ශ්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට වසර 2600 ක් සපිරීම නිමිතිකරගනිමින් දක්ෂිණ ලංකාවට අධිගෘහිතව වැඩ වසන ශ්‍රී කන්දකුමාර දිව්‍යරාජයාට පුණ්‍යානුමෝදනා පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් සූරියවැව මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි අභිනවයෙන් ඉදිකරන්නට යෙදුණු ශ්‍රී කන්දකුමාර මහා සෑ රදුන් ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ පින්බර මැදින් පුන් පොහෝ දින පැවැත්විණි.

සැදැහැවතුනගේ නොමඳ ශ්‍රම ධන පරිත්‍යාගයන්ගෙන් නිමැවුනු මෙම අසිරිමත් සෑ රජාණන් වහන්සේ සැදැහැවතුනගේ ශ්‍රද්ධාවේ ප්‍රතිමූර්තියක් බඳුය. උසින් අඩි සියයක් වූ මෙම සෑ රජාණන් වහනසේ තුළ ගෞතම මුනිරජුන්ගේ උතුම් ශ්‍රී සර්වඤ ධාතූන් වහන්සේලාත් මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේලාත් විශාල ප්‍රමාණක් වැඩසිටිති. සෑ ගර්භයෙහි නිමැවුනු අසිරිමත් බුද්ධ ප්‍රතිමා වහන්සේට මහත් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරනා සෙයින් නිමැවුණු ශ්‍රී කන්දකුමාර දිව්‍යරාජයාගේ සොඳුරු ප්‍රතිමාවකි.

මෙසේ සැදැහැති උපාසක උපාසිකාවන් හට මහත් වූ පින්ඵල උපදවාලමින් නිමැවුනු මෙම අසිරිමත් සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජාකිරීම පින්බර මැදින් පුන් පොහෝ දින, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්ද ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ ගරු කථානායක පින්වත් චමල් රාජපක්ෂ මැතිතුමන් සහ ගරු බුද්ධශාසන අමාත්‍ය පින්වත් කරූ ජයසූරිය මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් සිදුවිණි. ශ්‍රී කන්දකුමාර මහා සෑ රජාණන් වහන්සේ හාත්පස විචිත්‍ර මාලාදාමයන්ගෙන් සරසමින් සොඳුරු ධජ පතාකයන්ගෙන් සරසමින් ගුවන් ගැබෙන් මල් වරුසා වස්සවමින් ප්‍රණීත අෂ්ඨපාන ගිලන්පසින් හා නොයෙකුත් පූජාවන්ගෙන් මුනි රජුන් පුදුදෙමින් පැවති අසිරිමත් ශ්‍රී කන්දකුමාර මහා සෑ වන්දනාවෙන් අනතුරුව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්විණි. දෙව් මිනිසුන් හට මහත් පින්ඵල උපදවාලූ මෙම අසිරිමත් පුණ්‍ය මහෝත්සවය පසුදින පැවති සංඝගත දක්ෂිණාවෙන් අවසන් විය.

මෙම අසිරිමත් ශ්‍රී කන්දකුමාර මහා සෑරදුන් තැනවීමෙන්ද සෑ රජුන් ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයෙන් ද ජනිත වූ සියළු පින් සැදැහැවත් සියළු දෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා…!