පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මග පෙන්වීමෙන් ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන මහමෙව්නාවේ සදහම් ප්‍රචාරය තවත් පුළුල් කරමින් මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන අහිංසක පින්වත් දෙමළ ජනතාව වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය කියාදීමේ වැඩපිළිවෙළක් ඉතාමත් සාර්ථක අයුරින් ක්‍රියාත්මක කරමින් තිබේ. ඒ අනුව මූලික වශයෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ දහම් පොත් කිහිපයක්ම මේ වන විට දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත්ව ඇති අතර පාසැල් ළමුන් මූලික කරගෙන මේ වන විට දෙමළ මාධ්‍ය සදහම් වැඩසටහන් කිහිපයක්ද පවත්වා තිබේ. එය එම පාසැල් දරු දැරියන්ගේ මෙන්ම ගුරු මහත්ම මහත්මීන්ගේ මහත් පැසසුමට ලක්විය.මෙලොව ජීවිතය සුවපත් කරවන, පරලොව සුගති සැප ලබාදෙන, සසර කතරින් එතෙර කරවන භාග්‍යවතුන් වහන්සේගේ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය ජාති ආගම් භාෂා භේදයකින් තොරව සියලු මනුෂ්‍ය වර්ගයා වෙත දායාද කළ හැකි නම් එය මේ මනුෂ්‍ය වර්ගයා වෙත කරන සැබෑම කාරුණික උපකාරය වේ.

පසුගිය කාලය තුළ දෙමළ මාධ්‍යයෙන් සදහම් වැඩසටහන් පවත්වන ලද පාසැල් වන්නේ,

  • 2015 ජුනි 30 වන දින – විග්නේෂරා දෙමළ විද්‍යාලය (පස්සර – හොප්ටන්)

  • 2015 ජුලි 29 වන දින – හාලිඇල දෙමළ මහා විද්‍යාලය (බදුල්ල – හාලිඇල)

  • 2015 සැප්තැම්බර් මස 18 – විපුලානන්ද දෙමල මහා විද්‍යාලය (මොණරාගල)

  • 2015 සැප්තැම්බර් 23 වන දින – මේමලේ දෙමළ විද්‍යාලය (ස්ප්‍රින්වැලි – මේමලේ)

  • 2015 සැප්තැම්බර් 25 වන දින – කලෛමහල් දෙමළ විද්‍යාලය (පස්සර – හොප්ටන්)