Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

මේ ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න අතරේ අපි පින් රැස්කරගන්න ඕන. ජීවිත අවබෝධය සඳහා අපට උපකාරී වන්නේ සීල, සමාධි, ප‍්‍රඥා. එතකොට සීලයක පිහිටලා, අපි කවුරුත් සමාධියක් පිණිස මහන්සි වෙන්න ඕන. චිත්ත සමාධියක් ඇතිකරගෙන ඉන්න ටික ටික හරි පුරුද්දක් ඇතිකර ගත්තොත් ඒ සමාධියකින් ඉන්න මොහොත, කාමයන්ගෙන් වෙන්වූ වෙලාවක්. අකුසල්වලින් වෙන්වූ වෙලාවක්. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සැප අතර කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ සමාධි සැපය හරියට අගය කළා. කාමයන්ගෙන් ලැබෙන සැපය ගොරෝසු එකක්. බතක් කෑවත් “හායි… හූයි…” ගාලා කට දනවා… සීනි කන්න ඕන. ප‍්‍රශ්න ගොඩක්. නටන්න ගියත් දාඩිය දාගෙන, කලන්තේ දාලා තමයි ඉවර වෙන්නේ. ඒ නිසා කාම සැපයේ තියෙන්නේ හරි ගොරෝසු සැපයක්. හැබැයි සමාධි සැපය එහෙම එකක් නෙවෙයි. ඒක හරිම සෞම්‍ය වූ සැපයක්. ශාන්ත වූ සැපයක්. නිස්කලංක සැපයක්. විරාගී සැපයක්.

ඉතින් මේ ජීවිතයේදීම අපේ සිත මෙහෙයවලා, ඉන්ද්‍රිය සංවරය මෙහෙයවලා, වීරිය මෙහෙයවලා, අපි හැමෝටම ඒක අත්විඳින්න වාසනාවක් ලැබුණොත්, ඒක අපි ලබපු මනුස්ස ජීවිතයේ ලබන උතුම්ම ලාභයක්.

හැබැයි ලෝකයට මේ සියල්ලම විවෘත වෙන්නේ එක්කෙනෙක් නිසා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන, මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ, මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වූ පුරුෂෝත්තමයන් වහන්සේ නිසයි මේ ඔක්කොම තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ.

උන්වහන්සේව බැහැර කරලා අපි වෙන වෙනම බුදුවෙන්න කල්පනා කළොත්, ඒක නුවණින් යුක්ත කල්පනාවක් නෙවෙයි. යමෙක් මනුෂ්‍ය වර්ගයාට ඒ මතය ඉදිරිපත් කළොත් එය මනුෂ්‍ය වර්ගයාට කරන හානියක් කියලමයි මං හිතන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ම වර්ණනාකළේ අප්‍රමාදයයි. එම නිසා අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව සිත පහදවා ගැනීමමයි.

අපේ මොකක්දෝ වාසනාවකට, උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා මනුෂ්‍ය ලෝකයට වැඩියා. විශේෂයෙන්ම පින්වත්නි, ලංකාවේ මනුස්සයින්ට තියෙන වාසනාව හරි අද්භූත වාසනාවක්. ඇයි ඒක පුදුම සහගත වාසනාවක් කිව්වේ? බුදුරජාණන් වහන්සේ ඉපදුණේ මධ්‍ය මණ්ඩලයේ. මධ්‍ය මණ්ඩලයේ තමයි සියලූම බුදුවරු පහළ වන්නේ. ඒ කියන්නේ බරණැස, ගයා කියන සීමාවේ. සැවැත් නුවර, නේපාලයේ කඳුවැටි පැත්තේ ඉඳලා යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවේ තමයි බුදුවරු උපදින්නේ.

අපි මේ කොහේදෝ කොදෙව්වක, සාගරයෙන් වට වූ මේ පුංචි දූපතක්නේ. අද්භූත වාසනාවක් කිව්වේ බුදුවරු පහළවෙන මධ්‍ය මණ්ඩලයේ අද කිසිම දෙයක් නෑ. හැබැයි, යම් සෙවණක ඉඳලා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය ලැබුවාද, සෙවණ දුන් ඒ බෝධීන් වහන්සේ තියෙන්නේ අපි ළඟ, අනුරාධපුරයේ. උන්වහන්සේ යම් ගස් සෙවණක සැතැපී පිරිනිවන්පෑවාද, දෙවියන් බඹුන් පුදන ධාතූන් වහන්සේලා නිධන්කර ස්ථූප තනවා වැඳුම් පිඳුම් කරන්නේ අපි.

එදා උන්වහන්සේ බුද්ධිමතුන් සොය සොයා ගමක් ගමක් ගානේ ඇවිදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ එක තැනක ප‍්‍රකාශ කරනවා, “අනේ… මගේ ළඟට එනවා නම් (ඒතු විඤ්ඤූ පුරිසෝ අසඨෝ අමායාවී) කට්ට කෛරාටිකකම් නැති බුද්ධිමත් මනුෂ්‍යයෙක්. මම අනුශාසනා කරන්නම්. එයාට අවබෝධ කරන්න පුළුවන්” කියලා.

අන්න ඒ වගේ බුද්ධිමත් මිනිස්සු හොය හොයා අවුරුදු හතළිස් පහක්ම මේ දඹදිව් තලය පුරා ඇවිදපු… ඒ බුද්ධිමත් මිනිස්සු හොය හොයා කියාපු දේ… අද තියෙන්නේ අපි ළඟ. මේ ලාංකික අප ලද වාසනාව අසිරිමත් එකක්. ඒක අද්භූත වාසනාවක්.

මේ වාසනාවට විනකරන්න කාටවත් දෙන්න එපා! මේ වාසනාවට විනකිරීම තමයි, බුදුබව පැතීම කියන්නේ. ඒකට කවුරුවත් අහුවෙන්න එපා! මේ වාසනාවට වින කිරීම තමයි, පාරමී පිරීම කියන්නේ. ඒ හැම එකකින්ම භව පැවැත්ම ගැන භය නැතිකරනවා. ඒ මතය විසින් සතර අපායට යටවූ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත‍්‍රිලක්ෂණයට යටවූ, පටිච්චසමුප්පාදයේ ගොදුරු බවට පත්වූ සත්වයාගේ අවිද්‍යාවට ඉණිමං කපනවා. ඒ මතය වින කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයටයි. ඒ නිසා ඒකට ඉඩදෙන්න හොඳ නෑ.

මං මේක කිව්වේ ජපානයෙන්ද කොහෙද කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවලූ මිනිස්සුන්ව මහායානයේ සමාදන් කරවන්න. බෝසත් සමාජයක් බිහිකරවන්න. එක එක්කෙනා බුදුබව පතන්න, එක එක්කෙනා පාරමී පුරන්න කියලා කියාගෙන යනවලූ! ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන නොපැහැදුණු හිස් පුද්ගලයන් හැම තැනම ඉන්න නිසා ඒ හිස් පුද්ගලයන් මේකට උදව් කරාවි.

නමුත් අපි සිහි බුද්ධියෙන් ඉන්න ඕන. අපි සරණ ගියේ ඒ කවුරුවත් නෙවෙයි. ඒ කාගෙවත් කතාබහ නෙවෙයි. අපගේ මොකක්දෝ වාසනාවකට, අපි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු එකසිය විස්සක් වගේ යුගයක, කිඹුල්වත් නුවර සුදොවුන් රජුට දාව මහමායා බිසවුන්ගේ කුසින් පහළ වූ, සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මේක ඔබේ මතකයෙන් ඈත් කරන්න කිසි කෙනෙකුට ඉඩදෙන්න එපා!

ඒ බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ බෝධීන් වහන්සේට අපි වන්දනා කරනවා. ඒ බෝධීන් වහන්සේ වැඩසිටින්නේ අනුරාධපුරයේ උඩමළුවේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රනින් කළ දාගැබක් ඇතුළේ, ඉර්ධිමත් රහතුන්ගේ අරහත් බලය මිශ‍්‍ර කරලා ආරක්ෂා සහිතව, අපේ දුටුගැමුණු රජතුමා හදලා අපට වඳින්න පුදන්න දීපු ස්ථූපය තාම තියෙනවා. අපි ඒ රුවන්වැලි සෑය වන්දනා කරනවා.

ඒ රහතන් වහන්සේලාගේ යුගයේ ඒ රහතන් වහන්සේලා සියලූ බාධක, කරදර, කම්කටොලූ අභියස මුහුදු වෙරළට ගිහින් වැටකෙයියා ඉස්ම බිබී කටපාඩම් කරගෙන ආපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තාම තියෙනවා. ඒ ධර්මය අද අපේම භාෂාවෙන් පරිවර්තනය වෙලත් තියෙනවා. ඒ නිසා මේක කවුරුහරි විකෘති කළොත්, විකෘති කරන්නේ ඔය මහායාන කෙනෙක්මයි. පාරමී පුරන්න කියන ඔක්කොම මේ ධර්මය විකෘති කරන්න කියන අයයි. මේක විකෘති කරන අය කවුද කියලා හොඳට මතක තියාගන්න.

ඊළඟට කවුරුහරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ මේවා ගණ පිහිටුවලා දේශනා කළා කියලා, අන්න විකෘති කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යයක් මිසක් ගණයක් නෙවෙයි. මේ දේශනාව තමයි ‘සත්‍යය.’ බුදුරජාණන් වහන්සේ දේශනා කළ රතන සූත‍්‍රය, කරණීය මෙත්ත සූත‍්‍රය කියන්නේ නවාංග ශාස්තෘ ශාසනයේ ගාථා සහිත දේශනාවන් මිස ගණ පිහිටවූ දේවල් නෙවෙයි.

මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන. අංගුලිමාල මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරද්දී තරුණ අම්මා කෙනෙක් කෑගහන විලාපයක් ඇහුණා. ඒ විලාපය අභියස මේ ස්වාමීන් වහන්සේගේ පාද නතර වෙලා ඉදිරියට ඇදෙන්නේ නෑ. ‘මොකද මේ?’ කියලා පොඞ්ඩක් විපරම් කළා. තරුණ අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න අමාරුවෙන් කෑගහනවා. ඒ දරුවා මව්කුසේ හිරවෙලා… දරුවා බිහිවෙන්නේ නෑ.

දැන් මේ රහතන් වහන්සේ මොනවා කරන්නද? බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. ගිහින් බුදුරජාණන් වහන්සේට කියනවා,

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං පිණ්ඩපාතේ වඩිද්දී, අම්මා කෙනෙක් විලාප දෙනවා. භාග්‍යවතුන් වහන්ස, මට හරි සංවේගයක් හටගත්තා. අනේ… මට මේකට උදව් කරන්න පිළිවෙලක් නෑනේ කියලා.”

“නෑ… නෑ… ඔබට පුළුවන්. ඔබට පුළුවන් අංගුලිමාල, උදව් කරන්න. (ඔබට මං ගණ පිහිටුවලා සෙත් කවියක් ලියලා දෙන්නම්. ඔබ ගිහින් ඒක කියන්න. එහෙම කිව්වද? නෑ…) අංගුලිමාල, ඔබ ගිහින් ඇත්ත කියන්න. සත්‍යය කියන්න.”

“කොහොමද ස්වාමීනී, මං සත්‍යය කියන්නේ..?”

“ඔබ ගිහින් කියන්න මං දැන දැන සතෙක් මැරුවේ නෑ කියලා.”

“අනේ… ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කාලයක් තිබුණා…. මේ අත්දෙක පුරාවට මිනිස් ලේ තැවරිලා… ඒ හැම මිනිස් ලෙයක්ම මා විසින් නසපු මනුෂ්‍යයෙකුගේ… ඉතින් මං කොහොමද එහෙම කියන්නේ…?”

“නෑ… නෑ… ඔබ ගිහින් කියන්න ‘මං ආර්ය ජාතියේ යම් දවසක උපන්නාද, එදා සිට දැන දැන සතෙක් මැරුවේ නෑ’ කියලා”

“එහෙමයි, ස්වාමීනී.”

අනිත් පැත්ත හැරුණා, වැඩම කළා. මොන ගණ පිහිටුවිල්ලක්ද? ඔය ගණ පිහිටෙව්වා කියලා කෑගහන සියලූ දෙනාම මේ බුද්ධ ශාසනය විනාශ කරන අය. අංගුලිමාල මහරහතන් වහන්සේ ගිහිල්ලා මොකක්ද කිව්වේ….?

“(යතෝ’හං භගිනි, අරියාය ජාතියා ජාතෝ) නැගණිය, මං ආර්ය ජාතියේ යම් දවසක උපන්නාද එදා පටන් (නාභිජානාමි සක්‍ද්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා) දැන දැන සතෙක් මැරූ වගක් මං දන්නේ නෑ. (තේන සච්චේන සොත්ථි තේ හෝතු) මේ සත්‍යයෙන් ඔබ සුවපත් වේවා! (සොත්ථි ගබ්භස්සාති) ඔබ සුවසේ දරුවෙක් ප‍්‍රසූත කරාවා!”

බලන්න මේ සත්‍යය කොච්චර බලවත් සත්‍යයක්ද කියලා. අර අම්මගේ වේදනාවට වුණ දෙයක් නෑ. පෙරහන්කඬේකින් වතුර වැක්කෙරෙනවා වගේ දරුවා බිහිවුණා. සත්‍යය කියලා කියන්නේ ඒ වගේ පුදුමාකාර බලවත් දෙයක්.

මේ සත්‍යය වහන්නේ ගණ ඉස්සරහට දාන අයයි. ‘පිරිත්වල ගණ පිහිටුවලා තියෙන්නේ. මේක සිංහලෙන් කිව්වොත් ඒ ගණය මාරුවෙනවා… එතකොට ඒකේ අර්ථය එන්නේ නෑ’ කියන උදවිය තමයි මේ සත්‍යය වහන්නේ.

ඔබ මේ සත්‍යය වහන කෙනා අඳුනගන්න ඕන. ‘මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්න ලෑස්ති වෙන්න එපා! ඕවා බොරු කතාවල්’ කියන අය තමයි සත්‍යය වහන්නේ. ‘කලබල වෙලා හරියන්නේ නෑ. ඕකට හිමීට හිමීට පාරමී පුරන්න ඕන’ කියන කීම තුළත් සත්‍යය වහනවා.

ඒ නිසා සත්‍යයට විනකරලා බුද්ධිමතුන්ගේ ලෝකයෙන් සාප ලබන්න ඕන නෑ. සත්‍යයට වින කරන්න ඕන නෑ. මේ ලෝකයේ මේ සත්‍යය කරා ගිය දෙවිවරු සත්‍යයට කැමතියි. ඒ අය තවම ලෝකයේ ඉන්නවා. සත්‍යය කරා ගිහිල්ලා, චාතුම්මහාරාජික, යාම, තුසිත, තාවතිංස, නිම්මාරණරතී, පරනිම්මිත වසවත්තී, බ‍්‍රහ්මකායික දේවලෝකවල මාර්ගඵල ලාභීන් කෝටි ගණන් ඉන්නවා. ඒ සත්‍යානුභාවයෙන් සැප ලැබූ දෙවිවරු දහස් ගණන් ඉන්දැද්දී මෙහේ ‘මේ සත්‍යය කියා දෙයක් නැත. ගණ කියා දෙයක් තිබේය’ කියා කතාවෙනවා නම් ඒක ඉතින් අවාසනාවේ ලකුණක්…!

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය සත්‍යයමයි. යමෙක් ලෝකයේ සත්‍යය කියලා යමක් හොයනවා නම්, ඒ සත්‍යය තමයි මේ තියෙන්නේ. මේ ලෝකයේ කියන්න මීට වඩා සත්‍යයක් නෑ.

උපදින්නේ මේ ආකාරයටයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා නම්, ලෝකයේ කාටත් උපදින්න තියෙන්නේ මේ ආකාරයට තමයි. උපතට හේතුව මේකයි කිව්වාම ලෝකයේ කාගෙත් උපතට හේතුව මේක තමයි. මේ හේතුව නැතිකිරීමෙන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කිව්වාම, කාගේ දුකෙනුත් නිදහස් වෙන්න පුළුවන් ඒ ආකාරයටයි. මේ සඳහා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කිව්වාම ලෝකයේ කාටත් දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.

මේ නිසා පින්වත්නි, මේ සත්‍යය නිකම් සත්‍යයක් නෙවෙයි, ආර්ය සත්‍යයක්. අවුරුදු දහස්ගාණක් මේ සත්‍යයට වැටකඩොළු බැඳලා තිබුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවන්න, කියවන්න අසත්‍යයේ කඩතුරාව ඉරී, බිඳී, වැනසී යනවා. සත්‍යය මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි සත්‍යය මතුවෙන්නේ.

මේ සත්‍යය තුළ තියෙන ආශ්වාදය නිරාමිස එකක්. සත්‍යය තුළ තියෙන ආනුභාවය ආශ්චර්යයි. සත්‍යයේ තියෙන ආලෝකය සදාතනිකයි. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පින නිසා සැප ලැබෙනවා කිව්වාද, ඒක සත්‍යයක්මයි. අවබෝධය තුළින් එතෙර වෙන්න කිව්වාද, ඒක සත්‍යයක්මයි. ඒ නිසා මේ සත්‍යය අපේ භාෂාවෙන් තේරුම්ගන්න ලැබුණාම, දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ බුද්ධිමත් සියලූ දෙනා, සත්‍යකාමී සියලූ දෙනා ඒක අනුමෝදන් වෙනවා. සත්‍යයට පිටුපාන සියලූ දෙනා ඒකට අකමැති වෙනවා.

මං පුංචි කාලේ කියවපු එක ශ්ලෝකයක් තියෙනවා ‘ගලක් ගලක් පාසා මැණික් නැත. ඇතෙක් ඇතෙක් පාසා ගජමුතු නැත. වනයක් වනයක් පාසා සඳුන්ද නැත. මේ වගේ හැම තැනම සත්පුරුෂයෝ නැත. හැම තැනම කල්‍යාණ මිත‍්‍රයෝ නැත’ කියලා.

මේ නිසා බොහෝම දුර්ලභව ලැබුණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපට ඇතුළත් වෙන්න ලැබුණා. අපි ලෝකයාට ආදරෙයි නම්, ගෞතම ශාසනයේ පිහිට ලබන්න තියෙන ඉඩකඩ රැකගන්න ඕන. කාටවත් ඒකට විනකරන්න දෙන්න හොඳ නෑ. ඒ ඉඩකඩ ලබාගෙන ඒක දියුණු කරගන්න ඕන.

ඒ නිසා මේ ජීවිතයේ ගෙවල් දොරවල්වල කටයුතු, රැකිරක්ෂාවල කටයුතු, ගොවිතැන්බත් කටයුතු හැම එකක්ම කරගන්නා අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිහිට ලබාගන්න අපි කරුණු දෙකක් ලඟා කරගන්න ඕන. ඒ තමයි පිනයි, අවබෝධයයි.

අපි පුළුවන් තරම් පින් රැස්කරගන්න ඕන. ඒ අතරේ මේ පටිච්ච සමුප්පාදය හොඳට නුවණින් මෙනෙහි කරලා, නිරවුල් කරගෙන, තේරුම් අරගෙන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ටික පැහැදිලි කරගෙන ටික ටික නමුත් ධර්මාවබෝධයට මහන්සිවෙන්න ඕනේ. කළයේ හිල් නැත්නම්, සිදුරු නැත්නම්, බිඳිලා නැත්නම්, බිංදුව බිංදුව නමුත් දිය පොද වැටෙන්නේ කළයට නම්, අහක යන්නේ නෑ. (හැබැයි අඩු කළේ දිය සැලේ… පිරුණු කළේ දිය නොසැලේ…) මේ නිසා ඒ කළය පුරවගන්න. ජීවිතය නැමැති කළය පින් බිඳ බිඳ නමුත් පුරවගන්න. අවබෝධයත් පුරවගන්න.

මේක මනුෂ්‍යයෙකුට ලැබෙන අතිදුර්ලභ වාසනාවක්. අපේ මුතුන් මිත්තන්ට මේවා අහන්න ලැබුණේ නෑ. අපේ ආච්චිලාට සීයලාට මේවා අහන්න ලැබුණේ නෑ. සමහර අය හිතන්න බැරි දහම් කරුණු දන්නවා. සූත‍්‍ර දේශනා දන්නවා. යවකලාපී සූත‍්‍රය විස්තර වශයෙන් කියයි. සිංහනාද සූත‍්‍රය කියයි. මහා හත්ථිපදෝපම සූත‍්‍රය කියයි. ධම්මචක්කපවත්තන සූත‍්‍රය කටපාඩමින් කියයි. අනාත්ම ලක්ඛණ සූත‍්‍රය දන්නවා.

මේ වෙන කොට අපි සූත‍්‍ර දේශනා හය හත්දහසක් විතර පරිවර්තනය කරලා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ සූත‍්‍ර අනුසාරයෙන් බොහෝ දැනුමක් ලැබිලා තියෙනවා. දැන් මජ්ඣිම නිකාය මොකක්ද? කියලා දන්නවා. මං පැවිදි වෙලා දොළොස් අවුරුද්දක් පන්සලේ හිටියා. සුත්ත නිපාතය කියන්නේ මොකක්ද කියලා මං දැනගෙන හිටියේ නෑ. නමුත් අද මහමෙව්නාවේ දහම් සේවාව නිසා ‘අපේ බුදුසමිඳු තවම වැඩවෙසෙති’ කියන පොතෙන් සුත්ත නිපාතය සම්පූර්ණයෙන්ම කියවන්න පුළුවන්. අට්ඨක වර්ගය, පාරායන වර්ගය දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා ධර්මය දැනගන්න කොට, දැනගන්න කොට අඩු කළය තමයි සෙළවෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕන ධර්මය තුළින් හැමදෙයක්ම ගලපගන්න.

මහා හත්ථිපදෝපම සූත‍්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි ලස්සන දෙයක් දේශනා කරනවා, කවුරු හරි බැන්නොත් සිහියෙන් ඉඳලා හිතන්න කියනවා ‘ඔන්න දුක් සහගත ස්පර්ශයක්. මට දැන් කණට ශබ්දයක් ඇහුණා. දැන් ඒ ශබ්දය නිසා කණට ස්පර්ශයක් ඇතිවුණා. හැබැයි විඳීම දුකක්. ඒ දුක ඇතිවෙන්න යම් ශබ්දයක් උපකාර වුණාද, ඒ ශබ්දය අනිත්‍යයයි. එතකොට ඒ ශබ්දය ඇහුණේ යම් කණකටද, ඒ කණත් අනිත්‍යයයි. ඒ කණයි, ශබ්දයයි එකතුවෙද්දී යම් විඤ්ඤාණයක් පහළවුණාද, ඒකත් අනිත්‍යයයි. ඒ තුන එකතුවුණා, ස්පර්ශය. ඒකත් අනිත්‍යයයි. ඒකෙන් යම් දුක් විඳීමක් ඇතිවුණාද, ඒකත් අනිත්‍යයයි. ඒක නිසා මට යම් හඳුනාගැනීමක් ඇතිවුණාද, ඒකත් අනිත්‍යයයි. ඒ ගැන මට යම් චේතනාවක් ඇතිවුණාද, ඒකත් අනිත්‍යයයි.’ මෙහෙම හිතන්න කිව්වා. ඊට පස්සේ කියනවා ‘මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස හැදිලා තියෙන්නේ මේ වගේ දේවල්වලට මුහුණ දෙන විදිහටයි. ඒ නිසා මේකෙ මට හිතන්න දෙයක් නෑ කියලා හික්මෙන්න’ කියලා.

බලන්න අපට ඒ විදිහට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒක ජීවිතාවබෝධයක් කරා යන්න මොනතරම් උදව් කරනවාද? බැරිවෙලාවත් කවුරුහරි ගැහුවොත් ඒත් එහෙම හිතන්න කිව්වා. බැන්නොත් ඒත් එහෙම හිතන්න කිව්වා.

ඉතින් ඒ නිසා මේ අවබෝධය කරා යෑම අපට හරි වැදගත්. ඒ නිසා මේ ජීවිතයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන, හොඳට නුවණින් කල්පනා කරලා, පින් රැස්කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධය කරා යන්නට අප සියලුදෙනාට වාසනාව ලැබේවා!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්