“දහම වෙත කැඳවාගෙන යන වාසනාව…”
පින්වතුනේ, පින්වත් දරුවනේ, වාසනාව කියන්නේ හරි පුදුම දෙයක්. සමහරුන්ගේ මුළු පවුලටම වාසනාව ලැබෙනවා. තවත් සමහර අයගේ පවුල්වල හැමෝටම වාසනාව නෑ. මේ කථාවෙදි ඔබ ඉගෙන ගන්නේ මුළු පවුලක්ම ලද වාසනාවක් ගැනයි.
සැවැත් නුවර තරුණ උපාසකයෙක් හිටියා. ඔහුටම ගැලපෙන තරුණියක් විවාහ කරගත්තා. මේ දෙදෙනාම ටිකෙන් ටික ධර්මයට යොමු වුණා. ඒ උපාසකගේ නම ධම්මික. ඔහු දවසක් බිරිඳට මෙහෙම කිව්වා.
“අපි කසාද බැන්දට යන්න තියෙන්නේ සසර ගමනක්නේ… මං නම් මේ සසර ගමනට කැමති නෑ. අපේ වාසනාවට සැවැත් නුවර උපදින්න ලැබුණා. බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබුණා. බුදුරජුන් ඇස් දෙකෙන් දකින්න ලැබුණා. බුදු මුවින් ගලනා අමා දහම් ගඟුල දෙසවනින් උකහා ගන්න ලැබුණා. දහම දුටු රහතුන් ඇසුරු කරන්න ලැබුණා. ඉතින් සොඳුරියේ, මේවා සුළුපටු දේවල්ද? මේ සියල්ල විතරක් නෙවෙයි, අපට ශ්රද්ධාවත් ලැබුණා. අනේ මට නම් ගෙදර ඉන්න හිතෙන්නෙම නෑ. මහණ වෙන්නමයි හිත.”
“ඒක ඇත්ත ධම්මික. ඔයා කියන කතාව මට තේරෙනවා. ඒ වුණාට මං දැන් අම්මා කෙනෙක් වෙන්න ළඟයි. ඔයා දැන්මම මහණ වුණොත් රට්ටු මට මොනවා නොකියයිද? අඩු ගණනේ දරුවා ඉපදිලා ටිකක් උස මහත් වෙනකම්වත් ඉන්න.”
ධම්මික තරුණයා නිශ්ශබ්ද වුණා. දරුවා ඉපදුණා. යන්තම් පියවර තබමින් ඇවිදින්න පුළුවන් වුණා. මහණ වෙන්න ඇති ආශාව නැවත ඉදිරිපත් කළා. ඇයත් ධර්මයට ආසයි. තමන් ආදරය කරන ස්වාමියා විමුක්තියක් සොයාගෙන බුදු සසුනට ඇතුළුවීම ගැන ඇයත් කැමතියි. නමුත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඇයට ඇතිවුණා. ඇය හඬ හඬා අවසර දුන්නා.
ධම්මික තරුණයා දෙව්රමට ගොස් උතුම් බුදු සසුනෙහි පැවිදි වුණා. සුළු කලයි ගියේ. රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. චාරිකාවේ වඩිමින් කාලයක් ගත කළා. කලකට පස්සේ සැවැත් නුවරට වැඩියා. දරුවා බලන්න ගෙදර පිටත් වුණා. දැන් පොඩි දරුවාට කියන දේ හොඳට තේරෙනවා. ධම්මික තෙරුන් වහන්සේ පොඩි දරුවාට ධර්මය කියා දුන්නා. සසරේ ඇති භයානකකම ගැන කියා දුන්නා.
“පිය ස්වාමීන් වහන්ස, එහෙනම් මාත් පැවිදි වෙන්න ආසයි. මටත් ඕන සසරෙන් එතෙර වෙන්න. අනේ මේ බුදු සසුනේ මහණ වෙන්න මට උදව් කරන්න.”
දරුවාට මහණ වෙන්න අම්මා අවසර දුන්නා. මේ සිඟිති දරුවා සුළු කලකින් රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අම්මා තනියම කල්පනා කරන්න පටන් ගත්තා.
“අපි දෙන්නා සෑහෙන කාලයක් ආදරෙන් හිටියා. ආදරය කරලයි බැන්දේ. නමුත් තෘෂ්ණාව නැමැති බන්ධනයෙන් සිත නිදහස් කරන අසිරිමත් ධර්මය අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කළා. ඒ දේට ඉස්සෙල්ලාම හිත ගියේ මගේ ස්වාමියාටයි. ඔහු පැවිදි වුණා. හංසයෙක් වගේ නිදහසේ ඉන්නවා දැන්. මගේ ලෝකයේ පාළුව මැකුවේ පුතා විසිනුයි. පුතාගේ වාසනාවට හොඳට නුවණ තිබුණා. පුතාට මේ ධර්මය තේරුණා. තාත්තාගේ අඩි පාරේ පුතත් ගමන් කළා. එයත් මහණ වුණා. හංස පැටියෙක් නිදහසේ යනවා. නිදහසේ ගස් සෙවණේ භාවනා කරන හැටි මං බලන් ඉන්නේ හරිම ආසාවෙන්.
දැන් ඉතින් මේ ගිහි ගෙදර ඉන්න එකේ ඇති පලය මොකක්ද? මේ බිත්ති හතරකට මැදිවෙලා මොනවා හොයන්නද? අතීතයේ සෙවණැලි ගොඩක අතරමං වෙලා කොණක් පොටක් නොපෙනන ඈතක් දිහා බලාගෙන ඇති පලේ මොකක්ද? මාත් මහණ වෙනවා.”
ඉතින් ඇයත් මෙහෙණවරට ගොස් පැවිදි වුණා. සුළු කලකදි අරහත් භික්ෂුණියක් බවට පත්වුණා. භික්ෂූන් වහන්සේලා මේ වාසනාවන්ත පවුල ගැන කතා බස් වුණා.
“ඇවැත්නි, ධම්මික උපාසක හරිම පින්වතෙක්. ඔහුටත් කරදරයක් නැතුව මහණ වෙන්න පුළුවන් වුණා. ඒ මහණකමත් සාර්ථකයි. පුතාත් මහණ කරගන්න පුළුවන් වුනා. පුතාගේ පැවිද්දත් සාර්ථකයි. බිරිඳත් මහණ වුණා. ඇයගේ පැවිද්දත් සාර්ථකයි. මුළු පවුලම නිවන් දැක්කා නෙව. මේක පුදුම වාසනාවක්නේ….”
මෙකරුණ අරභයා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.
න අත්තහේතු න පරස්ස හේතු – න පුත්තමිච්ඡේ න ධනං න රට්ඨං
න ඉච්ඡෙය්ය අධම්මේන සමිද්ධිමත්තනෝ – ස සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා
නුවණැති කෙනා කිසිවිට – තමා වෙනුවෙන් පවක් නොකරයි
ඒ අයුරින්ම කිසිවිට – අනුන් වෙනුවෙන් පවක් නොකරයි
දහමින් තොරව ලබනා – දරුවෙකුත් කිසි විටෙක නොපතයි
රටක් හෝ ධනයක් හෝ – දියුණුවක් නොමගකින් නොපතයි
සැබැවින්ම ඔහු සිල්වතෙක්මයි – නැණවතෙක්මයි දැහැමියෙක්මයි
පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ ධම්මික පවුල මොනතරම් වාසනාවන්තද? සැවැත් නුවර ඉඳලා, බුදුරජුන් දැකලා, බණත් ඇහිලා ශ්‍රද්ධාව ඇති නොකරගත්තු අයත් හිටියා. වඳින්නං වාලේ වඳින අයත් හිටියා. අහන්නං වාලේ අහන අයත් හිටියා. දෙන්නං වාලේ දෙන අයත් හිටියා. ඒ අය තාම යන්නං වාලේ සසරේ යනවා ඇති.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ