“ධර්මයේ හැසිරෙන එක දවස පවා මොනතරම් උතුම්ද!”

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින්වන්ත කෙනෙකුගේ ඇසුර තුළින් බොහෝ දෙනාට යහපත සැළසෙනවා. පවිටු මිතුරන්ගේ ඇසුරෙන් බේරෙනවා. අකුසල් මතුවෙන අධර්මය ඇසීමෙන් වළකිනවා. අයහපතින් නිදහස් වෙනවා. යහපත උදාවෙනවා. එපමණක් නොවෙයි. ඉතාමත් බැරූරැම් අවස්ථාවලදී පවා පින්වන්ත සත්පුරුෂයන් මැදිහත් වී බොහෝ දෙනාට ආරක්ෂාව ලබා දෙනවා. පින්වන්ත සත්පුරුෂ උත්තමයෙක් ලොකු පිරිසක් බේරා ගත් අපූරු කථාවක් තමයි දැන් ඔබ අසන්නේ.

සැවැත් නුවර සැදැහැවත් පින්වතුන් තිස් දෙනෙක් පමණ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ කාලෙ පැවිදි සමාජයේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණා. පළවෙනි කොටසට කියන්නේ ‘ධම්මයෝගී’ පිරිස කියලයි. උන්වහන්සේලා නිරතුරුවම කළේ ධර්මය කටපාඩම් කිරීමයි. අනෙක් සඟ පිරිසට කියන්නේ ‘ඣායී’ පිරිස කියලයි. උන්වහන්සේලා නිතරම සමථ-විදර්ශනා භාවනාවටම නැඹුරු වෙලා හිටියා.

මේ තිස් නම මෙහෙම කතා වුණා.

“අනේ ආයුෂ්මතුන් වහන්ස, අපට තරුණ වයසේ මහණ වෙන්න වාසනාව ලැබුණේ නෑ. සුළියකට අහුවෙලා යට ගිහින් මඬේ එරෙනවා වගෙයි අපි කාමයට අහුවෙලා හිටියේ. අපි ඔහේ ජීවත් වුණා. නමුත් කුමක්දෝ වාසනාවකට අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ මේ චතුරාර්ය සත්‍යය ධර්මය අහන්න ලැබුණා. අමාරුවෙන් හරි ගිහි බන්ධන වලිනුත් නිදහස් වෙන්න ලැබුණා. පැවිදි වෙන්නත් ලැබුණා. වයසට ගිහින් හරි අපට මේ කරගන්න ලැබුණු දේ විශාල යහපතක්. තරුණ කාලෙ පැවිදි වුණා නම්, ධර්මය කටපාඩම් කරගන්න අපටත් තිබුණා. එයට වාසනාව නැහැ නෙව. දැන් ඉතින් අපට කරන්න තියෙන්නේ පුළු පුළුවන් විදිහකට අප්‍රමාදීව සමථ-විදර්ශනා භාවනා වඩන එකයි. ඒ සඳහා හොඳම පිළිවෙල නම් අපි ටිකක් දුර ඈත වනාන්තරයකට යන එකයි.”

ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා.

“පින්වත් මහණෙනි, ඔය යන්න කල්පනා කරන පළාත නම් ටිකක් කරදරවලින් යුක්තයි. සොර සතුරන් ගෙන් තමයි ගොඩක් භය උපදින්නේ. හැබැයි ඔබත් සමඟ අපේ සංකිච්ච සාමණේරයන් යනවා නම් ඒ ඕනෑම කරදරයකින් බේරෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ පැවිදි ජීවිතයත් සම්පූර්ණ කරගන්න පුළුවන්.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සංකිච්ච සාමණේරයන් වහන්සේගේ කථාව හරිම පුදුම සහගතයි. ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් පිළිගන්න එකකුත් නැහැ. එතරම්ම පුදුම සහගතයි. මේ සංකිච්ච සාමණේරයන් ඉපදුණේ සැවැත් නුවර ඉතාමත් ධනවත් පවුලකයි. උන්වහන්සේ මව්කුසේ මෝරා වැඩෙද්දී මෑණියන් කලුරිය කළා. සිටු පවුලේ උදවිය සොහොනට ගෙනිහින් ඒ දරු ගැබ සහිත වූ මළ සිරුර දැව්වා. සොහොන්පල්ලා ඒ ගිනි ගන්නා මළසිරුරට අනිමින් දර කැබලි ළං කළා. අර මළසිරුර දැවී ගියා. නමුත් දරුගැබ ඉතුරු වුණා. ගිනි අඟුරු ගොඬේ ඉතිරි වූ දරු ගැබත් අළු කරන අදහසින් සොහොන් පල්ලා එයට රිටකින් ඇන්නා. එය වැදුණේ දරුගැබේ සිටිය දරුවාගේ ඇස් කොණටයි. සොහොන් පල්ලා ඒ වටා ගිනි අඟුරු රැස් කොට දර දමා පිටත්ව ගියා. දරුගැබ් මාංශයත් දැවී ගියා. පසුවදා චිතකය නිවීමේ අදහසින් පැමිණි ඤාතීන්ට දකින්නට ලැබුණේ ඇස් අදහාගත නොහැකි දෙයක්.
ඉතාම ලස්සන රන්වන් පැහැයෙන් යුතු දරු සිඟිත්තෙක් අර නිවී ගිය අඟුරු මත සිටින අයුරු දකින්න ලැබුණා.

“ඒයි….! වරෙල්ලා….! මේ බලාපල්ලා….! දිව්‍ය කුමාරයෙක් වගේ ලස්සන සිඟිත්තෙක් මේ අඟුරු ගොඬේ ඉන්නවා….. මෙවැනි දෙයක් අදහාගන්නේ කොහොමද? සැබැවින්ම පුදුම සහගතයි….”

ඔවුන් මේ දරුවා වඩාගත්තා. ඔවුන් විශ්වාස කළේ ඒ දරුවා මිනිස් දරුවෙක් නොවන බවයි. එනිසා ඉක්මනින්ම දරුවත් රැගෙන නිමිති බලන්න ගියා. නිමිති බලන අය මෙහෙම කිව්වා,

“නුඹලා බයවෙන්න එපා…! මේ දරුවා මිනිස් දරුවෙක්. මහා පින්වන්තයෙක්! පුදුමාකාර පින්වන්තයෙක්! මේ දරුවා අනාගතයේදී රහතන් වහන්සේලා පන්සීයක් පිරිවරාගෙන චාරිකාවේ වඩින කෙනෙක්….!”

මෙහෙම කියලා දරුවාගේ අංග ලක්ෂණ බැලුවා.

“අනේ….! චූටි කිරිසප්පයාගේ ඇහේ කොණක් තුවාල වෙලා නෙව. අපි මේ සිඟිත්තාට සංකිච්ච කියා නම තබමු.”

කුඩා අවදියේදීම පවුලේ උදවිය මේ දරුවාට කියන්න ගත්තා, “පැටියෝ….. නුඹ බේරුණේ අනූ නවයයි දශම නවයෙන්… නුඹේ අම්මා මළේ නුඹ මව්කුසේ සිටිද්දිමයි. සොහොන්පල්ලා අම්මා අළු වෙනකම් පිච්චුවා. ඒ වෙලාවෙත් නුඹ බේරුණා. ඉන් පස්සේ ඉතුරු දර එකතු කරලා දරුගැබත් ගිනි තිබ්බා. වැදෑමහ විතරක් පිච්චුණා. අපේ රත්තරන් පැටියා බේරුණා…. අපේ පින්වත් පැටියෝ….” කියලා හැමෝම වඩාගෙන සිඹිනවා.

මේ පොඩි දරුවා තනියම හිතුවා,

‘අපෙ අප්පොච්චියේ…. මං බේරිච්ච බේරිල්ල….! මරණය පෙනි පෙනී නෙව මං ජීවත් වෙලා තියෙන්නේ…. මෙවැනි සසරකද මං මේ ඉපදි ඉපදී යන්නේ….? හොඳම දේ මේ ඉපදෙන මැරෙන සසරෙන් නිදහස් වෙන්න මහන්සි ගැනිල්ලයි.’

මෙසේ සිතූ සිඟිත්තා ඤාතීන්ට පෙරැත්ත කරන්න පටන් ගත්තා.

“අනේ නැන්දේ…. අනේ මාමේ…. මට නම් මේ සසරේ යන්න ඕන නෑ… මට සසරෙන් එතෙර වෙන්නමයි ඕන. මාව පැවිදි කරන්න, ඔයාලට පින් සිද්ධ වෙයි…”

මේ දරුවා පුදුම සහගත ලෙස බේරුණු නිසා ඤාතීනුත් කල්පනා කළා, මේ දරුවාගේ අදහස ඉෂ්ට කර දෙන්න ඕන කියලා. ඒ ඤාති පිරිස සැරියුත් මහරහතන් වහන්සේගේ දායකයින්. ඉතින් ඔවුන් සිඟිත්තාව වඩාගෙන ගිහින් සාරිපුත්තයන් වහන්සේට පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දරුවා පැවිදි කළා. ඒ පැවිදි වෙන කොට දරුවාගේ වයස අවුරුදු හතයි. පැවිදි කරන මොහොතේදීම සියලු කෙලෙස් ප්‍රහාණය කොට අරහත්වයට පත්වෙන්න මේ සිඟිත්තාට පුදුම සහගත වාසනාවක් තිබුණා.

දැන් ඒ සංකිච්ච සාමණේරයන් වහන්සේ වැඩඉන්නේ සාරිපුත්තයන් වහන්සේ ළඟයි. ඉතින් අර භික්ෂූන් වහන්සේලා තිස් නම සැරියුත් මහරහතන් වහන්සේ ළඟට වැඩියා.

“සාරිපුත්තයන් වහන්ස, අපි අසවල් පළාතේ වනාන්තරයකට ගොස් භාවනා කරන්නයි අදහස. බුදුරජාණන් වහන්සේ තමයි අපට ඔබවහන්සේව මුණ ගැහෙන්න කිව්වේ. අපට උපස්ථානයට සාමණේරනමක් රැගෙන යන්න කිව්වා.”
“ප්‍රිය ආයුෂ්මතුනි, වෙන සාමණේරවරු නම් නැහැ. මේ සංකිච්ච පොඩිනම නම් ඉන්නවා. හැබැයි වයස අවුරුදු හතයි.”

එතකොට අර තිස් නම මූණට මූණ බලාගත්තා.

“හරිවැඩක් නෙව. එතකොට මේ සත් හැවිරිදි ශ්‍රමණ පැටියෙක් අපත් සමඟ ගියොත් මහා වනාන්තරයේ වාසය කරද්දී මේ සිඟිත්තාට උපස්ථාන කරන්න වෙන්නේ අපටයි.”

“ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම කියන්න එපා! මට සහතික වෙන්න පුළුවන්. කවදාවත් මේ පොඩිනම ගෙන් කිසිම පළිබෝධයක් වෙන්නෙ නෑ. යහපතක් මිසක්, අයහපතක් නම් වෙන්නෙ නෑ. උපකාරයක් මිසක්, අපකාරයක් නම් වෙන්නෙ නෑ. ශාස්තෘන් වහන්සේ තමුන්නාන්සේලාව මෙහෙට පිටත් කරලා එව්වේ ඔය පොඩිනම ගැන කියලයි.”

අර භික්ෂූන් වහන්සේලා සංකිච්ච සාමණේරයනුත් සමඟ යොදුන් සිය ගණනක් දුර ඈතකට පිටත් වුණා. පවුල් දාහක් පදිංචි එක්තරා ගම්මානයකටත් පැමිණුනා. ඒ අසල විශාල වනාන්තරයක් තියෙනවා. ඒ ගම්වැසියන් තෙරුවන් කෙරෙහි පැහැදුණු උදවිය. ඔවුන්ට හරිම සතුටුයි. ඔවුන් භික්ෂූන් වහන්සේලා තිස් එක් නමට කුටි තනවා දුන්නා. සක්මන් මළු කෙරෙව්වා. පැන් පොකුණු කරවා දුන්නා. වැසිකිලි තනවා දුන්නා. වස් වසන දවසේ භික්ෂූන් වහන්සේලා අතරේ සාකච්ඡාවක් ඇතිවුණා.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව ජීවමානව බැහැදැකලා ඒ බුදු මුවින් චතුරාර්ය සත්‍යය ධර්මය අහලා ඒ බුදු මුවින්ම සමථ විදර්ශනා භාවනා ඉගෙන ගන්න තරම් අපි වාසනාවන්ත වුණා. මෙතෙක් කලක් සසරේ අපි ආවේ සතර අපායේ දොරටු වසාගෙන නොවෙයි. ආපු හැම ගමනකම සතර අපායට දොරටු විවෘත වෙලා තිබුණා. මේ වතාවේ තමයි සදහටම අපා දොර වසාගන්න මේ අවස්ථාව ලැබුණේ. මේ නිසා අපි මේ වස් කාලෙ කොහොම හරි සසරෙන් නිදහස් වෙමු. ඒ නිසා සතියකට එක දවසක් අපි ධර්ම සාකච්ඡා කරමු. අනිත් සෑම වෙලාවකම සිහි නුවණින් යුතුව ධර්මයේ හැසිරෙමු. අවශ්‍යතාවයක් ඇතිවුණොත් පමණක් අර ගෙඩිය ගහන්න. එතකොට අපි රැස්වෙමු.”

මේ අතරේ එක්තරා දුගී පුද්ගලයෙක් ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව තමන්ගේ දරුවන්ගේ නිවෙස්වල කල්ගත කළා. එක දුවකගේ ගෙදර හිටියා, ඒ දූටත් අමාරුයි. දෙවෙනි දුවගේ ගෙදර යන්න පිටත් වෙද්දී සඟ පිරිසක් හුදෙකලාවේ භාවනා කරගෙන ඉන්න කුටි සෙනසුන් දැක්කා. එතනට කිට්ටු වුණා. උන්වහන්සේලා දෙස බලා සිටියා.

“උපාසකය, ගොඩාක් මහන්සිවෙලා වගෙයි. වෙහෙසට පත්වෙලා වගෙයි. කෑමක් නෑ වගෙයි.”

එතකොට ඒ පුද්ගලයා භික්ෂූන් වහන්සේලාට ඔහුගේ නැතිබැරිකම සැළකළා.

“අපිත් දානෙ හොයාගන්නේ පිණ්ඩපාතෙ කරලයි. දැන් මේ දානෙට සූදානම් වෙන වෙලාව. ඔබ භාජනයක් අරගෙන එන්න. අපි බත් පිඬ ගානෙ දෙන්නම්.”

ඒ පුද්ගලයා භික්ෂූන්ට දුන් දානයෙන් කොටසක් අනුභව කොට ඒ කෙරෙහි ආසා කළා. ඔහු මෙහෙම කල්පනා කළා.

‘මට තියෙන්නේ ටික කාලයක් මෙතන ඉන්නයි. අතුපතු ගාගෙන, පිරිසිදු කරගෙන සිටි විට කරදරයක් නැතුව මටත් ජීවත් වෙන්න පුළුවන්’

තින් ඒ පුද්ගලයා භික්ෂූන් වහන්සේලාගෙන් අවසර ගෙන ඒ අරණ්‍යයේම නැවතුණා. ඔහු හොඳින් වත් පිළිවෙත් කළා. දෙමාසයක් පමණ ගත වූ විට ඔහුට දියණියගේ ගෙදර මතක් වුණා. ඔහු මෙහෙම හිතුවා.

‘දැන් මේ ස්වාමීන් වහන්සේලා මා කෙරෙහි ලොකු විශ්වාසයකින් ඉන්නේ. මං දූගෙ ගෙදර යන්න ඇහුවොත් අවසර දෙන එකක් නෑ. ඒ නිසා හොරෙන්ම යනවා.’

ඉතින් මොහු නොකියාම පිටත් වුණා. යන්න තියෙන්නේ සොර සතුරන්ගෙන් ගහණ වූ වන පියසක් අතරිනුයි.

දිනවල ඒ වන මණ්ඩියේ දරුණු සොර මුලක් සිටියා. ඔවුන් සොරකම් කරන්න කලින් එක්තරා වෘක්ෂයකට භාරයක් වුණා. සොරකම් හරිගියොත් නර බිල්ලක් දෙනවා කියලා. ඔවුන්ගේ සොරකම හරිගියා. ඔවුන් කවුරුන් හෝ එනකම් මග බලාගෙන සිටිනවා. හුදෙකලාවේ එන මේ පුද්ගලයාව ඔවුන්ට හසුවුණා. දෑත් පිටුපසට කොට බැඳ අර වෘක්ෂය ළඟට ගෙනිච්චා. ගිනි ගොඩක් ගැහුවා. කඩුව සූදානම් කළා. මොහු විලාප දෙන්න පටන් ගත්තා.

“අනේ…. පින්වතුනේ…. මාව නිදහස් කරන්න…. මං මහා හිඟන්නෙක්…. කාලකණ්ණියෙක්…. මුස්පේන්තුවෙක්….. මගේ මේ ඇඟ හැදිලා තියෙන්නේ අනුන්ගේ ඉඳුල් කාලා මිසක් මං හොයාපු දෙයක් කාලා නොවෙයි. ඉතින් මං වගේ එකෙක් මරලා දෙවියන්ට බිලි දුන්නට දෙවියෝ සතුටු වෙන්නේ නෑ…”

තකොට සොරු ගිගුරුම් දුන්නා.

“ඈ… බොල… තෝ හදන්නේ මෙතනින් පැනලා යන්නද? තෝ මෙච්චර කාලකණ්ණි නම්, තොට පුළුවන්ද පින්වන්තයෙක් හොයලා දෙන්න…?”

“හනේ… පින්වත්නි,… සත්තක්මයි මං මේ කියන්නේ…. මහා පින්වන්තයන් මේ වනාන්තරයේ කොණක ඉන්නවා. ඒ පින්වත් පිරිස භාවනාවෙන් කල් ගෙවනවා. ඇඟපතත් රන්වන් පාටයි. සිල් සුවඳ විහිදෙනවා. අන්න එයින් කෙනෙක් ගෙනැවිත් බිල්ලක් දුන්නෝතින් ඒකාන්තයෙන්ම දේවාතාවුන්නාන්සේ සතුටුවෙනවාමයි….”

“ඈ…! ආයෙත් කියාපිය…. කොහෙද ඒ පින්වන්තයන් ඉන්නේ….? කොහොමද අපි එයින් එකෙක් අල්ල ගන්නේ…?”

“ඒක මෙහෙමයි කරන්න ඕන. මේ පාර දිගේ අසවල් තැනට යනකම් යන්න. එතැනින් අසවල් පැත්තට හැරෙන්න. දිගටම යන්න. එතැනින් ගඟ පැත්තට යන්න. වැලි තලාව දිගේ ටික දුරක් ගිය විට වනය ඇතුළේ තැනින් තැන කුටි හදලා තියෙනවා. සමහර විට එළියෙ පේන්න කවුරුත් සිටින එකක් නෑ. ඒ මිදුලේ ලොකු නුගයක් තියෙනවා. එතන ගෙඩියක් එල්ලා තියෙනවා. ඔබ ගිහින් ඒ ගෙඩිය ගහන්න. එතකොට පින්වන්තයන් එතැනට
රැස් වෙනවා. එයින් කෙනෙක් රැගෙන එන්න.”

හොරු කෙළින්ම වනගත කුටි සොයාගෙන ගියා. ගෙඩිය ගැහුවා. එක එක භික්ෂූන් වහන්සේ එතැනට වැඩියා.

“පින්වත්නි, ඇයි ඔබ මේ ගෙඩිය ගැහුවේ…?”

“වනාන්තරයේ අධිගෘහිත දේවතාවුන්නාන්සෙට පූජාවක් කරන්න තියෙනවා. අපට ඒ නිසා මේ පිරිසෙන් එක්කෙනෙක් ඕන.”

මේ සූදානම් වෙන්නේ නරබිල්ලක් දීමට බව භික්ෂූන් වහන්සේලාට වැටහුණා. වැඩිහිටි තෙරුන් වහන්සේ ඉදිරිපත් වුණා. එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා ඒකට විරුද්ධ වුණා. පිළිවෙලින් එක එක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේලා විරුද්ධ වුණා. මේ පිරිස අතරින් ඉතා සිඟිති ස්වාමීන් වහන්සේ නමක් මතුවුණා. ටිකක් සැරෙන් කතා කළා.

“පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා තවම නිකෙලෙස් වෙලා නැති බව තේරෙන්නේ නැද්ද? ඔබවහන්සේලාට ශ්‍රමණකෘත්‍යය තියෙනවා. බුද්ධ ශාසනය කියන්නේ ආර්ය සත්‍යාවබෝධය බව ඔබවහන්සේලා දන්නවා නේද? මං ඒ ශ්‍රමණකෘත්‍යය සම්පූර්ණ කරගත් කෙනෙක්. මාව ශාස්තෘන් වහන්සේ එව්වේ මේ ප්‍රශ්නයට මූණ දෙන්නමයි. ඒ නිසා දැන් ඔබවහන්සේලා ඇසිය යුත්තේ මා කියන දෙයයි.

ඔබවහන්සේලා පාඩුවේ ධර්මයේ හැසිරීම දිගටම කරගෙන යා යුතුයි. වස්කාලය ගෙවී යන්න කලින් මේ භයානක සසරෙන් නිදහස් වීම පිණිස අප්‍රමාදී විය යුතුයි. ස්වාමීනී, පොඩි නමක් වුණත් මට දැන් මේ විදිහට කතා කරන්න සිදුවෙලා තියෙනවා. මා අතින් වරදක් සිදුවුණා නම් මට සමාවෙන්න.

එම්බා පින්වත්නි, තොපගේ පූජාව තිබෙන්නේ කිනම් දිසාවකද? මා එහි යන්න සූදානම්. හරි..! දැන් පිටත් වෙමු.”

භික්ෂූන් වහන්සේලා කකියන හදවතින් යුතුව මේ පුදුම සහගත අවස්ථාව දෙස බලා සිටියා. පොඩිනමගේ ආනුභාව සම්පන්න කතාවට නොනැමී සිටින්න කාටවත් බැරිවුණා. ඒ භික්ෂූන් වහන්සේලා කඳුළු වැගිරුණු දෙනෙතින් බලා සිටිද්දී පොඩිනම ඉස්සර වුණා. අර සොරු කණ්ඩායම පිටිපස්සෙන් යනවා.

මහ තෙරුන් වහන්සේ කෑ ගහලා මෙහෙම කිව්වා.

“අනේ පින්වත්නි, අපේ පොඩිනම අහිංසකයි. අපේ පොඩිනමට කරදරයක් කරන්න එපා! අපේ පොඩිනම ආපහු එවන්න.”

හොරු කණ්ඩායම පූජාව පවත්වන වෘක්ෂය ළඟට ගියා. පොඩිනම හරි සතුටින් ඉන්නවා. කිසි බියක් නෑ. තැතිගැනීමක් නෑ. හදගැස්මක් නෑ. කම්පනයක් නෑ. වෙව්ලීමක් නෑ. ශාන්තව ඉන්නවා. සොරුන්ට හරි පුදුමයි. සොරුන් පොඩිනම ඇදගෙන ආවා. වෘක්ෂය ඉදිරියෙන් වාඩි කෙරෙව්වා. පොඩිනම ඇස් පියාගත්තා.

මහ සොරා තියුණු දිග කඩුවක් රැගෙන ආවා. වේගයෙන් ඔසවලා පොඩිනමට කෙටුවා. ඒ කඩුව පැත්තට වීසි වුණා. හොරු බලාසිටියා. මහා සොරා සිතුවේ තමන්ගේ පාර වැරදුණා කියලයි. ආයෙත් කඩුව එසෙව්වා. වේගයෙන් ගැහුවා. ඒ පාර ඒ කඩුව ගහමුලට වීසි වුණා. ආයෙත් කඩුව රැගෙන ආවා. ආයෙමත් වේගයෙන් ගැහුවා. කඩුව හැකිළිලා ගියා. මහ සොරාගේ ඇඟේ මවිල් කෙලින් වුණා. පුදුම වුණා. සියලු සොරු පුදුම වුණා. එකිනෙකාගේ මූණු බලන්න පටන් ගත්තා. මහසොරා කඩුව වීසි කළා. පොඩිනම ඉදිරියේ වැඳ වැටුණා. පොඩිනමගේ චූටි දෙපා අල්ලා සිඹින්න පටන් ගත්තා.

“අනේ සිඟිති ස්වාමීනී,…. ඔබවහන්සේ කවුද? අපි මේ වනාන්තරයට ආවේ ධනය නිසාමයි. අපි මෙතන ඕන තරම් මිනිසුන් මරලා තියෙනවා. මරණය අභියස ඔවුන් වැළපෙනවා. සිහි නැතුව වැටෙනවා. සිහි විකල් වෙනවා. මළ මුත්‍රා පහවෙනවා. ඔබවහන්සේට කිසි වගක් නෑ. ඔබවහන්සේ අභියස මේ සියගණනක් මිනිසුන්ගේ ගෙල සිඳලූ තියුණු කඩුව හැකිළී ගියේ මන්ද? ස්වාමීනී…”

“පින්වත, භය නොවන බව මගේ ස්වභාවයයි. මරණය අභියස මට කිසි අමුත්තක් නෑ. තැති ගැනීමක් නෑ. සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ මේ සිත තුළ ඇති කෙලෙස් නිසයි. මේ කෙලෙස්වලින් නිදහස් වෙන කෙනා සියලු ප්‍රශ්නවලිනුත් නිදහස් වෙනවා. අන්න ඒ නිදහස තුළ මං ඉන්න නිසා මේ ලෝකයේ කිසි ප්‍රශ්නයක් මට පීඩා දෙන්නේ නෑ.”

“අනේ… සිඟිති ස්වාමීනී, ඔබවහන්සේ කොහොමද ඔච්චර ගාම්භීර වචන කියන්නේ…? ඔය චූටි සිත ඔතරම් විස්මිත වුණේ කොහොමද? කවුද ඔබවහන්සේට ඔය පුදුම සහගත ශිල්පය ඉගැන්නුවේ…?”

“පින්වත, සැවැත් නුවර ඉන්නවා මහා නුවණැති ශාස්තෘන් වහන්සේ නමක්. උන්වහන්සේවයි මා සරණ ගියේ. උන්වහන්සේ තමයි අටලෝ දහමෙන් කම්පා නොවෙන සිතක් ඇතිකරගැනීමේ විස්මිත රහස ඉගැන්නුවේ.”

“අනේ ස්වාමීනී, අපවත් එතැනට කැඳවාගෙන යන්න. අපි මේ සෑම දෙයක්ම අත්හරින්න සූදානම්. මෙතෙක් කල් අපි ගත කළේ මහා අවාසනාවන්ත ජීවිතයක්. අපි ළඟ කඩු කිණිසි තිබුණට ඊට වඩා භය තැතිගැනීම අපි ළඟ තියෙනවා. මේ ඇවිලෙන ගින්නට වඩා වේගයෙන් අපේ සිත් ගිනි ගන්නවා. ඔබවහන්සේට එහෙම නෑ…. අනේ…. අපිව පැවිදි කරන්න.”

සංකිච්ච සාමණේරයන් වහන්සේ ඒ සොරු පන්සීයගේ කෙස් රැවුල් ඉවත් කරන්න උපදෙස් දුන්නා. ඔවුන් කසාවත් දරාගත්තා. සාමණේරයන් වහන්සේ ඔවුන්ට දසසිල් දුන්නා.

“පින්වත්නි, අපි ඉස්සෙල්ලාම අර ස්වාමීන් වහන්සේලාව බැහැදකින්න යමු. උන්වහන්සේලාට භාවනා කරගන්න බැරිව ඇති. එදා මං එද්දී උන්වහන්සේලා හිටියේ හැඬූ කඳුළින්. මෙලහකටත් සාමණේරයන්ව මරලා ඇති කියලා උන්වහන්සේලා ගැහෙන හදවතකින් යුතුවයි ඇත්තේ.”

සංකිච්ච සාමණේරයන් පන්සීයක් භික්ෂූන් පිරිවරා වනාන්තරයට වඩිද්දී මහතෙරුන් වහන්සේ ඉදිරියට පැමිණුනා. සංකිච්ච සාමණේරයන් වහන්සේ ළඟ පාත් වෙලා අතින් අල්ලාගෙන,
“අනේ පින්වත් සත්පුරුෂයන් වහන්ස, ජීවිතය බේරගත්තා නේද?”

“ස්වාමීනී, වෙන්න ඕන හොඳ විදිහටයි හැම දෙයක්ම වුණේ…. දැන් ඒ ඇත්තන් සූදානම්ව සිටින්නේ අප්‍රමාදීව සසරෙන් එතෙර වෙන්නයි. සංසාරෙ හොරු වෙලා බෙලි කැපුම් පහර ලැබීමෙන් ගලා ගිය රුධිරය මහා සාගර ජලයට වැඩියි කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මෙයාලා ඒක දන්නවා.”

“පොඩිනම, ඒකාන්තයෙන්ම ඔබ අසිරිමත් කෙනෙක්. ශාස්තෘන් වහන්සේ ළඟට මේ පිරිස රැගෙන යන්න. අපිත් වස් අවසානයේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්න එනවා.”

ඉතින් සංකිච්ච සාමණේරයන් වහන්සේ අර පන්සීය සමඟ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට ගියා.

“අපේ සංකිච්චයන් හට ගෝලයන් පන්සීයක් ලැබී තිබෙන හැඩයි” කියා ශාස්තෘන් වහන්සේ වදාළා.

“එසේය, ස්වාමීනී”

එතකොට බුදුරජාණන් වහන්සේ අර පිරිස දෙස බලා මෙසේ වදාළා.

“මහණෙනි, දැන් බලන්න ඔබ කලින් ගත කළ ජීවිතය. ඔබ මිනී මැරුවා. හොරකම් කළා. නපුරු කමින් ජීවත් වුණා. ඒ ගතකළ ජීවිතය සියක් අවුරුද්දක් ගෙව්වත් දැන් මේ ගත කරන එක දවස සමඟ සසඳා බලද්දී සිල්වත්ව ගත කරන මේ එක දවස කොතරම් උතුම්ද?”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

යෝ චේ වස්සසතං ජීවේ – දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – සීලවන්තස්ස ඣායිනෝ

සියක් අවුරුදු ගෙවා දැමුවත් – දුසිල් නොදැමුණු බාල දිවියක්
පලක් නැහැමයි එය කෙනෙක් හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – සුසිල්වත් වූ දැහැමි දිවියක්
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්


පින්වතුනේ, පින්වත් දරුවනේ, අර සොරු පන්සීය බේරුණේ සත්පුරුෂ ආශ්‍රය නිසාමයි. එහෙම නොවුණා නම් මේ වනවිටත් ඔවුන් සිටිය යුත්තේ නිරයේ. ඒ පන්සීයක් සොරුන් හට සතර අපායෙන් බේරෙන්නත් වාසනාව ලැබුණා. සසර දුකින් එතෙර වෙන්නත් වාසනාව ලැබුණා. බුදුරජාණන් වහන්සේ වදාළ මෙම ගාථාවේ අර්ථ සිහිකොට ඔවුන් ධර්මය තුළටම පැමිණුනා. රහතන් වහන්සේලා බවට පත්වුණා. බුදු සසුනේ පිළිසරණ ලැබූ අය තමයි ලොව සිටිය වාසනාවන්තම අය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ