“රහතුන්ව හඳුනාගැනීම ලේසි නෑ…”

පින්වතුනේ, පින්වත් දරුවනේ, රහතන් වහන්සේලාගේ ගතිගුණ ගැන නම් සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා තියා හිතාගන්නවත් බැහැ. එතරම්ම උන්වහන්සේලාගේ ස්වභාවය ආශ්චර්යයි. රහත් වෙනවා කියලා කියන්නේ සිතක තිබෙන සියලුම අකුසල් නැතිවීමයි. පව් දුරුවීමයි. කෙලෙස් ප්‍රහාණය වීමයි. එතකොට මේ සිත ඉතාමත්ම ප්‍රභාෂ්වර වෙනවා. පිරිසිදු බවින් බබලනවා. ශාන්ත වෙනවා. සංසුන් වෙනවා. තැන්පත් වෙනවා. නිහතමානී වෙනවා. රහතුන්ගෙන් පිරී ගිය දඹදිව් තලය ඒ බුද්ධ කාලයේදී කොතරම් සුන්දරව තිබෙන්න ඇද්ද?

මේ කථාවත් පුංචි රහතන් වහන්සේ නමක් ගැනයි. හැබැයි මේ රහතන් වහන්සේගේ නම සඳහන් වෙලා නෑ. උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේගේ නම නම් සඳහන් වෙනවා.

එක් කාලෙක කෝසම්බි නගරයේ වාසය කළ තිස්ස නම් තරුණයෙක් ගෞතම බුදු සසුන ගැන පැහැදුණා. ‘අනේ මටත් මේ සසර දුකෙන් මිදෙන්න ඇත්නම් කොතරම් හොඳදැ’යි කියා ඒ බුදු සසුනේ පැවිදි වුණා. උන්වහන්සේ පැවිදි වෙලා දිගටම වාසය කළේ කොසඹෑ නුවර එක්තරා වනගත කුටියකයි. ඒ නිසාම උන්වහන්සේව ප්‍රසිද්ධ වුණා ‘කොසඹෑ නුවරවාසී තිස්ස තෙරුන්’ කියන නමින්.

දවසක් එක්තරා උපාසකයෙක් තුන් සිවුරකුයි, ගිතෙල් මීපැණි ආදියයි රැගෙන ඇවිත් මේ ස්වාමීන් වහන්සේට පූජා කළා.

“අනේ පින්වත් උපාසක, මට මේ පිරිකර වලින් ප්‍රයෝජනයක් නැහැ. මං ඉන්න තැන මට උපස්ථාන කරන්න කවුරුවත් නැහැ නෙව. එනිසා ඔය පිරිකර වෙන ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න.”

“අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා! ඔබවහන්සේට කැපකරුවෙක් නැත්නම්, උපස්ථාන කරන්න කෙනෙක් නැත්නම්, මගේ පොඩි පුතාව එවන්නම්. ඒ පුතාව ඔබවහන්සේ පැවිදි කරගන්න. ඔබවහන්සේට උපස්ථාන කරගෙන පින් රැස් කරගැනීමේ අවස්ථාවක් මගේ පුංචි පුතුට ලැබේවි.”

ඉන් දින කීපයකට පස්සේ අර උපාසක පින්වතා තමාගේ කුඩා දරුවත් රැගෙන කුටියට ගියා. එතකොට ඒ දරුවගේ වයස අවුරුදු හතයි. වයසින් පුංචි වුණාට යමක් කමක් තේරුම් ගැනීමට පුදුම හැකියාවක් මේ දරුවට තිබුණා.

තිස්ස තෙරුන් වහන්සේ මේ දරුවා පැවිදි කළා. ඒ පැවිදි කරපු දවසේ මේ දරුවාගේ හිස මුඩු කරද්දී නුවණින් සිහිකිරීමට භාවනාවක් කියලා දුන්නා. ඒ අසුභ භාවනාවයි. පින කියන්නේ හරි පුදුම දෙයක්! මේ සත් හැවිරිදි පුංචි දරුවා පැවිදි වී අවසන් වීමත් සමඟ රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. මේ නිකෙලෙස් පොඩි නමක් කියලා කාටවත් හඳුනාගන්න බැරිවුණා.

හැබැයි මේ පොඩි නමගේ ගතිගුණ ගැන ගුරු ස්වාමීන් වහන්සේ පුදුම විදිහට පැහැදුණා. කිසි කලබලයක් නැහැ. කම්මැලිකමක් නැහැ. ඈනුම් ඇරිල්ලක් නෑ. වත් පිළිවෙත් මගහැරීමක් නෑ. සිනහමුසු මුහුණින්මයි ඉන්නේ. ගුරු ස්වාමීන් වහන්සේටත් සතුටුයි.

පැවිදි වී දෙසතියකට පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ පොඩිනමට මෙහෙම කිව්වා,

“පොඩි නම, අපි අපගේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්න සැවැත් නුවර දෙව්රමට යමු. ගමන ටිකක් දුරයි. පොඩි නමට වෙහෙසක් වෙන එකක් නෑ නේද?”

“අනේ ස්වාමීනී, ඒ ශාස්තෘන් වහන්සේ බැහැදකින්න ඇත්නම් මොනතරම් දෙයක්ද! මට හරිම පුදුමයි. මේ බුද්ධ ශාසනය නිසා තියෙන සැනසිල්ල ගැන.”

ඉතින් තිස්ස තෙරුන් පොඩි නමත් සමඟ ගමනට පිටත් වුණා. අතරමගදී එක්තරා විහාරයක නැවතුණා.

එදා ඒ පොඩි නමට රෑ නවාතැන් ගන්න පිළිවෙලකට තැනක් තිබුණේ නෑ. තව දවසක් දෙකක් නවතින්න තියෙනවා. ඒ නිසා ගුරු ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා.

“පොඩි නම… කුටියෙන් බැහැරව ඉන්න එක අමාරුයි. අනික මේ ආගන්තුක තැනක් නෙව. ඒ නිසා පොඩි නමත් මං ඉන්න කුටියේම පැදුරක් එළාගෙන ඉන්න.”

“එහෙමයි, ස්වාමීනී” කියලා පොඩි නමත් ගුරු ස්වාමීන් වහන්සේගේ කුටියට ආවා. දින දෙකක් ගෙවුණා. තුන්වෙනි දිනයේත් පොඩි නම ඒ කුටියට ආවා. පැදුරක් එළාගෙන පැත්තකින් වාඩි වුණා. රාත්‍රියේදී ගුරු ස්වාමීන් වහන්සේ ටික වේලාවක් භාවනා කොට සැතපුණා. සැණෙකින් නින්ද ගියා. ගුරු ස්වාමීන් වහන්සේට නින්ද ගිය ආකාරය බැලූ පොඩි නම මෙහෙම හිතුවා.

“මාගේ ගුරු දේවයන් වහන්සේ එක්ක මේ කුටියට ඇවිදින් දැන් දින තුනක් ගතවෙලා. සාමණේර නමක් සමඟ උපසම්පදා භික්ෂුවකට ඉන්න පුළුවන් දින දෙකයි. තුන්වන දිනයේදී හිරු එළිය වැටෙන්න කලින් අපි දෙන්නගෙන් කෙනෙක් අවදි විය යුතුයි. එහෙම නොවුණොත් ගුරු ස්වාමීන් වහන්සේට ඇවැතක් සිදුවෙනවා. මට පෙනෙන හැටියට මගේ ගුරු දේවයන් වහන්සේගේ ධර්ම මාර්ගය තවම වැඩිලා නෑ. උන්වහන්සේට හොඳටම නින්ද යනවා. ඉතින් යම් හෙයකින් උන්වහන්සේට එළිවෙන තුරු නින්ද ගියොත් මමත් නිදාගෙන සිටියොත් උන්වහන්සේට ආපත්තියක් සිදුවෙනවා.

මට මේ හැමදේම ලැබුණේ මගේ ගුරුදේවයන් වහන්සේ නිසානේ… මට මේ කුටියට ඇවිදින් ඉන්න කියලා කිව්වෙත් මා කෙරෙහි ඇති කරුණාව නිසානේ… මට මෙතරම් පිහිට වුණු මගේ ගුරුදේවයන් වහන්සේ මා නිසා ඇවැතකට පත්වෙනවාට මං කැමති නෑ. ඒ නිසා මං නිදාගන්නෙ නෑ. අවදියෙන් ඉන්න එක මට අමාරුවක් නෙවෙයි.”

ඉතින් එදා රාත්‍රියේ පොඩි නම අවදියෙන් හිටියා. භාවනා කළා. සක්මන් කළා. ආයෙමත් වාඩිවී භාවනා කළා. නින්දෙන් කරදරයක් වුණේ නෑ. ගුරු ස්වාමීන් වහන්සේට හොඳටම නින්ද ගියා. පාන්දර වෙද්දී පොඩි නම ගුරු ස්වාමීන් වහන්සේ අසළ වාඩි වී භාවනා කරමින් හිටියා.

කුටියේ තෙල් පහන් මොකුත් තිබුණේ නෑ. කුටිය කරුවලයි. ගුරු ස්වාමීන් වහන්සේ අවදි වුණා. උන්වහන්සේ හිතුවේ පොඩි නම සැතපී ඉන්නවා කියලයි. උන්වහන්සේත් පොඩි නමට කතා කළා.

“පොඩි නම… කෝ…. පොඩි නම සැතපිලාද…?”

ඒ මොහොතේ පොඩි නම ඇස් ඇරලා ගුරු ස්වාමීන් වහන්සේ දිහා බැලුවා. එතකොට ගුරු ස්වාමීන් වහන්සේ ළඟ තිබුණු වටාපතින් පොඩි නම පැත්තට දික් කරලා තට්ටු කළා.

“පොඩි නම… එළිය වැටෙන්න කළින් කුටියෙන් එළියට වැඩියොත් හොඳයි නේද?”

සිදුවුනේ හරි පුදුම දෙයක්. වටාපතින් තට්ටු කරද්දී පොඩි නම දැක්කේ නෑ. ඒ වටාපතේ තියුණු මිට පොඩි නමගේ ඇහේ වැදුණා. ඒ ඇස ඒ මොහොතේම අන්ධ වුණා. පොඩි නම නිශ්ශබ්දව එක අතකින් ඇස වසාගත්තා.

“එහෙමයි, ස්වාමීනී” කියලා එළියට වැඩියා.

වත්පිළිවෙත් කරද්දී පොඩි නම තනි අතින් කුටිය ඇමදුවා. තනි අතින් වැසිකිළිය පිරිසිදු කළා. ගුරු දේවයන් වහන්සේගේ මුව දෝවනය කරන්න පැන් පිළියෙල කළා. උන්වහන්සේට දැහැටි දඬුවක් පූජා කළා. ඒ දැහැටි දඬුව පූජා කිරීමේදී පොඩි නම තනි අතින් පූජා කළා.

ඒ මොහොත වෙන තුරු පොඩි නමගේ ඇසක් අන්ධ වී ඇති බව ගුරු ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නෑ.

“ඇයි පොඩිනම මේ….? වෙනදට ඉතාම ගරු සරු ඇතිව දෝතින් නෙව පූජා කරන්නේ…? අද මොකෝ මේ තනි අතින් පූජා කරන්නේ? වත්පිළිවෙත් මගහරින්න හොඳ නෑ.”

පොඩිනම ගුරු ස්වාමීන් වහන්සේට වන්දනා කළා. වසාගෙන සිටි අත ඇසින් ඉවත් කළා. ඇස පුරා ලේ කඳුළු ගලනවා.

“ස්වාමීනී, මට සමාවෙන්න. මා හිතාමතා වත්පිළිවෙත් මගහරින්නෙ නෑ. අද පාන්දර ස්වාමීන් වහන්සේ මට කුටියෙන් එළියට යන්න කියද්දී අර වටාපතේ මිට මේ ඇහේ වැදුණා. ස්වාමීනී, මේ ඇස පේන්නෙ නෑ. වේදනාවත් වැඩියි. මං මේ අතින් වහගෙන හිටියේ ඒ නිසයි.”

ගුරු ස්වාමීන් වහන්සේට ඉවසගන්න බැරි තරමට වේදනාවක් ඇතිවුණා.

“අනේ… මගේ පින්වත් පොඩි නම, ඔබ ඒකාන්තයෙන්ම සත්පුරුෂයෙක්. මං මෙය දැනගෙන හිටියේ නෑ. අනේ… මගේ රත්තරං පැවිදි පුතේ, මට සමාවෙයන්…” කියලා ගුරු ස්වාමීන් වහන්සේ පොඩි නම ඉදිරියේ වැඳ වැටුණා. හඬන්න පටන් ගත්තා.

“අනේ… ස්වාමීනී, ස්වාමීන් වහන්සේගේ වැරැද්දක් නෑ. මං මේ සිද්ධිය කිව්වේ ස්වාමීන් වහන්සේගේ හිත රිද්දන්න නෙවෙයි. ස්වාමීන් වහන්සේ නිර්දෝෂියි. මගෙත් වැරැද්දක් නෑ. මට ඒ මොහොතෙම හිතුණේ මේක තමයි සසරේ ස්වභාවය කියලා. ඒ නිසා ස්වාමීනී, විපිළිසර වෙන්න එපා. හැඬීමෙන් පලක් නෑ. අපි හිමින් හිමින් ගමන යමු.”

ඊට පස්සේ අර ගුරු ස්වාමීන් වහන්සේ පොඩි නමට උපස්ථාන කරමින් හිමින් හිමින් සැවැත් නුවර බලා පිටත් වුණා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව බැහැදැක්කා. ගුරු ස්වාමීන් වහන්සේ සියලු විස්තරය බුදුරජාණන් වහන්සේට කියා හිටියා.

“අනේ ස්වාමීනී, මට අදහාගන්න බැහැ. හරිම පුදුමයි. තාම අවුරුදු හතයි වයස. කිසි කලබලයක් නැහැ. මෙච්චර දෙයක් වෙලත් මං අන්තිමේදී කිව්වා ‘අනේ මගේ පොඩි නම, මට සමාවෙන්න’ කියලා. එවේලේ මට දීපු පිළිතුර තවමත් මගේ මේ කන ළඟ දෝංකාර දෙනවා. ‘අනේ ස්වාමීනී, ඔබවහන්සේගේ කිසිම වැරැද්දක් නෑ. ඔබවහන්සේ නිර්දෝෂයි. මගේ වැරැද්දකුත් නෑ. මට ඒ මොහොතේ හිතුනේ මේ තමයි සසරේ ස්වභාවය කියලා’ අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ළදරු පොඩි නම මෙතරම් ගැඹුරට හිතන්නේ කොහොමද?”

“පින්වත් භික්ෂුව, මේ පොඩි නම තථාගතයන් වහන්සේගේ හද මඬලින් උපන් කෙනෙක්. වතුරෙන් උඩට නැඟී පිපී ගිය පුංචි නෙළුමක් වගේ කෙනෙක්. මේ පොඩි නම ආයෙ කවරදාකවත් තරහ ගන්න කෙනෙක් නොවෙයි. කිපෙන කෙනෙක් නොවෙයි. වෛර, ක්‍රෝධ, අමනාප, අකීකරුකම්, එකට එක කිරිලි මේ පොඩිනමගේ ජීවිතයට කවදාකවත් සම්බන්ධ වෙන්නේ නෑ. මේ පොඩිනම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා තියෙන්නේ පැවිදි වෙච්ච දවසෙමයි.”

එසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතාම මිහිරි ස්වරයෙන් මේ ගාථාව වදාළා.

සන්තං තස්ස මනං හෝති – සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස – උපසන්තස්ස තාදිනෝ

පවතී සංසුන්ව නිතර – නිකෙලෙස් රහතුන්ගේ සිත
කරන කතා බහද නිතර – සංසුන් වී ඇත එලෙසට
කය මුල් වී කරන දෙය ද – සංසුන් වී ඇත එලෙසට
නුවණ මෙහෙයවා සොඳ ලෙස – සියලු දුකින් මිදුණු සිතින්
උපශාන්ත වී වසනා – ඒ රහතුන් හැමවිටදිම
අටලෝ දහමට නොබියව – කම්පාවක් නැතුව සිටිති


පින්වතුනේ, පින්වත් දරුවනේ, අටලෝ දහමින් කම්පා නොවෙන කවුරුන් හෝ ලොව සිටිනවා නම්, ඒ රහතන් වහන්සේලා මිසක් වෙන කවුද? උන්වහන්සේලාගේ සිත, කය, වචනය, ශාන්තව පවතින බව බුදුරජාණන් වහන්සේ වදාළේ රහතුන්ගේ ස්වභාවය දන්නා නිසාය. එනිසා අපිත් ඒ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ