Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

පි මනුෂ්‍ය ලෝකයට ආවේ යම්කිසි පිනක උදව්වකින්. අපි සංසාරයේ කොහේ හරි ලෝකයක ජීවත්වෙලා ඉඳලා මැරුණා. මැරුණට පස්සේ අපේ විඤ්ඤාණය මව්කුසක් කරා ආවේ පුණ්‍ය විපාකයකින්. එහෙම නැතුව වෙන අමුතු ආනුභාවයකින් නෙවෙයි. එතකොට ඒ පුණ්‍ය විපාකයකින් තමයි මනුෂ්‍ය ලෝකයට ආවේ. මැරිලා විඤ්ඤාණය චුතවුණාම සමහරු ගිහිල්ලා උපදින්නේ තිරිසන් අපායේ. එතකොට කර්මානුරූපව කරන ලද පවක විපාකයක් මුල් වෙලා තමයි, විඤ්ඤාණය තිරිසන් මව්කුසට ඇදිලා යන්නේ. තවත් සමහර කෙනෙක් මෙහෙන් චුතවෙන කොට ඕපපාතිකවම පේ‍්‍රත ලෝකයේ උපදිනවා. තව සමහර කෙනෙක් මෙහෙන් චුතවෙන කොටම මැරිලා ගිහිල්ලා ඕපපාතිකවම නිරයේ උපදිනවා. තව සමහර කෙනෙක් මෙහෙන් චුතවෙන කොටම මැරිලා ගිහිල්ලා ඕපපාතිකවම දෙවියන් අතර උපදිනවා. අපි ගිය ආත්මයේ චුතවෙලා මිනිස් මව්කුසක උපන්නා. දැන් අපි මේ විඳින්නේ ඒකෙ විපාකනේ.

ඉතින් ඒ නිසා, ඒකෙදී අපි තේරුම් ගන්න ඕන, මේකෙ තියෙන්නේ අයිතිවාසිකම් කතා කර කර ඉන්න එකක් නෙවෙයි. මේකෙ තියෙන්නේ පින රැස්කිරීමක්. එතකොට තම තමන් පින රැස්කර ගන්න ක‍්‍රමය තම තමන් හොයා ගත්තාට පස්සේ ඒ අවස්ථාවේ පින රැස්කරනවා. තමන්ට කරගන්න බැරි පිනක් තව කෙනෙක් කළාම ඒකත් අනුමෝදන් වෙනවා. ඊළඟට විශේෂයෙන් මේ පිනට ලෝභ කිරීමෙත් අවාසියක් තියෙනවා.

ඒ කියන්නේ අපි කියමු කෙනෙක් යහපත් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔන්න ගමේ ළිඳක් හදනවා. ඉතින් කවුරුහරි කෙනෙක් ඒකට තමන්ගේ ඉඩමේ වතුර තියෙන පැත්තකින් ඉඩම් කෑල්ලක් පූජා කරනවා. අනිත් අයට පුළුවන් වෙන්න ඕන, ඒක බලලා සතුටු වෙන්න. තව කෙනෙක් හිතනවා ‘මගේ ගානේ ගල් ගෙනත් දෙනවා’ කියලා. තව කෙනෙක් ‘මගේ ගානේ සිමෙන්ති ගෙනත් දෙනවා’ කියලා හිතනවා. ඔය අතරේ තව කෙනෙක් වෙනම ළිඳක් හදන්න හිතාගෙන ඉන්නවා. නමුත් එයාට ළිඳක් හදාගන්න බෑ. එතකොට එයා කළ යුත්තේ අර හදන ළිඳ දිහා බලලා සතුටට පත්වීමනේ. අනුන් කරන පින ගැන සතුටට පත්වෙන්න බැරි කෙනා කරන්නේ තමන්ට කරගන්න බැරිවුණු දේ තව කෙනෙක් කරද්දී ඒකට අකුල් හෙලන එක. ඒකට බාධා කරන එක. ඒකට නින්දා අපහාස කරන එක.

ඒකෙන් වෙන්නේ තමන්ට යම්කිසි පිනක් තිබුණා නම් ඒ පිනත් ඉක්මනින් අවසන් වෙලා යාම. අපි කියමු කෙනෙක් ළිඳක් කපලා ඒ ගමේ ප‍්‍රයෝජනයට දෙනවා. එතකොට ඒ ළිඳ කපන්න මැදිහත් වුණ කෙනාට ගමේ තැනක් එනවා කියමු. සමහර අය ඒකට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරලා ‘ඔන්න මෙයාට තැනක් එයි. ඔය තැන එන්න තිබුණේ එයාට නෙවෙයි, මටයි. මමයි ළිඳ කපන්න හිටියේ’ කියලා චූටි දේවල් අල්ලාගෙන තමන්ට ලැබෙන්න තියෙන පින තමන්ම නසා ගන්නවා. ඒක වෙන්නේ පින ගැන අවබෝධයක් නැති නිසයි.

එතකොට අපට තේරෙනවා, පිනට කෑදර වෙලා හරි විදිහට පින් කරන්න බෑ. කෑදරකම පිනට පාවිච්චි කරන්න බෑ. ඒ වගේම තරඟය පිනට පාවිච්චි කරන්න බෑ. පිනට පාවිච්චි කරන්න පුළුවන් අවබෝධයයි.

ඒ නිසයි පින්වතුනි, අපි මේක හොඳට තේරුම් ගත යුත්තේ. ඒ තමයි, අවබෝධයෙන් පිනක් කිරීම ගැන. අවබෝධයකින් පිනක් කරන කෙනෙක් තමන්ගේ නමවත් ගහගන්න කල්පනා කරන්නේ නෑ. අපට වැදගත් වෙන්නේ නම නෙවෙයි. අපට වැදගත් වෙන්නේ ක‍්‍රියාව. තව සමහරු කියනවා “මං ඔන්න අසවල් දේට වියදම් කළා. හැබැයි මගේ නම ගහන්න ඕන.” තව කෙනෙක් කියනවා “මං අසවල් දේ අරන් දෙන්නම් මගේ නම ගහන්න ඕන.”

ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ පිනක් ගැන දන්නේ නෑ. පිනක් තේරෙන්නේ නෑ. පිනක් ගැන හිතලත් නෑ. ඒගොල්ලෝ තමන්ගේ මට්ටමින් යම්කිසි පුංචි වියදමක් කරනවා. කරලා ඒකට තමන්ගේ නම ගසාගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එයා සතුටු වෙන්නේ ඒකෙන්.
ඔන්න පිනක් කළා කියමු. ඔන්න බෝඞ් ලෑල්ලක් හයිකරලා තියෙනවා. ඉස්සරලාම එයා ඇවිල්ලා බලන්නේ ‘කෝ මගේ නම තියෙනවාද?’ කියලයි. හරි තැන නම නැත්නම් “මමයි මෙච්චර දුන්නේ. මගේ නම යටින් දාලා. අසවලා මෙච්චරයි දුන්නේ. එයාගේ නම උඩින් දාලා” කියලා ප‍්‍රශ්න ඇතිකර ගන්නවා. මේ වගේ චූටි දේවල් අල්ලාගෙන පින වනසාගන්න අය කෙලවරක් නෑ.

මේකට හේතුව පින ගැන අවබෝධයක් නැතිකමයි. සැප ලබාදෙන දේ රැස්කළ යුත්තේ තමා නම් තමන් ඒක රැස්කළාට පස්සේ ඒ ගැන කිව්වත් එකයි නැතත් එකයි. නම ගැහුවත් එකයි නැතත් එකයි. තමන් කළ පින කළා. ඒ වගේම පින ගැන තේරුම් ගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි, හැම දෙයක්ම අනිත්‍ය ලෝකයට අයිතියි කියන අවබෝධය. වෙනස්වන ලෝකයට අයිති දේක තමයි අපි මේ පින් රැස් කරන්නේ. රැස්කරනා පින තමයි අපේ පස්සේ ගමන් කරන්නේ.

අපි ගිය ආත්මයේ කොහේ හරි ඉඳලා මැරිලා මේ මනුස්ස ලෝකයට ආවා. දැන් මනුස්ස ලෝකයට ඇවිල්ලා මනුස්සයෙක් වශයෙන් ජීවත් වෙද්දී මිනිස් ලෝකය තුළ වැඩසිටිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ආශ්චර්යවත්, අද්භූත ධර්මයකුත් අපට ශ‍්‍රවණය කරන්න වාසනාව ලැබෙනවා.

ඒ අසිරිමත් ධර්මය ශ‍්‍රවණය කරලා අපි ඒ ධර්මයෙන් යම්කිසි අර්ථයක් ලබාගන්නේ නැත්නම්, ධර්මයෙන් යම්කිසි අර්ථයක් ග‍්‍රහණය කරගන්නේ නැත්නම් මේ ජීවිතයේදී ඒ අහන ධර්මයෙන් ප‍්‍රයෝජනයක් නෑ. අහන ධර්මයත් එහෙම්මම අපෙන් ගිලිහිලා යාවි.

දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අපි වයසට යනවා. වයසට ගිහිල්ලා ඔන්න විශ‍්‍රාම යන්න වෙනවා. විශ‍්‍රාම යනවා කියන්නේ වැඩට නුසුදුසුයි කියලා අයින් කරන එකනේ. ඔන්න අපි විශ‍්‍රාම ගියා. නම් ගම්, තනතුරු, උගත්කම්, නම්බුනාම ඒ ඔක්කොමත් එක්ක තමයි අපි අයින් වෙවී යන්නේ. ගිහිල්ලා ඔන්න ඇඳට වැටෙනවා. ඇඳට වැටුණට පස්සේ අර සම්බන්ධකම් ඔක්කොම තියෙන්නේ මේ කයත් එක්කයි.

ඔන්න අපි මැරෙනවා. මැරුණු ගමන් නමත් නෑ, නෑදෑකනුත් නෑ, උගත්කනුත් නෑ, ධනයත් නෑ, සියලූ දේම නෑ. අපි යනකොට අරන් යන්නේ සිත, කය, වචනය මෙහෙයවා කරපු දේ පමණයි. සිත, කය, වචනය මෙහෙයවා අයහපත පිණිස පවතින දේවල් කළා නම් අප ඒ දේවල් අරන් යනවා. ඒ වගේම සිත, කය, වචනය මෙහෙයවා යහපත පිණිස පවතින දේවල් කළා නම් ඒකත් අරන් යනවා. මේක තමයි ධර්මතාවය. මේ කාරණය තේරුම් ගන්න කෙනා තමන්ගේ පාඩුවේ ධර්මයේ හැසිරෙනවා.

අපි කියමු මේක තේරුම් ගන්නේ දරුවෙක් කියලා. ඒ දරුවාට දෙමාපියන්ට සලකන්න කියලා අමුතුවෙන් කිව යුතු නෑ. ඒ දරුවා පින ගැන දන්නවා නම් දෙමාපියන්ට සලකනවා. මේක තේරුම් ගත්තේ දෙමව්පියන් කියමු. ඒ දෙමව්පියන් දරුවන්ගෙන් අමුතු සැලකිලි බලාපොරොත්තු වෙන්නේ නෑ. පින ගැන දන්නවා නම් පින් දහම් කරනවා.

ඉතින් මේ නිසා අප සියලූ දෙනා ඒ විදිහට යන්න පුළුවන් හැකියාව ඇතිකර ගන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “(අත්තදීපා විහරථ – අත්ත සරණා අනඤ්ඤ සරණා) තමන්ම තමන්ව පිහිට කරගන්න. වෙන පුද්ගලයෙක්ව පිහිට කරගන්න එපා” කියලයි. තමන් තමන්වම පිහිට කරගන්න නම් ඉස්සර වෙලාම ඒක හදාගන්න තියෙන්නේ පිනෙන්. තමන් පින් රැස් කරගෙන ඒ පින දියුණු කරගත්තට පස්සේ ඒක තමන්ට ලොකූ යහපතක්. එය තමන්ට ලොකූ යහපතක් ළඟා කරලා දෙනවා.

එහෙම නැතුව “මම මෙච්චර ළමයි හැදුවා. මරණාසන්න මොහොතේ මං හදපු ළමයි මගේ ඇඳ වටේට ඉන්න ඕන. මට වතුර පොවන්න ඕන..” මේ වගේ ඉතාමත්ම බොළඳ සිතුවිලි තියෙන කෙනෙකුට නම් පිනකින් ප‍්‍රයෝජනයක් නෑ. මොකද, ඒ කෙනාගේ බොළඳ සිතුවිලි පුරවන්න පිනකට බෑ. ඒකට බොළඳ දෙයක්ම ඕන.

නමුත් යහපත් සිතුවිලි ආපු කෙනා හිතන්නේ එහෙම නෙවෙයි. එයා කල්පනා කරන්නේ ‘මට පිහිට වෙන්නේ මගේ දරුවෝ නෙවෙයි. මට පිහිට වෙන්නේ මගේ ස්වාමියා හෝ බිරිඳ හෝ නෙවෙයි. මට පිහිට වෙන්නේ මා විසින්ම රැස්කරන යහපත් දේ’ කියලයි. එතකොට එයා ස්වාමියෙක් නම් බිරිඳට හොඳට සලකනවා. දරුවන්ට සලකනවා, දෙමාපියන්ට සලකනවා. ඒ වගේම තමනුත් යහපත් මාර්ගයේ යනවා. හොඳ බිරිඳක් නම් තමන්ගේ ස්වාමි පුරුෂයාට සලකනවා. දෙමාපියන්ට සලකනවා. තමනුත් යහපත් මාර්ගයේ යනවා. මොකද, එයාට තියෙන්නේ පින් කරගන්න තියෙන අවශ්‍යතාවයයි.

තමන්ට පින් කරගන්න තියෙන අවශ්‍යතාවය ළඟට එන්නේ නෑ. ඒක තමන් හොයාගෙන යන්න ඕන. සාමාන්‍ය ලෝකයේ පොඩි දෙයක් වුණත් ළඟට එන්නේ නෑනේ. කඩයකින් බඩුවක් ගැනීමේදී වුණත් තමන් ඒ ළඟට යනවා මිසක් තමන් ළඟට එන්නේ නෑනේ.

ඒ වගේ අධ්‍යාපනය තමන්ගේ ළඟට ආවේ නෑ. තමන් අධ්‍යාපනය හොයාගෙන ගියා. රැකී රක්‍ෂාව ළඟට ආවේ නෑ. රස්සාව හොයාගෙන ගියා. අපි අනිත් හැම දේමත් හොයාගෙන යනවා. එහෙම කරන අපි පින විතරක් ළඟට එනකම් බලාගෙන අපේක්‍ෂාවෙන් හිටියොත් ඒක මෝඩකමක්. ඒකත් හොයාගෙන යන්න ඕන.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී පින රැස් කිරීමේ අවස්ථාව අපි හැමෝටම තියෙනවා. අපි ඒ පින රැස්කරන අවස්ථාව හිත හිතා ඇතිකර ගන්න ඕන. නමුත් පිනට කලබල වෙලා මේක කරන්නත් බෑ. ඒ වගේම අපි තමන්ට කරගන්න බැරි පිනක් තව කෙනෙක් කිරීමේදී ඒක බලලා සන්තෝෂ විය යුතුයි. ඊළඟට පින් කරනවා කියලා මෝඩකම් නොකළ යුතුයි. මේ විදිහට අවබෝධයෙන්ම කරගත්තොත් තමයි අපට හරි විදිහට පින් කරගන්න අවස්ථාව උදාවෙන්නේ.

පින්වත්නි, පින් කරගන්න ගොඩාක් උපකාරී වෙන දෙයක් තමයි, භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා නොගත්තොත් අපට එහෙම කරන්න බෑ. අපි උදාහරණයක් ගනිමු. මගෙන් මේ ළඟදී තරුණ පුතෙක් ඇහුවා “ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාලා. භාග්‍යවතුන් වහන්සේ නැති මේ වගේ කාලෙකත් අපි යම් පූජාවක් කළොත් ඒ විදිහටම පින අයිති වෙනවාද?” කියලා.

මම කිව්වා “පුතා, ඒක ස්ථිරවම කියන්න බෑ” කියලා. හොඳ අවබෝධයකින් යුතු දක්ෂ කෙනකුට නම් ඒ පින රැස්කරගන්න පුළුවනි. දැන් භාග්‍යවතුන් වහන්සේ නැති නිසා, පිළිම වහන්සේ නමක් දකින්න යනවා. ගිහිල්ලා පිළිම වහන්සේ ඉස්සරහා මල් පහන් පූජා කරලා බුදුගුණ මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කළත් සමහර විට අපට පිළිමයේ ඇද පේන්න පුළුවන්. ‘මේ නිකට මහත වැඩියි නේද.. මූණ කෙට්ටු වුණා නම් හොඳයි නේද.. ඇඟ තව ටිකක් මහත් වුණා නම් හොඳයි නේද..? මේ විදිහට පිළිම වහන්සේලා දිහා බලාගෙන අපට ඇද කුද පේන්න පුළුවන්.

එතකොට අපට බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්දැද්දීම වගේ චේතනා පහළ වෙන්නේ නෑනේ. බුදුකෙනෙක් ජීවමානව වැඩසිටියදී අපි උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳුම් පිදුම් කරන එකයි, දැන් කරන එකයි අතර වෙනසක් තියෙනවා. මේ වෙනස තේරුම් ගත්ත කෙනා ආරක්‍ෂා කරගත යුත්තේ සිතමයි. ඒ නිසා අප සිත පහදවා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනමයි.

අපි කියමු කෙනෙක් බුදුපිළිම වහන්සේ නමක් ළඟට ගියා. අපි කියමු දැන් එයාට බුදුපිළිම වහන්සේගේ ඇද පේනවා. ඒ වෙලාවට එයාට ඇස් දෙක වහගෙන අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්මසාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා කියන බුදුගුණ මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට බුදුගුණ මෙනෙහි කරන්න ගත්තාම, ඒ බුදුගුණවල තියෙන්නේ චිත‍්‍ර නෙවෙයි. ඒ බුදුගුණ වල තියෙන්නේ ගුණ. ඒ කියන්නේ බෝධි මූලයේදී උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවුණු ගුණ. ඒ ගුණ තේරුම් අරගෙන සිටියා නම්, ඒ ගුණ සිහිකිරීමේදී කිසි බාධාවක් නෑ.

මොකද, ඒ ගුණ සත්‍යයක්. ඒ ගුණ මෙනෙහි කරලා යම්කිසි පූජාවක් කළොත් ඒ මොහොතේ අපේ ජීවිතයට හිතසුව පිණිස පවතින විශේෂ පිනක් රැස්වෙනවා. එහෙම නැතුව අපි නිකම්ම නිකම් විශ්වාස කළ පළියට එහෙම වෙයි කියලා හිතන්න බෑ.

මොකද, හැම එකකටම මුල් වෙන්නේ චේතනාවයි. ඒ කියන්නේ චේතනාව හොඳට පවත්වන්න නම් ඒ කෙරෙහි පහන් සිතක් ඇතිකර ගත යුතුයි. දැන් ඔන්න අපට බෝධීන් වහන්සේට වන්දනා කරන්න ඕනෙ කියලා හිතමු. අපි එසේ වන්දනා කිරීමේදී හරියට බෝධීන් වහන්සේ ගැන දන්නේ නැත්නම් සමහර විට එතැනට ගිහිල්ලා පඬුරු එල්ලලා, කොඩි එල්ලලා නොයෙක් විකාර කරන්න වුණත් ඉඩ තියෙනවා.

බෝධීන් වහන්සේ පහළවුණේ බුදුරජාණන් වහන්සේගේ උපතත් සමඟයි. අපේ බෝසතාණන් වහන්සේ ලූම්බිණි සල් උයනේ උපත ලබන දවසේමයි, යශෝදරා දේවීන් වහන්සේගේ උපත සිද්ධවුණේ. එදාම තමයි කන්ථක අශ්වයාත් ඉපදුණේ. එදාම තමයි ඡන්න ඇමතියත් ඉපදුණේ. කාලූදායී ඇමතියා ඉපදුණෙත් එදාමයි. ඒ වගේම එදාම තමයි නේරංජරා නදී තෙර අසබඩ මහ පොළවෙන් බෝ අංකුරයක් ආවේ. ඒ භාග්‍යවතුන් වහන්සේට සෙවණ සැළසීමට, භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ලෙසයි.

අපි ඒ ඉතිහාසය දැන සිටියා නම් බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඒවා සිහිකරන්න පුළුවන්. ‘මේ බෝ සෙවණේ තමයි භාග්‍යවතුන් වහන්සේ ගුරුඋපදේශ රහිතව චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ. මේ බෝ සෙවණේ තමයි භාග්‍යවතුන් වහන්සේ තුන් ලෝකය ජයගත්තේ. මේ බෝ සෙවණේ තමයි භාග්‍යවතුන් වහන්සේ සියලූ බුදුගුණයන් සාක්ෂාත් කළේ..’ කියලා අපට සිත පහදවා ගන්න පුළුවන්.

ඒ නිසයි, භාග්‍යවතුන් වහන්සේ ඇසි පිය නොහෙලා බෝධීන් වහන්සේට පෙරළා කෘත්‍ය උපකාර කළේ, ප‍්‍රත්‍ය උපකාර කළේ. එහෙම කල්පනා කළොත් අපට ගෞරවයක්, ශ‍්‍රද්ධාවක් ඇතිවෙනවා. සිත පහන් වෙනවා. ඒ පහන් සිතත් එක්ක ලස්සනට බෝ මළුව අතුගාලා පිරිසිදු කරලා, ආසන පිරිසිදු කරලා ඉතා රමණීය ආකාරයේ පින්කමක් කරගන්න පුළුවන්. එතකොට ඒක ඔබ කරන්නේ තනිවම හිත හිතා. ඒක බාහිර ලෝකයට පේන්න කරන එකක් නෙවෙයි. තමන්ම හිත හිතා කරන්නේ. තමන්ම හිත හිතා කරන්න නම් ඒ දැනුම තියෙන්න ඕනේ තමන් ළඟයි. තමන් ළඟ ඒ දැනුම නැතුව පොඩි පොඩි වාසිවලට කරලා බෑ.

එක දවසක් මගේ ළඟට අම්මා කෙනෙක් ඇවිල්ලා “අනේ ස්වාමීනී, මගේ පුතාට මට සලකන්න කියලා කියන්න. පුතා මට සලකන්නේ නෑ” කියලා කිව්වා. මම “ඉතින් එහෙනම් පුතත් එක්ක දවසක එන්න” කියලා කිව්වා. ඉතින් දවසක් ඒ අම්මා පුතයි, පවුලේ කට්ටියයි එක්ක ආවා. බැලූවහම මේ අම්මා නපුරු කෙනෙක්. ඒ දරුවෝ අම්මාට සලකනවා. කොච්චර සැලකුවත් ඒ අම්මා සෑහීමකට පත්වෙන්නේ නෑ. අම්මා හැමතැනම ‘මගේ ළමයි මට සලකන්නේ නෑ’ කියලා නින්දා කර කර යනවා. මම ඒ අම්මාට කිව්වා “අම්මා, දරුවන්ට අපහාස කර කර යන එක නවත්තන්න. නවත්තලා ඔය අම්මා මෛත‍්‍රියෙන් වාසය කරන්න” කියලා.

මෛත‍්‍රිය අහලකවත් නෑ. ‘දරුවෝ සලකන්නේ නෑ’ කිය කියා අපහාස කර කර යනවා. දරුවෝ කොච්චර සැලකුවත් ඒ අම්මාව සලකලා සෑහීමකට පත්කරන්නත් බෑ. මම කරුණු කිව්වාට පස්සේ මටත් රවාගෙන ගියා. මට ඒකෙන් ඒ අම්මගේ හැටි තේරුණා. ඒ විදිහට සමහර අය ‘දරුවෝ සලකන්නේ නෑ..’ කිය කියා දරුවන්ගේ නුගුණ කිය කියා රට වටේ යනවා. එහෙම අම්මලාට නම් විසඳුම් නෑ.

සමහර අම්මලා ඉන්නවා, බොහෝම අහිංසකයි. දරුවන්ගේ යහපත කල්පනා කරගෙන ඉන්නවා. ඒ දරුවොත් පුළුවන් හැටියට දෙමව්පියන්ට සලකනවා. ඉතින් ඒ අම්මලා සතුටින් ජීවත් වෙනවා. මේ ස්වභාවය ගැන බැලූවහම අපි තේරුම් ගත යුත්තේ ‘අපි මේ ලෝකය ගැන මොනවා කතා කර කර හිටියත් තමන්ට වැදගත් වෙන්නේ තමන්ගේ ගමන ගැනයි’ කියන එකයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ,

න තං මාතා පිතා කයිරා – අඤ්ඤේවාපි ච ඤාතකා.
සම්මා පණිහිතං චිත්තං – සෙය්‍ය සෝ නං තථෝකරේ

“මේක මව් කරලා දෙන්නෙත් නෑ. පියා කරලා දෙන්නෙත් නෑ. අන්‍ය වූ ඤාති සහෝදරාදීන් කරලා දෙන්නෙත් නෑ. සිත යහපතෙහි පිහිටුවා ගත්තහාම එයින් තමයි, තමන් යහපත් බවට පත්කරලා දෙන්නේ.”

යමෙක් ඒ විදිහට ධර්මය තුළ පිහිටා බාහිර ලෝකයත් සමඟ පැටලෙන්නේ නැතුව, බාහිර ලෝකය කෙරෙහි තියෙන අපේක්‍ෂා අඩුකරලා හිටියොත් එයාට කිසි කරදරයක් නැතුව පින් දහම් කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම පින් රැස්කරගෙන මරණින් මත්තේ දෙවියන් අතරට යන්නත් අවස්ථාව තියෙනවා.

බුදුරජාණන් වහන්සේ එබඳු දේශනා බොහෝමයක් දේශනා කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ‘සංඛාරුප්පත්ති’ කියලා සූත‍්‍ර දේශනාවක් තියෙනවා. එහි මනුස්ස ලෝකයට ආපු කෙනා දෙවියන් අතරට යන්න පින සකස් කරගන්නා ආකාරය මනාව පෙන්වා දෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අපි, ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් හැටියට කල්පනා කරනවා නම් මේ ලෝකයේ තියෙන ප‍්‍රශ්න අපේ ප‍්‍රශ්න බවට පත්කර ගන්නේ නැතුව තමන්ට අහිංසක ගමනක් යන්න පුළුවන්. ඒ මග අදටත් විවෘතයි. අදටත් ප‍්‍රඥාව පාවිච්චි කරනවා නම් ලොකු ගැටලුවක් තියෙයි කියලා හිතන්න අමාරුයි. ප‍්‍රඥාව පාවිච්චි කරන්නේ නැත්නම් ඉතින් පටන් ගත් තැන ඉඳලාම ගැටලූ තමයි.

ඉතින් ඒ නිසා එහෙම නොවෙන්න නම් අපි ප‍්‍රඥාවන්ත ශ‍්‍රාවකයන් බවට පත්වෙලා, නැණවත් ශ‍්‍රාවකයන් අවබෝධයෙන්ම පින රැස්කරගන්නා විදිහ ඉගෙනගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ ලද අවසරයෙන්, ඒ ඒ අවස්ථානුකූලව, පින් කරගන්න තියෙන අවස්ථා හඳුනාගෙන නිරන්තරයෙන් පින් රැස්කර ගත යුතුයි.

අප සියලූ දෙනාටත් ඒ විදිහට පිනෙන් පිරුණු ජීවිතයක් ඇතිකර ගන්න අවස්ථාව ලැබේවා! ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා..!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
‘පින සහ අවබෝධය…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී