පින්වතුනේ, පින්වත් දරුවනේ,
සමහරු රූපය නිසා මත් වෙනවා. සමහරු සල්ලි වලින් මත්වෙනවා. තවත් අය උගත්කමින් මත්වෙනවා. තනතුරු වලිනුත් ඇතැම් අය මත්වෙනවා. මත්වෙනවා කියන්නේ හිතට ගන්නවා කියන එකයි. ආඩම්බර වෙනවා, අහංකාර වෙනවා, හිතුවක්කාර වෙනවා. මත්වුණු කෙනෙක් ඒ නිසාම විනාශ වෙනවා.
හැබැයි නුවණැති කෙනා නම් කවරදාකවත් එවැනි මෝඩ වැඩ කරන්නේ නෑ. ඒ කෙනා තමන්ට ලැබෙන හැමදෙයක්ම යහපතට හරවා ගන්නවා. දැන් ඔබ කියවන මේ කතාවත් ඒ වගේ එකක්. යහපත, අයහපත දෙකම ගැන කියවෙනවා. යහපතෙන් සැප ලැබීමත්, අයහපතින් දුක ලැබීමත් උදාකර ගන්නේ තමන් විහින්මයි.
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී කුරු කියන රටට වැඩියා. වැඩම කරලා කම්මාස්සදම්ම නම් කුඩා නගරයේ වාසය කළා. දිනක් බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සමවැදී ලෝ සතුන් දෙස බැලුවා. ඒ මහාකරුණා දෙනෙතට අහිංසක අම්ම, තාත්ත දෙදෙනෙකුව පෙනුණා. ඒ තාත්තාගේ නම මාගන්දිය බ්‍රාහ්මණතුමා. අම්මාගේ නම මාගන්දියා බ්‍රාහ්මණතුමිය. බ්‍රාහ්මණ කිව්වේ උසස් කුලයකටයි. ඉතින් මේ දෙදෙනාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව හොඳින් පිහිටලා තිබුණා. අනාගාමී අවස්ථාව දක්වා තමන්ගේ නිවන් මග දියුණු කර ගැනීමේ වාසනාව පිහිටලා තිබුණා. පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ අන්න ඒ වාසනාව මේ මව් පිය දෙදෙනා තුළ තියෙනවා දැක්කා.
මාගන්දිය බමුණාත්, බැමිණියත් තමන් එතරම්ම වාසනාවන්ත බව දැනගෙන සිටියේ නැහැ. මේ දෙදෙනා සිතුවේ ලස්සනම ලස්සන රූ සපුවක් තියෙන දියණි කෙනෙකුන් ලබන්නට තරම් වාසනාවන්ත බවයි. ඒ කියන්නේ මේ දෙදෙනාට ලස්සන දියණියක් හිටියා. දුටුවන්ගේ නෙත් සිත් වසඟ වෙනවා. එම දියණිය ඉතාමත්ම සෝභා සම්පන්නයි. මේ ගැන මව්පියන් දෙදෙනාට හරි සතුටුයි. රුව ඇති දුවක් සිටිනවා නම්, ඒ පවුලට වාසනාව කැඳවනවා කියලයි මේ දෙදෙනා කල්පනා කළේ.
මාගන්දිය බමුණා තම රූබර දියණියට ඊටත් වඩා ලස්සන රූ සපුවක් ඇති තරුණයෙකු සොයන්නට මහත් වෙහෙසක් ගත්තා. නමුත් දුවගේ රූපෙට ගැලපෙන හැඩකාරයෙක් පේන තෙක් මානයකවත් මුණගැසුණේ නැහැ. මාගන්දිය බමුණා හැමතිස්සේම කල්පනා කළේ තමන්ගේ ලස්සන දෝණිට එවැනිම තරුණයෙක් ලැබුණු දවසට ආඩම්බර වෙන්නට පුළුවන් බවයි.
එදා මාගන්දිය බමුණා තමන් ගිනි පුදන තැනට ගියා. හරි පුදුමයි. නුග ගස් සෙවණේ ඉතාමත් ලස්සන රූප ශෝභාවයෙන් යුතු තරුණ ශ්‍රමණයන් වහන්සේ නමක් භාවනා කරමින් සිටිනවා.
‘මොනවා…. කවුද මේ….? හැබෑම ලස්සනයි. මෙච්චර කාලෙකට මෙවැනි කඩවසම් තරුණයෙක් මං දැකල නෑ. රන්වන් පාටයි. දිලිසෙනවා. උස මහත කදිමට ගැලපෙනවා. මෙවැනි රූප ශෝභාවයක් ඇති කෙනෙක් අපේ දූට විවාහ කර දෙන්නට ඇත්නම් මොන තරම් අගේද?’
මාගන්දිය බමුණා ඒ දුටුවේ බුදුරජාණන් වහන්සේවයි. ඉතින් ඔහු බුදුරජාණන් වහන්සේ දෙස ඇස පිය නොහෙලා බලා සිටියා. ඔහුට හරිම සතුටුයි. තමන්ගේ දියණියට ගැලපෙන සහකරුවා දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා වගෙයි.
මාගන්දිය බමුණා පුදුමයෙන් පියවර කීපයක් ආපස්සට ගියා. නැවත හැරී බල බලා කෙලින්ම ගෙදර ගියා. ඔහුට හරිම හදිස්සියි. ඔහු මාගන්දියා බැමිණිය සොයා ගෙන ගියා. ඔහු කඩිමුඩියේ වේගයෙන් කතා කළා.
“හාමිනේ…. හාමිනේ….. හරි….. හරි…. හරියටම හරි…. මම හිතපු දේ හරිගියා….. අවුරුදු ගණනක් බලා ගෙන සිටපු සුදුස්සා මට හම්බ වුනා. හාමිනේ…. වැඩිය කතා කරන්න වෙලාව නෑ. දිව්‍ය ලෝකයෙන් බිමට බැහැලා වගෙයි. ලස්සන කඩා හැලෙන තරුණයෙක් මට මුණගැහුණා. ඒ තරුණයා පිටත් වෙන්න කළින් අපි යන්න ඕන. හාමිනේ…. ඉක්මන් කරන්න ඕන. කෝ දුව..? මාගන්දියා… දුවේ…, අපි හරි වාසනාවන්තයි. ඔයාට ගැලපෙන තරුණයෙක් මට මුණගැහුණා. ඇත්තෙන්ම ඔයාගේ රූපයවත් ඒ තරම් ලස්සන නෑ. දෙව් ලොවින් ඇවිල්ලා වගෙයි. එතරම් ලස්සන කෙනෙක් කැමති වෙන්නෙ ලස්සන දේකටමයි. ඒ නිසා දුවේ…, දැන් ඉක්මන් කරලා ලස්සනට සැරසෙන්න. වැඩිය කල් වේලා නෑ. ඉක්මනින්ම යන්න ඕන.
ඉතින් අම්ම, තාත්ත දෙන්න තම දියණිය වන මාගන්දියාව ලස්සනට සරසවාගෙන පිටත් වුණා. මාගන්දියා ලස්සන ආභරණ පැළඳ සිටියා. ඇස්වල අඳුන් ගාලා තිබුනා. යටි පතුල් රෝස පාට කළා. අත්වලට ලස්සන වළලූ දැම්මා. පාවල මිණි නූපුර දැම්මා. ලස්සනට පීරපු කේශ කලාපය මලින් සැරසුවා. සළු පටෙන් මුහුණ වසාගෙන පිටත් වුනා. තුන් දෙනාම නුග රුක සෙවණට ගියා. කවුරුවත් නෑ.
“කෝ…. මෙතන හිටපු කෙනා?
මාගන්දිය බමුණා වට පිට බැලූවා. කවුරුවත් පෙනෙන්න නෑ. මාගන්දියා බැමිණිය බිම පිරික්සා බැලුවා.
“මේ… මේ…. මෙහෙ එන්න. මෙන්න සලකුණක් තියෙනවා…. ඔය තියෙන්නෙ පාදයක සටහන. හප්පේ…. මේ යටි පතුලේ සටහනින් පෙන්නුම් කරන්නේ අපි හිතන දේ නොවෙයි. මේ කෙනා කාම ලෝකෙට අයිති කෙනෙක් නෙවෙයි. මේ කෙනා ඍෂිවරයෙක් වෙන්න ඇති. එහෙම කෙනෙකුට තමයි මෙවැනි පා සටහන් තියෙන්නෙ.
“අනේ හාමිනේ…, ඔන්න… ඔන්න…. බොරුවට දොඩවන්න පටන් ගත්තා. හොඳ දෙයක්, මංගල කටයුත්තක් කෙරෙන වෙලාවෙ මූසල කතා කියන්න පටන් ගත්තා. හාමිනේ…, ඒ තරුණයා අපේ දුව දුටු ගමන් වෙනස් වෙන බවට මට විශ්වාසයි. ඒ නිසා අපි දැන් කොහොම හරි එයාව සොයා ගන්නට ඕන.
“අන්න අර…. අර ඉන්නෙ. අර ගහ යට ඉන්නෙ…. ආං…. අරය ගැන තමයි මා කිව්වෙ. යමු… යමු… හනික යමු.
ඉතින් මේ තුන්දෙනා වීතරාගී වූ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුනා. බලාපොරොත්තු කන්දක් හිතේ පිරිලා තිබුනා. මාගන්දිය බමුණා බුදුරජාණන් වහන්සේ ඉදිරියට තම දියණිය කැඳවාගෙන ගියා. මාගන්දියා තරුණිය මුහුණ වසා සිටි සළුපට මෑත් කරලා බුදුරජාණන් වහන්සේ දෙස ඇස් කොණින් බලා සිටියා.
“පින්වත් තරුණය, මේ ඉන්නෙ මගේ දියණිය. මැයට තමයි අපි සෑම දෙයක්ම හරි හම්බ කළේ. මැයගෙ රූපෙට සමාන රූපයක් ඇති කෙනෙක් මේ කුරු ජනපදයේම නෑ. රන් රුවක් මැය ඉදිරියෙන් තිබ්බොත් ඒ රූපයේ ආනුභාවය නැතිව යනවා. මැය පතාගෙන රජවරු පවා පැමිණුනා. නමුත් තරුණය, මැය දෙන්නේ ලොව සිටින වඩාත් සුරූපී පුද්ගලයාටයි. පින්වත් තරුණය, ඔබ දිනුම්. ඔබ තමයි මැයගේ හිමිකරුවා. ඔබ තමයි මැයට එකම සුදුස්සා. මැයට ගැලපෙන්නේ ඔබගේ රූපයයි. පින්වත් තරුණය, ඒ නිසා අපි දැන් ගෙදර පිටත් වෙමු කියලා මාගන්දිය බමුණා දිගින් දිගටම බුදුරජාණන් වහන්සේට බල කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටි මාගන්දියා සැනසුම් සුසුම් හෙළුවා. මෙතරම් ලස්සන කෙනෙක් මගේ ස්වාමියා වෙනවා නම්, මේ මහ පොළොවේ සිටින වාසනාවන්තම තැනැත්තිය මා නොවේද කියා සිතුවා.
බුදුරජාණන් වහන්සේ මාගන්දියා දෙස බැලූවෙ වත් නැහැ. නමුත් මාගන්දිය බමුණා දෙස මහත් ආදරයෙන් බැලුවා.
“පින්වත් බ්‍රාහ්මණය, මා මේ සිත ජයගන්නට, සිතේ තිබූ කෙලෙස් නැති කරන්නට මහත් සටනක් කළා. මේ සිත පිරිසිදු කරන්නට මා උත්සාහ ගනිද්දී මම මහා සටනක් කළා. ලෝකයේ ඇස් හමුවට එන විවිධාකාර රූප විසින් මනුෂ්‍යයාගේ සිත ඇදගන්නවා, මුලා කරනවා, රවටනවා. තොණ්ඩුවකට හසුවුණ මුවෙක් වගේ ඔහු අසරණ වෙනවා. මාව රාග තොණ්ඩුවට හසුකරගන්නට තුන් දෙනෙක් අප්‍රමාණ මහන්සියක් ගත්තා. තණ්හා, රතී, රගා කියන මාර දූවරු තිදෙනා මේ සිත රාගයෙන් මුසපත් කරවන්නට අප්‍රමාණ මහන්සියක් ගත්තා. වෙන කෙනෙකුගේ නම් සිහිය විකල් වෙනවා. නමුත් බ්‍රාහ්මණය, මොහොතකට වත් මගේ සිත වෙනස් කරන්නට ඔවුන්ට බැරි වුණා. එබඳු මායාකාරී අමනුෂ්‍ය ස්ත්‍රී රූපයටත් වසඟ කළ නොහැකි වූ මාගේ සිත දැන් වසඟ කරන්නෙ කොහොමද? මේ ශරීරය ලස්සනට තිබුනට, අසූචි පුරවපු කළයක් වගෙයි. ආභරණ පළන්දලා, සළු පිළි වලින් සරසලා මල් ගවසලා ඒ අසූචි කළය සරසනවා. නමුත්, අසූචි වලින් හමන දුර්ගන්ධය නැතිව යන්නෙ නෑ. ඔය ශරීරයත් ඒ වගේ. දොරටු නවයකින් අසූචි වැගිරෙනවා. පින්වත් බ්‍රාහ්මණය, ඒ නිසා මෙවැනි ශරීරයක් මා අතින් තබා පයින්වත් ස්පර්ශ කරන්නට කැමැති නෑ.
මාගන්දිය බමුණාටත්, බැමිණියටත් හරිම පුදුමයි. මෙතුමාගේ රූපය විතරක් නෙවෙයි ලස්සන, හිතත් ලස්සනයි. නුවණින් බබලනවා. බුදුරජාණන් වහන්සේ රූපයේ නිසරු බව ගැන විස්තර කරද්දී, උන්වහන්සේගේ අභිනීල නෙත් යුග තව තවත් දිළිසුණා. ඒ හැම වචනයක්ම හරිම පැහැදිලියි. හරිම නිරවුල්. අවබෝධය ඇතිකරවනවා. මේ දෙදෙනා ඒ විස්තරයට කැමති වුණා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරි බව මේ දෙදෙනාට වැටහුණා. දෙදෙනාම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ඒ දෙදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය ගැඹුරින් අවබෝධ වුණා.
බුදුරජාණන් වහන්සේ රූපය ගැන ඇත්ත කතා කරගෙන යන විට මාගන්දියාගේ ඇස් රතු වුණා. සළු පටින් මුහුණ වසා ගත්තා. ගස්සලා හිස හරවා ගත්තා. අමාරුවෙන් අසාගෙන හිටියා. ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තා. ක්‍රෝධයෙන් ශරීරය වෙව්ලන්න පටන් ගත්තා. තරහෙන් හදවත ගැහෙන්න පටන් ගත්තා. ඇය හිතුවේ ඇයට අපහාස කළා කියලයි. ඇය ආපසු හැරුණා. වේගයෙන් ගෙදර ගියා. ඇඳේ වැතිරුණා. දත් මිටි කෑවා. අත් දෙක මිට මොලවාගෙන කොට්ටෙට ගහගෙන ගියා.
‘ඔව්… මගේ රූපය කැතයි එහෙනම්. ඔව්…. මගේ රූපය අසූචි කලයක් නේද….? ඔව්…., මගේ රූපයේ හැටි මං පෙන්නන්නම්. මේ අසූචි කළය මොනතරම් බලසම්පන්නද කියල මං පෙන්නන්නම්…. මේ අසූචි කළයට හැමෝම වසඟ වෙන හැටි මම පෙන්නන්නම්…. අයියෝ….! මගේ ලස්සන කොණ්ඩෙ…. මගේ මේ ලස්සන ඇස් දෙක…. මගේ ලස්සන තොල් සඟල…. රත්තරන් පාට කම්මුල්…. මේ ලස්සන ඇඟිලි…. මගේ ලස්සන අත්…. මේ ලස්සන දත්…. ඔව්…, මේ සෑම දෙයක්ම දැක්කෙ කැටයම් කරපු අසූචි කළයක් වගේ නේද? හරි… මං දන්නවා කරන දේ….’
පින්වතුනේ, පින්වත් දරුවනේ, මාගන්දියා තරුණිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා. ක්‍රෝධ කළා. ඊර්ෂ්‍යාවෙන් ගිගිරුවා. සිත ඇතුළේ පළිගැනීමේ ආශාව අළු යට ගිනි පුපුරු වගේ තැන්පත්ව තියා ගත්තා. අන්තිමේදී ඇයගේ පවිටු අදහස ඉටුකරගැනීමේ අවස්ථාව උදාවෙන්න පටන් ගත්තා. ඇය කොසඹෑ නුවර උදේනි රජතුමාගේ අග්‍ර මහේෂිකාව බවට පත්වුණා. දැන් ඇය සියලු ආභරණ වලින් සැරසිලා උදේනි රජු සමඟ සම අසුන්ගෙන වාඩිවෙලා මහත් ආනුභාවයෙන් ඉන්නවා. රාජකීය ලීලාවෙන් වැජඹෙනවා. ඇස් කඩා හැලෙන ලස්සන රූපයක් තිබෙන මාගන්දියාගේ හදවතේ කුණු වූ මසක් මෙන් දුර්ගන්ධය පිරී තිබුණා. ඇය මිනිසුන්ට අල්ලස් දී බුදුරජාණන් වහන්සේට නොයෙක් ආකාරයෙන් නින්දා කෙරෙව්වා. අපහාස කෙරෙව්වා. මිනිස්සුන්ව බුදුරජාණන් වහන්සේට විරුද්ධව කෙටෙව්වා.
මාගන්දියාගේ පළිගැනීම සෑහීමකට පත්වුණේ නෑ. ඇය පළිගැනීමෙන්මයි සතුටු වෙන්නෙ. ඇයගේ
පළිගැනීමේ අවසානයක් නෑ. ඇයට මාළිගාව ඇතුළේ කිසිම සැනසිල්ලක් තිබුණෙ නෑ. ඒකට හේතුවක් තිබුණා.
උදේනි රජතුමාට සාමාවතී කියල ඉතා යහපත් බිසවක් හිටියා. ඇයත් ලස්සනයි. ඒ වගේම ඉතාමත් ගුණ සම්පන්නයි. ඇයට මල් ගෙනෙන ඛුජ්ජුත්තරා නම් සේවිකාවට දිනක් බුදුරජාණන් වහන්සේව මුණ ගැසුණා. උන්වහන්සේගෙන් බණ ඇසුවා. සෝවාන් වුණා. එදා සිට සාමාවතී ඇතුළු පරිවාර ස්ත්‍රීන් පන්සීයකට ඛුජ්ජුත්තරාව ගෙන් බණ අසන්නට ලැබුණා.
ඉස්සර ඛුජ්ජුත්තරා මල් ගෙනෙන්ට දෙන මුදලින් අඩක්ම සොරකම් කරනවා. ඉස්සර ඇය සෙරක්. සෝවාන් වූ දවසේ සිට ඇය උතුම් ආර්ය ශ්‍රාවිකාවක් වුණා. එදා සිට තුනුරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමත් ආර්යකාන්ත ශීලයත් ඇය තුළ පිහිටා තිබුණා. සාමාවතියට ඇය ඇත්ත කිව්වා. තම දාසියගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඒ උතුම් ධර්මය ඇසීමේ වුවමනාව සාමාවතියට ඇති වුණා. ඛුජ්ජුත්තරා ධර්මය අසනවා. අසන්නා වූ ධර්මය ඇය හොඳින් මතක තබා ගන්නවා. ඒ මතක තබාගත් ධර්මය නුවණින් මෙනෙහි කරනවා. ඒ නුවණින් මෙනෙහි කරන ධර්මය ඇසූ අයුරින්ම සාමාවතියටත්, පරිවාර ස්ත්‍රීන්ටත් කියා දෙනවා. ඛුජ්ජුත්තරා මතක තබා ගත් ධර්මය ‘ඉතිවුත්තක පාළි’ නමින් අදටත් අපට කියවන්නට ලැබෙනවා.
මාගන්දියා බුදුරජාණන් වහන්සේට කොතරම් වෛර කළාද යත්, බුදු ගුණ සිහිකරන අයටත් වෛර කළා. ධර්මයේ හැසිරෙන අයටත් වෛර කළා. මේ පවිටු ස්ත්‍රියගේ වෛරයට අහිංසක සාමාවතී ප්‍රධාන පරිවාර ස්ත්‍රීන් ලක්වුණා. ඇය ඉතාම දරුණු උපාය යෙදෙව්වා. දිනක් සාමාවතිය ඇතුළු සියලු ස්ත්‍රීන් සිටි ගොඩනැගිල්ලේ සියලූ දොරවල්වල අගුලු සිර කළා. තෙල් පෙඟවූ රෙදි වලින් ඒ ගොඩනැගිල්ල වටේ එතුවා. ගිනි තිබ්බා.
සාමාවතිය කලබල වුණේ නෑ. ඇය සියලු පරිවාර ස්ත්‍රීන් අමතන්න පටන් ගත්තා.
“පින්වත් නැගණිවරුනි, ඉපදීම නිසා මූණ දෙන්නට සිදුවන මරණයටයි දැන් අපි මූණ දෙන්නේ. කිසි කෙනෙක් මේ වටේ ඇවිලෙමින් එන ගිනි දැල්වලට භය වෙන්න එපා. මෙයට වඩා දරුණු ගිනි දැල් වලින් පව් කළ උදවිය අපායෙහි වෙළෙනවා. මේ ගිනි දැල් වලින් පිච්චෙන්නේ මේ කුණු ශරීරය විතරයි. එක්කෙනෙක් වත් ද්වේෂ ගින්න, ක්‍රෝධ ගින්න, වෛර ගින්න මේ සිත තුළ අවුලූවා ගන්න එපා. මේ සිත නිවන ධර්මය අපට මුණ ගැසුණා. අපි බුදුරජාණන් වහන්සේගේ දියණිවරු. ඒ නිසා ශාස්තෘන් වහන්සේගේ ගමන් මාර්ගයේ අපි ගමන් කරමු.
සාමාවතියගේ ධර්ම කථාව සියලු දෙනාගේම හදවත් සිසිල් කරන අමා දිය දහරක් වුණා. ඔවුන් සියලු දෙනාගේම ශරීර ගින්නෙන් දැවුණා. මරණයට පත්වුණා. නිදා පිබිදියා සේ ඔවුන් දෙවියන්, බඹුන් අතර උපන්නා.
මාගන්දියා අග්‍ර මහේෂිකාව විසින් කරන ලද මෙම අමානුෂික අපරාධය ගැන උදේනි රජු බලවත් ලෙස උදහස් වුණා. අහිංසක ජීවිත හිතාමතා කුමන්ත්‍රණය කොට විනාශ කිරීම ගැන හොඳටම උදහස් වුණා. උදේනි රජතුමා මාගන්දියාටත්, අපරාධයට හවුල් වූ සැමටත් දරුණු දඬුවම් දුන්නා. මාගන්දියා මරණයට පත්වුණා. නිරයේ උපන්නා. මාගන්දියාගේ වචනයට රැවටී නොමඟ ගොස් ඒ අපරාධවලට හවුල් වූ සියලූ දෙනාත් මරණින් මතු නිරයේ උපන්නා.
මේ සිදුවීම මුල් කොට ගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාථා තුනක් වදාළා.
අප්පමාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතාබාහිර වැඩවල නොයෙදී – නිවන් මගට කැප වෙයි නම්,
නොපමාවෙන් වසන කෙනා – ලබයි නිවන සැප සදනා
බාහිර වැඩවල යෙදෙමින් – දහමින් බැහැරට යයි නම්,
පමාවෙන්ම වසන කෙනා – මැරී මැරී යයි සසරෙම
නිවන් මගට කැප වෙන අය – ලබයි අමරණීය නිවන
කෙලෙස් ගොඬේ සිටිනා අය – සිටියත් මළ කඳන් වැනියඒතං විසේසතෝ ඤත්වා – අප්පමාදම්හි පණ්ඩිතා
අප්පමාදේ පමෝදන්ති – අරියානං ගෝචරේ රතාකැපවීමෙන් ලබයි නිවන – කෙලෙස් වලින් යයි සසරේ
මේ දෙක ගැන දන්න කෙනා – මැනැවින් නුවණින් විමසා
නුවණැතියෙක් ලෙස මෙලොවේ – කැපවෙයි ඒ නිවන් මගේ
ආර්ය උතුමන් තුළ ඇති – නොපමා බවටම ඇලෙමින්
නිවන් මගට කැපවීමෙන් – ලබයි දහම තුළින් සතුටතේ ඣායිනෝ සාතතිකා – නිච්චං දළ්හපරක්කමා
ඵුසන්ති ධීරා නිබ්බාණං – යෝගක්ඛේමං අනුත්තරංඔවුන් දැහැන් වඩයි නිතර – නිවන් මගෙහි යෙදෙයි නිතර
දැඩි වූ වීරියෙන් යුතුව – සිල් සමාධි නුවණ ඇතිව
සියලු කෙලෙස් වලින් මිදුන – උතුම් අමා සුවය රැඳුන
නිවනම ලැබ ගනිති ඔවුන් – මහ නුවණින් යුතුය ඔවුන්
පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙම ගාථාවන් තුළින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ අප්‍රමාදයේ වටිනාකම ගැනත්, ප්‍රමාදයෙහි භයානකකමත්ය. අප්‍රමාදය කියන්නෙ තමන්ගේ ජීවිතය මුළුමනින්ම ධර්මයට කැප කිරීමටයි. ඒ කියන්නේ තමන් ඉතා සිහියෙන් යුතුව ඉන්නවා. නුවණින් විමසනවා. කයින් සිදුවෙන අකුසල් දුරුකරනවා. වචනයෙනුත් අකුසල් කරන්නෙ නෑ. සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. සිතෙන් අකුසල් සිදුවෙන්නට ඉඩ තියන්නෙ නෑ. වියලුන තණ කොළ ගොඩකට ගිනි පුපුරක් වැටුණොත් ඉක්මනින් ඇවිලෙනවා. අසංවර හිතත් ඒ වගේ. අකුසල් හටගත්තු ගමන් ඒ අකුසල්වලට යට වෙනවා. නමුත් තණ කොළ ගොඩට ගිනි පුපුර වැටුණ ගමන් අතින් පයින් ගසා වහා කලබලයෙන් නිවා දමනවා වගේ අප්‍රමාදී කෙනා තමා තුළ අකුසල් හටගත් සැණින්, දුරුකරනවා. අකුසල්වලට බිය වෙනවා. ඒ කෙනා තමයි ජීවිතය ජයගන්නෙ. ඒ කෙනා තමයි යළි යළි ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වන්නෙ. ඒ කෙනා තමයි නිවන් අවබෝධ කරන්නෙ.
ප්‍රමාදය ඊට හාත්පසින්ම වෙනස් එකක්. ප්‍රමාද වුන කෙනා හැම තිස්සේම කල්පනා කරන්නෙ තමන්ගෙ ශරීරය ගැන, හැඩරුව ගැන, මිල මුදල් ගැන, වතුපිටි ගැන, ඉඩකඩම් ගැන, හරකබාන ගැන, යාන වාහන ගැන, අඹු දරුවන් ගැන ආදියයි. ඒ වෙනුවෙන්ම මුළු ජීවිතයම කැප කරනවා. යම්කිසි කෙනෙක් නිවන් අවබෝධ කරන්නට කැමැත්තෙන් ධර්මයේ හැසිරෙනවා නම්, එයාටත් හිනහා වෙනවා. අපට දැන්මම නිවන් දකින්නට ඕන නැතැයි නිවනටත් ගරහනවා. ධර්මයටත් ගරහනවා. ජීවිතය වටින්නෙ ආයෙ ආයෙමත් ඉපදෙන කොට කියලයි ඒ ප්‍රමාදී පුද්ගලයා දකින්නෙ. ඒ නිසා ඔහු පරලොවට බයත් නෑ, මෙලොව පව් කරන්න බයකුත් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ආකාරයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට කිසිදු උත්සාහයක් නොදරන ජීවිතයක් ගෙවන ප්‍රමාදී පුද්ගලයාගේ පැවැත්ම නැවත නැවත ඉපදෙන මැරෙන සසරටම හේතුව වෙනවා කියලයි. එබඳු කෙනෙක් කොපමණ කාලයක් ජීවත් වුණත්, ඒ පුද්ගලයන්ගේත් නිරන්තරයෙන් ඕජා වැගිරෙන, ගඳ ගසන, මළ මිනියේත් වෙනසක් නෑ කියලයි වදාළේ. අමු සොහොනේ දැමූ මළ මිනියට එකතු වෙන්නෙ අපිරිසිදු සත්තු විතරයි. ප්‍රමාදී පුද්ගලයාගේ ජීවිතයටත් මළ කුණ වටා එන අපවිත්‍ර සතුන් මෙන් ප්‍රමාදී පුද්ගලයන් එකතු වෙනවා. මළ කුණෙන් කුණු ගඳ ගසනවා වගේ ඒ ප්‍රමාදී පුද්ගලයා කයෙන්, වචනයෙන්, මනසින් දුර්ගන්ධය ඇතිවෙන පව් රැස් කරනවා.
නුවණැත්තා මේ වෙනස හොඳින් දකිනවා. අප්‍රමාදී පුද්ගලයා මහත් කැපවීමෙන් යුතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා ආකාරය හොඳින් දකිනවා. ප්‍රමාදීව පව් රැස් කරගන්නා පුද්ගලයා ඒ හේතුවෙන් හැඬූ කඳුලින් යුතුව මරණයට පත්වී අසාර්ථක වන ආකාරයත්, හොඳින් දකිනවා. මේ නිසාම නුවණැත්තා ප්‍රමාදයට බයයි. එම නිසා අප්‍රමාදය තුළම ඉන්නයි මහන්සි ගන්නෙ. ධර්මයටම කැප වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යමෙක් ඇද්ද නිවන් අවබෝධ කළ යමෙක් ඇද්ද, ඒ සියලු දෙනාම ආර්ය ගුණ ධර්මවලට පැමිණුනේ කැපවීම නම් වූ අප්‍රමාදය නිසාමයි. එම නිසා නුවණැති කෙනා ඒ අප්‍රමාදයටම ඇලෙනවා. ඒ කැපවීමටම ඇලෙනවා. එයා සතුටු වන්නේ නිවන් මගේ කැපවීමෙන් විතරයි.
එබඳු නුවණැති අය නිතරම භාවනා කරනවා. සිතේ අකුසල් හටගැනීමට ඉඩ තියන්නෙ නෑ. සමාධිය දියුණු කරනවා. ධ්‍යාන වඩනවා. හරිම උත්සාහවන්තයි. වීරියවන්වතයි. එබඳු මහත් වීරියකින් යුතු ඤාණවන්තයන් කෙලෙස් බන්ධන වලින් නිදහස් වෙනවා. අනුත්තර වූ අමා නිවන අවබෝධ කරනවා. සැනසීම ලබනවා. අපටත් මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට කැපවෙන්න ඇත්නම් මොන තරම් වාසනාවක්ද!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ධර්ම කරුණු පහසුවෙන් සොයාගෙන පරිහරණය කිරීම සඳහා ලබා දී ඇති මෙම අවස්ථාව ඉතා අගය කොට සලකමි.
Saadu ! Saadu !! Saadu !!!
Namo Budhhaya !
Uthum buddha Dharmya apata kiyaa dena loku swaamin wanse athulu oba samata, me pin balen me jeewithayedima uthum darmaya awabodha wewa..!
JAATHIYE PINATA PAHALA U OBA WAHANSEELATA MAAGE NAMASKAARAYA WEEWA..