“තමා ජයගැනීම හැම ජයට වඩා උතුම්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. මේ සිත විසින් අමුතු ලස්සන ලෝක මවලා දෙනවා. තමා මවා ගත්තු ලෝකය තුළ කිරුළු පළඳින්න ගිහින් කොතරම් පිරිසක් අමාරුවේ වැටෙනවාද? එවැනි වෙලාවක දුරදිග බලන්නේ නෑ. ඈත හිතන්නේ නෑ. සිතේ මැවුණු දෙය ලබාගන්න තමයි හැමදෙයක්ම කරන්නේ. නුවණ පාවිච්චි නොකළොත් කෙනෙකුට බේරෙන්න අමාරුයි. හැබැයි නැණවතා අන්තිම මොහොතේ හරි ගැලවෙනවා. මෙයත් අන්න එවැනි  ශෝචනීය ආදරය ක් ගැන කියවෙන සිදුවීමක්.

රජගහ නුවර ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු යුවළට මනස්කාන්ත රූ සපුවක් ඇති, දුටු දුටුවන්ගේ මන නුවන් වසඟ කරවන දේහ විලාස ඇති යොවුන් දියණියක් සිටියා. ඈ හැදුණේ හුදෙකලාවේ. කෙළි සෙල්ලමෙන් ගත කළා. ජීවිතයේ කිසි බරක් දැනුනේ නෑ.

“අපේ දූ හරීම ලස්සනයි. මේ තමයි පරිස්සම් කරන්න ඕන වයස. නැත්නම් ඕන නැති අවුල්වල පැටලේවි. පිරිමියෙකුට ඇහැ ගැහුණොත් මුළා කරන්න බලාවි. ඒ නිසා මේ දරුවාව තනි කරලාමයි හදන්න ඕන.”

ඉතින් මේ සිටු ජෝඩුව මේ දියණිය උඩු මහලෙන් බිමට බැස්සුවේ නෑ. ඈ උඩුමහලේමයි කල් ගෙවන්නේ.දූට පුදුම ආදරය ක්.

දිනක් සඳළුතලයෙන් පාර දෙස බලා සිටිද්දී බෙර සද්දයක් ඇසුණා. ඒ සද්දයෙන් තේරුම් ගියේ කවුරුන් හෝ මරණ දඬුවමට හසු වී සිටින බවයි. ඇය මහත් උනන්දුවෙන් බලා සිටියා.

“ෂා…! ලස්සන තරුණයෙක්…! හරී අහිංසක පාටයි. අනේ…. අර… අත් දෙක පිටුපස්සට බැඳලා… පාවලට දම්වැල් දාලා… අයියෝ….! අර…. අර…. රාජපුරුෂයන් ඔහුට කසයෙන් ගහනවා. අනේ…. මොන වරදක් කළාටද…?”

ඇයගේ සිත කලබල වුණා. ඒ වගේම ඒ තරුණයා කෙරෙහි ඇයගේ සිත තරයේ බැඳී ගියා.ලොකු ආදරය ක් හටගත්තා. ඇය සඳළුතලයේ එහාට මෙහාට දුවන්න පටන් ගත්තා. ඇය කෑ ගැසුවා.

“කෝ…. මේ ගෙදර කවුරුවත් නැද්දෝ….?”

සිටු දේවිය දුවගෙන ආවා.

“මොකෝ…. මොකෝ…. දුව….? මොකෝ…. මේ බෙරිහන් දෙන්නේ….?”

ඇය සිටු දේවියගේ දෙපතුල් ළඟ ඇද වැටුණා. ඇයගේ පා බදාගෙන හඬන්න ගත්තා.

“අනේ…. අම්මා… මට ඉඳලා පලක් නෑ…. අහිංසක තරුණයෙක් දඬුවමකට අහුවෙලා….! බෙර සද්දෙන් ඇහෙන්නේ එයාට මරණ දඬුවම නියම වෙලා ඇති බවයි. අනේ …. අම්මා….. එයාව කොහොම හරි නිදහස් කරන්න…. එහෙම නොවුණොත් මට ජීවත් වෙලා පලක් නෑ! මමත් මොනවා හරි කරගන්නවා…”

සිටු දේවියට උන්හිටි තැන් අමතක වුණා. ඇඟ වෙව්ලා ගියා. දහඩිය දැම්මා. මේ සා පරිස්සමකින් හැදූ දියණියට මේ මොකද වුණේ?

“මොකක්….? ආයෙත් කියාපිය…. ආයෙත් කියාපිය බලන්න…. මෙච්චර පරිස්සමෙන් මානෙල් මලක් වගේ හැදුවේ හොරෙකුට දීග දෙන්නද….? ආයෙ නම් මේ ගැන කට හොල්ලනවා නොවෙයි…!”

සිටු දේවිය පොළොවේ අඩි හැප්පුවා. ඇස් ලොකු කරලා බැලුවා. දත් සැපුවා. ඒත් සුරතලයට හැදුණු ජීවිතයේ කිසි බරක් නොදැනුණු මේ ළඳ බොළඳ දියණිය හසුරුවාගන්න කාටවත්ම බැරිව ගියා. ඇය කෙස් කඩා ගත්තා. ඇඟපත සූරා ගත්තා. කඳුළු වගුරුවා ගත්තා. සොටු පෙරා ගත්තා. මාළ වළලු ගලවා වීසි කළා. මල් පෝච්චි වීසි කළා. ජනෙල් තිර ඉරා දැම්මා. දැන් සිටුතුමයි, දේවියයි දියණිය මෙල්ල කරන්න නොයෙක් උපක්‍රම කරනවා.

සිටුතුමා හඬන්න පටන් ගත්තා.

“අනේ…. මගේ රත්තරන් දුවේ… ඔයාට අපි පණ වුණත් දෙනවා…. ඔයා තමයි අපේ එකම වස්තුව… මෙච්චර ආදරය කින් ඔයා ඇති දැඩි කළේ ඔයා ලස්සන ජීවිතයක් ගෙවනවා බලන්නයි… මේ සිටු මැදුර උඩු මහලෙන් ඔයාව බිමට බැස්සුවේ නැත්තේ ඔයාට ඇති ආදරය නිසා මිසක් තරහට නොවෙයි… අනේ රත්තරන් දුවේ… මං ඔයාගේ තාත්තා… මං ඔයාට ආදරෙයි! ඔයාව මං ඔයිට වඩා ලස්සන රූපයක් ඇති, ගුණවන්ත සිටු කුමාරයෙකුට සරණ පාවලා දෙන්නම්… මේ කොහේවත් යන පාදඩ හොරෙකුට ඔයාගේ හිතේ ආදරයට ඉඩක් දෙන්න එපා…! ඔයා වැනසිලා යාවි…! එවැනි හොරෙකුට හිඟන කෙල්ලක්වත් කැමැති විය යුතු නෑ… ඔයා සිටු කුමාරියක්… අනේ මගේ දුවේ…. මේ තාත්තා කියන දේ අහන්න…”

ඇයට කරුණු පහදන්න කිසිවෙකුටත් බැරිවුණා. ඇය පොළොවේ හැපි හැපී වැළපෙනවා. මුළු මාළිගයම මළගෙයක් වුණා. අන්තිමේදී සිටුතුමාට කරකියාගන්න දෙයක් නැති වුණා. දරුවාට ඇති ආදරය නිසාම රාජපුරුෂයන්ට අල්ලස් දුන්නා.

“ඒයි! රාජපුරුෂයෙනි, මේක රහසක්….! කාටවත් කියනවා නොවෙයි. මෙතන කහවණු දහසක් තියෙනවා. අර කොළු ගැටයා නිදහස් කරන්න. හැබැයි කිසි කෙනෙකුට දැනෙන්න තියන්න එපා! ඒ වෙනුවට වෙන කෙනෙක්ව මරන්න. ඔය තරුණයාව හොඳට ඇඳුම් අන්දවලා මෙහෙට එවන්න.”

රාජපුරුෂයන් ඒ විදිහට කටයුතු කළා. දැන් අර හොරා සිටු මාළිගාවේ සුර සැප විඳිනවා. බලු වලිගය උණ පුරුකේ දැම්මත් කිසි දවසක කෙලින් වෙන්නේ නෑ. ඒ වගේ මේ අසත්පුරුෂ සොරා සැප ලැබුවා කියලා ගුණවතෙක් වුණේ නෑ.
දැන් සිටු දියණියට හරි සතුටුයි. ඇය රටක්, රාජ්ජයක් ලැබුණට වඩා මහා සතුටකින් කල් ගෙවනවා. ඇය ස්වාමියාට හරිම ආදරෙයි. තමන්ගේ අතින්ම ආහාර පාන සකස් කරලා දෙනවා. ඇප උපස්ථාන කරනවා. අලුත් සැමියාව සතුටු කරන අදහසින් ඇය විවිධ ආභරණ පළඳිනවා.

දිනක් ඒ සොරා මෙහෙම හිතුවා, ‘ෂා…! අද පැළඳ සිටින්නේ අමුතුම ලස්සන මාලයක්! මට මතකයි ඊයේ තිබුණේ ඔය මාලය නෙවෙයි, වෙනින් එකක්… ලස්සන දියමන්තියක් ඔබ්බලා තිබුණා…. පෙරේදා කනේ තිබුණේ මුතු කරාබු දෙකක්…. ෂා….! මේ වළලු හරිම ලස්සනයි…. මං කොහොම හරි මේකිව මරන්න ඕන. මේ ආභරණ විකුණලා ඈතක ගිහින් හොඳට කාලා බීලා ඉන්න ඕන.’

“ඇයි ස්වාමීනී….? ඔයා මං දිහා ගිලින්න වගේ බලා සිටින්නේ….?”

“සොඳුරිය…. ඔයා හරීම ලස්සනයි… මං මේ කල්පනා කළේ ඔයාගේ හිත ඔයාගේ රූපයටත් වඩා ලස්සනයි. ඒ ගැනයි මං හිතුවේ….”

සිටු දියණිය ගොඩාක් සතුටු වුණා.

‘අපේ එක්කෙනා හොරෙක් කියලා තව පොඞ්ඩෙන් මරණවා නෙව…. හප්පේ….! මං නොසිටින්න මෙලහට මක් වෙලාද…? ඒකනේ කියන්නේ…. අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ… වරදක් කරපු ගමන් එයා යහපත් වෙන බව දන්නෙ නෑ…. මොනතරම් අහිංසක කෙනෙක්ද? මං දිහා බලන් ඉන්නේ හරීම අහිංසක විදිහට… මේකට තමයි කියන්නේ දෙහදක බැඳුණු හැබෑම ආදරය කියලා….’

ටික දවසකින් මේ තරුණයා අසනීප වුණා. ඇඳට වැටුණා. කෑම නොකා සිටියා. සිටු දියණියට හරිම දුකයි. ඈ හඬන්න ගත්තා.

“අනේ ඔයාට මොකද වුණේ….? අපි බෙහෙත් ගනිමු. එතකොට ඔයා සනීප වේවි.”

ඇය තම සැමියාව සනසන්න පටන් ගත්තා.

“අනේ මගේ පින්වත් සොඳුරිය…. ඔයා තමයි මගේ ජීවිතය බේරාගත්තේ…. මට මගේ පණටත් වඩා ඔයාව වටිනවා. නමුත් මං මේ ප්‍රශ්නය කියන්නේ කොහොමද?”

“අනේ ස්වාමීනී, ඇයි මාව විශ්වාස නැද්ද? මං ඔයාට වරදක් කළාද? මෙච්චර විශාල සිටු මැදුරක, මෙච්චර ධන සම්පත් තියෙද්දී, මෙතරම් ආදරය කරන බිරිඳක් සිටිද්දී, ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ….?”

“ඒක ඇත්ත…! ඒ හැමදේම තිබුණත් මට බේරෙන්න බැරි ගැටළුවක් තියෙනවා. ඒකෙන් තමයි මං අසනීප වුණේ… ඔයා දන්නවානේ…. මාව මරණයට නියම වෙලා තිබුණේ. සොරුන්ව පහළ හෙලා මරණ ‘චෝර ප්‍රපාත’ හෙළින් පහළට තල්ලු කරන්නයි මාව නියම වෙලා තිබුණේ. එහෙම වුණා නම් මගේ සිරුර කෑලිවලට කැඩිලා යනවා. ඒ චෝර ප්‍රපාතයට අධිගෘහිත දෙවි කෙනෙක් ඉන්නවා. මං එදා අහක යන සොරකමකට අහුවෙලා මරණ දඬුවමට නියම වෙලා සිටිද්දී මගේ හදවතින් දෙවියන්ට කෑ ගහලා කිව්වා, ‘අනේ දෙවියනේ…. මං නිර්දෝෂියි!. මාව බේර ගන්න…. මාව බේරගත්තොත් මං ඔබවහන්සේට ආභරණ වලින් පූජාවක් කරනවා’ කියලා. මං ඒක කොහොමද කරන්නේ…? මට ආභරණ දෙන්න කවුද ඉන්නේ?”

සිටු දියණිය තම ස්වාමියාගේ භාරය ගැන ඇස් දල්වා බලාගෙන මෙහෙම කිව්වා.

“ඇයි ස්වාමීනී, මගේ ආභරණ තියෙනවානේ…. ඉතින් අපි ඒවායින් පූජාවක් කරමු.”

“අනේ… මං කොහොමද එහෙම කරන්නේ…? ඔයා තමයි මගේ ජීවිතය බේරගත්තේ. මට හිතෙන්නේ ඒ ප්‍රපාතයට අධිගෘහිත දේවතාව තමයි ඔයාව මට ලබාදුන්නේ. ඔයා ආභරණ පැළඳ සිටිද්දී හරීම ලස්සනයි. ඉතින් මං කොහොමද ඒ ආභරණ ටික ගෙනිහින් දෙවියන්ට පූජා කරන්නේ….? අනික සිටු පවුල දැනගත්තොත් මාව ආයෙමත් මරණ දණ්ඩනයට නියම කරාවි!”

“නෑ…! එහෙම වෙන්නෙ කොහොමද? ඔයා මගේ ස්වාමියා. මේ සෑම දෙයක්ම අයිති ඔයාට. අපි පූජාවට සූදානම් වෙමු.”

අර තරුණයා ඇස් දල්වාගෙන සිටු දියණියගේ ආභරණ දෙස බලා මෙහෙම කිව්වා,

“ඔයා හරි පුදුම කෙනෙක්. අපි දෙන්නා සංසාරේ ආපු ගමනක් වෙන්න ඇති, මේ එකතු වුණේ… ඉතින් එහෙම නම් ඔයා වටිනා සෑම ආභරණයක්ම පළඳින්න. මං හරී ආසයි මගේ ජීවිතය බේරා ගත් මගේ ආදරණීය බිරිඳ දෙවියන් බැහැදකින්න ආභරණ වලින් දිළිසි දිළිසී යන අයුරු දකින්න….”

සිටු දියණියට හරි සතුටුයි. තරුණයා ඉක්මනින් සනීප වුණා. දැන් ඔහු ඉතාම ශක්තිමත්. භාරය ඔප්පු කරන්න දින ලෑස්ති කරගත්තා. දෙවියන් කෙරෙහි බැතිමත් තරුණයෙක් ලැබීම ගැන සිටු යුවලත් සතුටු වුණා. ඒ උදවියත් උදව් කළා. දැන් මේ තරුණ යුවළ සේවකයන් සමඟ භාරය ඔප්පු කරන්න පිටත් වුණා.

චෝර ප්‍රපාතය නම් වූ දරුණු හෙළ ඈතින් පෙනෙන විට අර තරුණයා සේවකයන් ඇමතුවා.

“ඒයි සේවකයිනි, මෙතනින් එහාට නුඹලාට එන්න අවසර නෑ… දැන් මේ බඩු මුට්ටු මෙතැනින් තියන්න. දැන් නුඹලා ආපසු පිටත් විය යුතුයි. අපි දෙදෙනා කන්ද මුදුනේ දවසක් දෙකක් ගත කරනවා. භාරය ඔප්පු කරලා අපි හෙමිහිට එන්නම්.”

දැන් මේ දෙදෙනා සෙමෙන් සෙමෙන් කඳු මුදුනට නැගගත්තා. සිටු දියණියට හරී වෙහෙසයි. කිසි දිනෙක මෙවැනි වෙහෙස මහන්සි වුණු ගමනක් ඇවිදින් නැහැ. ආදරණීය සැමියා වෙනුවෙන් සෙනෙහෙබර බිරිඳකගේ යුතුකමක් ඉටුකිරීම හැටියටයි ඇය මෙය සිතුවේ. බොහෝ වෙහෙස මහන්සි ගෙන කඳු මුදුනට පිටත් වුණා.

කඳු මුදුනට නැග්ග විට හැම පළාතක්ම ඈතට පේනවා. මේ කඳු මුදුනෙන් පහළට තල්ලු කොට මොන තරම් සොරුන් මරා ඇද්ද? ඇයට බියත් හිතුණා. නමුත් මෙහි අධිගෘහිත දෙවියන්ට ආභරණ පූජාව කොට ආපසු ගොස් සුවසේ ඉන්න පුළුවන් නිසා ඇය සතුටු වුණා. කඳු මුදුනෙදි සීතල සුළං හැමුවා. ටික ටික කරුවල වුණා. රෑ බෝ වුණා.

එක වරම තම ස්වාමියා දෝංකාර දෙමින් හිනැහෙන්න පටන් ගත්තා.

“හහ්…. හහ්… හා….! ඒයි මෝඩ ගෑනියේ… නුඹ නුඹේ කරෙන්ම ආභරණ ටික මෙතෙක් ගෙනා එක ගැන මට තියෙන්නේ සිනහ වෙන්න විතරයි. හහ්… හහ්… හා…!”

සිටු දියණිය බිය වුණා. ‘අහෝ…! මාගේ ආදරණීය ස්වාමියාට දේවතා උන්නාන්සේ වැහිලාවත්ද?’

“අනේ ස්වාමීනී, ඒ විදිහට හිනා වෙන්න එපා! මට හරී භයයි. ඔයාගේ වචන හරි වෙනස් වෙලා… ඔයා හරි අමුතුයි. මේ ගොම්මන් වෙලාවේ මට යාන්තමින් පේනවා… ඔයාගේ ඇස් දෙක ලොකුයි. හරි නපුරු පාටයි… අනේ ඇත්තට…. මොකද මේ ඔයාට වුණේ…?”

“හහ්… හහ්… හා….! ඒයි මෝඩ පිස්සී, නුඹ පිස්සියක්! මිනිහෙක් නිසා සියල්ල අහිමි කරගත්ත පිස්සියක්….! නුඹ දැනගනින්… නුඹේ ලස්සනින් මට පලක් නෑ…. දැන් ගලෝපන්…. හ්ම්…. ඉක්මනට…. ගලෝපන්…. ඔය පළඳගෙන ඉන්න සෑම ආභරණයක්ම ගලෝපන්…..”

සිටු දියණිය භය වුණා! ඇය ඉක්මනින් ආභරණ ගලවන්න පටන් ගත්තා. ගලව ගලවා ස්වාමියාගේ දෙපතුළ ළඟ තබමින් හඬ හඬා මෙහෙම කිව්වා.

“අනේ…. අපි කොහොම හරි මේ පූජාව කරලා ඉක්මනට යමු… රෑ වෙනවා…. ඔව්! අපි මේ ආභරණ ඔක්කොම පූජා කරමු. අපි ඉක්මනට පහළට බහිමු…”

“හහ්… හහ්… හා….! පහළට බහින්න….? පහළට බහින්න නෙවෙයි තියෙන්නේ…. පහළට පනින්නයි. තව ටික වෙලාවකින් පිස්සු කෙල්ලකගේ ශරීරය අර පහළ කෑලි කෑලිවලට විසිවෙලා තියේවි….! හහ්… හහ්… හා….!”

ඇය හඬන්න ගත්තා.

“අනේ…. ඔයා මොනවද මේ කියන්නේ….? ඔයා විහිළු කරනවාද? මට තේරෙන්නේ නෑ… මේ කතා කරන්නේ ඔයාමද? අර මං ආදරය කරපු කෙනාමද මේ…? අනේ… ස්වාමීනී, අපි මේ ආභරණ පූජා කරලා ඉක්මනින් යමු. මාව පහළට තල්ලු කරන්න එපා…! මං ඔයාගේ දාසියක් වෙලා සෑම ආවතේවාවක්ම කරන්නම්. අනේ… මට මොකවත් කරන්න එපා…!”

අර සොරා ඇයගේ දිගු කෙස් වැටියෙන් අල්ලා ගත්තා. අඹරලා අල්ලා ගත්තා. උමතුවෙන් ගුගුරන්න පටන් ගත්තා.

“ඒයි මෝඩ ගෑණියේ…. ආදරය කියන්නේ සෙල්ලම් බඩුවක් වගේ දෙයක්. මං ඒ සෙල්ලම් බඩුව ඈතට වීසි කරනවා…. හහ්… හහ්… හා….!”

සිටු දියණියට එකවරම නුවණ පහළ වුණා. ඇය ක්ෂණිකව හිතුවා.

‘මේ ලෝකය මෙතරම්ම දුෂ්ටද? මේ පුද්ගලයාව බේරාගත්තේ මමයි. ස්වාමියා කරගත්තෙත් මමයි. ඇප උපස්ථාන කළෙත් මමයි. භාරය ඔප්පු කරන්න ආවෙත් මමයි. මේ පුද්ගලයා තමයි මේ ප්‍රපාතයෙන් පහළට වැටෙන්න නියම වෙලා හිටියේ. දැන් ඒ පුද්ගලයා අතින්ම ප්‍රපාතයට වැටෙන්න වෙලා තියෙන්නේ මටයි. එහෙම වෙන්න දෙන්න බෑ…!’

ඉතින් ඇය හඬ හඬා මෙහෙම කිව්වා,

“අනේ ස්වාමීනී, මොහොතක් ඉන්න… ඔව්…! මොහොතක් මට අවසර දෙන්න… ඔයා මේ ආභරණ දෙවියන්ට පූජා කරන්න. ඔයා වෙනුවෙන් මං මේ ප්‍රපාතයට වැටෙන්න කැමතියි. හැබැයි ස්වාමීනී, මට මේ වචන දෙක කියන්න මොහොතක් අවසර දෙන්න…. මං මේ මුළු ජීවිතයටම ආදරය කළේ එකම එක්කෙනාටයි. ඒ ඔයාට විතරයි. ඒ නිසා ඔයාගෙන් විතරක් ආදරය ලබා මට මැරෙන්න සිදුවීම ගැන මං සතුටුයි… හැබැයි මට එක දේකට අවසර දෙන්න…. මේ සා ආදරය කළ ඔයාගෙන් එකම එක දෙයයි මං ඉල්ලන්නේ…. මට අවසර දෙන්න… ඔයාව තුන් වතාවක් පැදකුණු කොට සිප වැළඳගෙන මගේ අවසන් ආදරය දක්වන්න….”

අර සොරා මොහොතක් නිහඬ වුණා. ඇයගේ කෙස් වැටිය අත්හැරියා. අත් පහළට දමා ගත්තා. චෝරා ප්‍රපාතය දෙසට මුහුණලා සිටගත්තා. ගාම්භීර විදිහට මෙහෙම කිව්වා,

“හොඳයි! මේ අවසාන මොහොතේ නුඹේ හිතේ ඇති ඔය විකාර ආසාවටත් මං ඉඩ දෙන්නම්….”

ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්‍රපාතයට තල්ලු කළා.

ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා. සිටු දියණිය එතනම ඇදගෙන වැටුණා. ආදරය කරන්න ගිහින් මට වෙච්ච හරියක්.ඇය ඔළුව බිම ගසාගෙන හඬන්න පටන් ගත්තා.

“අනේ… දෙවියනේ…. ඇයි මට මෙහෙම වුණේ…? මං මෙතරම් අවාසනාවන්ත කෙනෙක්ද?”

කාත් කවුරුත් නැති ඒ රාත්‍රියේ අහස එළියකොට දෙවි කෙනෙක් පෙනී හිටියා. ඒ දෙවියා ඇයට මේ ගාථාව පැවසුවා.

“න හි සබ්බේසු ඨානේසු – පුරිසෝ හෝති පණ්ඩිතෝ,
ඉත්ථීපි පණ්ඩිතා හෝති – තත්ථ තත්ථ විචක්ඛණා”

සියලු තැනදි හැම විටකදි – නැණවත් පිරිමියා නොවෙයි
ඒ ඒ තැන නුවණ යොදා – එමගින් ගැටළු ද විසඳා
නැණවතියක ලෙස මෙලොවේ – සිටිනව ගැහැණියක් පවා”

දෙවියන්ගේ බස ඇසූ ඇයට අලුත් පණක් ලැබුණා. ඇය දැන් අලුතෙන් ජීවිතයට මුහුණ දිය යුතුයි.

‘දැන් මං කොහොමද ගෙදර යන්නේ….? මේ කෙහෙල්මල් බොළඳ ආදරයක් නිසා මං වැටිච්ච අමාරුව. මං ගෙදර ගියොත් මගෙන් අසාවි ස්වාමියා කොහෙද කියලා… මං කොහොමද කියන්නේ මගේ අතින් මෙහෙම දෙයක් වුණා කියලා… අනික මාව ආයෙමත් කවුරු හරි කෙනෙකුට විවාහ කරලා දේවි. ආයෙමත් මං කරදරේ වැටෙනවා. ආයෙමත් මට මොනවා වේවිද කියලා කවුද දන්නේ…? නෑ….! කසාදයක් නම් ඕනම නෑ. හොඳටෝම ඇති!’

ඇය පාන්දරින්ම කන්දෙන් බැසගත්තා. තාපසියන් ඉන්න ආරාමයකට ගියා. තාපසියක් වුණා. එදා සිට ඇය ගත කළේ පුදුම ජීවිතයක්. තල් ඇට වලින් ඔළුවේ කෙස් ඉදුරුවා. ඇයගේ වැවුණු කෙස් පුදුම විදිහට කැරළි ගැහුණා. ඒ නිසා ඇයට කුණ්ඩලකේසී කියන නම ලැබුණා. ඇය දත් මැද්දෙ නෑ. තනි රෙද්දකින් ඇඟ වසාගෙන හිටියා. මිථ්‍යා දෘෂ්ටියක පැටලිලා හිටියා. ඒ තාපසියන්ගේ ආරාමයේ උගන්වන්නේ වාද කිරීමටයි. ඇය වාද දාහක් ඉගෙන ගත්තා. ප්‍රධාන තාපසිය ඇයට මෙහෙම කිව්වා.

“කුණ්ඩලකේසී, මෙන්න මේ ජම්බු අත්ත ගන්න. දැන් ඔබ දඹදිව ඕනෑම ජනපදයක හිතුමනාපෙට සැරිසරා යන්න. ඔබ සමඟ වාද කොට ලේසි කෙනෙක් ජයගන්නෙ නෑ. හැබැයි ගිහි කෙනෙක් වාද කරලා ඔබව පැරැද්දුවොත් එයාගෙ බිරිඳ වෙන්න. පැවිද්දෙක් ඔබව පැරැද්දුවොත් ඔහු ළඟ පැවිදි වෙන්න.”

ඉතින් ඈ අංග, මගධ, වජ්ජි, මල්ල, කාසි, කෝසල ජනපදවල වාද කර කර ඇවිද්දා. ඇය ප්‍රසිද්ධ වුණා. ජම්බු අත්තක් අතින් ගෙන ගිය නිසා ‘ජම්බු පරිබ්‍රාජිකා’ කියලා ඇයට කිව්වා. ඇයගේ නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් තැති ගත්තා.

ඇය කරන්නේ ගමක් මැදට ගිහින් වැලි ගොඩක් ගසනවා. ඒ මත අර ජම්බු අත්ත හිටවනවා. වටේ ඉන්න සෙනඟට කෑ ගහලා කියනවා,

“ඒයි….! මෙහෙ වරෙල්ලා… නුඹලා දැක්කා නේද මේ ජම්බු අත්ත…? මාත් සමඟ වාද කරන්න කැමති ඕන කෙනෙකුට මේ ජම්බු අත්ත පාගන්න කියන්න. ඉතුරු ටික මං බලාගන්නම්.”

ඇගේ නම ඇසූ පමණින් බොහෝ දෙනෙක් භය වුණා. සමහරු සැඟ වුණා. දවසක් සාරිපුත්තයන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී ඒ ගමේ ලොකු කතාබහක් යනවා. හැමෝම කතා වෙන්නේ වාදකරන තාපසියගේ ජම්බු අත්ත ගැනයි. ඒ ජම්බු අත්ත වටකරගත් පිරිස ඒ දෙස පුදුමයෙන් බලා සිටින අයුරු සැරියුත් මහරහතන් වහන්සේ දැක්කා.

“දරුවෙනි, ඔය ජම්බු අත්තේ කිසි වටිනාකමක් නෑ. ඕක වීසි කරලා දාන්න.”

“අනේ, ස්වාමීනී, අපිට නම් බෑ… තාපසතුමියත් එක්ක වාද කරලා දිනපු කෙනෙක් නෑ.”

“දරුවනේ…. වාද කිරීම ගැන ඔබලා කල්පනා කළ යුතු නෑ. ඔය ජම්බු අත්ත වීසි කරලා, තලලා පොඩි කරලා දාන්න.”

ඒ පිරිසත් ජම්බු අත්ත තලලා, පොඩි කරලා දැම්මා. කුණ්ඩලකේසීට මෙය ආරංචි වුණා. ඇය වහා දුවගෙන ආවා.

“හා…! කවුද මේ අත්ත වීසි කරලා පොඩි කළේ…? නුඹලා මං ගැන දන්නේ නැද්ද?”

“අනේ තාපසිය, සාරිපුත්තයන් වහන්සේයි අපට කිව්වේ. ඒ නිසයි අපි මෙහෙම කළේ… අපේ වරදක් නෑ…”

ඇය සැරියුත් තෙරුන් සොයාගෙන ගියා.

“එතකොට ඔබවහන්සේද මේ ජම්බු අත්ත පොඩි කරලා දාන්න කිව්වේ?”

“එසේය, නැගණියෙනි.”

“ඒ කියන්නේ ඔබවහන්සේ වාදෙට ලෑස්තිද?”

“ඒකෙ ප්‍රශ්නයක් නෑ…”

ඊට පස්සේ ඒ පිරිස ඒ පළාතම දෙවනත් කරමින් කිව්වා, “වරෙල්ලා…..! මහා නුවණැතියන් දෙදෙනෙකුගේ වාදයක් සිද්ධ වෙනවා…. වරෙල්ලා….! කාලෙකින් සිදුවන අපූරු වාදයක් දැකගන්න පුළුවන්.”

ඉතින් විශාල සෙනඟක් රැස් වුණා. කුණ්ඩලකේසී තාපසිය වාද කළා. ලා නෙළුම් දඬු තියුණු ආයුධයකින් කපනවා වගේ සාරිපුත්තයන් වහන්සේගේ බබලන ප්‍රඥාවෙන් දහසක් වාද සිඳී බිඳී ගියා.

“නැගණියෙනි, වාද ඉවරද?”

“එසේය, ස්වාමීනී. මට තවත් වාද කරන්න දෙයක් නෑ.”

“නැගණියෙනි, මං එකම එක ප්‍රශ්නයක් අහන්නම්, හැකි නම් පිළිතුරු දෙන්න.”

“එසේය, ස්වාමීනී. මං විසඳන්න උත්සාහ ගන්නම්.”

“නැගණියෙනි, එක යනු කුමක්ද?”

ඇය කල්පනාවට වැටුණා. ඇයට හිතාගන්න බෑ. නැවත නැවත හිතුවා. ඇයගේ හිත පුරාවට ඒ ප්‍රශ්නය දෝංකාර දුන්නා. ඇයට පිළිතුරක් එන්නෙම නෑ. ඇයට දහඩිය දැම්මා. බිම බලාගත්තා. මුදු මොළොක් බසින් යටහත් පහත්ව ඇය මෙහෙම ඇහුවා.

“ස්වාමීනී, මට එය විසඳන්න තේරෙන්නෙ නෑ. මොකක්ද ඒ ප්‍රශ්නය….?”

“නැගණිය, එය බුදුරජුන්ගේ ප්‍රශ්නයක්…!”

“අනේ ස්වාමීනී, ඒ ප්‍රශ්න අහන රටාව මටත් උගන්වනවාද?”

“අප වගේ පැවිදි වුණොත් ඔබටත් මෙවැනි අපූරු ප්‍රශ්න පමණක් නෙවෙයි, පිළිතුරුත් ඉගෙන ගන්න ලැබේවි.”

“අනේ, ස්වාමීනී, මාව ඔබවහන්සේගේ ගෝලයෙක් කරගන්න.”

“නැගණියෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසරයි. යුගාන්තයේ හිරු මඬල වගේ ප්‍රඥා රශ්මි ධාරා පතුරුවමින් සකළ ලෝක ධාතුවම එළිය කරනවා.”

“අනේ ස්වාමීනී, මට ඒ ශාස්තෘන් වහන්සේව බැහැදකින්න ඕන. මට උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕන.”

“නැගණියෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ ගිජුකුළු පව්වේ වැඩසිටිනවා. ඔබ ගිහින් ඒ ලෝකනාථයන් වහන්සේව බැහැදකින්න. පැදකුණු කොට වන්දනා කරන්න. පැවිදි බව ලබාගන්න.”

ඇය කෙළින්ම ගිජුකුළු පව්ව බලා පිටත් වුණා. ඇය ගිජුකුළු පව්වට ගොඩවෙද්දී දවල් කාලය ගෙවිලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන ගිජුකුළු පව්වෙන් පහළට වඩිමින් සිටියා. ඇය බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. දණ බිම නවාගෙන බුදුරජාණන් වහන්සේට වැඳගෙන සිටිද්දී මහා කාරුණිකයන් වහන්සේ ඇයට දහම් පදයක් දේශනා කළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රඥාව කියන්නේ පුදුම දෙයක්! කුණ්ඩලකේසිය අතිශයින්ම සියුම් නුවණකින් යුතු තැනැත්තියක්. ඈ ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. ඇය නිකෙලෙස් බවට පත්වුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ “භද්‍රාවෙනි, මෙහි එන්න. මේ සසුනෙහි මනා කොට දෙසන ලද ධර්ම විනය තියෙනවා” කියලා වදාළ සැණින් ඇයට ඒහි භික්ෂුණී පැවිදි උපසම්පදාව ලැබුණා.

භික්ෂූන් වහන්සේලා අතර මේ ගැන කතා බහ ඇතිවුණා.

“කුණ්ඩලකේසී මෙහෙණිය ධර්ම ශ්‍රවණය කරපු නැති ගානයි. නමුත් ඇය අතිශයින්ම දක්ෂ විදිහට ධර්මය අවබෝධ කළා. ඒ විතරක් නෙවෙයි චෝර ප්‍රපාත කඳු මුදුනෙදි අර සොරාත් සමඟ කළ සංග්‍රාමය පුදුම එකක්. ඇය ඒ යුද්ධෙනුත් දින්නා. කෙලෙස් යුද්ධෙනුත් දින්නා.”

මෙය ඇසු බුදුරජාණන් වහන්සේ කුණ්ඩල කේසී තෙරණිය අරභයා මෙම ගාථාවන් වදාළා.

යෝ චේ ගාථාසතං භාසේ – අනත්ථපදසංහිතං
ඒකං ධම්මපදං සෙය්‍යෝ – යං සුත්වා උපසම්මති

සියයක් ගාථා කිව්වත් හැඩකොට – පලයක් නැහැමයි අරුතක් නැතිවිට
එකම දහම් පදයක් දැනගත් විට – අකුසල් දුරු වී යයි නම් එම විට
යහපත ඇති කරනා ඒ විලසට – උතුම්ය එක් දම් පදයක් එම විට

යෝ සහස්සං සහස්සේන – සංගාමේ මානුසේ ජිනේ
ඒකඤ්ච ජෙය්‍ය අත්තානං  – ස වේ සංගාමජුත්තමෝ

දහසක් යුද කරමින් ලොව කිසිවෙක් – ඒ යුද දහසම ජයගෙන සිටියත්
එලෙසින් දහසක් මිනිසුන් පරදා – ජය පැන් බීමෙන් සතුටුව සිටියත්
කෙලෙසුන් සමඟින් යුද වැදි කෙනෙකුන් – ජය ගන්නේ නම් සිත ඇති කෙලෙසුන්
එලෙසින් ජය ගත් විට ඔහු මෙලොවේ – සැබැවින් එය උත්තම දිනුමක්මය


පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකය තුළ විවිධාකාර යුද්ධ තියෙනවා. ඒවායින් කෙනෙකුට දිනන්නත් අවස්ථාව ලැබෙනවා. දහස් ගණන් මිනිසුන් පරදවා ජයගන්නා අවස්ථා තියෙනවා. නමුත් යම් කෙනෙක් කෙලෙසුන් සමඟ යුද වැදී ඒ කෙලෙසුන් පරදවා නිකෙලෙස් බවට පත්වුවහොත් සැබෑම ජයග්‍රහණය යනු එයයි.

බුදුරජාණන් වහන්සේ වදාළේ එය සියලු දිනුම් අතර උතුම්ම දිනුම බවයි. එවැනි දිනුමක් කරා යන්නට අපටත් වාසනාවක් ඇත්නම් කොතරම් අගේද!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

  මුල් පිටුවට >>>