මාතර උඩඅපරැක්ක මහමෙව්නාව මහා විහාරයත් දකුණු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයත් හා එකතුව පින්වන්ත දරුවන් ලබන්නට නම් යන මැයින් ගර්භණී මව්වරුන් වෙනුවෙන් වන විශේෂ සදහම් වැඩසටහන් පෙළක් මාතර දිස්ත‍්‍රික්කයේ සංවිධානය කර තිබේ. ඉන් පළමු වැඩසටහන ව්‍යවහාරික වර්ෂ 2018 ජනවාරි මස 20 වන දින වැලිගම නගර ශාලාවේදීත් දෙවන වැඩසටහන පෙබරවාරි මස 24 වන දින දික්වැල්ල ප්‍රාදේශිය සභා ශාලාවේදීත් පැවැත්විණි.

තුන්වන අදියර මාර්තු මස 24 වන දින කොටපොල මොරවක්කෝරලේ තේ සමූපකාර සමිති ශාලාවේදී පැවැත්විය.මොරවක, පස්ගොඩ, උෟරුබොක්ක හා ඒ අවට ප‍්‍රදේශයේ සිටින ගර්භණී මව්වරුන් එහිදී විශේෂයෙන් ඉලක්ක කෙරුණි. මේ සඳහා ගැබිණි මව්වරුන් 350කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එම මව්වරුන් උතුම් සීලයෙහි පිහිටුවා ධර්මානුශාසනාව පැවැත්වීමද සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ විශේෂ දේශනය ද පිරිත් සජ්ඣායනය ද මව්වරුන් වෙනුවෙන් පිරිත් පැන් හා පිරිත් නූල් ලබා දීම ද සිදු විය. ඊට අමතරව සෑම මවකටම මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ, සැබෑ බිරිඳ කවුද සදහම් ග්‍ර‍න්ථය මහාමේඝ සදහම් පුවත්පත ද ලබා දීම සිදු විය.

පිටබැද්දර, සියඹලාගොඩ, මහමෙව්නාව අසපු සංචිතයට අයත් ශ්‍රී සම්බුද්ධරාජ ආරණ්‍ය සේනාසනයේ උපස්ථාන කමිටුවෙන් මව්වරුන් වෙත දිවා ආහාරය ද ලබා දීම සිදු විය.

මේ අයුරින් රැස් කළ සියලු පින් උදව් උපකාර කළ සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා! දැක බලා සතුටු වන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වේවා!

මොරවක, මාතර, අකුරැස්ස, හක්මණ, දෙණියාය, කඹුරුපිටිය ආදී ප‍්‍රදේශවල ඉදිරියේදී ගර්භණී මව්වරුන් වෙනුවෙන් මෙවැනිම වූ වැඩසටහන් පැවැත්වීමට අපේක්ෂිත අතර එම වැඩසටහන් සඳහා ඔබටද සහයෝගය දැක්විය හැකිය.

මහමෙව්නාව මහා විහාරය
උඩ අපරැක්ක,
මාතර.

විමසීම් – 0716410444