පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබෙන විට එ් ධර්මය ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. එ් කෙරෙහි සිතේ පැහැදීම ඇති කරගන්නට ඕන. එබඳු පැහැදීමක් තිබුණොත් අපට නැවත නැවතත් එ් ධර්මය සිහි කරන්නට, හදාරන්නට, නුවණින් විමසන්නට හිතෙනවා. එ් තුළින් අපට නුවණ වැඩෙනවා. නුවණ වැඩෙද්දී ධර්මය අවබෝධ කිරීමෙහි වුවමනාව අපගේ සිත තුළ ස්ථිරව පිහිටනවා. මේ ලක්ෂණ නැති කෙනා පැවිදි වෙලා හිටියත් ප්‍රයෝජනයක් නෑ. එ් කෙනා තුළ ධර්මය තුළින් ඇති වෙන ප්‍රඥාව වැඩෙන්නෙ නෑ. වීරිය වැඩෙන්නෙත් නෑ. ධර්මය කෙරෙහි සිත ස්ථිරව පිහිටන්නෙත් නෑ. එබඳු කෙනෙක් වුනත් උත්සාහයකින්, අධිෂ්ඨානයකින් කටයුතු කළොත්, ජයගන්නට පුළුවනි. එ් බව මෙම කථාවෙන් ඉතාමත් ලස්සනට පැහැදිලි වෙනවා.

එ් කාලයේ සැවැත් නුවර එක්තරා ගොවියෙක් හිටියා. මොහුටත් රහතන් වහන්සේලාගෙන් උතුම් ධර්මය අසන්නට ලැබුණා. එ් ධර්මය කෙරෙහි පැහැදීමකුත් ඇති වුණා. හැබැයි එ් පැහැදීම ඇතිවුණේ නුවණින් මෙනෙහි කරලා නෙවෙයි. නුවණින් නොවිමසන නිසා සිත ධර්මය තුළ ස්ථිරව පිහිටියෙත් නෑ. නමුත් මෙම ගොවියාටත් පැවිදි වීමේ ආශාවක් ඇතිවුණා. දිනක් මොහු ගෙදරට දන්වා පැවිදි වෙන්න ගියා. පැවිදි වෙන්න යද්දී තමා කුඹුරු වැඩ කළ උදැල්ල කටු පඳුරක සඟවා ගියා. ඉතින් මොහු භික්ෂූන් වහන්සේලා වෙත ගිහින් පැවිදි වුණා.

පැවිදි වී දින කිහිපයක් යන විට ධර්මය කෙරෙහි ඇති පැහැදීම වෙනස් වුණා. බිරිඳ මතක් වෙන්නට පටන් ගත්තා. තමා නැති නිසා තම බිරිඳ අයාලේ ගොස් නොමනා ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත් මතක් වුණා. ඉතින් මේ භික්ෂුව තමන් තුළ නූපන් රාගය ඉපදෙන ආකාරයට නුවණින් තොරව සිතන්නට පටන් ගත්තා. මොහු තුළ අකුසල් වැඩුණා. එය ප්‍රහාණය කිරීම සඳහා ප්‍රමාණවත් අධිෂ්ඨානයක් මොහු තුළ තිබුණේ නෑ. භාවනා කරන්නට වාඩි වූ විට ආයෙමත් සඟවා පැමිණි උදැල්ල මතක් වුණා. බිරිඳ මතක් වුණා. පංච කාමය මතක් වුණා. අරතිය වැඩි වුණා. ධර්මය කෙරෙහි ඇල්ම නැතිව ගියා. මොහු රහසේම සිවුරු හැර උදැල්ලත් රැගෙන ගෙදර ගියා.

පැවිදි වෙන්නට ගිය ස්වාමියා නැවත කුඹුරේ වැඩ කරනු දැක බිරිඳ ගොඩාක් සතුටු වුණා. හොඳින් කෑම බීම දී උපස්ථාන කළා. නමුත් ටික දවසක් යද්දී බිරිඳ ඇනුම් පද කියන්නට පටන් ගත්තා. එතකොට මොහු ආයෙමත් කළකිරුණා. ‘නුඹත් සමඟ ගත කරන මේ ජීවිතයට වඩා පිඬු සිඟා අනුභව කරමින් ගතකරන හුදෙකලා වාසය මොනතරම් වටිනවාද?’ කියා නැවතත් උදැල්ලත් රැගෙන පිටත් වුණා. අර කටු පඳුර අස්සේ උදැල්ල ගැහුවා. ස්වාමීන් වහන්සේලා වෙත ගොස් පැවිදි වුණා.

ටික කලක් ගතවුණා. ආයෙමත් ගිහි ජීවිතය මතක් වෙන්නට පටන් ගත්තා. බිරිඳ විසින් උයා පිහා දෙන කෑමවල රස මතක් වුණා. බිරිඳගේ ආදර බස් මතක් වුණා. ‘අනේ…. මට භාවනා කරගන්නට අමාරුයි. හිත විසිරෙනවා…. ගෙදර ගිහින් නිදහසේ ඉන්නට ඇත්නම් කියලයි හිතෙන්නේ…’ මෙම භික්ෂුවට දැඩි වීරියක් ගැනීමේ හැකියාවක් තිබුනේ නෑ. සිත විසිරෙද්දී කලබල නොවී සිටීමට හැකියාවක් තිබුණේ නෑ. කාම සිතුවිලි ඇතිවෙද්දී සතර සතිපට්ඨානය සිහි කරන්නට හැකියාවක් තිබුණේ නෑ. අවස්ථානුකූලව බෝධිපාක්ෂික ධර්ම ගලපා ගන්නට හැකියාවක් තිබුණෙ නෑ. ආයෙමත් උදැල්ල මතක් වුණා. හොරෙන්ම පිටත් වුණා. සිවුරු හැර උදැල්ලත් රැගෙන කුඹුරට ගියා. එදත් බිරිඳට හරිම සතුටුයි. ආදරෙන් කතා බස් කළා. රසවත් කෑම බීම දුන්නා. ටික දවසයි ගියේ. ආයෙමත් ඇනුම් පද ඇසෙන්නට පටන් ගත්තා. බිරිඳගේ වෙනස්කම්වලට මුහුණ දෙන්නට සිදුවුණා. ‘නුඹ සමඟ ගත කරන දීගෙට වඩා මහ වනයේ ගස් සෙවණක නිකම් වාඩිවෙලා සිටියත් සැපයි’ කියල උදැල්ලත් අරගෙන පිටත් වුණා.

වෙනද වගේම උදැල්ල කටු පඳුර අස්සේ හැංගුවා. ආයෙමත් පැවිදි වුණා. පැවිදි වුණු මුල් දවස් කීපයේ නම් මෙම භික්ෂුව ඉතාමත් හොඳයි. නමුත් එ් ශ්‍රද්ධාව රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. වීරිය රඳවා ගන්නට බැහැ. නැතිවෙලා යනවා. සිත ධර්ම මාර්ගය තුළ ස්ථිරව පිහිටුවා ගන්නට බැහැ. ආයෙමත් ගෙදර මතක් වෙනවා. ‘මොනවා කිව්වත් එයා මගේ බිරිඳ නෙව. මට රසවත් කෑම බීම හදල දෙනව නෙව. ඕනෙම ගෙදරක ඔය හැලහැප්පිලි තියෙන එකේ මං විතරක් මොකටද එ් ගැන අමතුවෙන් කලකිරෙන්නෙ?’ ඉතින් මේ භික්ෂුවට සතර සතිපට්ඨානය අමතක වුණා. කටු පඳුර අස්සේ සඟවපු උදැල්ලමයි මතක් වුනේ. ආයෙමත් සිවුරු හැරියා. උදැල්ලත් අරගෙන ගෙදර ගියා. මේ විදිහට මේ භික්ෂුව හය වතාවක් සිවුරු හැරියා. හිතේ පැහැදීම ඉක්මනින් වෙනස් වෙනවා. අධිෂ්ඨානය ඇති කරගන්නටත් බෑ.

දිනක් කුඹුරට ගොස් පැමිණෙද්දී බිරිඳ පැදුරක් එලාගෙන උඩුබැල්ලෙන් නිදාගෙන හිටියා. ඇයගේ හිස කෙස් අවුල් වෙලා. විසිරිලා තිබුණා. කට ඇරිලා තිබුණා. කුණු කෙල වැගිරෙමින් තිබුණා. ඇය ගොරව ගොරවා සිටියා. මේ දර්ශනය දුටු ගමන් මොහුගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. හැමදෙයක්ම එපා වුණා. බිරිඳටත් නොකියාම මහණ වෙන අදහසින් ආයෙමත් උදැල්ලත් අරගෙන පිටත් වුනා. කටු පඳුර ලඟට ආවා. එතකොට සිහිනුවණ ඇතිවුණා. ‘මේ උදලු කෙටිය තමයි හැම විපතකටම මුල. මේ උදලු කෙටිය කටු පඳුරේ හංගපු එක තමයි කැරකි කැරකි පල දුන්නේ. ආයෙමත් නම් මේ මෝඩ වැඬේ කරන්නෙ නැහැ. ආයෙ කිසි දවසක මේ හිස් ජීවිතය උදෙසා උදලු කෙටිය මේ අත් දෙකෙන් අල්ලන්ට මට ඕන කමක් නැහැ’ කියල හැකිතාක් වීරිය අරගෙන ඈත ගැඹුරු මඩවලකට වීසි කළා. එදා මොහුට මහ සතුටක් ඇතිවුණා. සතුටින් යුතුව ස්වාමීන් වහන්සේලා සොයා ගෙන ගියා. ආයෙමත් පැවිදි වුණා. මොහු වසඟ වූ සිතටම හසුව සිටි නිසා ‘චිත්තහත්ථ’ යන නම පටබැඳුණා.

මොහුට බාධාව වශයෙන් තිබුණ උදලුකෙටිය අත්හළ නිසා හිතට වීරිය ගෙන භාවනා කළා. අරතිය එනකොට මැඬගත්තා. ශ්‍රද්ධාව හොඳින් පිහිටුවා ගත්තා. ධර්මය අවබෝධ කිරීමේ අරමුණ සිත තුළ ස්ථිර කරගත්තා. සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වුණා. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

චිත්තහත්ථ තෙරුන් වහන්සේ ඉතාම සතුටින් සැනසිල්ලේ කල් ගත කරන ආකාරය දුටු ස්වාමීන් වහන්සේලා “ඇයි… දැන් ආයෙමත් ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද…? කියලා ඇසුවා. “ගෙදර විතරක් නෙවෙයි, මං ආයෙ සසරෙවත් යන්නෙ නෑ කියල පිළිතුරු දුන්නා. මේ තුළින් උන්වහන්සේ අරහත්වය ප්‍රකාශ කළා කියල ඇතැම් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ ඉල්පෙන ශ්‍රද්ධාව තිබුණොත් ප්‍රඥාව වැඩෙන්නෙ නැති බවයි. එ් බව සඳහන් කරමින් මෙහි පළමු ගාථාව වදාළා. කාම අරමුණු වලින් ඇතිවෙන රාගයෙන් සිත තෙමා නොගත්, පින් පව් ප්‍රහාණය කළ නිදි වරමින් භාවනා කරන රහතන් වහන්සේ කෙනෙකුට කිසි දිනෙක කෙලෙසුන්ගෙන් භයක් හටගන්නේ නැහැ කියලා දෙවන ගාථාව වදාළා.

අනවට්ඨිතචිත්තස්ස – සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස – පඤ්ඤා න පරිපූරති

සසරින් එතෙර වීමට – නොපිහිටන විට මේ සිත
එ් උතුම් සිරි සදහම් – තේරුම් නොගෙන සිටි විට
කිසි අරුතකුත් නොමැතිව – වහා පැහැදෙන සිතක් ඇති විට
ඔහු තුළ කිසි දිනක – නැත නුවණ නම් දියුණු වන්නේ

අනවස්සුතචිත්තස්ස – අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස – නත්ථි ජාගරතෝ භයං

කෙනෙකුගේ සිත තුළ – නොවැගිරෙයි නම් රාගය
ද්වේෂයෙන් කිසි කලෙක – පහරකන සිත් නැති විට
පින් පව් හැමදෙයම – දුරු කළ සිතින් සිටිනා
නිදිවරන එ් රහතුන් – කිසිදිනක තැති නොගනිති

පින්වතුනේ, පින්වත් දරුවනේ, ‘මම මේ වැඩේ කරනවා’ කියලා තමා කරන කටයුත්ත ගැන ස්ථිරව සිත පිහිටුවා ගන්නෙ නැත්නම් කිසි දෙයක් සාර්ථක කරගන්නට බැහැ. පොඩි දරුවන්ට පොත පත පාඩම් කිරීමට වුණත් එහෙම තමයි. තමන් තුළ ලොකු අධිෂ්ඨානයක් තිබෙන්නට ඕන. එතකොට බාහිර දේවල් වලට සිත යොමුවෙන්නෙ නැහැ. ටීවී බල බල ඉන්න සිත යොමු වෙන්නෙ නැහැ. සෙල්ලමටම සිත යොමු වෙන්නෙ නැහැ. විකාර දේවල්වලට යොමු නොවී පොත පතේ වැඩ වුණත් හොඳින් කරගන්නට පුළුවන්. පැවිදි කෙනෙකුට විශේෂයෙන්ම බලපානවා. එහෙම නැතිවුණොත් තමන් පැවිදි වූ අරමුණ කලක් යන විට මුළුමනින්ම වෙනස් වෙලා යනවා. එහෙම වෙනස් වුණොත් ධර්මය අවබෝධ කරනවා තියා චතුරාර්ය සත්‍යය යන නම ඇහෙන කොටත් කේන්ති යනවා. මගඵල ලබනවා යන නම ඇහෙන කොටත් තරහා එනවා. නිවන කියන වචනයටත් විහිළු කරනවා. මේකට හේතුව සිත තුළ පැවිදි ජීවිතය නිවන් මගට යෙදවීමේ අධිෂ්ඨානය නැතිකමයි. එතකොට හිත පහදින්නෙ නැහැ. ශ්‍රද්ධාව පිහිටන්නෙ නැහැ. එක එක දේවල්වලට පහදිනවා. එහෙම කෙනෙකුට ප්‍රඥාව වැඩෙන්නෙ කොහොමද?

නමුත් සිත රැකගන්නවා නම් එ් කෙනා බේරෙනවා. සිත රැක ගන්නට තියෙන්නේ සතර සතිපට්ඨානය තුළමයි. සතර සතිපට්ඨානය තුළ හොඳින් සිත රැකගන්නා කෙනා තම සිත රාග අරමුණු වලින් තෙමෙන්නට දෙන්නෙ නෑ. එ් වගේම ද්වේෂය ඇතිවෙන අරමුණු වලින් බැට කන්නට දෙන්නෙ නෑ. හැම තිස්සේම සිත රැකගන්නවා. භාවනාව දියුණු කරනවා. සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් හොඳින් ප්‍රගුණ කරනවා. එ් තුළින්ම පින් පව් ප්‍රහාණය කරලා නිවන ස්පර්ශ කරනවා. නිදි වරමින් බණ භාවනා කරන එ් වීරියවන්ත රහතන් වහන්සේ හට භයක් ඇතිවන්නට කිසි කරුණක් නැහැ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ