වැලිකඩ බන්ධනාගාරයේ නොයෙක් අයුරින් දඬුවම් විඳිමින් සිටින, වැරදි කළවුන් හට වළාකුලින් මිඳුනු පුන් සඳක් සේ තම ජීවිතය අලෝකමත් කරගැනීමට උපකාර පිණිස ඒ සිරකරුවන් ගේ ජීවිත වලට උතුම් ශ්‍රී සද්ධර්මය සමීප කරන්නට මහමෙව්නාව භාවනා අසපුව මගින් ක්‍රියාත්මක වන තාවතිංස යාත්‍රා සංවිධානය ගත් වෑයමක් ගැනයි මේ පුණ්‍ය සටහන.

‍මේ යටතේ 2017 දෙසැම්බර් මස 31 වැනි දින උදෑසන පටන් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අපගේ කල්‍යාණමිත්‍ර පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිරකරුවන් උදෙසා උතුම් ධර්මය පහදා දෙමින් සීල භාවනා වැඩසටහන සිදු කෙරුනා. සිරකරුවන් 1000 ක පමණ පිරිසක් එදින උපෝසථ අට්ඨාංග සීලයේ සමාදන් ව වැරදි වලින් අත්මිදී ජීවිත සුවපත් කරගැනීමට උපකාර වන ධර්මය ශ්‍රවණය කරමින්, භාවනාවේ යෙදෙමින්, තම ජීවිත වලට බොහෝ පින් රැස්කර ගන්නට යෙදුනා.

සිරගත ජීවිතයේ දී මිහිරි ආහාර වේලක් නොලද 3200 ක් පමණ වූ සිරකරුවන් උදෙසා ඉතා සතුටින් දන් පැන් සකසන්නට තාවතිංස යාත්‍රා සංවිධානය කටයුතු කළා. උදෑසන ආහාරය සඳහා බිත්තර ආප්ප, රොටී, මැකරෝනී සහ යෝගට් ඇතුළු ප්‍රණීත ආහාර වේලක් පිරිනමනු ලැබුවා. දහවල ආහාරය සඳහා ෆ්‍රයිඩ් රයිස් සහිත ප්‍රනීත ආහාරවේලක් සහ අයිස්ක්‍රීම් ඇතුලු ප්‍රණීත අතුරුපස ලබාදුන්නා.

මහමෙව්නාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේනමකගේ මෙහෙයවීමෙන් වැලිකඩ බන්ධනාගාරයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සීල භාවනා වැඩසටහනක් සිදු කෙරෙනවා. ඊට සම්බන්ධ වන 350 ක් පමණ පිරිසට ධර්මශ්‍රවණය හා භාවනාව සුවසේම සිදු කිරීමට උපකාර පිණිස භාවනා මෙට්ට 50 ක් ද එදින පිරිනමනු ලැබුවා. සැබැවින්ම දෙසැම්බර් මස 31 වෙනිදා ඒ සිරකරුවන් ගේ ජීවිත වලට පින්බර දවසක් වුනා.

මට එල්ලුම් ගහ නියම වෙලා අවුරුදු 24ක් වෙනවා. දඬුවම් නියම වෙද්දී මම දරුවො 3 දෙනෙකුගේ තාත්තා කෙනෙක්. දැන් මගේ ළමයි කසාද බැඳලා. මට මරණ දඬුවම ලැබුනට පස්සේ බිරිඳ වෙන කසාදයක් කරගත්තා. මම දැන් මේ ජීවිතයට හුරුවෙලයි ඉන්නේ. දුම් බොන්නේ නෑ. කිසිම වරදක් ඇතුලේ කරලත් නෑ. මුලු ලංකාවෙම ඉන්න හිරකරුවන්ගෙ ප්‍රධානියා ලෙස මම මේ වෙද්දී කටයුතු කරනවා. පසුගිය දෙසැම්බර් 31 කියන්නේ මගේ සිරගත ජීවිතයේ විශේෂ දවසක්… එලියෙ ඉන්න කාලේවත් නොකෑව කෑම වේලක් එදා සියලුම හිරකරුවන්ට ලැබුනා. අපි කවදාකවත් නොකෑව කෑම පවා එදා අපිට ලැබුනා. බුෆේ සෙට් 7 ක් දාලා අයිස්ක්‍රීම් ලොරියක් බන්ධනාගාර භූමියට රැගෙන ඇවිල්ලා හිරකාරයෝ වෙච්ච අපිට ඇති තරම් කන්න දීපු එක මේ අවුරුදු 24 පුරාම මම මුල් වතාවට දැක්කේ එදා තමයි.
රැඳවියෙක්, වැලිකඩ බන්ධනාගාරය

 

මේ උතුම් සත් ක්‍රියාවෙන් රැස්වුන සියලු පින් පින්වත් සක් දෙවිඳුන් ඇතුලු සියලු දෙවි වරුන්ටත්, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සඟ රුවනටත් අනුමෝදන් වෙත්වා…!

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තැන්පත් නිසාන් ධනසිංහ මැතිතුමා, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන එ්කනායක මහත්මා, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න මහත්මා ඇතුළු සමස්ත කාර්යමණ්ඩලයටත්, මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට දායක වූ සමස්ත බන්ධනාගාර නේවාසික පිරිසටත් මේ පින් අනුමෝදන් වෙත්වා…!

මේ සඳහා මුදලින් හා ශ්‍රමයෙන් සහයෝගය ලබාදුන් තාවතිංස යාත්‍රා සංවිධානයේ දෙස් විදෙස් සාමාජික සමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා…! මෙලොව පරලොව දෙලොවම වාසනාවන්ත වෙත්වා. උතුම් චතුරාර්සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා…!