පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් නුවරට වැඩියා නෙ. තම පියාණන් වන සුද්ධෝදන රජතුමාටත්, තම පුංචි අම්මා වන ප්‍රජාපතී ගෝතමී දෙවියටත්, තම බිසව වශයෙන් සිටි යසෝදරා කුමරියටත්, රාහුල කුමරුටත්, අන් හැමටත් කරුණාවෙන් වැඩම කළ ගමනේදී ඇති වුන පැහැදීම නිසා බොහෝ දෙනෙක් පැවිදි වුනා.

ශාක්‍ය වංශය බුදුරජුන් උපන් පරපුරයි. ඒ වගේම කෝලිය වංශය මහාමායා දේවියගේ පරපුරයි. රෝහිණී ගංගාව ඒ ශාක්‍ය කෝලිය වංශ දෙකේම ජනපදවල සුවිශාල කුඹුරු යායවල් තෙත් කරමින් ගලා බසිනවා. ඉතින් ඇතැම් ගී‍්‍රස්ම සෘතුවලදී රෝහිණී ගංගාවේ ජලය සිඳෙනවා. එකකොට ඔවුන් ඒ ජලය බෙදා ගැනීමට ගන්නා උත්සාහයේදී ඇතැම් විට කලකෝලාහල හටගන්නවා.

එවැනි කෝලාහලයක් හටගැනීමට සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ එයට මැදිහත් වුනා. අඬදබර සංසිඳෙව්වා. සාමය ඇති කළා. ඒ සතුටට ශාක්‍ය කෝළිය වංශ දෙකෙන් කුමාරවරු පන්සියය බැගින් මහණ වුනා. බුදුරජාණන් වහන්සේගේ නැන්දා කෙනෙකුගේ පුතෙක් හිටියා. ඔහුගේ නම තිස්ස කුමාරයා. මාළිගාවේ සැපට හැදුණු තරබාරු ඇඟක් තියෙන මේ තිස්ස කුමාරයාත් පැවිදි වුනා. රජකුලයෙන් පැවිදි වුන නිසා ඔහු හරි ආඩම්බරයි. තරබාරු නිසා කවුරුත් හැඳින්වූයේ ථුල්ලතිස්ස කියලයි. ‘ථුල්ල’ කියන්නේ ස්ථූල කියන එකයි. මේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ කාටවත් ගරු සරු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඤාතිකම හිතට අරගෙන වත්පිළිවෙත් නොකර මහ තෙරුන් වහන්සේලා වාඩිවෙන පුටුවල වාඩිවෙලා සැදැහැවතුන්ගෙන් සැළකිලි ලබමින් සතුටු වෙනවා.

දවසක් ඉතා සිල්වත් ගුණවත් උතුම් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. ඒ වෙලාවේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ලොකු පුටුවක වාඩිවෙලා ගාම්භීර ලීලාවෙන් සිටියා. අර උතුම් ස්වාමීන් වහන්සේ හිතුවේ වැඩිහිටි මහතෙර නමක් කියලයි. ඉතින් ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ළඟට වැඩියා. එතකොටවත් නැගිට්ටේ නැහැ. ගරුසරු කළේ නැහැ. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඇහුවා “ඔබවහන්සේට දැන් වස් කීයක් වෙනවද?” කියලා. එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ වහා නැඟිට තමන්ගේ ලාබාලකම පවසා සිටියා. එතකොට ඒ උතුම් ස්වාමීන් වහන්සේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේට අවවාද කළා.

“බොහොම වැරදියි. බොහොම වැරදියි ….. සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එහෙම නැතුව කොහොමද පැවිදි ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ?”

මේ අවවාදයට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ කිපුනා. හයියෙන් කෑ ගැසුවා. හඬා වැළපුනා. හිසෙහි අත් ගසා ගත්තා. හඬ හඬාම බුදුරජාණන් වහන්සේ ළඟට වේගයෙන් ගියා. ගිහින් අර ස්වාමීන් වහන්සේට විරුද්ධව පැමිණිලි කළා. කරුණු කාරණා විමසා බැලූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අවවාද කොට වදාළා.

“පින්වත් තිස්ස, බොහොම වැරදියි…. බොහොම වැරදියි …. සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගුරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕනැ. එහෙම නැතුව කොහොමද පැවිදි ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ? දැන් ඔබ ඒ ස්වාමීන් වහන්සේගෙන් සමාව ගන්න.”

එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයටවත් අවනත වුනේ නැහැ. එයාට මහා අසාධාරණයක් වුනා කියලයි හිතාගෙන ඉන්නේ. මේ රළුපරළු ගතිගුණ නිසාම ගුණවතුන්ගේ බසට අවනත නොවුන නිසාම අතීත සංසාරෙදිත් මේ කෙනා මහ කරදරවලට වැටිලා තියෙන බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා වඳාළා. එයට කලින් මේ ගාථා දෙකෙන් කාටත් වැදගත් වෙන ධර්මයක් ඉතා ලස්සනට වදාළා.

අක්කොච්ජි මං අවධි මං අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති වේරං තේසං න සම්මති

මොහු බැන වැදුනා මා හට – පහරත් දුන්නා මා හට
මාව පරදවා මා සතු – දෙයත් උදුරගති කියමින්
වෛරය මතු වෙන විලසට – යළි යළි මෙය සිතනා විට
ඔවුන්ගෙ වෛරය කිසිදා – නැත සංසිඳිලා යන්නේ

අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මේ
යේ තං න උපනය්හන්ති වේරං තේසූපසම්මති

මොහු බැන වැදුනා මා හට – පහරත් දුන්නා මා හට
මාව පරදවා මා සතු – දෙයත් උදුරගති කියමින්
වෛරය මතු වෙන විලසට – නොසිතන විට කිසි කලකදි
ඔවුන්ගෙ පවතින වෛරය – සංසිඳෙමින් නැතිවන්නේ


එතැන සිටිය ස්වාමීන් වහන්සේලාට මේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිත කථාව අසන්නට කැමත්තක් ඇතිවුනා. මහා කාරුණිකයන් වහන්සේ ඒ අතීත සිදුවීම කියා දුන්නා.

ඔන්න ඈත අතීත කාලෙක බරණැස් නුවර කාලදේවලක නමින් තවුසෙක් හිටියා. ඔහු හිමාල වනාන්තරයේ භාවනා කරන කෙනෙක්. බොහෝ කල් ගත වුනහම රසවත් ආහාරපාන ටිකක් වැළඳීමේ අදහසින් නගරයට ආවා. ඇවිදින් වළං හදන කෙනෙකුගේ ශාලාවක නතර වුනා. එදාම නාරද නමින් තවත් තවුසෙක් ඒ කුඹල් හලේ රාති‍්‍රය ගත කිරීමට පැමිනුනා. කුඹල්කරුවාගෙන් නවාතැන් ගැනීමට අවසර ඉල්ලූවා. එතකොට කලින් පැමිණි තවුසාගෙන් අසා ඔහු කැමැති නම් නවතින්න කියලා කුඹල්කරු පැවසුවා. ඉතින් නාරද තවුසා තමාට කලින් පැමිණි කාලදේවලගෙන් අවසර අරගෙන ඒ ශාලාවේ නැවතුනා. සුහද කථාබහේ යෙදුනා. දෙදෙනාම නින්දට ගියා. නාරද තවුසා නිදාගනිද්දී කාලදේවල තවුසා ඒ කිට්ටුවෙන්මයි නිදාගත්තේ. නමුත් ? යාමයේ ඔහු එතැනින් නැගිට ශාලාවේ දොරකඩ ළඟ හරහට නිදාගත්තා. මැදියම් රැයේදී නාරද තවුසාට එළියට යෑමේ ඕනකමක් ඇතිවුනා. ඉතින් ඔහු නැගිට ශාලාවෙන් පිටතට යද්දී දොර හරහට නිදා සිටි කාලදේවල තවුසාගේ හිස බැඳි ජටාව පෑගුනා. ඔහු මහ හඬින් කෑ ගැහුවා. “එයි … මොකද ඔය? මොකද මගේ ජටාව පෑගුවේ?”

“අනේ පින්වත් තවුසාණෙනි, ඔබතුමා ඔතැන සැතපී ඉන්න බව මා දැනගෙන හිටියේ නෑ. මට සමාවෙන්න” කියා එළියට ගියා. එතකොට කාලදේවල තවුසා මෙහෙම සිතුවා. “දැන් මේ පුද්ගලයා එළියට බසිද්දී මා ගැන නොසළකා මාව පාගා ගෙන ගියා. දැන් ආපසු එද්දීත් ආයෙමත් මාව පාගාවි” කියලා හිස තිබූ පැත්තට පා දමාගෙන පා තිබූ පැත්තට හිස දමාගෙන නිදාගත්තා. නාරද තවුසා ඇවිදින් කල්පනා කළා “මේ පැත්තෙන් ගියොත් මෙතුමාගේ හිස ආයෙමත් පෑගෙන්න පුළුවනි. ඒ නිසා පා තිබෙන පැත්තෙන් යන්න ඕන” කියලා ඒ පැත්තෙන් යද්දී ආයෙමත් ඔහුගේ පයට ජටාව පෑගුනා. කාලදේවල තවුසා කෝපයෙන් ගිගුම් දුන්නා.

“නුඹ හිතාමතාමයි මේ දේ කළේ. ආයෙමත් මගේ බෙල්ල පෑගුවා. දැනගනින් මා නුඹට කරන දේ”

“අනේ, පින්වත් තවුසාණෙනි, මට සමාවුව මැනැව. මා මේ ගමන සිතුවේ ඔබතුමාගේ පා ඇති තැනින් යන්නයි. නමුත් ඔබතුමා ඒ පැත්තට හිස දමා සැතපී සිටින බව මා දැනසිටියේ නැහැ. අනේ මට සමාවුව මැනැව.”

“සමාව? … නුඹ දැනගනින්. නුඹ මගේ තරම නොදැනයි හිස පෑගුවේ. නුඹට හෙට හිරු දකින්න ලැබෙන්නේ නෑ. හෙට හිරු උදාවෙන විට නුඹේ හිස සත්කඩකට පැළෙනවා පැළෙනවාමයි.” කියලා පොළොවට අත් ගහගහා ශාප කළා.

නාරද තාපසතුමා නිශ්ශබ්ද වුනා. ඇතුළට ගිහින් වාඩිවුනා. භාවනා කළා. විමසලා බැලූවා මේ නිස්කාරණේ තමන්ගේ පිටට වරද පටවලා කරපු ශාපය කවුරු කරාද යන්නේ කියලා. බලද්දී නාරද තවුසාට අවබෝධ වුනා. ‘වැරදිකාරයා කාලදේවලමයි. ඔහුගේ නපුරුකමමයි මේකට මුල. ඔහුගේ වෛර සිතමයි මේකට මුල. එනිසා හිරු නඟද්දී ඔහුගේ හිසමයි සත්කඩකට පැළෙන්නේ.’

නාරද තවුසාට කාලදේවල ගැන මහත් අනුකම්පාවක් ඇති වුනා. මේ පුද්ගලයා තේරුමක් නැතුව විපතට පත්වෙනවා. නපුරුකම නිසාමයි මේක වෙන්නේ. මං මොහුව බේරාගන්න ඕන කියලා පසුවදා හිරු උදාවීම ඉර්ධි බලයෙන් වැළැක්වූවා.

රජමාළිගාව මිදුලට රැස් වූ ජනකාය ඝෝෂා කරන්න ගත්තා. බරණැස් රජතුමාට කන්නලව් කළා.

“අහෝ දේවයන් වහන්ස, මොකක්ද මේ වුනේ. මේ කළුවර නැතිවෙන්නෙ නෑ. හිරු උදාවෙන්නේ නෑ. මොකක්දෝ වින්නැහියක් සිදුවෙලා තියෙනවා. අහෝ දේවයන් වහන්ස, මෙයින් අපව ගලවා ගත මැනැව.”

රජතුමා කලබල වුනා. කරුණු සොයා බැලූවා. අන්තිමේදී කුඹල් ශාලාවක හිමාල වනයෙන් ආව තවුසන් දෙදෙනෙකු සිටින බව දැනගත්තා. ඔවුන් සොයාගෙන ගියා. නාරද තවුසා කාරණය පැහැදිලි කළා.

“පින්වත් රජතුමනි, මාගේ අතින් වරදක් සිදුවුනේ නෑ. මා ශාලාවෙන් එළියට යද්දී මේ තාපසයා වැරදි තැනක සැතපී සිටි නිසා මා නොදැනුවත්ව ඔහුගේ හිස පෑගුනා. මා සමාව ඉල්ලූවා. ආපසු එද්දී ඔහු පා දමා සිටි පැත්තෙන් මා පැමිනුනා. ඒ වතාවෙත් ඔහු හිස දමා තිබුනේ ඒ පැත්තටයි. ආයෙමත් හිස පෑගුනා. මා ඉතාම බැගෑපත්ව සමාව ඉල්ලූවා. මොහු මට සමාව දුන්නේ නැහැ. ඒ වෙනුවට මට ශාප කළා. හිරු නැගෙද්දී මගේ හිස සත්කඩකට පැළේවා කිව්වා. නමුත් මං නිවැරදියි. හිරු නැඟුනොත් සත් කඩකට පැළෙන්නේ ඔහුගේ හිසයි. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් හිරු උදා වෙන්නට නොදී ඉන්නේ මා විසිනුයි. ඔහු මගෙන් සමාව ගත්තොත් මේ ප්‍රශ්නය සමථයකට පත්වෙනවා.”

රජතුමා කාලදේවල තවුසා ළඟට ගියා. ගිහින් ඉතා බැගෑපත් වුනා. නාරද තවුසා ළඟට ගිහින් සමාව ගන්න කියා ඉල්ලා සිටියා. මේ මෝඩ කාලදේවල, රජතුමාගේ පැමිණීම නිසා තවත් හිතට ගත්තා. තවත් ආඩම්බර වුනා. සමාව ගන්න කැමැති වුනේම නැහැ. අන්තිමේදී රජතුමාට කේන්ති ගියා. කාලදේවල බලෙන් ඇදගෙන ගිහින් නාරද තවුසාගේ දෙපා අබියස නළල තැබ්බෙව්වා. සමාව ඉල්ලෙව්වා. නාරද තවුසා සමාව දුන්නා. හිසේ ප්‍රමාණයට ලොකු මැටි ගුලියක් සිස මත තබාගෙන ගඟට බසින්න කිව්වා. හිරු උදාවෙන කොටම ඒ මැටි ගුලිය පමණක් වතුරෙන් උඩ සිටින ලෙස ගිලෙන්න කිව්වා. එතකොටම නාරද තවුසා ඉර්ධිය අත්හැරියා. හිරු උදාවුනා. කාලදේවලගේ හිස මත වතුරෙන් උඩ තිබුණු අර මැටි ගුලිය හත්කඩකට පිපිරුනා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, නපුරුකමට ලැබෙන විපාක හරි පුදුමයි. පුහු අහංකාරකමත්, ආඩම්බරකමත්, මාන්නයත් නිසා වැඩිහිටියන්ගේ අවවාද පිළිනොගන්නා අය කොතරම් ඉන්නවාද? ඔවුන් හැම තිස්සේම ජීවිතයේ අවුල් හදාගන්නාවා. වෛර බැඳගන්නවා. පළිගැනීමට මාන බලනවා. පව් පුරවා ගන්නවා. ඒ නිසා වෛර නොකර සිටීමමයි උතුම්. තමන්ට තව කෙනෙකුගෙන් සිදුවුනු අඩුපාඩු සිත සිතා නොසිටීමමයි උතුම්. වෛරය ඇති වෙන දේ නොසිතා මෙත් පැතිරවීමමයි උතුම්.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ