ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි වූ සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහ සෑ රජුන් 2016-06-11 දින ගෞතම බුදු සසුනට පූජා කරන ලදී. උත්තම වූ සෑ රජුන් තුළ ශ්‍රීමත් සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා තිස් තුන් නමක් තැන්පත් කළ අතර නිකෙලෙස් හදමඩල දරා වැඩ සිටි උතුම් මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා විසි නමක් පමණ තැන්පත් කරන ලදී. සුන්දර සිතුවම් වලින් විසිතුරු වූ ධාතු ගර්භය සුවඳ සුණු අතුරා සඳුන් ද්වාරය වැසීමෙන් අනතුරුව කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදු වුණා. උතුම් වූ සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ රජාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ වන්දනාමාන උදෙසා පූජෝපහාර උදෙසා ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ විරාජමානව වැඩසිටිනවා.

සෑ රජාණන් වහන්සේ ඉදිකරන්නට මුල් ගල තැබූ දිනයේ පටන් නොයෙක් අයුරින් බොහෝ අය තමන්ගේ ශක්ති පමණින් උපකාර කළා. ඇතැමෙක් මුදලින් ආධාර කළා. ශ්‍රමයෙන් උපකාර කළා. පූජා භාණ්ඩ සකසලා දුන්නා. ධාතූන් වහන්සේලා ලබා දුන්නා. දිවා රෑ දෙකේම වෙහෙස මහන්සි වුණා. අව් වැසි නොබලා කුසගිනි නොබලා පිපාසය නොබලා සැදැහැ සිතම පෙරටු කරගෙන බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සෑ රජුන් තනන්නට උපකාර කළ බොහෝ අය සිටිනවා. දුරින් ළඟින් හිඳ උපකාර කළ ඒ සියළු දෙනාටම මහ සෑ පූජාවෙන් අප විසින් රැස් කළ සියළු පින් සම සේ අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදු සසුනේ දී ම සසර දුකෙන් අතමිදෙත්වා.

රැස් කරන ලද අපමණ පුණ්‍ය ධර්මයන් මෙය දකින අසන සියළු දෙනා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා….!!! සසර දුක් කෙලවර කරගනිත්වා….!!!

ඔබ සැමට සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ පිහිටයි….!