Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

මේලිපියෙන් අපි සූදානම් වෙන්නේ ඒ භාග්‍යවත් වූ, අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි මහත් කරුණාවෙන්, දයානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් දහම් උපදේශයන් කිහිපයක් විස්තර කරන්නටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපගේ ජීවිතයේ නොදන්නා පැති රාශියක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම සැක සංකා තිබෙන බොහෝ දේවල් අවබෝධ කරවලා අපව සැකයෙන් එතෙර කරවනවා. අපි කිසි දවසක ප‍්‍රගුණ නොකළ යහපත් මාර්ගය ප‍්‍රගුණ කරන්න සලස්වනවා. අපි කිසි දවසක නොගිය විරූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කරන්න සලස්වනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මය නිසා ඒ කාලේ ජීවත්වුණු ප‍්‍රඥාවන්ත මිනිසුන් ඒ ධර්මයේ හැසිරුණා. ඒ ධර්මයේ හැසිරිලා කෙලවරක් නැති මේ භව ගමනේ විඳින සංසාරික දුකෙන් එතෙර වුණා. මිනිසුන් පමණක් නොවේ, දෙවියන්ටත් ඒ ලාභය ලැබුණා.

ඒ නිසයි, බුදුරජාණන් වහන්සේට දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ කියන අර්ථයෙන් ‘සත්ථා දේවමනුස්සානං’ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට අපට උපකාරී වන්නේ අපගේ ප‍්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ ප‍්‍රඥා සම්පන්න අය උදෙසාමයි. ප‍්‍රඥාව නැති කෙනා දුර බලන්නේ නෑ. ප‍්‍රඥාව නැති කෙනා බලන්නේ ළඟමයි. ළඟ බලන කෙනාට පේන්නේ එදිනෙදා තියෙන ප‍්‍රයෝජන විතරයි. නමුත් දුර බලන කෙනාට දුර ඈත තියෙන අර්බුද පවා පේනවා. එතකොට එයා හරි පිළිතුර හොයාගෙන ගමන් කරනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ විදිහටම සමාජ ප‍්‍රශ්න තිබුණා. මේ විදිහටම අසාධාරණකම් තිබුණා. මේ විදිහටම අකටයුතුකම් තිබුණා. යහපත් මනුෂ්‍යයන් නොයෙකුත් අකරතැබ්බ වලට භාජනය වීම් මේ විදිහටම ඒ කාලෙත් තිබුණා. නමුත් වෙනසක් තියෙනවා. ඒ කාලේ අයට කරදරයක් වුණහම ඒ පිරිස ‘මේක තමයි සසරේ ස්වභාවය.. මේ සසරෙන් තමයි එතෙරවිය යුත්තේ..’ කියලා ප‍්‍රඥා සම්පන්නව ධර්මයට යොමු වුණා. වර්තමානයේ එහෙම එකක් වුණොත් ‘ඇයි අපි මේච්චර හොඳට ඉන්දැද්දී අපටම මෙහෙම වෙන්නේ?’ කියලා ධර්මයටත් බනිනවා. ධර්මයේ හැසිරෙන නිසා බාහිර ලෝකයෙන් සාධාරණයක් විය යුතුයි වගේ ගණුදෙනුකාර සංකල්ප ඇති කර ගන්නවා. මේ ගණුදෙනු කල්පනා නිසයි, සාමාජයේ අර්බුද හටගන්නේ. ඒ නිසාම ධාර්මිකව ජීවත් වෙන දෙමාපියන්ට දරුවන් ගෙන් සැලකිලි ලැබෙන්නේ නෑ. එතකොට දෙමාපියන් “මෙච්චර හොඳින් ජීවත් වෙලත් ඇයි අපට සලකන්නේ නැත්තේ?” කියලා කල්පනා කරනවා. ඒ දෙමාපියන්ට තියෙන්නේ සැලකිලි ලැබීමේ අපේක්‍ෂාව මිසක් මේ සසර තේරුම් ගැනීම නෙවෙයි.

නමුත් ප‍්‍රඥාවන්ත දෙමව්පියන් කල්පනා කරන්නේ එහෙම නෙවෙයි. ඒ අය කල්පනා කරන්නේ ‘මම සංසාරයේ මේ වගේ කොයිතරම් දරුවෝ නිසා විඳවලා ඇද්ද? දරුවෝ නිසා කොච්චර පීඩාවට පත්වෙවී ඉන්න ඇද්ද?’ කියලයි. සාමාන්‍ය ස්වභාවය තමයි, දරුවෝ ආදරය කළොත් දරුවන්ට බැඳෙනවා. නොසැලකුවොත් සැලකිල්ල බලාපොරොත්තුවෙන් ඒ දරුවෝ දිහා බලාගෙන ඉන්නවා. නමුත් ඒ දෙගොල්ලෝම ජීවිතය ගැන තේරුම් ගන්නේ නෑ. ජීවිතය තේරුම් නොගන්නා තාක් ධර්මය කරා යන්නෙත් නෑ. අන්තිමට දරුවන් ගෙන් සැලකිලි අපේක්‍ෂා කරගෙන ඉඳලා ඒවා නොලැබෙන කොට දරුවන්ටත් සාප කරලා මැරිලා යනවා. නමුත් ප‍්‍රඥාවන්ත මනුස්සයා ‘මේක තමයි සසරේ ස්වභාවය’ කියලා හිතලා ඉවසනවා.

සසරේ ස්වභාවය තේරුම් ගන්නත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුළ පින ගැන වූ පෘථුල අවබෝධයෙන් සවල්පයක් ලබාගන්නත් මෙන්න මේ කතා ප‍්‍රවෘත්තිය අපට හරී උපකාරයි.

දවසක් බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනාවක් කළා. එතැන එක්තරා තරුණයෙකුත් ධර්මය අහගෙන හිටියා. ඒ ධර්මයෙන් කියැවුණේ දානය ගැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සමහර අය තමන්ගේ ධනය වියදම් කරලා දානේ දෙනවා. හැබැයි, ඒකට පිරිස සහභාගි කරවා ගන්නේ නෑ. තමන් තනිවම කරනවා. එහෙම අයට උපනූපන් ආත්මවලදී ධනය ලැබෙනවා. හැබැයි පිරිසක් නෑ. තමන්ට පිනක් දහමක් කර ගැනීමට තමන් එක්ක එකතු වුණු පිරිසක් නෑ. අදත් එහෙම අය ඉන්නවා. හොඳට සල්ලි තියෙනවා. නමුත් එයාට කාත් කවුරුත් නෑ. ඒගොල්ලෝ තනියම පින්කම් කරපු අය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, තව කෙනෙක් ඉන්නවා. එයා තමන් දානේ දෙන්නේ නෑ. නමුත් අනිත් අයව පින් දහම් වලට පොළඹවනවා. එයා අනිත් අයත් එක්ක පින්කම් කරන්න යනවා. නමුත් තමන් වියදම් කරන්නෙත් නෑ, තමන් කැපවෙන්නෙත් නෑ, අනිත් අයව පොළඹවනවා. ඒ නිසා ඒ අයට නොදීපු නිසා උපනූපන් ආත්මවල ලැබෙන්නේ නෑ. හැබැයි, පිරිසක් සම්බන්ධ කරගත් නිසා ඕනතරම් පිරිස ඉන්නවා. එහෙම අයත් අද ඉන්නවා.

සමහර දුප්පත් අය ඉන්නවා, ඒ අයට ධන සම්පත් වලින් මොකුත් කර කියා ගන්න අමාරුයි. නැති බැරිකම තියෙනවා. හැබැයි හදිස්සියකට උදව් කරන්න ඕනතරම් යාළුවෝ, හිතවතුන් ඉන්නවා. ඒකේ තේරුම තමයි, එයා පිරිසක් එක්ක එකතුවෙලා පින් කරලා තියෙනවා. හැබැයි, තමන් පුද්ගලිකව මැදිහත් වෙලා නෑ.

තව කෙනෙක් ඉන්නවා. තමන් හොඳට වියදම් කරලා දන් දෙනවා. ඒ වගේම අනිත් පිරිසත් සම්බන්ධ කර ගන්නවා. අනිත් පිරිසත් සම්බන්ධ කරගන්න නිසා එයාට උපනූපන් ආත්මවල ධන සම්පතුත් තියෙනවා. පරිවාර සම්පතුත් තියෙනවා.

තව කෙනෙක් ඉන්නවා, එයා තමන් දානේ දෙන්නෙත් නෑ, දෙන්න හදන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා උපනූපන් ආත්මවල තමනුත් නැතිබැරි වෙලා අමාරුවෙන් ජීවත් වෙනවා. තමන් වෙනුවෙන් දුක සැප බෙදා ගන්නවත් කවුරුත් නෑ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ තමන් කරන දේට අනුව ප‍්‍රතිවිපාක ලැබෙන ස්වභාවය විස්තර කරද්දී මෙතැන අර තරුණයා හිටියා. මේ තරුණයාට තේරුණේ ඒක එයාටම කිව්වා වගෙයි.

ඊට පස්සේ එයා කල්පනා කරනවා, ‘මම දුප්පත් වෙලා උපන්නේ දන් දීපු නැති නිසයි. මට එච්චර පිරිසකුත් නෑ. ඒ නිසා මම මේ ජීවිතයේදීවත් පුළුවන් තරම් දානමානාදී උපකරණ ලෑස්ති කරගෙන, අනිත් පිරිසත් සම්බන්ධ කරගෙන දානයක් පූජාකරගන්න ඕන.’ ඉතින් මේ තරුණයා මේ විදිහට කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් “භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම භික්‍ෂු සංඝයා ප‍්‍රධාන භාග්‍යවතුන් වහන්සේට දානයක් පූජා කරන්න කැමතියි” කියලා දානයට ආරාධනා කළා.

“පින්වත, ඔබට පුළුවන්ද මේක කරන්න?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට පුළුවනි. මම මේකට පිරිස සහභාගි කර ගන්නවා.”

ඉතින් මේ තරුණයා ගෙයක් ගානේ ගියා. ගිහිල්ලා “අනේ අම්මේ, අප්පච්චි, අයියේ, අක්කේ, නංගි, මල්ලී, මම දානයක් පූජා කරන්න ලෑස්ති පිට ඉන්නේ. ඔයගොල්ලොත් මේ දානයට සහභාගී වෙලා මේ දානයේ කොටස්කාරයෝ වෙන්න” කියලා කිව්වා.

බොහෝ දෙනෙක් මේකට සතුටු වුණා. සතුටු වෙලා “හොඳයි.. මෙන්න මගේ ගානේ හාල්… මෙන්න පොල්… මෙන්න එළවළු…” කියලා මේ දානයේ කොටස්කාරයෝ වුණා. මෙයා මේ විදිහට දන්න හැමෝම සහභාගී කරගන්න හිතපු නිසා ඒ ප‍්‍රදේශයේ තිබුණ ධනවත් සිටුවරයෙකුගේ වෙළඳ සැළකටත් ගියා. ගිහින් “සිටුතුමනි, මම භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රධාන භික්‍ෂූන් වහන්සේලා පන්සිය නමකට දානයක් පූජා කරන්න ලෑස්ති කරනවා. ඒ නිසා ඔබතුමාත් මේකට සහභාගි වෙන්න” කියලා කියා සිටියා. නමුත් මේ දුප්පත් තරුණයා එහෙම කිව්වහම මේ සිටුවරයාට ඒක හිතට ඇල්ලුවේ නෑ. හරිම අහංකාර සමහර මිනිස්සු ඉන්නවානේ.

“තමුසෙත් දානයක් දෙන්නද යන්නේ?”

“එහෙමයි සිටුතුමනි, මාත් එක්ක මේ පිරිස සම්බන්ධ වෙනවා. මම මේ ලස්සන දානයක් සංවිධානය කරමිනුයි ඉන්නේ.”

සමහර විට සිටුතුමාට මේකට ඉරිසියාවක් ඇතිවෙන්න ඇති. “මගෙනුත් උදව්වක් නේද?” කියලා ඇහුවා. “එහෙමයි” කිව්වා. ඉතින් සිටුතුමා අතේ ඇඟිලි පහෙන් ඇඟිලි තුනක් එකතු කළා. මාපට ඇඟිල්ලයි, අනිත් ඇඟිලි දෙකකුයි එකතු කරලා හාල් ටිකක් ගත්තා, සීනි ටිකක් ගත්තා. මේ වගේ ඇඟිලි තුනකින් පොඞ්ඩක් අරගෙන “ඉඳා… මං ගානේ එහෙනම් මේක” කියලා දුන්නා.

එතකොට අපට පැහැදිලිව තේරෙනවා, ඒක අපහාසයට කරපු වැඩක්. හොඳ වැඩක් කරන්න ගියාම ඉතින් අපහාස එනවනේ. ඒ කාලෙත් එහෙමයි. “ඉඳා එහෙනම් මගේ ගානේ ගනින්..” කියලා හාල් ටිකක්, ලූණු ටිකක්, සීනි ටිකක් දුන්නා. ඉතින් මේ තරුණයා ඒක ඉතා ගරු සරුව පිළිගත්තා.

පින්වත්නි, චුට්ටක් හිතලා බලන්න, පිනක් කරන්න ලෑස්තිවෙලා ඉන්දැද්දී කෙනෙකුගෙන් ඒ වගේ ප‍්‍රතිචාරයක් ලැබුණොත් අපට කොච්චර කේන්ති යාවිද? අපට කොච්චර මාන්නයක් ඒවිද? “තමුසෙගේ ඔය ටික තියාගන්නවා. තමුසේ දැනගන්නවා.. තමුසේ ඔය කාලා බීලා ඉන්නේ සංසාරේ කරපු පිනක් නිසයි. ඕක ඉවර වුණාට පස්සේ තමුසෙට හුලං තමයි” කියලා අපට නම් කියවෙනවානේ. ඔන්න වෙනස.

මේකෙන් පේන දේ තමයි, ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන විදිහයි, ධර්මයේ හැසිරෙන්නේ නැති, ධර්මය සිහි නොකරන කෙනා කල්පනා කරන විදිහයි විධි දෙකක්. ඒක රටා දෙකක්. ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන්නේ ධර්මයම මෙනෙහි කරමින්. ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනාට මෙනෙහි වෙන්න ධර්මයක් නෑනේ. එයාට තියෙන්නේ, එයාගේ සිතුවිලි රටාවට අනුව පුරුදු වුණු දේ කරගෙන යන්න විතරයි. ඉතින් අර ධර්මයේ හැසිරෙන කෙනා කලබල වුණේ නෑ. එයා හිතුවේ “අනේ මෙයා චුට්ටක් හරි දීලා භාග්‍යවතුන් වහන්සේගේ දානයට සහභාගි වුණානේ” කියලයි. එහෙම හිතලා බොහෝම ගරුසරු ඇතුව ඒක අරගෙන ගියා.

සාමාන්‍යයෙන් ධර්මය පුරුදු කරපු නැති කෙනෙක් නම් කරන්නේ එක්කෝ එතැනදීම දමලා ගහනවා. නැත්නම් සිටුතුමාට තියෙන භයට සද්ද නැතුව අරන් ගිහින් “මම මේ පොඞ්ඩ දානයට දාන්නේ නෑ” කියලා මගදීම විසි කරගෙන යනවා. එබඳු ලෝකයක මේ කෙනා මේ විදිහට කළේ ධර්මය මෙනෙහි කිරීමෙන්මයි.

මේ තරුණයා ඒක අරන් ගිහිල්ලා පැත්තකින් තිබ්බා. දැන් ඔන්න ලිප් බැඳලා දානය හදනවා. අර සිටුවරයා සේවකයෙකුට කතා කරලා “මම අර කොළුවට මෙන්න මේ විදිහට හාල්, සීනි ආදිය දුන්නා. ඒ ටික දානයට සම්බන්ධ කරනවාද, මොකද කරන්නේ කියලා ගිහිල්ලා බලාපන්..” කියලා කිව්වා.

සේවකයා ගිහින් බලද්දී අර තරුණයා බොහෝම ගරුසරු ඇතුව ‘මේ අර සිටුතුමා දීපු දේවල්..’ කියලා ඒකත් ගත්තා. බලන්න පින්වත්නි, ඕකට තමයි දියුණුව කියලා කියන්නේ. ඕකට තමයි හැබෑම දියුණුව කියලා කියන්නේ. බලන්න සමාජයෙන් බැට කකා තමන්ගේ පාඩුවේ පින රැස් කරනවා.

අපට පැහැදිලිව පේනවා, සිටුවරයා ඒ වැඩේ කළේ ඊර්ෂ්‍යාවෙන්, එහෙම නැත්නම් අපහාස කරන්නම හිතාගෙන. එහෙම කරලා කඬේට එන එන මිනිස්සුන්ටත් “මේං බලාපන් මේ ඇඟිලි තුන එකතු කරාපුවාම බළලාගේ අඩිය වගේ නේද? මම මෙන්න මේ විදිහටයි අර පුද්ගලයාගේ දානයට සම්බන්ධ වුණේ” කියලා ඇඟිලි තුන එකතු කරලා පෙන්නනවා. ඉතින් මිනිස්සුත් හිනාවුණා. ඒත් එක්කම මෙයාට (බිළාලපාදක සෙට්ඨි) ‘බළල් කකුළේ සිටුවරයා’ කියලා නමකුත් පට බැඳුණා. දැන් ඒක දීලා අත්හරින්න එපායැ. මේ පුද්ගලයා අර අහිංසකව පින්දහම් කරන කෙනාගේ පස්සෙන් පන්නනවා.

ඔන්න දැන් ‘බොහොම ගරුසරු ඇතුව ඒවත් දානයට සම්බන්ධ කරගත්තා. ඒ නිසා ඒකේ ප‍්‍රශ්නයක් නෑ’ කියලා ඔත්තුව ආවා. සිටුතුමා එතැනින් නැවතුණේ නෑ. ඔන්න දානය පූජා කරන දවස ආවා. සිටුතුමා කල්පනා කළා ‘දැන් මේකා දානය පූජා කරලා අසවල් අසවල් අය මෙහෙම දානය දුන්නා. අර සිටුවරයා මෙහෙම දුන්නා.. කියලා පිරිස මැද්දේ කියයි. එහෙම කිව්වොත් මම මේ පුද්ගලයාව මරණවා’ කියලා පිහියත් ඉණේ ගහගෙන ගියා.

බලන්න, මේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසකයෙක් නිකම් සමාජයෙන් බැට කන හැටි. අර තරුණයා එයාගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඔන්න දානය පූජා කරගත්තා. මේ තරුණයා දානය පූජා කරලා අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේට කියනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම පිරිසක් පිරිවරා ගෙනයි මේ දානය පූජා කළේ. මේ දානයේදී බොහෝ දාන උපකරණ පූජා කළ පිරිස හිටියා. ස්වල්පය බැගින් පූජා කළ පිරිසත් හිටියා. භාග්‍යවතුන් වහන්ස, ඒ ස්වල්පයක් දුන්න අයටයි, බොහෝ දුන්න අයටයි සියලූ දෙනාට මේ දානයෙහි විපාක සම සේ ලැබේවා!” කියලා.

මේ තරුණයාගේ චිත්ත දියුණුව කොතරම් ආශ්චර්යයක්ද කියන්නේ, පිහියත් ඉණේ ගහගෙන මේක අහගෙන සිටි සිටුවරයා මේ සිද්ධියත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සිටුවරයා මේ තරුණයා ඉස්සරහා “අනේ පුතේ මට සමාවෙයන්..” කියලා වැඳ වැටුණා.

“සිටුතුමනි, ඔබතුමා මේ දානයට මට උපකාර කරපු කෙනෙක්නේ. ඔබතුමා මට වරදක් කළේ නෑනේ?”

“නෑ පුතේ, මම මෙහෙම ඇඟිලි තුනෙන් අල්ලලා දුන්නේ මේක උපහාසයට ලක් කරන්නයි. මගෙන් වුණු වරදට සමාවෙන්න.”

බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වා. බුදුරජාණන් වහන්සේ “සිටුතුමනි, ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසායි. ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා උදෙසායි. ඒ නිසා දුන්නු දේ ටිකයි කියලා කිසියම්ම ආකාරයකට ඒකේ අඩුපාඩුවක් හිතන්න එපා” කියලා ඒ මොහොතේ මෙන්න මේ ලස්සන ගාථා රත්නය වදාළා.

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාව දේශනා කළේ බිළාලපාදක සිටුවරයාට.

මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතේන – උදකුම්භෝ’ පි පූරතී
පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම් පි ආචිනං

‘මේ පින පුංචි දෙයක්. මේ පින තමන්ට ආපහු ලැබෙන්නේ නෑ..’ කියලා පිනට අවමන් කරන්න එපා. බින්දුව බින්දුව වතුර වැටීමෙන් වතුර කළය පවා පිරීයයි. ඒ වගේ ප‍්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය ටික ටික හරි රැස්කරන පිනෙන් පිරෙනවා.

බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අර සිටුවරයාට කිව්වේ ප‍්‍රඥාවන්ත කෙනෙක් විදිහට කල්පනා කරන්න කියලයි. ඒ බණ පදය ඉතාම සාර්ථක වුණා. මේ සිටුවරයා සෝවාන් ඵලයට පත්වුණා. එතකොට අපට පේනවා, ධර්මය අවබෝධ කරන්න වාසනා මහිමය තියෙන අය පවා තමන් තුළ හටගන්නා යම් යම් දෘෂ්ටි ආකල්ප නිසා විශාල කරදරවලට පත්වෙන ආකාරය…

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්