… මං නිරයේ ඇවිල්ලා අවුරුදු දහස් ගාණක් වුණා. මට මේකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ කවදද?’ කියලා කියන්න ලෑස්ති වුණා. ‘ස…’ යන්න විතරයි කියාගන්න ලැබුණේ ආයේ යටට ගියා. අනෙක් එක්කෙනා නිරයෙන් උඩට ආපු ගමන් ‘අනේ… මට මේ මොකද වුණේ…?’ කියලා කියන්න කට අරින කොට ‘න…’ යන්න විතරයි කියාගන්න ලැබුණේ. යටට ගිලූණා. අනිත් එක්කෙනා ‘අනේ… අපට මේ මොකද වුණේ…?’ කියලා කියන්න ලෑස්ති වුණා. ‘සෝ …’ යන්න විතරයි කියන්න ලැබුණේ. ගිලූණා.”

එතකොට අර නවනීත මැටි ගෙනාපු තරුණයා, “ස්වාමීනී, මටත් තියෙනවා කාරණාවක් කියන්න” කියලා කිව්වා. (ඇයි, නවනීත මැටි ගෙනාපු තරුණයාත් මෙතැන ඉන්නවානේ) “අනේ ස්වාමීනී, මං නවනීත මැටි ගෙනාවා. කඩුපුල් මල් ගෙනාවා. මං දැන් මේ….”

රජතුමා බැලූවා එයා දිහා. “ආ…. ඒවා වැඩක් නෑ. ඒවා වැඩක් නෑ දැන්…”

මට ඒකෙන් කියන්න ඕන වුණේ ඒ රජ්ජුරුවන්ගේ කතාව නෙවෙයි. සල්ලිකාර සිටුවරු හතරදෙනාට සිදුවුණු දේ. එතකොට අපි පින් දහම් රැස්කරගෙන ගියත් හැම තිස්සේම අනතුරක් තියෙන්නේ පාප මිත‍්‍රයාගෙන්.

එදා ඒ සිටුවරු අතරඒ හතර දෙනාම පිනට දහමට නැඹුරු කරගන්න පුළුවන් බලසම්පන්න සත්පුරුෂයෙක් හිටියේ නෑ. නමුත් පාප මිත‍්‍රයා බලවත්ව හිටියා. බලෙන් කරුණු කිව්වා. පාප මිත‍්‍රයා යෝජනා කළා. ඒකට වැඩ කළා. ඉවරයිනේ ජීවිත පැවැත්ම.

ඉතින් මේ නිසා මේකෙන් බේරෙන්න අපට උපකාරී වෙන්නේ අවබෝධයයි. මොන අවබෝධයද? සත්පුරුෂයා ගෙන් ලැබෙනවා සත්පුරුෂ ධර්මය. කල්‍යාණ මිත‍්‍රයා ගෙන් ලැබෙනවා කල්‍යාණ ධර්මය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපට පහළ වූ පරම පිවිතුරු කල්‍යාණ මිත‍්‍රයා. ඒ කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේගේ ධර්මය ලොවට හෙළි කරන්නේත් කල්‍යාණ මිත‍්‍රයන්මයි. ඒ අපට පහළ වූ කල්‍යාණ මිත‍්‍රයා අපි හඳුනගන්න ඕන. ඒ කල්‍යාණ මිත‍්‍රයාගේ ධර්මය මොකක්ද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්‍යාණ මිත‍්‍රයාගෙන් ලැබුණු ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මයයි.

ඒ චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් ඔබව සතර අපායෙන් මුදවන්න. ඒ චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් ඔබව සුගතියේ උපද්දවන්න. ඒ චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් ඔබේ සසර කෙටි කරන්න. චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් අමා මහ නිවනට ඔබව පමුණුවන්න. ධර්මයෙන් ඔබට මේ සියල්ල ලබාදෙනවා.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්