“නුවණින් සළකා දන් දෙන්න…”
පින්වතුනේ, පින්වත් දරුවනේ, පින් කිරීමේදී අවබෝධයෙන් කළ යුතුයි කියලා ඔයාලට කලින් කිව්වනේ. හරියට තේරුම් නොගත්තොත් වරදින තැන හොයන්න බෑ. ඒ වගේ පින් කරන්න ගිහින් වැරදිච්ච කෙනෙක් ගැනයි මේ කතා කරන්නේ. හැබැයි වාසනාවට බුදුරජාණන් වහන්සේ වැඩහිටියා. නැත්නම් හරියට පව් රැස්වෙනවා.
සැවැත් නුවර සැදැහැවත් පවුලක් හිටියා. එහි කාණා නමින් දියණියක් වාසය කළා. ඇය ඈත ප්‍රදේශයකට විවාහ කරලා දුන්නා. කලක් ගෙවුණා. කිසියම් කරුණක් සඳහා මේ කාණාව තමන්ගේ නිවසට පැමිණියා. ටික දිනක් ගතවුනා. තම ස්වාමියා ඇයට එන්න කියලා පණිවිඩයක් එව්වා. හිස් අතින් යන්න බැහැ කියලා ගෙදර කැවුම් හැදුවා.
එදා වයසක ස්වාමීන් වහන්සේ නමක් ඒ ගෙදරට පිඬු සිඟා වැඩියා. ඇය හදපු කැවුම් වලින් කොටසක් ඒ භික්ෂුවට පූජා කළා. ඒ භික්ෂුව ඒ පිණ්ඩපාතය අරගෙන යද්දී තව භික්ෂුවකට කිව්වා,
“ෂෝක් කැවුම් තියෙනවා… මට අද පූජාකළේ කාණමාතාවගේ නිවසින්.”
අනිත් භික්ෂුවත් ඒ ගෙදරට පිණ්ඩපාතෙ ගියා. කාණාව ආයෙමත් පිණ්ඩපාතෙට කැවුම් බෙදුවා. මේ විදිහට දෙතුන් නමක්ම ඒ ගෙදරට පිඬු සිඟා වැඩියා. කැවුම් ඉවර වුණා. ගමන කල් ගියා.
ටික දවසකින් තම සැමියා ආයෙමත් පණිවිඩයක් එව්වා. හිස් අතින් යන්නෙ කොහොමද කියලා එදත් කැවුම් හැදුවා. භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වඩිද්දී කාණාව හදපු කැවුම් පූජා කළා. ඒ පාරත් ගමන වැළකුණා.
ආයෙ ටික දවසක් සැමියා ආයෙමත් පණිවිඩයක් එව්වා. හිස් අතින් යන්නෙ කොහොමද කියලා ආයෙමත් කැවුම් හැදුවා. භික්ෂූන් වහන්සේලා ආයෙමත් පිණ්ඩපාතෙ වැඩියා. කාණාවත් ආයෙමත් කැවුම් පූජා කළා.
සැමියා පණිවිඩයක් එව්වා, “තී ඕනෑවට වැඩියි. මං තිට තුන් වතාවක්ම පණිවිඩ එව්වා හනික වරෙන් කියලා. තී ගණනකට ගත්තෙ නෑ. තිගෙන් මට පලක් නෑ. ආයෙ මේ පැත්ත පලාතෙ එන්න එපා! මං වෙන එකියක් සහේට ගත්තා.”
කාණාව මේ පණිවිඩය ඇහිච්ච ගමන් සිහිසන් නැතුව වැටුණා. හඬන්න ගත්තා. වැළපෙන්න ගත්තා. දෙස් දෙවොල් තියන්න ගත්තා.
“අනේ… අපොයි! මට වෙච්ච දේ…! මං කැවුම් හැදුවේ මගෙ මිනිහට අරගෙන යන්නයි. තුන් පාරක්ම කැවුම් හැදුවා. මේ හාමුදුරුවරුන්ට ඉව වැටුණා නෙව. පාත්තරෙත් අරන් ගේ ඉස්සරහා හිටගෙන ඉඳිද්දි මං කොහොමද හිස් අතින් යවන්නේ…. මුන්දැලා තමයි මගේ පවුල් ජීවිතය කෑවේ… මං නැතිවුණා…! විනාශ වුණා…! හයියෝ…! මෙය බලන්න කවුරුත් නැද්දෝ…?”
භික්ෂූන් වහන්සේලා හොඳටෝම භය වුණා. භික්ෂූන් කතා වුණා,
“බැරිවෙලාවත් කාණමාතාවගේ ගෙවල් පැත්තේ පිණ්ඩපාතෙ එහෙම යන්න එපා! පිණ්ඩපාතෙ නෙවෙයි හම්බවෙන්නේ…. බඩ පිරෙන්න බැනුම්!”
බුදුරජාණන් වහන්සේට මෙය සැළවුණා. උන්වහන්සේ භික්ෂූන්ට ශික්ෂාපදයක් පැණෙව්වා.
‘භික්ෂුවක් නිවසකට පිඬු සිඟා ගිය විට කැවුම් වලින් හෝ ගමන් යෑමට සකස් කර ඇති අග්ගලාවලින් හෝ පූජා කළොත් ඒ භික්ෂුව ගත යුත්තේ දෙතුන් වරක් පමණයි. ඊට වැඩිය ගත්තොත් එය සංවර විය යුතු වරදක්. දෙතුන් වරක් ඒවා පිළිගත්තත් සංඝයා අතර බෙදා දීමයි එහි ඇති පිළිවෙල.’
ඉතින් ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා එවැනි වැරදි කරන්න ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ කාණමාතාවගේ නිවසට වැඩියා. කාණමාතාව නිවැසියන් සමඟ ඉතා ශ්‍රද්ධාවෙන් දන් පැන් පිළිගැන්නුවා. කාණාව කුස්සියේ රිංගගෙන හිටියා මිසක් ඉස්සරහට ආවෙ නෑ. දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා,
“පින්වත්නි, කෝ මේ කාණා…?”
“අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේව දුටු කාණා හැංගුණා… ඇය හඬනවා.”
“කාණාට එහෙනම් එන්න කියන්න.”
කාණාව හඬ හඬා ඇවිත් බුදුරජාණන් වහන්සේට වන්දනා කොට බිම බලාගෙන ඉකි බිඳිමින් හිටියා. ඇයගේ මව් කාණමාතාව බුදුරජාණන් වහන්සේට කරුණු කිව්වා.
“අනේ ස්වාමීනී, මේ කැවුමක් නිසා වෙච්ච හදියක්. මේකිමයි කැවුම් හදන්න පටන් ගත්තේ. මේකිමයි කැවුම් පූජා කරන්නත් පටන් ගත්තේ. මේකිමයි මගුල කඩාගත්තේ. මේකිමයි දැන් සංඝයාට බනින්නෙත්.”
“කාණාවෙනි, මගේ ශ්‍රාවකයන් මේ නිවසට පිණ්ඩපාතෙ ඇවිත් ගත්තෙ ඔබ පූජා කළ කැවුම්ද? නොකළ කැවුම්ද?”
“ස්වාමීනී, මං පූජා කරපුවා තමයි ගත්තේ…”
“ඉතින් කාණාවෙනි, මගේ ශ්‍රාවකයන් පිණ්ඩපාතේ වඩිද්දී මේ ගේ මිදුලටත් වැඩියා. වෙන මොනවා හරි පූජා කරන්න තිබුණා. ඔබමයි ඔක්කොම කැවුම් පූජා කරලා තියෙන්නේ. ඉතින් ඒක භික්ෂූන් වහන්සේලාගේ
වැරැද්දක්ද?”
“ස්වාමීනී, ඒක ඇත්ත. ආර්යයන් වහන්සේලාගේ දෝෂයක් නෑ.”
එතකොට කාණාවගේ මව් මෙහෙම කිව්වා.
“ස්වාමීනී, මේකිගෙමයි වැරැද්ද.”
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා,
“ඉතින් ඒකනෙ කාණා, දැන් මගේ ශ්‍රාවකයන් පිඬු සිඟා වඩිද්දී මේ නිවසටත් වැඩියා. කැවුම් පූජා කළේ ඔබේ මෑණියොත් නෙවෙයි. එහෙම එකේ මගේ ශ්‍රාවකයන්ට දොස් ලැබෙන්නේ කොහොමද?”
“ඒක ඇත්ත ස්වාමීනී, ආර්යයන් වහන්සේලාගේ වැරැද්දක් නෑ. මගේමයි වැරැද්ද. අනේ ස්වාමීනී, මට මේ ගැන සමාවෙන සේක්වා!” කියලා ශාස්තෘන් වහන්සේට වන්දනා කොට සමාව ගත්තා.
බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. කාණාවගේ වාසනාව බලන්න. ඇය සෝවාන් ඵලයට පත්වුණා.
එදා බුදුරජාණන් වහන්සේ රජමිදුල මැද්දෙන් ආපසු වඩිමින් සිටියා. කොසොල් රජතුමා ඈතදීම බුදුරජාණන් වහන්සේව දැක්කා. දැකලා ඉක්මනින් ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා.
“ස්වාමීනී, කොහේ වැඩිය ගමන්ද?”
“මහරජතුමනි, කාණමාතාවගේ ගෙදර යන්න වුණා නෙව.”
“ඒ මොකද ස්වාමීනී?”
“මේ කාණමාතාවගේ දුව කාණා භික්ෂූන් වහන්සේලාට ආක්‍රෝශ පරිභව කරනවා. ඒ නිසයි යන්න සිද්ධ වුණේ”
“ඉතින් ස්වාමීනී, මොකද වුණේ? ඇය ඒ වරදෙන් නිදහස් වුණාද?”
“එසේය මහරජ. ඇය දැන් එහෙම දොස් පරොස් කියන්නෙ නෑ. ඒ වගේම දැන් ඇය ලොව්තුරු නිවසකට අධිපතිනියක් වුණා.”
“එහෙමනම් ස්වාමීනී, නුඹවහන්සේ විසින්මයි ඇයව ලොව්තුරු නිවසක අධිපතිනියක් කරන ලද්දේ. මමත් ඇයව ලෞකික නිවසක අධිපතිනියක් කරන්නම්.”
ඊට පස්සේ රජතුමා ඇයට සිව්සැට ආභරණ පළඳවා රජමැදුරේ වැඩිමහලු දියණි තනතුර දුන්නා. ඊට පස්සේ රජතුමා මගේ වැඩිමහලු දියණිය නඩත්තු කරන්න කැමති කවුද කියලා ඇමැතිවරුන්ගෙන් ඇහුවා.‘දේවයන් වහන්සේගේ දියණිය නඩත්තු කරන්න අපි කැමතියි’ කියලා සියලු ඇමතිවරු ඉදිරිපත් වුණා. ඒ ඇමැති මඬුල්ල මුල්වෙලා ඇයට සියලු යස ඉසුරු ලැබුණා. ඊට පස්සේ ඈ දන්හල් හතරක් පිහිටුවලා නිරතුරුවම සංඝෝපස්ථාන කළා.
දම්සභා මණ්ඩපයේදී මේ අසිරිමත් සිදුවීම ගැන භික්ෂූන් අතර කතාබහ ඇතිවුණා.
“අනේ හැබෑට… වයසක උන්නාන්සේලා හතර දෙනෙක් කැවුම්වලට ආස කරන්න ගිහින් වෙච්ච හදියක්! අපූරුවට හිටපු කාණාවගේ ජීවිතය අවුල් කළා! ඇගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වැඩහිටියා… සම්බුදු මහිමය නිසා ඇයට ශ්රද්ධාලාභය ලැබුණා. දැන් ගඟ ගලන්නැහේ ඇය දන් පුදනවා. භික්ෂු, භික්ෂුණීන් හිතුමනාපේ දන් වළඳනවා. සම්බුදු ගුණය නම් ඒකාන්තයෙන්ම ආශ්චර්යයි!”
මේ කාරණය අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදළා.
යථාපි රහදෝ ගම්භීරෝ - විප්පසන්නෝ අනාවිලෝ
ඒවං ධම්මානි සුත්වාන – විප්පසීදන්ති පණ්ඩිතාගැඹුරු මුහුදෙ ඇති දිය කඳ – කලබල කිසිවක් නොමැතිව
ශාන්ත ලෙස තිබෙන ලෙසින් – නුවණැති අය දහම් අසා
කලබල වූ සිත සනසා – ශාන්ත ලෙස නිවෙති නිතින්
පින්වතුනේ, පින්වත් දරුවනේ, කාණාවට වැරදුණේ ඇය හදපු කැවුම් සියල්ලම කල්පනා නොකොට පූජා කිරීම නිසයි. වයසක හිමිවරු කීපනමක් කල්පනා නොකොට එම නිවසට පිඬු සිඟා යෑම නිසා තමයි ඇය ඒ දේ කළේ. වරද ඇගේමයි. ඇයට තිබුණා වෙන මොනවා හරි පූජා කරන්න. පිඬු සිඟා වැඩිය හිමිවරු කැවුම් ඉල්ලුවේ නෑ.
සමහර විට අපට අහන්න ලැබෙනවා ඇතැම් මෝඩ මිනිසුන් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ‘ඔබවහන්සේලා වළඳන්න කැමති මොනවද?’ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් ‘අපි මේවා වළඳන්න කැමතියි’ කියලා කියනවා. සමහර විට එය ගිහි පින්වතා කැමති නොවන දෙයක් වෙන්න පුළුවනි. ඊට පස්සේ ඔහු කරන්නේ එය පූජා කරන්නෙත් නෑ. හැම තැනම බැන බැන යනවා. ‘අසවල් හාමුදුරුවන්ගෙන් බේරෙන්න බෑ. අපෙන් එක එක කෑම ජාති ඉල්ලනවා’ කියලා. නැති පව් රැස් කරගන්නවා. මෙවැනි මෝඩකම්වලට ඔබ අහුවෙන්න එපා! ඔබට තියෙන දෙයක් සතුටෙන් දන් දෙන්න. රසවත්ව පිළියෙල කොට දන් දෙන්න. ඔබ කැමති අයුරින් දන් දෙන්න. එසේ නැතුව මොනවද ඕන කියලා අහලා පස්සෙ බනින්න එපා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ