Moon

ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

කාලේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිය නිසා එයාව බේරා ගත්තා. අද කාලේ එහෙම එකක් වුණොත් කිසිම පිළිසරණක් අයිති වෙන්නේ නෑ. එයා විශාල කරදරයකට භාජනය වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් අප කල්පනා කළයුතු විශේෂම කාරණය, ‘අපි කරන්නා වූ පින ස්වල්ප වුණත්, ඒ පින ඒක නොසලකා හරින්න එපා’ කියන එකයි.

මේක තේරුම් ගන්න මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් ඔබ පාරේ යනවා. යනකොට සුදු සැරයටියක් ගත් කෙනෙක් පාර හරහට පනින්න හිතාගෙන පාරේ පැත්තකින් ඉන්නවා. දැන් ඔබත් ඒ හරියෙන්ම යනවා. හැබැයි, ඔබ එයා ගැන කල්පනා කරන්නේ නෑ. ඔබ එයාව නොදැක්කා වාගේ යනවා. හැබැයි, තව තරුණයෙක් පාරේ එහා පැත්තේ ඉඳලා මේ පැත්තට පැනලා ඒ කෙනාව අල්ලාගෙන පාර පන්නවනවා. මෙහෙම දේවල් අපට ඕනතරම් සිද්ධවෙන්න පුළුවන්. මේ විදිහට අපට හරියට පින මගහැරෙනවා.

අපි කියමු ඔබ පෝය වැඩසටහනකට පන්සලට ගිහිල්ලා උපෝසථ සිල් සමාදන්වෙලා ලස්සනට පෝය දවස ගෙවනවා. ගෙවලා පන්සලෙන් එන්න ලෑස්තිවෙලා වැසිකිළියට යනවා. වැසිකිළිය පිරිසිදු නෑ. ඔන්න දැන් ආයෙත් ඔබට පිනක් කරගන්න අවස්ථාවක්. ඔබ ඒ පින ගණන් ගන්නේවත් නැතුව ඔබේ පාඩුවේ වැසිකිළි කැසිකිළි කරලා යනවා. එතකොට පින තියෙනවා. පින ඔබට පෙනුණේ නෑ.

අපි කියමු ඔබ බෝධි වන්දනාවකට පන්සලට යනවා. බෝ මළුවේ හැමතැනම කොළ වැටිලා. මල් ආසන ඔක්කොම අපවිත‍්‍ර වෙලා. ඔබ ගිහිල්ලා අතින් චුට්ටක් පිහදාලා මල් ටික තියනවා. පහනක් පත්තු කරලා තියනවා. ගිලන්පස චූට්ටක් පූජා කරලා බෝධි පූජාව කරලා එනවා. ඔබට අර පින් ඔක්කොම මඟ ඇරෙනවා. ඒ තමයි, ඔබ මල් ආසනය පිරිසිදු කිරීමේ පින අත්හරිනවා. බෝ මළුව ඇමදීමේ පින අත්හරිනවා.

එදිනෙදා ජීවිතයේදී අපට මේ විදිහට පින් කර ගන්න තියෙන විවිධ අවස්ථා ලැබෙනවා. අපට ඒ අවස්ථාව මගහැරී යන්න ප‍්‍රධානම දේ තමයි, පින ගැන දැනුවත්ව නොසිටීම. තමන් පින ගැන දැනුවත්ව නොසිටින නිසයි ඒක සිද්ධ වෙන්නේ.

සමහර විට කෙනෙක් ඔබ ළඟට දුක කියාගෙන එනවා. ඒ වෙලාවට ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඒ තමයි ඒක ටිකක් වෙලා අහගෙන ඉන්න එක. ඔබ ඒකවත් අහන්නේ නෑ. ඔබ මොකක් හරි වැඩක යෙදෙනවා. අරයා බලාපොරොත්තු වෙන්නේ පොඞ්ඩක් අහන්න කෙනෙක් විතරයි. හැබැයි ඔබ එයා වෙනුවෙන් විනාඩි පහක් දහයක් කැපකළොත් ඒක අහලා ඉවර වුණාට පස්සේ එයාට “මගේ හිතට හරී සැහැල්ලූවක් ආවා. මට මේක කියාගන්න කෙනෙක් නැතුවයි හිටියේ. දැන් මට හරි සැහැල්ලූයි” කියලා සතුටින් යන්න පුළුවන්. එතකොට එයාට සතුට දෙන්න ඔබට තියෙන්නේ විනාඩි පහක, දහයක කැපකිරීමක්.

සමහර විට ඔබට ඒ වගේ අවස්ථා එනවා. එතකොට ඔබ ඒවා අත්හරිනවා. පින් කිරීම සම්බන්ධයෙන් ගත්තොත් බොහෝ දෙනෙක් කරන්නේ සිහින මවන එකයි. ‘මට තිබ්බා නම් මම මෙහෙමයි කරන්නේ.. මට තිබ්බා නම් මම මේ විදිහටයි කරන්නේ..’ කියනවා. තියෙන ටික හසුරවා ගන්න කල්පනා කරන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ කාලේ පින ගැන අවබෝධයෙන් කටයුතු කරපු අය, තිබුණු ටික හරි විදිහට යොදවා ගත්තා. මේ කාලයේ වුණත් එහෙම පුළුවන්.

මේ ළඟදී දරුවෙක් ඇවිල්ලා දෙමව්පියන්ට විරුද්ධව පැමිණිල්ලක් කළා. පැමිණිල්ල තමයි, “අනේ ස්වාමීනී, මම හරී ආසයි අම්මා තාත්තාගේ ගුණ සිහි කරන්න. මට දෙමව්පියන්ගේ ගුණ සිහි කරන්න අම්මා තාත්තා ඉඩදෙන්නේ නෑ.” මම ඇහුවා “ඇයි දරුවෝ කොහොමද ඉඩ දෙන්නේ නැත්තේ?” කියලා.

“අනේ ස්වාමීනී, තාත්තා ඇවිල්ලා ‘ඔයාගේ අම්මා මෙහෙම කෙනෙක්. ඔයාගේ අම්මා මෙහෙමයි කටයුතු කළේ’ කියලා අම්මා ගැන අපහදින දේවල් මට කියනවා. අම්මා ඇවිල්ලත් ‘ඔයාගේ තාත්තා මෙහෙම කෙනෙක්. ඔයාගේ තාත්තාගේ චරිතේ මේකයි’ කියලා තාත්තා ගැන වැරදි කියනවා. අනේ ස්වාමීනී, මම දෙමව්පියන්ට වැඳලා ‘අනේ, අම්මේ තාත්තේ ඔයගොල්ලන්ගේ ප‍්‍රශ්න මට කියන්න එපා. ඔයගොල්ලන් කෙරෙහි මගේ හිත පහද ගන්න මට දෙන්න. මට පව් පුරවන්න එපා” කියලා කිව්වා. බලන්න දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉල්ලන්න සිද්ධ වෙන දේවල්.

මේ දරුවන්ගේ පැත්තෙන් බලන්න දෙමව්පියන් නෑ. දෙමව්පියන් දරුවන්ට යුතුකම් ටිකක් ඉෂ්ට කරලා ටිකක් විය හියදම් කරලා රස්සාවල් අරන් දීලා ‘අපි දරුවෝ වෙනුවෙන් ඔක්කොම කළා. දැන් දරුවෝ විසින් පෙරලා අපට සත්කාර සම්මාන කළ යුතුයි, පෙරලා අපට සැළකිය යුතුයි’ කියලා මාන්නයකට එනවා. නමුත් කළ යුත්තේ ඒක නෙවෙයි. සත්පුරුෂ නම් දරුවෝ අනිවාර්යයෙන්ම දෙමාපියන්ට සලකනවා. ඒකෙ ආයේ අමුතු දෙයක් නෑ. අමුතුවෙන් ‘මව්ගේ ගුණ මේකයි පුතේ.. පියාගේ ගුණ මේකයි පුතේ..’ කියලා කියන්න දෙයක් නෑ. සත්පුරුෂ නම් එයාට කෙළහිගුණ තියෙනවා. කෙළෙහිගුණ නැත්තේ අසත්පුරුෂ අයටයි. දරුවෝ හැටියටත් අසත්පුරුෂ අය ඕනතරම් ඉපදෙන්න පුළුවන්.

කෙළෙහිගුණ තියෙන ශිෂ්‍යයෝ හිටියොත් ගුරුවරයාට සලකනවා. කෙළෙහිගුණ නැති ශිෂ්‍යයෝ ගුරුවරයාට සලකන්නේ නෑ. කෙළෙහිගුණ තියෙන දරුවෝ දෙමව්පියන්ට සලකනවා. කෙළෙහිගුණ නැති දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නෑ. ඒ නිසා සියලූ දරුවෝ සියලූ දෙමාපියන්ට එක ලෙස සලකයි කියලා අපට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම සියලූ ශිෂ්‍යයෝ සියලූ ගුරුවරුන්ට එක අයුරින් සලකයි කියලා අපට කියන්න බෑ. සත්පුරුෂ දෙමව්පියෝ දරුවන්ව සත්පුරුෂ ලෝකයට කැඳවාගෙන යනවා. සත්පුරුෂ දරුවෝ දෙමව්පියන්ව සත්පුරුෂ ලෝකයට කැඳවාගෙන යනවා. සත්පුරුෂ ගුරුවරු ශිෂ්‍යයන්ට සත්පුරුෂ ලෝකය පෙන්වනවා. සත්පුරුෂ ශිෂ්‍යයෝ ගුරුවරයාට සත්පුරුෂ විදිහට සලකනවා.

මේ ඔක්කොම තියෙන්නේ සත්පුරුෂ භූමියට පැමිණීමෙන් පමණයි. සත්පුරුෂ භූමියට පැමිණෙන්නේ නැතුව ‘අපි ළමයින්ට සැලකුවා. කෝ අපට සලකනවා..?’ කියලා බලාපොරොත්තු වෙලා හිටියට එහෙම සාර්ථක වෙන්නේ නෑ. සමහර දෙමව්පියෝ දෙමව්පියන්ගේ වැරදි දරුවොත් එක්ක කියන්නේ දරුවෝ පොඩි අවධියේදී. “ඔයගොල්ලන්ගේ තාත්තා මෙහෙමයි කටයුතු කළේ. මගේ අතට පඩිය දුන්නේ නෑ. මෙන්න මෙහෙම මෙහම තිබුණා..” කිය කියා කියනවා. මේක අහගෙන ඉන්නකොට දරුවන්ට තාත්තා කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්නේ නෑ. තාත්තත් අම්මා ගැන ඒ විදිහට අපහදින්න කරුණු කියනවා. එතකොට අම්මා ගැන පහදින්නෙත් නෑ.

කාලයක් යනකොට දෙමව්පියන්ට මේවා අමතක වෙනවා. හැබැයි ළමයින්ගේ ඔළුවේ මේ දේවල් ඉතිරි වෙනවා. අන්තිමට වෙන්නේ ළමයි ලොකුවෙලා රැකී රක්‍ෂා කරගෙන ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. ඒගොල්ලෝ දෙමාපියන්ට සලකන්නේ නෑ. නමුත් දෙමව්පියෝ සැලකිලි බලාපොරොත්තු වෙනවා. ඒ වෙන කොට වැඬේ වැරදිලා.

මේ ඔක්කොම විසඳගන්න තියෙන්නේ ධර්මයෙන් විතරයි. ධර්මය නැතුව කිසි දවසක මේ වගේ දේවල් විසඳගන්න බෑ. මේ ඔක්කෝම තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි, ‘අපට පින් කරගන්න අවස්ථාව තියෙනවා’ කියන අදහස ඇතිකර ගැනීම.

‘පින් කර ගන්න අවස්ථාව තියෙනවා’ කියන අදහස දරුවන්ට ආවොත් දරුවෝ දෙමාපියන්ගේ පරණ ලෝකය මතක් කරන්නේ නෑ. ඒ දරුවෝ දෙමාපියන්ට සත්කාර කරන්න, උපස්ථාන කරන්න මහන්සි ගන්නවා. දෙමාපියන්ට බණ පොත් ගෙනල්ලා දෙනවා. දෙමාපියන්ව දහම් වැඩසටහන් වලට එක්කගෙන යනවා. ඒ වගේම දෙමාපියන්ට ආදරේ දක්වනවා. දෙමාපියන්ගේ මෙලොව පරලොව ජීවිතේට යහපත් දේවල් කියා දෙනවා. පින ගැන දන්න අය මේවා කරනවා.

නුවණැති දරුවෝ දෙමාපියන්ව පිනට යොදවනවා. පින ගැන දන්නේ නැති දරුවා කරන්නේ ඒක නෙවෙයි. ඔන්න සිංහල අවුරුදු කාලේ එනවා. ඉතින් දරුවෝ දෙමාපියන්ට රෙදි අරගෙන ගිහිල්ලා “අම්මා මේක වියදමට තියාගන්න. තාත්තා මේක වියදමට තියාගන්න” කියලා කීයක් හරි දෙමාපියන්ගේ අතේ මිට මොලවනවා. දරුවෝ දීපු නිසා දෙමව්පියොත් මේක ආදරයෙන් ගන්නවා. අරගෙන හංගා ගන්නවා. දෙමාපියන්ට කරන නියම සැලකීම මේක නෙවෙයි.

දරුවෝ දෙමාපියන්ට ආදරෙයි නම් සල්ලි අතට දෙන්න ඕනේ, “අම්මේ, තාත්තේ මේ සල්ලි දෙන්නේ වියදම් කරලා පින් කරන්න කියලයි. මේ සල්ලි වලින් ඔයගොල්ලෝ කැමති විදිහේ පින් දහම් කරන්න” කියලයි. එහෙම දුන්නාම දෙමාපියන් ‘මගේ දරුවෝ මට මේ මුදල් දුන්නේ කැමති විදිහට පින් කරන්නයි. එහෙම නම් මම මේ මුදලින් මේ මේ විදිහට පින් කරනවා” කියලා ඒ මුදල පින් පිණිස වියදම් කරනවා. අන්න ඒක දෙමාපියන්ට සලකන එක්තරා ක‍්‍රමයක්.

එහෙම නැතුව සමහර අවස්ථාවල දරුවන්ට තියෙන දරු ස්නේහය නිසාම සමහර දෙමව්පියන් දරුවන් අත මිටමොලවන සල්ලි කොට්ටේ යට හංගාගෙන ඉන්නවා. “මගේ පුතා මට මේක දීලා ගියේ. මගේ දූ මේක දීලා ගියේ මට” කියලා තියාගෙන ඉන්නවා. මම හිතනවා මේක දෙමාපියන්ව අමාරුවේ දැමිල්ලක්. දෙමාපියන්ව කරදරයක වැට්ටීමක්. මේක ආදරය නෙවෙයි. ආදරය කියන එක හරියට හඳුනා නොගත්තොත් විශාල කරදරයකට පත්වෙනවා. එහෙම නොවෙන්න නම් දෙමව්පියොත් පින ගැන දැනගන්න ඕන. දරුවොත් පින ගැන දැනගන්න ඕන. ගුරුවරුත් පින ගැන දැනගන්න ඕන. ගෝලයොත් පින ගැන දැනගන්න ඕන.

අපි මේ විදිහට පින ගැන කල්පනා කරන විදිහ හරිගස්සා ගත්තොත් අපට පින්දහම් කරගන්න ඕනතරම් අවස්ථාව තියෙනවා. සමහර අවස්ථාවල යම් යම් කරුණු වලට දෙමව්පියන් දරුවන්ට බනිනවා. පිනට ආසා දරුවා කරන්න ඕන නිශ්ශබ්දව සිටීමයි.

අපි කියමු බනින කාරණය අසාධාරණ එකක් කියලා. දැන් දෙමාපියන් බනින්නේ වැරදි අදහසක ඉඳලා. සමහර විට මේ දරුවා එවෙලේම දෙමාපියන්ට කටගහගෙන යනවා. ඒ විදිහට කටගහගෙන යනකොට සමහර විට මේක දිග්ගැහුණොත් දරුවන්ගේ කටින් දෙමාපියන්ට නපුරු වචන කියවෙන්න පුළුවන්. මේක අකුසලයක්. මේක ලොකු පවක් බවට පත්වෙනවා. ඒකට දරුවා පැටලෙන්නේ පින ගැන සිහිනොවීම නිසයි.

පින ගැන සිහිවෙනවා නම්, ඒ දරුවා ඒක කරන්නේ නෑ. දෙමව්පියන් නිස්කාරණේ බනිනවා නම් දරුවෝ කල්පනා කරන්නේ ‘මම මේ වෙලාවේ මොකුත් කියන්නේ නෑ. මම මේ වෙලාවේ බැනුම් අහගෙන නිශ්ශබ්දව ඉන්නවා. අම්මාට හෝ තාත්තාට හෝ කේන්ති නිවුණහම මම මේකෙ සාධාරණකම පෙන්නා දෙනවා’ කියලයි. ඒ අවස්ථාව එනතුරු දරුවා ඉවසනවා නම් ඒකෙ තේරුම, ඒ දරුවාට පින ගැන අවබෝධයක් තියෙනවා කියන එකයි. ඊට පස්සේ අවස්ථාව ආවහම “අම්මේ අම්මා එදා බැන්නාට මේකේ මෙහෙම පැත්තක් තියෙනවා. මේ පැත්ත ගැනත් සලකා බලන්න. තාත්තේ මේ පැත්ත ගැනත් සලකා බලන්න” කියලා කරුණු පැහැදිලි කර දෙනවා. එහෙම කිව්වහම එදා නිශ්ශබ්දව එකට එක නොකීම ගැන දෙමාපියන්ට දරුවා කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ඒ ආදරය නිසා සමහර විට දෙමව්පියන් අර දරුවාට සවන් දෙනවා.

මේ වගේ හැම එකකටම අවස්ථාව තියෙන්නේ මේ යුතුකම් සහ අයිතිවාසිකම්වල පැටලීමෙන් නෙවෙයි. යුතුකම් සහ අයිතිවාසිකම්වල පැටලෙන්න ගියොත් අපට ඊට පස්සේ මුහුණ දෙන්න තියෙන්නේ අසාධාරණ ලෝකයකට, අසාධාරණ සමාජයකට.

සමාජය තුළ අපට නිතර සිද්ධ වෙන්නේ අසාධාරණය නිසා, අපට අයිතිවාසිකම් වේශයෙන් සාධාරණය බලාපොරොත්තු වෙන්න වෙනවා. නමුත් බලාපොරොත්තු වෙන සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ. එතකොට ද්වේෂය එනවා. ද්වේෂය ආවොත්, ද්වේෂ සහගත වුණොත් “(කුද්ධෝ අත්ථං න ජානාති – කුද්ධෝ ධම්මං න පස්සති) ද්වේෂ සහගත කෙනා යහපත නොදනී. ද්වේෂ සහගත කෙනාට යහපත නොපෙනේ. (අන්ධන්තමං තදා හෝති – යං කෝධෝ සහතේ නරං) ක්‍රෝධය විසින් මනුෂ්‍යයා යටපත් කළාම ඒ වෙලාවට ඔහු ඉන්නේ අන්ධ කෙනෙක් වගේ.

මනුෂ්‍යයෙක් ඒ වගේ කරදරයකට පත්වුණොත් එයා සාධාරණ අසාධාරණ ලෝකයේ කතාව කියාගෙන පැටලි පැටලී යනවා මිසක් එයාට මේකෙන් ගැලවීමේ අවස්ථාවක් වත්, විග‍්‍රහ කරලා තේරුම් බේරුම් කරගැනීමේ අවස්ථාවක්වත් ලැබෙන්නේ නෑ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරනවා කියන්නේ ප‍්‍රඥාවන්තව කල්පනා කිරීමයි. ප‍්‍රඥාවන්තව කල්පනා කරන කෙනාට තමයි, පිනක අවශ්‍යතාවය ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ “(සුඛස්සේතං භික්‍ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) මහණෙනි, පින කියලා කියන්නේ සැප උපදවා දෙන දෙයටයි” කියලනේ. එතකොට යම්කිසි දෙයකින් සැපයක් උපදවලා දෙනවාද, අන්න ඒකටයි පින කියන්නේ.

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්