“ස්වාමීනී, ආර්ය වූ දෙව්දතාණෙනි, මා අද උදෑසනත් සිතමින් සිටියේ ඔබවහන්සේගේ අසාමාන්‍ය වූ චිත්ත බලය ගැනයි.” “භවත් මහරජ, දැන්වත් තොප පියාණන් හට වැටහෙනවා ඇති…. හිහ්… හිහ්… හී…. ඔහුට තිබුණාලු ත්‍රිවිධ ප්‍රාර්ථනාවක් එ්…? ලාබාල වයසින් රජවීම….! … එසේය, එය හරිගියා… හහ්… බුදු කෙනෙකුන් මුණගැසීම…. එයත් හරිගියාලු එ්! එ් බුදුන්ගේ දහම දැකීම…. එයත් හරිගියාලු එ්! … හිහ්…. හිහ්… හී…. සිපිරි ගෙයක හිරබත්කන ඔහුට දැන් තේරෙනවා ඇති.” රන් බඳුනෙන් ගත් මිදි යුෂ ස්වල්පයක් තොල ගෑ අජාසත්තයන් මහත් උජාරුවකින් පිළිතුරු දෙන්නට විය. “භවත් ආර්ය වූ දෙව්දතාණෙනි, ඔබවහන්සේගේ කල්‍යාණමිත්‍ර වූ උපකාරය නොලබන්නට මා තවමත් නිකම්ම නිකම් කුමාරයෙක් විතරයි. හැබැයි හරි පුදුමයි… කිසි වගක් නැතුව අප පියාණන් මා හට රජකම පැවරුවා!” දෙව්දත් නිහඬව අසා සිටියේය. අජාසත් නිරිඳුන්ගේ ඉරියව් මැනැවින් පිරික්සීය. දෙව්දත් වාසය කළේ කිසියම් බියකිනි. භාග්‍යවතුන් වහන්සේගේ සව්වෙකු විසින් කොයි මොහොතක හෝ අජාසත් රජුන්ව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදවතියි යන සිතුවිල්ල නිරතුරුව තම සිතෙහි හොල්මන් කළේය. එනිසාම තෙරුවන් කෙරෙහි අපැහැදවීම දෙව්දතුන්ගේ මූලික අභිප්‍රාය විය. “නැත මහරජතුමනි. ඔහු රජකම අත්හැරියා නොවේ! … අත්හරින්නට සිදුවුණා…. ඇයි ඔහු පෙනී සිටියේ මගඵලලාභියෙක් වශයෙන් නෙව. එනිසා එයට ගැලපෙන අයුරින් කරන්නට එපායැ… එහෙත් මහරජ, ශ්‍රමණ ගෞතමයන්ගේ බුද්ධත්වය ගැන මම දනිමි. කවර මොහොතක හෝ මෙම මාලිගයේ විප්ලවයක් ඇතිවෙනු ඇත. ඔබ මරණයට පත්වනු ඇත. දහම දුටුවායැයි කියන ඔබ පියාණන් යළි රජවනු ඇත. එ් නිසයි ඔහු සිරකළ යුතුයි කියා මා කියුවේ….” “එසේය… මා කළණ මිතුරු දෙව්දතාණෙනි, ඔබවහන්සේගේ චිත්ත බලය නම් අසිරිමත් ය. එනිසායි මා දැන් මගධේශ්වරයන් බවට පත්ව සිටින්නේ…” “භවත් මහරජ, මා නිරතුරුවම කල් යවන්නේ මෙත්තා චේතෝ විමුක්තියෙනි. අහෝ! මා ශ්‍රමණ ගෞතමයන් ළඟ පැවිදි වූයේ චතුරාර්ය සත්‍යය අවබෝධය උදෙසාමයි. එහෙත් මට පසක් වුණා… ශ්‍රමණ ගෞතමයන් තුළ කිසි බුද්ධත්වයක් නැහැ. ඔහු ළඟ පැවිදි වූ නිසා මා එ් සියලු රහස් දැනගත්තා. මාත් ධර්මය සොයමින් ආර්ය පර්යේෂණයෙහි නියැලුණා. එ් තුළිනුයි ඔහුගේ සියලු ශඨකපටකම් මා සොයාගත්තේ….” විවර කරගත් දෑසින් යුතු අජාසත්වයන් දෙව්දතුන්ගේ මෙම අද්භූත විග්‍රහය කෙරෙහි නොඉවසිල්ලෙන් මෙන් බලාසිටියේය. “මහරජ, එ් එසේමැයි…. ශ්‍රමණ ගෞතමයන් හට කලකට පෙර සුවිශේෂී ආචාර්ය දෙපළක් මුණගැසුණා. එ් තමයි ආලාරකාලාමත්, උද්දක රාමපුත්රත්. මොහු ඉගෙන ගත්තේ ඔවුන්ගෙන්…. එ් දෙදෙනා දැන් ජීවතුන් අතර නැහැ. එම ආචාර්යවරුන්ගෙන් ශ්‍රමණ ගෞතමයන් ගන්ධාරී – මණිකා නමින් ඇති සුවිශේෂී ගුප්ත විද්‍යාවන් ඉගෙන ගත්තා…. හහ්! දැන් කියනවා මොහුට ගුරුවරයෙක් නැතිලු…! තනියම අවබෝධ වුණාලු…!” “ ඕ… හෝ….! එතකොට ආර්ය වූ දෙව්දතාණෙනි, අර නාලාගිරියන් පැරදී ගියේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ විශේෂයක් නිසා නොවේ… එ්…?” “එසේය මහරජ… එය තනිකරම ගුප්ත බලයෙන් කළ දෙයක්… හැබැයි මා දිනක් ඔබගේ ඔඩොක්කුවෙහි නාගයෙකු වේශයෙන් සිටි බව මතකද? නාගයන් ඇඟ දවටා ගත් කුමරෙකුගේ වේශයෙන් ඔබ ඉදිරියේ පහළ වූ බව මතකද?” “එසේය… මේ දැනුත් මා ගත කිළිපොලා යයි.” “සුවපත් වේවා! මහරජ. මා එ් කළේ ගන්ධාරී – මණිකා ආදී විද්‍යාවකින් නොවේ. තනිකරම ධ්‍යාන බලයෙන්… මහරජ, මට හොඳින් පෙනේ… තුන් කල්ම පෙනේ. නොබෝදා ම මා බුද්ධත්වයට පැමිණෙන්නට නියමිතයි… හිහ්… හිහ්… හී…. එදාට මහරජ, අර ත්‍රිවිධ ප්‍රාර්ථනාවන් සමෘද්ධ වන්නේ ඔබේ පියාණන් හට නොව ඔබටයි…. හිහ්… හිහ්… හී….” අජාසත් නරපති තෙමේ අපමණ බැති පෙමින් යුතුව බිම දිගා වී දෙව්දත්ගේ දෙපා සිප ගත්තේය. දෙව්දත් විසින් අජාසත් රජුන්ව වසඟ කරන ලදී. නිමල දහම දත් ගෞතම බුදු සසුන හඳුනන සෙන්පතිවරුන් බලයෙන් පහ කෙරිණ. දෙව්දත් පාක්ෂිකයන් හට නව තනතුරු ලැබිණ. දෙව්දතුන් උදෙසා මහ වෙහෙරක් ගොඩනැඟිණ. ඉතා නිර්මල වූ පිවිතුරු නිවන් මඟ දෙව්දතුන් වෙතින් ලැබෙන බවත්, දෙව්දතුන්ගේ ඍජු උපදේශ මත වහා අවබෝධ කරගත හැකි බවත් මගධය පුරා පැතිර ගිය අලුත්ම ආරංචියයි. බලවත් ප්‍රසාදයට පත් අජාසත් රජු විසින් නිතිපතා පන්සියයක් කරත්ත පිරවූ දානෝපකරණයන් දෙව්දත් උදෙසා යවන ලදී. දිනක් දේවදත්ත දර්ශනය පිණිස රජු පිටත්ව ගියේය. “අපගේ ආර්ය වූ දෙව්දතාණෙනි…, සත්තකින්ම මා ඉතාමත් සතුටුයි. යළිත් ඔබවහන්සේ වෙතින් ඉර්ධි ප්රාතිහාර්යය දකින්නට… මෙතරම් මහා බලසම්පන්න වූ ඉර්ධි බලයක් සඟවාගෙන සිටින්නේ මන්ද? ඔබවහන්සේ මේ මගධ රාජ්‍යයෙහි ඉර්ධි ප්රාතිහාර්ය දක්වා සැබෑ බුදුහු කවරහුදැයි ලොවට පෙන්වා දෙන සේක්වා!” දේවදත්තයන් හරිබරි ගැසී වාඩි වූයේය. උගුරෙහි රැල්බුරුල් හැරියේය. දෑස පියාගත්තේය. පද්මාසනයෙන් නොසෙල්වී වාඩිවී සිටියේය. ධර්මචක්ර මුද්‍රාවෙන් දෑතෙහි ඇඟිලි විදහා දැක්වීය. “සියලු සත්වයෝ සුවපත් වෙත්වා…! භවත් මහරජ, ඔබට තවමත් නොතේරේ. ඔය ගන්ධාරී – මණිකා විද්‍යාවන් හරී බලවත්. එ් තුළින් ඕනෑම ප්රාතිහාර්යයක් කළ හැකියි. එනිසා මාගේ ශ්‍රාවකයන් මා හික්මවන්නේ හුදෙක් අවබෝධය පිණිසමයි. මක් නිසාද යත්; හැමට හිත සුව පිණිසය. ලෝකානුකම්පාව පිණිසය. මාගේ සිතෙහි බලවත් පැතුමක් තිබේ. එනම් ලෝ සතුන් දුකින් නිදහස් කරගන්නට පළමු ශ්‍රමණ ගෞතමයන්ගෙන් නිදහස් කරගත යුතුයි. මා බුද්ධත්වයට පැමිණ සිහනද පතුරුවන දිනය ඈතක නොවේ…! ශ්‍රමණ ගෞතමයන් මා සමඟ මුහුණට මුහුණලා ධර්ම සංවාදයේ නොයෙදෙන්නේ මන්ද? මගධ රාජ්‍යය අත්හැර කෝසල රාජ්‍යයට නික්ම ගියේ මන්ද? ඔහුගේ ඉර්ධි බලය ඔත්පල වී ඇති අයුරු බලන්න. මෙතරම් ඉර්ධි ප්‍රාතිහාර්යයෙන් සරු වූ ශ්‍රමණ ගෞතමයන් තම මගඵලලාභී ශ්රාවකයා දකින්නට සිරගෙදරට නොඑන්නේ මන්ද? මහරජ,… මා මෙතෙක් උත්සාහ ගත්තේ ශ්‍රමණ ගෞතමයන්ව සිරගෙදරට කැඳවා ගැනීමටයි. එ් සැණෙකින්ම අපට ඔහුවද සිර කළ හැකියි.” “අහෝ! ආර්ය වූ දෙව්දතාණෙනි, ශ්‍රමණ ගෞතමයන් මා හට වරදක් කොට නැත. අපගේ රාජ්‍යයේ කිසිවෙකුට හෝ වරදක් කොට නැත.” “භවත් මහරජ, ශ්‍රමණ ගෞතමයන් ඔබගේ රාජ්‍යයේ කිසිවෙකුට හෝ වරදක් කොට නැත කියා කීවත් ඔබට වරදක් කොට තිබේ!” “මො… මොනවා….? මා එ් මොකුත් දැනසිටියේ නැහැ…” “සුවපත් වේවා! හිහ්… හිහ්… හී…. භවත් මහරජ, එ් ඔබ දැන නොසිටියේ ඔබ මව්කුස සිටි නිසාය. ඔබ මව්කුසේ සිටි කල ඔබේ මෑණියන්ව නොමඟ යැව්වේ ශ්‍රමණ ගෞතමයන් විසින්. පීතෘ ඝාතක දරුවෙකු උපදින බවත්, එනිසා ඔහුගෙන් හානි සිදුවෙන බවත් බිම්බිසාරයන් හට පැවසූයේ වෙන කවුද? ඉන්පසු…. ඔබ මෑණියන් අර ගිජුකුළු පව්ව පාමුල මිගදායට පැමිණ අඹගසක සිය කුස අතුල්ලා ඔබ මරන්නට වෙහෙස ගත්තේ මක් නිසාද? මද්දකුච්ඡි මිගදාය නමින් දැන් එය හඳුන්වන්නේ ඇයි? හිහ්… හිහ්… හී…. දැන් ඔබට තේරෙනවාද? ශ්‍රමණ ගෞතමයන් කවුරුද කියා…” අජාසත් රජු හට දහඩිය දමන්නට විය. දෑස් ලොකු වී රතු වී ගියේය. රෞද්‍ර පෙනුමක් දිස්විය. වේගයෙන් සුසුම් හෙළුවේය. “භවත් ආර්ය දෙව්දතාණෙනි, මා විසින් දැන් කළ යුත්තේ කුමක්ද?” “මහරජ, ශ්‍රමණ ගෞතමයන් හට දඬුවම් කළ යුත්තේ ඔබ නොව මා විසිනි. පියාණන් හට දඬුවම් කළ යුත්තේ මා නොව ඔබ විසිනි. එනිසා මා හට ඔබගෙන් උදව්වක් අවශ්‍යයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා…! අතිදක්ෂ වූ දුනුවායන් පන්සියයක් මා හට දෙනු මැනැව. කළ යුතු දෙය මම දනිමි.” අජාසත් රජු දෙව්දතුන්ගේ ඉල්ලීම ඉටු කරන ලෙස වහා නියෝග කළේය. එදා සිට අජාසත් රජු සිය මෑණියන් කෙරෙහි දැක්වූ ආදරයද නැති වී ගියේය. සිරමැදිරියේ සිටින පියාණන් බැලීමට යන මෑණියන්ගේ ගමන ද කෙමෙන් කෙමෙන් වැළකී ගියේය. දිනක් හදිසියේම අජාසත් රජු විසින් දෙව්දත්ව මාලිගයට කැඳවා ගන්නා ලදී. “ආර්ය වූ දෙව්දතාණෙනි, මහා අද්භූත දෙයක් සිර මැදිරිය තුළ සිදුවෙනවා. දැන් මා පියාණන්ට ආහාර නවතා සෑහෙන දිනක් වෙනවා. නමුත් ඔහුට කිසි අපහසුවක් නැහැ. ඔහු සතුටින් ඉන්නවා. ඔහු ගිජුකුළු පව්ව දෙස බලා සිටිනවාලු…! ශ්‍රමණ ගෞතමයන් හා කුමක් හෝ සම්බන්ධයක් තිබෙන හැඩයි… ඔහු මොනවාදෝ කියමින් සිටිනවාලු…!” දෙව්දතුන්ගේ සංසුන් ඉරියව් සැණෙකින් පහවී ගියේය. දෑසින් ගිනි පුපුරු නික්මෙන්නාක් මෙන් විය. වහා සිය ස්වරූපය සඟවා ගත් දෙව්දත් ඉතා ශාන්ත ලීලාවෙන් පිළිතුරු දුන්නේය. “ආ… එහෙමද? ….. සියලු සත්වයෝ සුවපත් වෙත්වා….! භවත් මහරජ, එය එසේ නොවිය යුතුයි. නොවැරදීම ශ්‍රමණ ගෞතමයන් ගුප්ත විද්‍යා බලයෙන් තොප පියාණන්ගෙන් ජීවිතය රකිනවා…. තොපට එරෙහිව බලවත් කුමන්ත්‍රණයක් ගුප්ත විද්‍යා බලයෙන් සිදුවෙන හැඩයි…! ශ්‍රමණ ගෞතමයන් සිරමැදිරියේ සිටින තොප පියාණන්ව කිසියම් භයානක දෙයකට යොමු කරනවා. ටික දිනකින් එහි ප්‍රතිඵල ලැබෙන්නේ ඔබටයි… ඔව්… හොඳයි බලමු…. හිහ්… හිහ්… හී…. ඔන්න බුදුවරුන්නේ හැටි! හරි… බලමු… දිනන්නේ ඔය බුදුන්නේ බලයද? මේ ආර්ය වූ දෙව්දතාණන්ගේ බලයද කියා… මහරජ, තොප මෙසේ කළ යුතුයි…. අදින් පසු බිම්බිසාරයන් සුවසේ සක්මන් නොකරනු ඇත. එක්තැනක සිට ගිජුකුළු පව්ව දෙස බලා නොසිටිනු ඇත. එක් තැනක වාඩිවී නොසිටිනු ඇත. ශ්‍රමණ ගෞතමයන් සමඟ රහස් බස් නොදොඩනු ඇත….. එසේය…. ඔහුගේ යටිපතුල් පලා ලුණුත්, ගොරකාත් දමා ඇවිදින විට ශ්‍රමණ ගෞතමයන් පැමිණ ඔහු බේරාගන්නා හැටි අපි බලා සිටිමු. හිහ්… හිහ්…. හී…..” කෙළෙහිගුණ දක්වන්නට ගොස් අසත්පුරුෂයෙකුගේ ග්‍රහණයට හසු වූ අජාසත්තයන් කෙමෙන් කෙමෙන් ළං වන්නේ ආනන්තරික පාප කර්මය උදෙසාය. එහෙත් මෙතරම් විනාශයක් කරා තමාව ගෙනයන බව ඔහු නුදුටුවේ කළණ මිතුරන් හඳුනාගත නොහැකි නිසාවෙනි. දෙව්දතුන්ගේ ඕනෑම තීරණයක් අන්ධානුකරණයෙන් ක්‍රියාත්මක කිරීමට අජාසත් සැදී පැහැදී සිටියේය. එදින මාළිගයෙහි අමුතු ප්රබෝධයක් ඇති වී තිබුණි. තැන තැන සීනු හඬ නැංවී ගියේය. රාජ ස්තුති ගීතිකා ගැයෙන්නට පටන් ගත්තේය. විශේෂයෙන් සාදන ලද කැවිලි පෙවිලි සංග්‍රහයන් දෙව්දතුන් වෙතද පිටත් කොට යවන ලද්දේය. ඉතා ශෝභාසම්පන්න සිඟිත්තෙක් රැගෙන රජබිසව උඩුමහලට පැමිණියාය. අජාසත් රජතුමා තම බිළිඳු කුමරු දෙස බලා සිටියේය. ඔහුගේ සිතෙහි මහත් වූ ස්නේහයක් ජනිත විය. මහනෙල් මල් පෙත්තේ සිනිඳුබව සිහි කළ සිඟිති කුමරු දෝතට ගත් අජාසත් රජතුමා ආදරයෙන් සිප ගත්තේය. තම බිළිඳාගේ රෝස පැහැති කම්මුල් අජාසත්තයන්ගේ මුහුණ මතට සිනිදු සිසිලක් ලබාදුණි. හේ මහත් ආදරයෙන් තම පුත්රුවන සිප ගත්තේය. මෙය බලාසිටි මව්බිසව එක්වරම ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය. එවිට හිස ඔසොවා මෑණියන් දෙස බැලූ රජු යළිත් තම පුතු දෙස බැලුවේය. “අනේ… පින්වත් මහරජතුමනි,… ඔබේ අම්මා දෙස ඔහොම රවා බලන්න එපා…! දරු සෙනෙහස කුමක්දැයි දැන් ඔබට තේරෙනවා… ඉහි… ඉහි… ඉහි…” “මෑණියනි, කුමක්ද ඔබ මේ කියන්නේ…..?” “ඉහි…. ඉහි…. ඉහි…. අනේ මාගේ පුත්‍ර වූ මහරජතුමනි, ඔබ පියාණනුත් ඔය විදිහටමයි ඔබට ආදරය කළේ…. නමුත් මෙතෙක් ඔබ අසා තිබුණේ අසත්‍යයක් මිස සත්‍යය නොවේ… අයියෝ….! මා හට මෙතෙක් එය පවසන්නට අවස්ථාව නැතිවුණා. ඔබ මා කුසෙහි පිළිසිඳගෙන සිටිද්දී මට දොළදුකක් ඇතිවුණා. එ් ඔබේ පියා වන බිම්බිසාරයන්ගේ උරය පළා රුධිරය ස්වල්පයක් බීමට යි…. ඉන්පසු බ්‍රාහ්මණයන් කැඳවා එයට හේතුව විමසුවා…. ඔවුන් තමයි පවසා සිටියේ මා හට ලැබෙන්නේ පීතෘඝාතක දරුවෙක් කියා… ඉන්පසු මා ඔබපියාණන් සමඟ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ගියා. පියාණන් ගිජුකුළු පව්වට නගිද්දී මා පහළ සිටියා. මා හට මහත් සිත් වේදනාවක් හටගත්තා. මා සිහි විකලෙන් මෙන් ගොස් අඹගසක කුස උලද්දී සේවකයන් පැමිණ එයින් බේරාගත්තා. භාග්‍යවතුන් වහන්සේත්, ඔබේ පියාණනුත් තමයි දරුවා පිළිගන්න කියා මා හට පැවසුවේ…. එනිසා මා දරුවා රැකගත්තා. අනේ… රජතුමනි, මා හට මතකයි ඔබ කුඩා අවදියේ ඔබේ සුළැඟිල්ලේ සැරව ගෙඩියක් හටගත්තා…. ඔබ වේදනාවෙන් හැඬුවා… එදා රාත්‍රියේ ඔබේ පියාණන් ඔබව උරයෙහි රඳවා නළවමින් උඩු මහලේ සක්මන් කරමින් සිටියා. ඔබේ සුළැඟිල්ල ඔහුගේ මුවෙහි රුවාගෙන සිටිද්දී ඔබට නින්ද ගියා…. එම සුළැඟිල්ල මුඛයේ තිබියදීම සැරව ගෙඩිය පිපිරුවා…. ඉහි…. ඉහි… ඉහි…. ඔබේ පියාණන්ගේ ආදරය බලන්න…. ඔහු එ් සැරව ඉවත් කළේ නෑ. ඔබ අවදිවේය යන බියෙන් එය ගිල්ලා…! ඉහි… ඉහි… ඉහි…. ඔබ සුවසේ නිදාගත්තා…. අජාසත් රජු සිටි පියවරෙන්ම තම මෑණියන් දෙස බලා සිටියේය. ඔහුගේ හදවතෙහි ඉතා පිවිතුරු වූ පිය සෙනෙහස මතුවී ගියේය. ඔහු සුසුම් හෙළුවේය. තමා හට බලවත් වරදක් සිදු වී ඇති බව පසක් වෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත. තවදුරටත් දේවදත්තයන්ගෙන් උපදෙස් ගැනීමෙන් පලක් නොවන බව ඔහුට පසක් විය. ඔහු තනිවම තීරණය ගත්තේය. “එම්බා ඇමතිය… වහා එන්න. සිරගෙදරට ගොස් මපියාණන් නිදහස් කරන්න. මෙහි කැඳවාගෙන එන්න. අද මපියාණන් ඔහුගේ පියකරු මුණුබුරා දැක ආදරයෙන් සිප ගනු ඇත!” “භවත් මහරජතුමනි, සිරගෙදරින් පණිවිඩකරුවෙකු පැමිණ සිටී!” පණිවිඩකරු පැමිණියේය. බිම දිගාවී රජුට වන්දනා කළේය. “භවත් මහරජාණන් වහන්ස, විශේෂ සැළකිරීම යි. බිම්බිසාර රජතෙමේ ස්වල්ප මොහොතකට කලින් මියගියේය!” පවිටු මිතුරු ආශ්රයෙන් අජාසත් රජුට හිමි වූ ඛේදවාචකය ඇසුරෙනි. රචනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
අනේ…. ඔබේ පියාණන් සැබෑ ලෙසම ඔබට දරු සෙනෙහස දැක්වූවා. දැන් ඔබ මේ දරුවාට දක්වන සෙනෙහස වගේමයි. ඉහි…. ඉහි… අයියෝ…!”