“කරන් කලණ මිතුරු ඇසුර…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාලට මතකද අපේ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර අවදියේ ගත කළ කාලය. එකල කපිලවස්තු රජමාළිගයේ සිද්ධාර්ථ කුමාරයාට ඉතාමත් හිතවත් ඇමතිවරයෙක් හිටියා. ඔහුගේ නම ඡන්න. ඔහු සිද්ධාර්ථ කුමාරයාට ඉතාමත්ම ආදරෙයි. සිද්ධාර්ථ කුමාරයා උපන් දවසේමයි මොහු උපන්නෙත්. මාළිගයේමයි හැදුනෙ වැඩුනෙත්. සිද්ධාර්ථ කුමාරයාගේ විශ්වාසවන්තම මිත්‍රයා වුනේ ඡන්න ඇමතියායි.

සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය අත්හරින බවට ඉස්සෙල්ලාම අනාවැකිය කිව්වේ අසිත ඍෂිවරයායි. සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරයේ තිබුණු මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකම දැක්ක ඒ අසිත ඍෂිවරයා කියා හිටියේ මේ කුමාරයා ගිහි ගෙය අත්හරින එක කිසි කෙනෙකුට වළක්වන්න බෑ කියලයි.

නමුත් සුද්ධෝදන පිය මහ රජ්ජුරුවන්ට ඕන වුණේ ගිහිගෙය අත්හරින කුමාරයෙකුව දකින්න නොවෙයි. ඔහුට ඕන වුණේ මාණික්‍ය රත්න හතකින් සමන්විත සක්විති රජ කෙනෙකුව දකින්නයි. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා කළකිරෙයි කියලා හිතෙන හැමදෙයක්ම දකින එක වැළැක්කුවා. සිද්ධාර්ථ කුමාරයා උද්‍යාන ක්‍රීඩාවට යද්දී පවා මග දෙපස අලංකාර කරනවා. හැම තිස්සේම ලස්සන කරනවා.

මේක පුදුම වෙන්න දෙයක් නොවෙයි. අද වුණත් රාජකීය අමුත්තෙක් පාරෙ යද්දී පාර සරසන්නෙ නැද්ද? ඇහැට ලස්සන දේවල් පෙන්නන්නෙ නැද්ද? අපේ රටේ පවා පිටරටවලින් රාජකීය අමුත්තන් පැමිණෙද්දී මුඩුක්කු කඩලා, පාරවල් ලස්සන කරලා, මල් පෝච්චි තියලා, කොඩි දාලා සරසන්නේ නැද්ද? එදත් එහෙම තමයි. සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් පාර දෙපස ලස්සන කළා.

නමුත් පෙරුම්දම් පුරා මේ මහා භද්‍ර කල්පයේ සම්බුදු බව පිණිස මනුලොවට වැඩිය මහබෝසතාණන් වහන්සේගේ සිත ගිහි ජීවිතයට නොඇලෙන කාලය ආවා. දෙවියන්ගේ ආනුභාවයෙන් මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක්, ශ්‍රමණ රූපයක් දකින්නට සැලැස්සුවා. සතර පෙරනිමිති දුටු කුමාරයා ජීවිතය ගැන ගැඹුරින් හිතුවා. ගැඹුරට තේරුණා. රාජකීය ජීවිතයක ඇති නිසරුබව වැටහුණා. අන්තිමේදී විමුක්තිය සොයාගෙන ගිහි ජීවිතය අත්හැර අබිනික්මන් කරන්න තීරණය කළා.

නමුත් කොහොම යන්නද? අවසර දෙන්න කවුරුවත් නෑ. යශෝදරා නමින් ලස්සන කුමාරිකාවක් පණ වගේ ආදරෙන් හිටියා. හැමෝම ආදරෙයි. කවුරුවත් වෙන්වෙන්න කැමති නෑ. රාහුල කුමාරයා උපන් දවසේ ජීවිතයට එකින් එක බන්ධන එන බව සිද්ධාර්ථ කුමාරයාට වැටහුනා.

රජ පවුලකට පරම්පරාව ගෙනයන්න පුතෙක් අවශ්‍යයි කියන කරුණ ඒ කාලෙ ඉහළින් පිළිගන්නවා. ඒ නිසයි රාහුල කුමාරයා පවා බිහි වුණේ.

එදා රෑම සිදුහත් කුමරු ගිහි ජීවිතය අත්හරින්න තීරණය කළා. ඡන්න ඇමතියාට කතා කළා. ඡන්න විසින් කන්ථක අශ්වයාව පිළියෙල කළා. මහ රෑ මාළිගාවෙන් නික්ම යද්දී දොරටු පාලයන් හොඳටම නිදි. රාජ මාළිගාවේ දොරටු විවෘත කළේ දෙවියන් විසිනුයි. අශ්වයාගේ කුර ශබ්දය කාටවත් ඇහුණෙ නෑ. හරි පුදුමයි! අදටත් සිද්ධාර්ථ කුමාරයා පිටත්ව ගිය දොරටුවේ නටඹුන් කපිලවස්තුවේ දකින්නට ලැබෙනවා. අදටත් එතනට කියන්නේ ‘මහා අභිනිෂ්ක්‍රමණ ද්වාරය’ කියලයි.

ඉතින් සිද්ධාර්ථ කුමාරයා අනෝමා ගඟෙන් එතෙර වුණා. ඡන්න ඇමතියාව ආපහු පිටත් කළා. කන්ථක අශ්වයා මගදි මළා. හැඬූ කඳුලින් පැමිණි ඡන්න රජ්ජුරුවන්ට මේ ප්‍රවෘත්තිය සැළ කළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉතින් ඔබ දන්නවා ඇති අපගේ මහබෝසතාණන් වහන්සේ සේනා සහිත මාරයා පරදවා වජිරාසනය මත වැඩ හිඳ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. සම්බුද්ධත්වයෙන් වර්ෂයකට පසු කපිලවස්තුවට වැඩියා. ඡන්නගේ සිතත් පැවිද්දට නැඹුරු වුණා. ඔහු පැවිදි වුණා.

පැවිදි වුණු දා සිට මෙයා හරි ආඩම්බර වුණා.

“දැන් ඔය කවුරුවත් එදා හිටියෙ නෑ. අපගේ ආර්ය පුත්‍රයන් වහන්සේගේ සිත ගිහි ජීවිතයට නොඇලුණු හැටි දන්නෙ මං නෙව. එදා රාත්තිරියේ මටයි ඇවිදින් කතා කළේ. ‘ඡන්න… මං මේ ගිහි වාසය අත්හරින්න ඕන. ඉක්මනින්ම අශ්වයාව සූදානම් කරන්න’ කියලා. ඒ කාලෙ තමුන්නාසේලා කොහෙද හිටියේ? අපේ ආර්ය පුත්‍රයන් වහන්සේ ළඟ හිටියේ මං නෙව.

හප්පේ….! එදා මගේ ඇඟේ හිරිගඬු පිපුණා… ඕන දෙයක් වුණාවේ කියලා තමයි මාත් පිටත් වුණේ. මුළු ලෝකයක්ම නිදා සිටිය වෙලාවේ…. අහස පොළොව හැම දෙයක්ම නිහඬ වෙලාවේ…. හරි අසිරිමත් දෙයක් වුණා. අශ්පයාගේ කුර සද්දයවත් ඇහුනෙ නෑ! අනෝමා නදියේ දිය සිඳිලා තිබුණේ… අපි කරදරයක් නැතුව එතෙර වුණා… අපගේ ආර්ය පුත්‍රයන් වහන්සේ වෙන් වෙද්දී මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා… කන්ථක අශ්වයා හේසරාව කරමින් වැළපෙන්න පටන් ගත්තා. එදා තමුන්නාන්සේලා කොහෙද හිටියේ?

මං ආපසු පැමිණියේ ජීවිතාශාව ඇතුව නෙවෙයි. මං හිතුවේ මගෙ හිස ගසා දමාවි කියලා. එදා තමුන්නාන්සේලා කොහෙද හිටියේ?…. දැන්නෙ බලන්න තියෙන්නේ….. සාරිපුත්තලු! මොග්ගල්ලානලු! අග්‍ර ශ්‍රාවකයින්ලු! මහා ශ්‍රාවකයින්ලු! එතකොට තමන්නාන්සේලටද හැබෑම අයිතිය තියෙන්නේ….?

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අයිති මටයි. උන්වහන්සේ ළඟ ඉන්න ඕන මමයි. එදා කන්ථක අශ්වයාත් සමඟ උන්වහන්සේ ළඟ හිටියේ මං මිසක් වෙන කවුද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඡන්න ස්වාමීන් වහන්සේ කිසි කෙනෙක්ව ගණන් ගන්නේ නෑ. කාටවත් අවනත වෙන්නේ නෑ. සැරියුත්, මුගලන් රහතන් වහන්සේලාව ගණන් ගන්නෙත් නෑ. බොහෝ අවස්ථාවන්වලදී භාග්‍යවතුන් වහන්සේ ඡන්නව ළඟට කැඳෙව්වා. අවවාද කළා.

“පින්වත් ඡන්න, ඔය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගැන සිත පහදවා ගන්න. ඔබට කල්‍යාණ මිත්‍රයන් වන්නේත්, උතුම් සත්පුරුෂයන් වන්නේත් සැරියුත්, මුගලන් අගසව්වන් මිසක් වෙන කවුද? ඒ නිසා එවැනි කලණ මිතුරන්ව නේද ඇසුරු කළ යුත්තේ?”

භාග්‍යවතුන් වහන්සේ අවවාද කරද්දී ඡන්න ස්වාමීන් වහන්සේ බිම බලාගෙන නිශ්ශබ්දව ඉන්නවා. කවදාවත් එකට එක කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සමඟ ගැටෙන්න යන්නෙත් නෑ. නමුත් ටික කලක් යද්දී ආයෙමත් පරණ කථාව කියන්න ගන්නවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඡන්න භික්ෂුව අරභයා මේ ලස්සන ගාථාව වදාළා.

න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ

තමා නොමග යන නිසා – පවිටන් ඇසුරට එපා
ලොවෙහි අධම මිනිසුන් නම් – කිසිවිට ඇසුරට එපා
සුමගට ගෙන යන නිසා – කරන් කලණ මිතුරු ඇසුර
උතුම් කෙනෙක් වෙයි තමා – කරන් උතුම් මිනිස් ඇසුර

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධිමත් කෙනෙකුට පමණයි කලණ මිතුරාව හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද, ලස්සනට කතා කරලා, පුහු වර්ණනා කරලා තමන්ගේ වසඟයට ගන්න පවිටු පුද්ගලයන් ඉන්නවා. ඉන්පස්සේ ඒ පවිටු පුද්ගලයන් තමන්ගේ අවශ්‍යතාවය අර උදවිය ලවා ඉෂ්ට කරගන්නවා. පුහු වර්ණනාවටත් සෝභන වචනවලටත් රැවටෙන උදවිය නොමග යන්නේ පහන් දැල්ලට හසුවෙන පළඟැටියන් වගෙයි.

එනිසා පවිටු පාප මිත්‍රයන්, අධම පුද්ගලයන් හඳුනාගත යුතුමයි. බුදුරජාණන් වහන්සේ තමයි පුද්ගලයන් තුළ පවතින මේ වෙනස්කම දැක්කේ. ඇසුරු කළ යුතු, නොකළ යුතු පුද්ගලයන් ගැන විග්‍රහයක් කළේ. සියලු දෙනාම එකම විදිහේ ගුණ සම්පත්වලින් යුක්තයි කියලා, සියලු දෙනාටම ධර්මය අවබෝධ කරන්නත් පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කළේ නෑ. තම ධර්මය දේශනා කළේ ප්‍රඥාවන්තයන් උදෙසා බව බුදු මුවින්ම වදාළා.

සත්පුරුෂයා හැම විටම අනිත් අයව යහපතේ යොදවනවා. කලණ මිතුරන්ගේ ඇසුරෙහි යොදවනවා. උතුම් බුදු වදනෙහි සමාදන් කරවනවා. යහපත පෙන්වා දෙන අයව හඳුනාගන්නවා. යහපතට පැමිණෙනවා. උතුම් මිතුරන් ඇසුරට පැමිණෙනවා. ඔබත් එබඳු කෙනෙක් වෙන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ