“තමාව යහපතෙහි යොදනා සත්පුරුෂයා හැඳින ඇසුරු කළ විට ලැබෙන්නේ යහපතමයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

ඉස්සර කාලෙ දඹදිව රජගහ නුවර ඉතා දිළිඳු පවුලක් හිටියා. හැබැයි ඔවුන් අයත් වන්නේ බ්‍රාහ්මණ කුලයටයි. ඒ පවුලේ උදවිය තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවකින් හිටියේ. එයාලට හිටියේ එකම දරුවයි. ඔහුගේ නම රාධ. මේ රාධ නම් වූ බ්‍රාහ්මණ දරුවා හරිම හොඳයි. ගුණ යහපත්. වැඩිහිටියන්ට සළකනවා. ගුරුවරුන්ගේ අවවාද ගෞරවයෙන් පිළිගන්නවා. හරිම අහිංසකයි.

ඉතින් මේ රාධ තරුණ වියේ සිටිද්දී දෙමව්පියන් මරණයට පත්වුණා. දැන් මෙයාට හිත තියෙන්නේ පින් දහම් කරන්නමයි. ඉතින් එයා මෙහෙම හිතුවා.

‘මං රස්සාවක් කරලා කාට නම් හම්බ කරන්නද? අනික, විවාහයක් කරගත්තොත් ආයෙ ආයෙමත් සංසාරෙට බැඳෙනවා මිසක්කා ගැලවිල්ලක් නැහැ නෙව. මේ විවේකයත් නැතිවෙලා යනවා. සණ්ඩු සරුවල්වලට මැදි වෙන්න වෙනවා. ඒ නිසා මං සඟරුවන වැඩසිටින තැනට ගිහින් සංඝෝපස්ථාන කරමින් පින් කරගන්නවා…’

ඉතින් මෙහෙම හිතපු රාධ රස්සාවක් කළේ නෑ. ගෙවල් දොරවල්වල තනිරැක්කෙ නෑ. වත්තෙ පිටියේ ඉණිවැටකඩ ළඟ මුර කළේ නෑ. පොල් ගණන් කර කර හිටියේ නෑ. කෙලින්ම වේළුවනාරාමයට ගියා. ගිහින් සඟරුවනට වන්දනා කොට සංඝෝපස්ථානයට අවසර ඉල්ලුවා. මේ අහිංසක දිළිඳු තරුණයා දැන් හරිම සතුටින් මළු පෙත්මං හමදිනවා. උණු පැන්, සිසිල් පැන් පිළියෙල කරනවා. මල් නෙළනවා. සංඝයාට උපස්ථාන කරනවා. බණත් අහනවා. ටික ටික භාවනාත් කරනවා.

කලක් යද්දි මේ රාධ තරුණයාගේ හිත ධර්මයටම ඇදිලා ගියා. මහණ වෙන්නමයි හිත. ස්වාමීන් වහන්සේලාගෙන් මහණ කරන්න කියලා ඉල්ලා සිටි විට උන්වහන්සේලා මේ තරුණයාගේ වචනය ගණන් ගත්තේ නෑ. පැවිද්දට ඇති ආශාව නිසාම මේ රාධ බ්‍රාහ්මණයා ඒ ගැනම කල්පනා කරන්න පටන් ගත්තා. ආහාර පාන ගන්න ආශාව නැතුව ගියා. ඇඟ පත කෙට්ටු වුණා. කළු වෙලා ගියා. නහරවැල් ඉලිප්පුණා. අවලස්සන වුණා.

චාරිකාවේ වැඩම කොට වස්සානයකට වේළුවනාරාමයට වැඩවදාළ මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කරුණාබර නෙත් සඟලට රාධ හසුවුණා.

“පින්වත් මහණෙනි, මේ රාධ කෙට්ටු වෙලා මොකද? අවලස්සන වෙලා මොකද? නහරවැල් ඉලිප්පිලා මොකද? දුර්වල වෙලා මොකද?”

බුදුරජාණන් වහන්සේ මෙය ඇසුවේ කාරණාව දැනගෙනමයි. උන්වහන්සේ දැනගෙන හිටියා, මෙයා දිළිඳු පවුලක උපන්නාට අරහත්වයට පත්වෙන්න වාසනාව තියෙන කෙනෙක් කියලා.

ඉතින් භික්ෂූන් වහන්සේලා මෙහෙම උත්තර දුන්නා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙයා භික්ෂු සංඝයාගෙන් පැවිද්ද ඉල්ලා හිටියා. නමුත් භික්ෂූන් වහන්සේලා ඒකට කැමති වුණේ නෑ. පැවිදි වෙන්න අවස්ථාව නොලැබුණු නිසයි මේ රාධ ඔච්චර කෙට්ටු වෙලා, නහර වැල් ඉලිප්පිලා, දුර්වල වෙලා ඉන්නේ…”

“පින්වත් මහණෙනි, එතකොට මේ රාධ බ්‍රාහ්මණයාගෙන් ලැබුණු උදව්වක් සිහි කරන කවුරුවත් භික්ෂුවක් නැද්ද?”

පින්වතුනි, පින්වත් දරුවනේ, හරිම පුදුමයි. ඒ වෙලාවේ ධර්මසේනාධිපති මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ සඟපිරිස අතර වැඩහිටියා. උන්වහන්සේ ඉතාමත් නිහතමානීව සඟපිරිස අතරින් ඉදිරියට වැඩම කොට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මෙයා කරපු උදව්වක් මට නම් මතකයි.”

“පින්වත් සාරිපුත්ත, මෙයා මොන වගේ උදව්වක්ද ඔබට කරලා තියෙන්නේ…?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මං දවසක් රජගහ නුවර පිණ්ඩපාතේ වඩිද්දී මේ රාධ මට බත් හැන්දක් පූජා කරන්න කෙනෙක්ව පෙළඹෙව්වා… ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට මෙයා කරපු ඒ උපකාරය තවමත් මතකයි.”

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, කළ උපකාරය සිහි කිරීම යහපත් දෙයක්මයි. පින්වත් සාරිපුත්ත, සත්පුරුෂයන් කළ උපකාරය ගැන දන්නවා. කළ උපකාරය ඉතාමත් හොඳින් දන්නවා. එහෙමනම් පින්වත් සාරිපුත්ත, ඔබ මේ බ්‍රාහ්මණයාව පැවිදි කරන්න. උපසම්පදා කරන්න.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයේ වැඩිපුර ඉන්නේ කළ උපකාරය සිහි කරන්න බැරි උදවියයි. ‘කන්න දීපු අත හපා කන්න එපා! නගින්න දීපු ඉණිමඟට පයින් ගහන්න එපා! සෙවණ දීපු ගහේ අතු බිඳින්න එපා!’ වැනි ආප්තෝපදේශ අපේ සිංහල බස් වහරට එකතු වෙලා තියෙන්නේ කෙළෙහි ගුණ නොදන්න මිනිස්සුන්ගෙන් ගුණවතුන්ට හානිවෙන නිසයි.

එනිසා උතුම් සත්පුරුෂ ධර්මයක් වන කෙළෙහි ගුණ දන්නා බව අපි ඇති කරගන්නම ඕන. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළේ යමෙකුගෙන් ධර්මය අහලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම්, අවබෝධයෙන්ම උන්වහන්සේව සරණ යන්න උදව් කළ කෙනාට කෙළෙහි ගුණ දක්වා අවසන් කළ නොහැකි බවයි.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ රාධ පැවිදි වුණා. උපසම්පදාත් වුණා. මේ රාධ ස්වාමීන් වහන්සේට බොහෝ විට ආසනය ලැබෙන්නේ අන්තිමටයි. සමහර අවස්ථාවලදී දන්පැන් පවා වරදිනවා. කුසගින්නේ ඉන්න සිද්ධ වෙනවා. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිද්දී හෙවණැල්ලක් වගේ පස්සෙන් වඩිනවා. බඩගිනි පිපාසය ඉවසමින් අවවාදයේ හික්මෙනවා. අවවාද කළ විට ඉතාමත් ගෞරවයෙන් පැදකුණු කරමින් පිළිගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවන් මග පෙන්වා දෙන්න හරිම දක්ෂයි. සුළු කලකින් මේ පින්වත් රාධ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

දිනක් සාරිපුත්ත මහරහතන් වහන්සේ තම ශිෂ්‍ය නම සමඟ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්න වැඩියා. ගිහින් වන්දනාමාන කළා.

“පින්වත් සාරිපුත්ත, ඔබගේ ශිෂ්‍ය නම කොහොමද? කීකරුද?”

“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ නම අතිශයින්ම කීකරුයි. මොනයම්ම කරුණකට හෝ දොස් කිව්වොත්, ගැරහීමක් කළොත් කවරදාකවත් කිපෙන්නේ නෑ. ඒ තරම්ම හොඳයි.”

“පින්වත් සාරිපුත්ත, මෙවැනි පොඩි නමලා කීයක් විතර ඉන්නවාට ඔබ කැමතිද?”

“අනේ, ස්වාමීනී, මෙවැනි පොඩි නමලා බොහෝ ගණනක් හිටියත් මං කැමතියි.”

මෙකරුණ අරභයා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බොහෝ සෙයින් ප්‍රශංසා කළා. කෙළෙහිගුණ දන්නා සත්පුරුෂයන් අතර සාරිපුත්තයන් වහන්සේ බබලන බව වදාළා. ඒ වගේම මේ රාධ තෙරුන් හා සැරියුත් මහරහතන් වහන්සේ අතර සංසාරයේ අතීත සම්බන්ධය කියවෙන ‘අලීනචිත්ත’ ජාතකයත් වදාළා.

“පින්වත් මහණෙනි, භික්ෂුවක් නම් කීකරු විය යුත්තේ මෙන්න මේ රාධයන් ඉන්න විදිහටයි. දොස් දක්වා අවවාද කරද්දී කිපෙන්න හොඳ නෑ. තමන්ව යහපතෙහි පිහිටුවන්නට අවවාද කරන කෙනාව දැක්ක යුත්තේ නිධානයක් ගැන තොරතුරු කියන කෙනෙක් හැටියටයි.”

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම මිහිරි ස්වරයෙන් දහම් රස කැටි කොට මෙම ගාථාව වදාළා.

නිධීනං’ව පවත්තාරං – යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං – තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස – සෙය්‍යෝ හෝති න පාපියෝ

දිළින්දෙකුව දුකින් මුදා – ධනවත් කොට සැප සළසා
දෙන්නට සිතමින් කෙනෙකුන් – නිධානයක් කියන ලෙසින්
කෙනෙකුව වරදින් මුදවා – ගරහා වරදම පෙන්වා
යහපතටම යොමු කරනා – නැණවත් උතුමෙක් විලසින්
සිටිනා නුවණැති උතුමා – නිතර ඇසුරු කළ යුතු වෙයි
එවැනි නැණවතුන් මෙලොවේ – ඇසුරු කරන නැණවතාට
යහපතමයි සැළසෙන්නේ – නැත වරදක් සිදුවන්නේ

 

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයට ගොඩාක් උපකාරී වෙනවා අහංකාර නැතිකම. අපි අහංකාර වුණොත්, මාන්නයක් ඇති කරගත්තොත්, ඔළුව ඉදිමුණොත්, අං ආවොත්, දෙමව්පියන්ගේ වටිනාකම හඳුනාගන්න බැරිව යනවා. ගුරුවරුන්ගේ වටිනාකම හඳුනාගන්න බැරිව යනවා. සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයන්ගේ වටිනාකම හඳුනා ගන්න බැරිව යනවා. යහපත් අවවාදයට කිපුණොත් ඒ කෙනා අසත්පුරුෂයෙක් වීම වළක්වන්නේ කොහොමද?

දෙමව්පියන් සමහර දරුවන්ව යහපතෙහි යෙදවීම පිණිස තරවටු කරනවා. සැර කරනවා. බනිනවා. සමහර විට ගහන අවස්ථාවලුත් ඇති. ඒ හැම දෙයක්ම දෙමව්පියන් කරන්නේ දරුවන්ට ඇති ආදරය නිසයි. ඒ අවවාදවලට සිත රිදවා ගන්නෙ නැතුව ඉවසාගෙන “මගේ අඩුපාඩු නිසයි මට මෙහෙම වුණේ… මං දෙමව්පියන්ගේ දොස් නොලබන විදිහට යහපත් වෙන්න ඕන” කියලා කල්පනා කළොත් ඒකෙන් ඒ දරුවාට අයහපතක් නම් වෙන්නෙ නෑ. යහපතක්මයි වෙන්නේ.

ගුරුවරුන් අවවාද කරන්නෙත් යහපතටමයි. ගුරුවරු නොදන්නා දේ කියලා දෙනවා. නොදන්නා උදවිය හඳුන්වා දෙනවා. සමාජයේ ඉහළට යන්න අත දෙනවා. ඒ ගුරුවරු ශිෂ්‍යයන් හට තරවටු කළොත්, අවවාද කළොත්, සත්පුරුෂ ශිෂ්‍යයන් ඒකාන්තයෙන් ඒ අවවාදයට අනුව හික්මෙනවා. ඒ තුළින් ඒ ශිෂ්‍යයන් හට යහපතක් මිස අයහපතක් නම් වෙන්නෙ නෑ.

මේ නිසා සත්පුරුෂයෙක් වීම උතුම් දෙයක් හැටියටයි සැළකිය යුත්තේ. සත්පුරුෂයා අවවාද කරන කෙනාට කිපෙන්නේ නෑ. අවවාද කරන කෙනාව විනාශ කිරීමට කල්පනා කරන්නේ නෑ. අවවාද කරන කෙනාට අභූත චෝදනා කරන්නේ නෑ. ඒ අවවාදය ගෞරවයෙන් පිළිගන්නවා. ඒ අනුව හික්මෙනවා. යහපත උදා කරගන්නවා. සැපයට පත්වෙනවා.

රාධ ස්වාමීන් වහන්සේ සියලු ගුණ ධර්මයන්ගෙන් පිරී ඉතිරී ගියේ ඒ සත්පුරුෂ ගුණ නිසාමයි. තමන්ගේ වරද හඳුනා, එම වරදට ගරහා, එම වරදින් මුදවා, යහපතෙහිම යොදවන සත්පුරුෂයෙකුව දැක්ක යුත්තේ දිළින්දෙකුට නිධානයක් ගැන හෝඩුවාව කියන කෙනෙක් හැටියටයි කියලා බුදු මුවින් වදාළේ එහි ඇති වටිනාකම නිසා නොවේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ