පින්වතුනේ, පින්වත් දරුවනේ, සිත කිලූටු වන දෙයින් බේරිලා සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණධර්ම දියුණු කරන එක වීරියවන්තයින් විසින්ම කරන දෙයක්. නැණවතුන් විසින්ම කරන දෙයක්. ඉතින් උත්සාහය, නුවණ තියෙන කෙනෙකුට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණගැසුන විට සියලු බාධක මැඬගෙන ජයගන්නවා. බාධක මැඬගෙන ජයගත් සිල්වත් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් ගැනයි මෙම කථාවෙන් සඳහන් වන්නේ.

භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන භාවනා කිරීම පිණිස ඈත ප්‍රදේශයකට පිටත් වුණා. උන්වහන්සේලා බොහෝ දුර බැහැර ගෙවාගෙන චාරිකාවේ වඩින අතරේ ඉතාම සුන්දර වනාන්තරයකට පැමිණුනා. එ් වනය ආසන්නයේ ලොකු ගම්මානයකුත් තියෙනවා. පිණ්ඩපාතයෙන් කරදරයකුත් නෑ. දායක පිරිසත් ශ්‍රද්ධාවන්තයි. එ් වනය අසලින් නිල්පාට වතුර තියෙන ලස්සන ගංගාවක් ගලා බසිනවා. සුදු වැලි තලාව හැම තැනම පැතිරිලා තියෙනවා. සිනිඳු සෙවන තියෙන විශාල ගස්වලින් එ් වනාන්තරය ලස්සන වෙලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාට මෙම ප්‍රදේශය ගැන හිත ගියා. එහි වස් කාලය ගත කරන්නට සතුටු වුණා. දායක පිරිසට දැනුම් දුන්නා. මුළු ගමම එකතු වෙලා එ් වනාන්තරයේ තැනින් තැන කුටි හැදුවා. සක්මන් මළු හැදුවා. ලස්සන අරණ්‍ය සේනාසනයක් සකස් කළා. ස්වාමීන් වහන්සේලාට හොඳින් දානමානත් ලැබුණා. හොඳින් විවේකයත් තියෙනවා. ඉතාමත් සතුටින් යුක්තව භාවනා කරන්නට පටන් ගත්තා.

ටික දිනක් ගතවෙද්දී මුලින් තිබුණු ලස්සන පරිසරය වෙනස් වන ලකුණු පහළ වුණා. ඉතාම අප්‍රසන්න කුණු ගඳ වරින් වර පැතිරුණා. අඳුරු සෙවණැලි එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා. ඇටසැකිලි පෙනෙන්න පටන් ගත්තා. අද්භූත විරූපී මුහුණු අහසේ ඇවිදගෙන ගියා. වරින් වර බියකරු හඬ ඇහෙන්නට පටන් ගත්තා. අද්භූත ශබ්ද ඇහෙන්නට පටන් ගත්තා. ස්වාමීන් වහන්සේලා මහත් බියට පත්වුණා.උන්වහන්සේලාට සිත එකඟ කරගන්නට බැරිව ගියා. සිත හොඳටම විසිරුණා. වස් කාලය ඉතාමත්ම අමාරුවෙන් ගත කළා. මහත් සංවේගයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට වස් අවසානයේදී සැවැත් නුවර බලා පිටත් වුණා. බුදුරජාණන් වහන්සේට මෙම කාරණාව සැළ කළා. බුදුරජාණන් වහන්සේ එහි තිබුණේ කුමක්දැයි කියා පැහැදිලි කරදුන්නා.

“පින්වත් මහණෙනි, එ් වනාන්තරයේ යක්ෂයෝ නෑ. ප්‍රේතයොත් නෑ. එ් වනාන්තරයේ ඉන්නේ වෘක්ෂ දේවතාවරු. නමුත් ඔබවහන්සේලා එ් රුක් සෙවණේ භාවනා කරද්දී වෘක්ෂ දේවතාවරුන්ට එ් ගස්වල ඉන්නට බැරිව ගියා. ඔබවහන්සේලා ආරක්ෂා කරමින් සිටින සීලයේ ආනුභාවය නිසා එ් දෙවිවරුන්ට එ් ප්‍රදේශයේ ඉන්නට නොහැකි වුණා. ඉතින් එ් දෙවිවරු කතිකා කරගත්තා.

‘අපිට හරි වැඬේ වුණේ. මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා මේ වනාන්තරයේ කාලයක් ඉන්නටයි සූදානම් වන්නේ. එතකොට අපි මේ ගස්වලට අරක්ගෙන ඉන්නෙ කොහොමද? උන්වහන්සේලාගේ සීලානුභාවය නිසා අපට බිමට බහින්නට සිද්ධ වෙනවා. එ් නිසා අපි අද්භූත වෙස් අරගෙන උන්වහන්සේලාව මෙහෙන් පිටත් කරමු. එතකොට අපට කරදරයක් නැතිව ඉන්නට පුළුවනි’ කියල කතිකා කරගෙනයි ඔය දේවල් කළේ. එනිසා පින්වත් මහණෙනි, එ් දෙවිවරුන්ට ඔබ මෛත්‍රී සිත පතුරුවන්නට ඕන. සතර ඉරියව්වේම මෛත්‍රියෙන්ම කල්ගත කරන්නට ඕන. මෛත්‍රී සමාධියම වඩන්නට ඕන. එතකොට එ් දෙවිවරු තුළ දැන් තියෙන අමනාපය නැතිවෙලා දායකයො බවට පත්වේවි. එ් නිසා ඔබ එතනටමයි යා යුත්තේ. ගිහින් මේ කරණීය මෙත්ත සූත්‍රයත් නිතර නිතර සජ්ඣායනා කරන්න.

භික්ෂූන් වහන්සේලා ආපසු එ් වනාන්තරයටම වැඩියා. ඉතාම මිහිරි හඬින් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කළා. තැති ගැනීමකින් තොරව මෙත් සිත වැඩුවා. මෙත් සිත වඩන එ් ස්වාමීන් වහන්සේලාගේ ශාන්ත සිතුවිලිවල රැකවරණය දෙවිවරුන්ට ලැබුණා. දෙවිවරු තුළ තිබුන අමනාපය සම්පූර්ණයෙන්ම නැතිව ගියා. සිතට මහත් සැනසිල්ලක් ඇතිවුණා. දෙවිවරු උන්වහන්සේලාට උපස්ථාන කළා. ස්වාමීන් වහන්සේලාටත් සතුටුයි. හොඳින් බණ භාවනා කළා. චිත්ත සමාධිය දියුණු වුණා. නුවණින් යුක්තව විමසන්නටත් පටන් ගත්තා. විදර්ශනා ප්‍රඥාවත් වැඞීගෙන ගියා. මෙය දුටු බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් ආලෝක ධාරාවක් එවා වදාළා. එ් ආලෝක ධාරාව තුළින් බුදුරජාණන් වහන්සේගේ රූපය දිස්වුණා. ඉතාම මිහිරි ස්වරයෙන් මෙම ගාථාව ඇසුණා.

කුම්භූපමං කායමිමං විදිත්වා – නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධේථ මාරං පඤ්ඤායුධේන – ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා

දැකිය යුතුමය මේ කය – බිඳී යන වළඳක් ලෙස
සුරැකිය යුතුය මේ සිත – හොඳින් රකිනා නගරයක් ලෙස
ප්‍රඥාව නැමැති අවියෙන් – පහරදිය යුතු මාර බලයට
ජයගෙන කෙලෙස් යුධයෙන් – නැවත සසරට නොයා යුතුමය

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙම ගාථාවේ සඳහන් කරුණු තුළින් එම ස්වාමීන් වහන්සේලාගේ නුවණ වේගයෙන් දියුණු වුණා. මේ ශරීරය දෙස බැලිය යුත්තේ වහා කැඞී බිඳී යන වළඳක් දෙස බලන ආකාරයෙනුයි. එ් කියන්නේ මේ ශරීරයෙහි ස්ථිර කිසිම දෙයක් නැහැ. ඕනම ලෙඩ රෝගයකින් මැරිලා යන්න පුළුවන්. ඕනම අනතුරකින් මැරිලා යන්න පුළුවන්. කාපු බීපු දෙයක් වුණත් දිරවා ගන්නට බැරිවීමෙන් මැරිලා යන්නට පුළුවන්. කොටින්ම ගත්තු හුස්ම පොද හිරවුණොත් මැරිලා යනවා. පිට කළ හුස්ම ඇතුළට ගන්නට බැරි වුනොත් මැරිලා යනවා. මැටි භාජනයක් ඕනම මොහොතක බිඳෙන්නට පුළුවන් වගේ මේ ජීවිතයත් ඕනම මොහොතක අවසන් වෙනවා.

සිත රැකගන්නට ඕන නගරයක් ආරක්ෂා කරගන්නවා වගෙයි. නගරයක දිය අගල් තියෙනවා. ප්‍රධාන දොරටු තියෙනවා. ප්‍රාකාර තියෙනවා. එ් ප්‍රාකාර මත ආරක්ෂක අට්ටාල තියෙනවා. සතුරන්ට එකවරම ඇතුළට එන්නට පුළුවන් කමක් නෑ. එ් දොරටුවල ඉතාම සිහි නුවණ ඇති දොරටුපාලයන් ඉන්නවා. හොඳින් හොයලා බලලා තමයි කෙනෙක්ව නගරය ඇතුළට ගන්නේ. අන්න ඒ විදිහටයි මේ සිත ආරක්ෂා කරගන්න කිව්වෙ.

ප්‍රඥාව කියන්නේ ඉතාම මුවහත තියෙන ආයුධයක් වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ මෙතනදි වදාළේ එ් ප්‍රඥාව නැමැති ආයුධයෙන් මාරයාට පහර දෙන්න කියලයි. මාරයා කවුරුවත් නිවන් අවබෝධ කරනවාට කැමැති නැහැ. ඔහු හැමතිස්සෙම බලන්නෙ ඕනම කෙනෙක්ව ධර්ම මාර්ගයෙන් ඉවත් කරන්නටයි. එබඳු ස්වභාවයකින් යුතු මාරයා පරාජය කළ හැක්කේ අවස්ථානුකූලව ප්‍රඥාව හැසිරවිය හැකි නුවණැත්තෙකුට විතරයි. එ් නුවණැති කෙනා ආයුධයක් ඉතාමත් නුවණින් හසුරුවලා සතුරව පරදවනවා වගේ ප්‍රඥාව නැමැති ආයුධය හසුරුවලා මාරයා පැමිණෙන්නට තිබෙන සෑම පැත්තක්ම කපා දමනවා. ඔහු දියුණු කරගත් සීල, සමාධි, ප්‍රඥා හොඳින් ආරක්ෂා කරගනිමින් නිකෙලෙස් භාවය කරාම යනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ