“කියන දේ නිවැරදිව තේරුම් ගත යුතුයි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවන්වලදී භික්ෂූන් වහන්සේලාගේ අවබෝධය පිණිස රහතන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා. අහන ප්‍රශ්නයේ අර්ථය රහතන් වහන්සේලාට තේරෙනවා. ඉතින් උන්වහන්සේලා අවබෝධයෙන්ම පිළිතුරු දෙනවා. එවැනි පිළිතුරුවල වටිනාකම තේරුම් නොගිය ඇතැම් භික්ෂූන් වහන්සේලා වැරදි විදිහට හිතනවා. දැන් අපි ඉගෙන ගන්නෙත් එවැනි සිද්ධියක්.

ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර පුබ්බකොට්ඨක නම් ස්ථානයකයි. එදා බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට වනවාසී භික්ෂූන් වහන්සේලා තිස් නමක් පමණ වැඩියා. උන්වහන්සේලාට නිවන් අවබෝධය පිණිස ධර්ම කරුණුවල අවශ්‍යතාවයක් ඇති බව බුදුරජාණන් වහන්සේට තේරුණා. ඒ කියන්නේ උන්වහන්සේලා අසන්නා වූ ධර්මය දරාගන්නවා. ඒ දරාගත් ධර්මය නුවණින් මෙනෙහි කිරීමට වඩා උත්සාහ කළේ ශ්‍රද්ධාවෙන් දරාගැනීම විතරයි. අවබෝධයක් ඇති කරගැනීමේදී එය තමන්ගේම අත්දැකීමක් බවට පත්වීමට සළස්වාගත යුතුයි. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇහුවා.

“පින්වත් සාරිපුත්ත, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට ප්‍රගුණ කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත් එය නිවනෙහි බැසගැනීම පිණිස, නිවන පිහිට කොට ගෙන නිවනෙන්ම නිමා වන බවට ඔබ තුළ ශ්‍රද්ධාවක් තියෙනවද?” කියලා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේක ගැඹුරු ප්‍රශ්නයක්. නිවන් මග ගමන් කරන කෙනෙකුට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ගුණවත්කම් ජීවිතය තුළ හොඳට පිහිටනවා. එතකොට ඒ කෙනා ඒවා හොඳින් වැඩී යන ආකාරයට ධර්මයේ හැසිරෙනවා. ඒ තුළින් තමයි ක්‍රම ක්‍රමයෙන් කෙලෙස් ප්‍රහාණය වෙලා යන්නේ.

ඉතින් බුදුරජාණන් වහන්සේ අසා වදාළේ ඔය ඉන්ද්‍රිය ධර්මය වැඩීමෙන් නිවන් අවබෝධ වෙන බවට විශ්වාස කිරීමෙන් පමණක් කළ හැකිද කියලයි. සැරියුත් මහරහතන් වහන්සේට ඒ ප්‍රශ්නය හොඳට වැටහුණා. උන්වහන්සේ ලස්සන පිළිතුරක් දුන්නා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට ප්‍රගුණ කළොත් නිවන් අවබෝධයෙන් ඒ දහම් වැඩපිළිවෙල සම්පූර්ණ වෙන බවට මම හුදෙක්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගැනීමෙන් පමණක් නවතින්නේ නෑ.

නමුත් භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුට ඔය ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැත්නම්, ප්‍රගුණ කරලා නැත්නම්, අත්දැකලා නැත්නම්, එබඳු කෙනෙක් ශ්‍රද්ධාවකින් පමණක් නතර වී ඉන්න පුළුවනි. යම් කෙනෙකුට ඔය ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිලා තියෙනවා නම්, අවබෝධයෙන්ම ඒ ගැන දන්නවා නම්, එය තමන්ට ප්‍රත්‍යක්ෂ නම්, ඒ ගැන සැකයක් නැත්නම්, එය හොඳට ප්‍රගුණ වෙලා නම්, නිකෙලෙස් බවටත් පත්වෙලා නම්, එයාට හුදෙක් ශ්‍රද්ධාවකින් නවතින්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්ස, මටත් මේ ගැන කිසි සැකයක් නෑ. මෙය මගේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්.”

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත. මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට ප්‍රගුණ කිරීමෙන් නිවන කරා යන බවට මා කියූ දෙය කෙනෙක් ශ්‍රද්ධාවෙන් පමණක් අදහාගන්නේ ඔහුට ඒ ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතිවුණාම තමයි. ඒ ගැන පූර්ණ අවබෝධයක් ඇතිවුණොත් එයා ශ්‍රද්ධාව ඉක්මවා යනවා. එතකොට කෙනෙකුගෙන් අසා දැනගෙන, ඒ කෙරෙහි පමණක් විශ්වාසය තබාගැනීමේ අවශ්‍යතාවයක් නෑ.”

බුදුරජාණන් වහන්සේ එසේ වදාළ විට ඇතැම් භික්ෂූන් වහන්සේලාට එහි අර්ථය වැටහුණේ නෑ. උන්වහන්සේලා හිතුවේ මෙහෙමයි.

“හපොයි… හපොයි… හරි වැඩක් නෙව! සාරිපුත්තයන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙලත් තාම ශ්‍රද්ධාවටවත් එන්න බැරි වෙලා නෙව. එකත් එකටම බ්‍රාහ්මණ පවුලකින් ආපු නිසා තමයි ඔය ප්‍රශ්නෙ. නැත්නම් කොහොමද ඔහොම වුණේ….? මෙතෙක් කලක් ගතවෙලත් ශ්‍රද්ධාව නැතෙයි කියලා කිසි භයක් නැතුව කියපු හැටි!”

මේ ගැන බුදුරජාණන් වහන්සේටත් ආරංචි වුණා. උන්වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාව කැඳෙව්වා. ඒ වැරදි අදහස දුරු කළා.

“පින්වත් මහණෙනි, සාරිපුත්තයන් ප්‍රකාශ කළ පිළිතුරේ අර්ථය ඔබට වැටහුණේ නෑ නේද? සාරිපුත්තයන් පැවසුවේ ඒ පංච ඉන්ද්‍රිය ධර්මයන් හොඳින් ප්‍රගුණ කළොත් නිවන අවබෝධ වන බවට කෙනෙක් විශ්වාසයක් පමණක් තියාගෙන පලක් නෑ කියන එකයි. ඔහු එය ප්‍රායෝගිකව ප්‍රගුණ කළ යුතු බවයි. අත්දැක්ක යුතු බවයි. එහෙම නැතුව තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැති බවක් ඒ පිළිතුර තුළ නෑ. ඒ නිසා අහන දේ සිහියෙන් අහන්න.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මේ ගාථාව වදාළා.

අස්සද්ධෝ අකතඤ්ඤූ ච – සන්ධිච්ඡේදෝ ච යෝ නරෝ
හතාවකාසෝ වන්තාසෝ – ස වේ උත්තමපෝරිසෝ

අනුන්ගෙන් අසා දැනගෙන – අදහාගත් දෙයක් නොම ගෙන
සකස් කළ දෙයක් නොතිබෙන – අමා නිවනම දැනගෙන
දුකක් වෙත යළිත් උපදින – යමක් ඇති නම් එය ද සිඳිමින
ඉඩක් ඇති නම් උපතට – සදහටම එය වළකන
සැදෙන්නට කෙලෙස් නොතබන – ඉවත් කොට එය ද දැනගෙන
වසයි නම් යමෙක් මෙලොවේ – ඔහු උතුම් පුරුෂයෙක්මය


පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ භික්ෂූන් වහන්සේලාට පස්සෙ හැමදෙයක්ම තේරුණා. ශ්‍රද්ධාව නැත කියලා කිව්වේ හුදෙක් අසාගෙන, දැනගෙන සිටීමකින් නොනැවතී තමාගේම අත්දැකීමක් බවට පත්කරගත් කියන එකයි.
මෙහි තියෙනවා ‘අකතඤ්ඤූ’ කියලා වචනයක්. එහි තේරුම මේකයි. නිවනට කියනවා ‘අකත’ කියලා. ඒ කියන්නේ හේතුඵල දහමින් සකස් නොකළ කියන එකයි. එතකොට කෙනෙක් හේතුඵල දහමින් සකස් නොකළ ‘අකත’ නම් වූ නිවන අවබෝධ කළොත් ඔහුට ‘අකතඤ්ඤූ’ කියනවා.

ඉතින් මේ රහතන් වහන්සේලා ගැන තියෙන විස්තරය අහලා ඔබට කරන්න තියෙන්නේ සිත පහදවා ගැනීමයි. සමහරු මෝඩකමට මෙහෙම කියනවා. ‘අපට දැන්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන නැහැ. අපිත් ප්‍රත්‍යක්ෂ කළාට පස්සෙ තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන’ කියලා. අන්තිමට එයාට ප්‍රත්‍යක්ෂයත් නෑ. ශ්‍රද්ධාවත් නෑ. මොකක් හරි දේකට රැවටිලා සිටීවි. ඒ නිසා අපට තියෙන ආරක්ෂාව ශ්‍රද්ධාවයි. එය රැකගන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ